Breaking News

මැයි දින පෙළපාලි සහ රැස්වීම් පැවැත්වීමට නොහැකි වීම පිළිබඳවද ආණ්ඩුව වගකිව යුතුයි

ආණ්ඩුව වගකීම පැහැර හැර කොරෝනා වසංගතය පැතිර යෑමට කටයුතු සලස්වා මැයි දින පෙළපාලි සහ රැලි පැවැත්වීම අත්හිටවන්නට ගත් තීරණයට එරෙහිව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය තම විරෝධය පළ කරමින් මාධ්‍ය වෙත ලිපියක් යොමුකර තිබේ. පහත පලවන්නේ එම ලිපිය


2021 අප්‍රේල් 27 වන දින
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ

මැයි දින නිවේදනය

මෙවර මැයි දින රැලි පැවැත්වීම පිළිබඳව කෝවිඞ් වසංගතය පාලනය සඳහා වන ජාතික කාර්ය සාධන බලකාය දේශපාලන පක්ෂ සමඟ සාකච්ජා කර ඇති බවත් එහිදි මැයි දින රැලි නොපැවැත්වීමට දේශපාලන පක්ෂ එකග වූයෙන් කෝවිඞ් වසංගතය වැලැක්වීමේ මාර්ග උපදේශ අනුව මැයි දින රැලි නොපැවැත්වීමට තීන්දු කළ බව 2021 අප්‍රේල් 20 වන දින මාධ්‍ය විසින් වාර්තා කෙරුණි. එහෙත් මෙම සාකච්ජාවට වෘත්තීය සමිතී කැඳවා නොතිබුණි.

ඊට පෙර දින 2021 අප්‍රේල් 19 වන දින කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වූ සාකච්ජාවේදි මැයි දින රැලි පැවැත්වීම සඳහා පක්ෂ සහ වෘත්තීය සමිති වලට ක්‍රීඩා භූමි වෙන්කර දුන් අතර, අප සංගමයට අප ඉල්ලා තිබු මාලිගාවත්තේ පිහිටි පී. ඞී සිරිසේන ක්‍රිඩාංගනය ලබා දෙන ලදි.

කෙසේ වෙතත් මේ අතරවාරයේ කෝවීඞ්-19 තුන්වන රැල්ල මතු වී ඇතැයි සෞඛ්‍ය ක්ෂේත‍්‍රයෙහි විශේෂඥයින් ඇතුලූ වෘත්තිකයින්ගේ සංවිධාන අනතුරු ඇඟවීමට පටන් ගෙන ඇත. සෞඛ්‍ය අංශයේ නිල දත්ත අනුව, පසුගිය අප්‍රේල් 24 වන දින වන විට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ආසාදනය වී තිබිණ. ඒ වනවිට ආසාදිත යැයි ඉකුත් දෙදිනක හදුනා ගෙන ඇති සංඛ්‍යාවද දෙදාහකට ආසන්නව තිබිණ. ඒ සමග කෝවීඞ්-19 නව රැල්ල පැතිරිම වැළැක්වීම සඳහා නව මාර්ග උපදේශන හදුන්වා දි ඇත.

අප සංගමය 2021 පෙබරවාරි මස 15 වන දින ජනාධිපති වෙත ලිපියක් යවමින් කෝවීඞ්-19 වසංගතය වැලැක්වීමේ ජාතික එන්නත් කිරිමේ වැඩපිළිවෙලෙහි අපනයන ක්ෂේත‍්‍රයේ සේවක සේවීකාවන්ට ප‍්‍රමුඛතාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියද ඒ ගැන කිසිදු තැකීමක් කිසිවකුට නොවුනි.

කම්කරු අමාත්‍යාංශයෙහි පිහිටුවන ලද කෝවිඞ් 19 වසංගතය වැළැක්වීමේ ත්‍රෛයි පාර්ශවික කාර්ය සාධන බලකාය විසින් සෑම ආයතනයකම කෝවිඞ්-19 වසංගතය වැලැක්වීමේ සේවකයින්ද ඇතුළත් ද්වි පාර්ශවික සෞඛ්‍ය කමිටු 2020 දෙසැම්බර් 15 වන දිනට පෙර පිහිටුවීමට තීරණය කළ ද කර්මාන්ත හිමියන් එවැනි සෞඛ්‍ය කමිටු පිහිටු වීමට සූදානම් නොවින. කම්කරු දෙපාර්තමේන්තුවද එය කි‍්‍රයාත්මක කිරීමට සූදානමක් නොපෙන්වීය.

එවැනි පසුබිමක පසුගිය කාලයේ ඇඟළුම් කර්මාන්තය ඇතුලූ අපනයන නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ කර්මාන්ත ගණනාවක් වසා දමන්නට හෝ සේවකයින් සිය ගණන් නිරෝධායනයට යොමු කරන්නට සිදු විය.

මැයි දිනය මෙවර එළැඹෙන්නේ එවැනි අවිනිශ්චිත සෞඛ්‍ය තත්ත්වයක් හමුවෙහි ය. එබැවින් 2021 අප්‍රේල් මස 25 වන දින පැවැත් වූ අප සංගමයේ මහ මණ්ඩල රැස්විමේ දී අපි ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළෙමු.

ආණ්ඩුව විසින් කෙතරම් සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් ප‍්‍රකාශයට පත් කළද, ඒවා උල්ලංඝණය කිරීම් කෙරෙන්නේ දේශපාලන අනුග‍්‍රහය සහ ලොකු ව්‍යාපාරික අනුග‍්‍රහය ඇතිව බැව් අපගේ නිරීක්ෂණය වන්නේය. මේ දිනවල නුවරඑළිය මහ නගර සභාව විසින් පවත්වන වසන්ත සැණකෙළිය එවැන්නකි. එයට සල්ලිකාර පිරිස් විශාල වශයෙන් රොක්ව සිටිති. එවගේම කොළඹ සහ තදාසන්න තරු සහිත හෝටල්වල සංවිධානය කෙරෙන රාත්‍රී උත්සවද සෙනග එකතු කිරීමේ සීමා නොපිළිපදිති. ගම සමග පිළිසඳරද එළෙසින්ම ග‍්‍රාමීය ජනතාව එකතු කෙරෙන රාජ්‍ය උත්සවයකි. එබැවින් කෝවිඞ්-19 වසංගතය නැවත පැතිරීම පිළිබඳව වගකීම් බාර ගැනීමෙන් ආණ්ඩුවට අත සෝදා ගත නොහැකි යැයි අපි කියමු.

මෙවර මැයි දින පෙළපාලි සහ රැස්වීම් පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතවීම පිළිබඳවද ආණ්ඩුව වගකිව යුතු නිසාම ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහි අපගේ විරෝධය අපි මෙහි සටහන් කරමු.

අපගේ වගකීම් එළෙසින් අත හැරීමට වගකිව යුතු සංගමයක් ලෙස අප සූදානම් නොමැති හෙයින් සිරිත් පරිදි අප සංගමය පවත්වනු ලබන මැයි දින පෙලපාලීය සහ රැලිය මෙවර නොපැවැත්වීමට අපි තීරණය කළෙමු. මැයි දින පෙළපාලියට හා රැස්වීමට සහභාගිවන සේවක සේවිකාවන්ට පමණක් නොව, එදිනට සේවයේ යොදවන පොලීසියේ පිරිස් සඳහාද එවැනි විශාල පිරිස් එකතුවීම් කෝවිඞ්-19 වසංගතය හමුවේ අනාරක්ෂිතවන හෙයිනි.

එහෙත් ජ්‍යාතන්තර කම්කරු දිනය වන මැයි දිනය සැමරුම අපි සම්මතයක් ලෙස අන්තර්ජාල සමාජ මාධ්‍ය වේදිකාවක් මත සංකේතාත්මකව පවත් වන්නට තීන්දු කළෙමු. එ් අනුව 2021 මැයි 01 වන දින පෙ.ව. 10.00 සිට අන්තර් ජාලය ඔස්සේ පවත්වන මැයි දින රැලියට හවුල් වන්නට ඒ අනුව ඔබ සැමට මෙයින් ආරාධනා කරමු.

මහා මණ්ඩලය වෙනුවෙන්
මෙයට විශ්වාසී,
ඇන්ටන් මාකස්
සම-ලේකම්
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය 


 

leave a reply