Breaking News

මුදාහරින ලද කන්ටේනර්වල ඖෂධ තිබුනදැයි විමර්ශනයක්

පරීක්ෂාවකින් තොරව වරාය පරිශ්‍රයෙන් පසුගියදා මුදාහල කන්ටේනර් තුළ රටට හානිදායක ඖෂධ වර්ග පැවැතියේදැයි වහාම සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

පසුගිය වසරක පමණ කාල සීමාවේදී ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ඖෂධ තොග ඖෂධ නියාමන අධිකාරීයේ නිසි විමර්ශනයකින් තොරව මුදා හැරීමක් කර තිබේද, එසේ ගෙන්වන ලද සමාගම් සහ ඒවා නිසි පරිදි අදාළ ප්‍රසම්පාදන ආයතන මගින් නිසි ලේඛනවලට යටත්ව මුදා හැරීමක් සිදුවී ඇත්දැයි යන කරුණු සම්බන්ධයෙන්ද සොයා බලන ලෙස එම ලිපිය මගින් දන්වා තිබේ.

ඒ අනුව මේ පිළිබඳව ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

මේ පිළිබඳව වෛද්‍ය හා සිවිල්ල අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

පසුගියදා වරාය පරිශ්‍රයෙන් මුදා හරින ලද ආන්දෝලනාත්මක කන්ටේනර් තුළ රටට හානිදායක සායනික අපද්‍රව්‍ය, ශල්‍ය උපකරණ, අන්තරාදායක ඖෂධ හෝ ලියාපදිංචියෙන් තොරව ගෙන්වන ලද ඖෂධ හෝ තිබේදැයි සැකයක් නිර්මාණය වන බැවින් ඒ සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසට සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පසුගිය ජුනි මාසයේදී ඉල්ලීමක් කරනු ලැබීය.

leave a reply