Breaking News

එප්පාවල – තඹුත්තේගම පාර හදා දෙන්න යැයි කියමින් මිනිස්සු පාරට

තිසර සමල් - අනුරාධපුර

එප්පාවල – තඹුත්තේගම ප්‍රධාන මාර්ගය ප්‍රථිසංස්කරණය අවසන් නොකළ කොටස කඩිනමින් ප්‍රථිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා එම මාර්ගය භාවිතා කරන ගම්මාන කීපයක ජනතාව අද (22) මලියදේවපුර මංසන්ධියෙන් එම මාර්ගය අවහිර කරමින් විරෝධතාවයෙහි නිරත වූහ.

එප්පාවල – තඹුත්තේගම මාර්ගය මලියදේවපුර මංසන්ධීයෙන් ගස් වල අතු දමා අවහිර කරමින්, සටන් පාඨ හා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම පිරිස විරෝධතාවයෙහි නිරත වූහ.මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධාවන්ද සිදු විය.මෙම විරෝධතාවය සඳහා මලියදේවපුර, කොත්මල්පුර, අධිරාණිගම, ඔරුගලයාය, තෙල්හිරියාව ආදී ගම්මාන රැසක ජනතාව සහභාගී වී සිටියහ.ඇතැම් අය තම අතදරුවන්ද රැගෙන විරෝධතාවයට සහභාගී වෙමින් කියා සිටියේ මාර්ගයේ පවතින ගල් කුඩු නිසා දරුවන් නිතර අසනීප වන බවයි.

එප්පාවල- තඹුත්තේගම මාර්ගයේ කොටසක් පමණක් පිළිසකර කර ඇති අතර, මීට වසර 02 කට පමණ ඉහතදී ඉතිරි කිලෝ මීටර 03 ක් පමණ ප්‍රථිසංස්කරණය ආරම්භ කර ගල් කුඩු අතුරා ප්‍රථිසංස්කරණ කටයුතු අතර මඟ නවතා දැමීමට විරෝධය පළ කරමින් මෙලෙස ඔවුන් විරෝධතාවයෙහි නිරත වූහ.

එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ,
එප්පාවල ඉඳන්, තඹුත්තේගමට යන්න තියෙන ප්‍රධාන පාර මේක, දැන් අවුරුදු 03 ක් වෙනවා හදන්න අරන් තාම හදලා ඉවර කරලා නෑ, පොරේ කොටසක් කාපට් කරලා හදලා තියෙන්නේ, තව තියෙන්නේ කිලෝ මීටර 03 ක් විතරයි හදන්න.මේකේ නිතරම මැති ඇමතිවරු යනවා ඒ අය යන්නේ වීදුරු වහගෙන,හැබැයි අපි මේ දාලා තියෙන ගල් කුඩු වල දූවිල්ල කකා ඉන්න ඔ්න,අපි අවුරුදු තුනක් තිස්සේ මේ ගල් කුඩු නිසා දුක් විඳිනවා, අපේ කිරිසප්පයෝ ගෙවල් වල තියා ගන්නවත් බෑ, ඡන්ද ඉල්ලගෙන ගෙවල් ගානේ එන එකෙක්වත් මේ පාර ගැන කථා කරන්නේ නෑ, අපේ දරුවෝ අසනීප වුණාම බෙහෙත් ටික නිකං දෙන්නේ නෑ ඉස්පිරිතාලේ. අපිට බෙහෙත් ගන්න සල්ලි නෑ, අපි අසරණ වෙලා ඉන්නේ, තව කිලෝමීටර 03 ක් විතරයි හදන්න තියෙන්නේ, මේ කිලෝ මීටර 03 හදාගන්න බැරිව මෙවුන් රටක් හදන්නේ කොහොමද? තොපිට දරුවෝ නැතිව ඇති, ඒ නිසා දරු දුක දැනෙන්නේ නෑ, අපිට ඡන්ද ඔ්න නෑ, තොපිට හොරා කන්න ඡන්ද තියන සල්ලි වලින් මේ පාරවල් හදලා දීපල්ලා.අපි මේ පාර නිසා දුක් විඳිනවා, රෑට අලින්ගෙන් දුක් විඳිනවා, අපි මේ ගැන බළධාරීන්ට නිළධාරීන්ට කිව්වා, කිසි කෙනෙක් අපි ගැන හොයන්න බලන්න ආවේ නෑ, ගමේ මිනිස්සු දුක ඉවසන්න බැරි තැන තමයි මේ පාරට බැස්සේ. යැයි පැවසීය.
විරෝධතාකරුවන් හමුවට තඹුත්තේගම පොලිස් ස්ථාන නිළධාරීන් පැමිණ මාර්ගය අවහිර කර විරෝධතාවන් නොකර සාමකාමීව විරෝධතාවයෙහි නිරත වන ලෙස ඉල්ලා සිටි අතර, එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ, අදාළ බළධාරියකු හෝ නිළධාරියකු පැමිණ විසඳුමක් ලබා දෙන තුරු තමන් අඛණ්ඩව විරෝධතාවයෙහි නිරත වන බවයි.ඒ අනුව විරෝධතාකරුවන් තවමත් විරෝධතාවයෙහි නිරත වෙමින් සිටිති.

leave a reply