Breaking News

අනුර ඊයේ කිව්ව දෙය අද අමතකද?

ජනාධිපතිවරණය ඇතුලු මැතිවරණ ත්‍රිත්වයේම “ත්‍රිකුණාමලය තුළ සිදු වන ඉන්දීය මැදිහත්වීම්” සහ විශේෂයෙන්ම මුත්තු නගර් ගොවි ජනතා ඉඩම් සමාගම් වලට පවරා දීමට එරෙහිව වූ ජනතා විරෝධය කැපී පෙණුන අතර වත්මන් ආණ්ඩුවේ බොහෝ නියෝජිතයන් තම පොරොන්දු විවිධ අවස්ථා වල ලබා දෙමින් ග්‍රාමයේ ඡන්දය තමන්ට ලබා ගැනීමට කටයුතු කර ඇත. ඡන්ද අවස්ථා වලදී “අපේ ආන්ඩුව ආවම, පාර්ලිමේන්තු ඡන්දය ඉවර වුණාම, පළාත් පාලන ආයතන වලත් බලය ලැබුණම..” ආදී ලෙස ජනතාවට පොරොන්දු දී ඇත.

නමුත් ආන්ඩු බලය ලැබුණු පසු ආන්ඩුව කර ඇත්තේ කඩිනමින් ගොවි පවුල් 351ක් ඉඩම් වලින් ඉවත් කර අක්කර 800ක වගා භූමියක් සමාගම් වලට පැවරීමයි. මෙය වසර 50ක් ගොවීන් වගා කළ කුඹුර ඉඩම් නිසාම ගොවීන්ගේ ඉල්ලිම වන්නේ මෙම ඉඩම් නැවත ගොවීන්ට පවරා දෙන ලෙසයි. නමුත් ආණ්ඩුව කල් මරමින් ඉඩම් සමාගම් වලට ලබා දීමට කටයුතු කිරීම නිසා මුත්තු නගර් ජනතාව ජන අරගලය ව්‍යාපාරය හා එක්ව අද(14) කොළඹදී විරෝධතාවයක් සංවිධානය කරන ලදී.

එහිදී අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ.
“අද දවසේ ත්‍රීකුණාමල මුත්තු නගර් ප්‍රදේශයේ ජනතාව එක්ක අපි ජනතාධිපති ලේකම් කාර්‍යාලයට ආවේ බරපතල ප්‍රශ්නයක් ගැන සාකාච්ඡා කරන්න. අද වෙද්දි මුත්තු නගර් ප්‍රදේශයේ පවුල් 351ක ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පැහැරගෙන සමාගම්වලට විකුණමින් යනවා. මීට සති දෙකකට කලින් අපි ලිඛිතව මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලය දැනුවත් කළා. නමුත් කිසිඳු විසඳුමක් ගොවීන්ට ලැබුණේ නෑ. මේ පැහැර ගන්නේ මුත්තු නගර් වැසියන් පාරම්පරිකව වගා කරපු ඉඩම්. ඡන්ද කාලේ මේ ප්‍රශ්නෙට විසඳුම් දෙනවා කියලා කියපු මන්ත්‍රීලා අද මේ ජනතාවට පස්ස හරවලා. මේ ඉඩම් ප්‍රශ්නය ගැන ආණ්ඩුවේ කාගෙවත් ඇස් හැරෙන්නේ නෑ.
ඊයේ ජනාධිපති අනුර දිසානායක කිව්වා සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී සියලු පාර්ශවයන් එක්ක සාකාච්ඡා කරනවා කියලා. ඒ අදහස එක්ක තමයි මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතිය මාසෙකට කල් දාලා තියෙන්නෙත්. අපි කියනවා ඒක හොඳයි. සියලු දෙනාගේ එකඟතාවය ඇතුව තමයි සංවර්ධන ව්‍යාපෘති කෙරෙන්න ඕන. හැබැයි අපි අහන්නේ ඇයි ඒ තීරණය මුත්තු නගර් ජනතාවට අදාළ නැත්තේ. ඇයි මුත්තු නගර් වැසියන්ට විතරක් කුඩම්මගේ සැලකිලි. මන්නාරමේ ඉන්නෙත් මුත්තු නගර් ඉන්නෙත් මේ රටේ මිනිස්සු. ඒ නිසා මන්නාරමේවත් මුත්තු නගර් වලත් ඉන්න ජනතාව බලහත්කාරයෙන් පන්නලා ඉඩම් පැහැරගන්න ඒකට අපි විරුද්ධයි.
මේ ආණ්ඩුවට ජනතාව ඡන්දෙ දුන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන්. ඒ වෙනස කියන්නේ පරණ ආණ්ඩුවල ව්‍යාපෘති කිසිඳු සෙවිල්ලක් නැතුව නැවත ක්‍රියාත්මක කරන එක නෙවෙයි. නමුත් ආණ්ඩුව දැන් සූදානම් වෙන්නේ ඡන්දය දීපු ජනතාවට පයින් ගහලා සමාගම්වලට උවමනාවන් අනුව නැටවෙන්න. අපි ඉඩම් දෙන්නේ නෑ, පුලුවන් දෙයක් කරගනිල්ලා වගේ ප්‍රවේශයකින් තමයි ආණ්ඩුව දැන් මුත්තු නගර් ගොවියන්ට උත්තර දෙන්නේ. නමුත් අද අපි මෙතනට ආවේ ඒ උත්තරේ අරගෙන ඔළුව පහත් කරගෙන ගෙදර යන්න නෙවෙයි. මේ ගොවි ජනතාවගේ ඉඩම්වල අයිතිය නැවත ඔවුන් වෙත ලබාදෙන තුරු අපි අඛණ්ඩව අරගල කරන්න සූදානම්. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ බොරු විසඳුම් පෙන්නලා ප්‍රශ්නය මගහරින්න සූදානම් වෙන්න එපා. මුත්තු නගර් වැසියන්ගෙන් පැහරගත් ඉඩම් ඔවුන්ට නැවත ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් දිගින් දිගටම අරගල කරන්න ජන අරගල ව්‍යාපාරය විදිහට අපි සූදානම්.

leave a reply