Breaking News

COVID19 ආසාදිතයකුගේ මරණය අධිකරණ වෛද්‍ය විද්‍යා ඇසින්

ශ්‍රී ලංකාව තුළ පළමු COVID19 ආසාදිත මරණය අද(28) වාර්තා විය. මේ වනවිට ලොවපුරා නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණ 29,973ක් වාරිතා වී ඇත. COVID19 වෛරසය මිනිසාගේ ශ්වසන පද්ධතිය ආසාදනය කරන වෛරසයක් වන අතර එය මාරාන්තික බලපෑම් එල්ල කරමින් පවතින්නේ; ප්‍රතිශක්තිකරණය සහ පෙණහළු දුර්වල තැනැත්තන්, වයෝවෘද්ධ, හෘදයාබාධ හෝ බෝ නොවන රෝග, නිධන්ගත වගුගඩු රෝග(CKD) පවතින අය හෝ අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වූ තැනැත්තන් වෙතය. එමෙන්ම අධික ශීත දේශගුණයක් සහිත රටවල ද ඉහළ මරණ අනුපාතයක් නව කොරෝනා වෛරසය හේතුවෙන් වාර්තා වී ඇත.

නව COVID19 වෛරසය 2003 වසර වන විට ව්‍යාප්ත වූ SARS (Severe Acute Respiratory Syndrome) වසංගතයට හේතු වූ වෛරසය අයත් වන කොරෝනා (CORONA) ඛාණ්ඩයට අයත් වෛරසයකි. මෙම වෛරස ඛාණ්ඩයේ වෛරස මූලික වශයෙන් ක්ෂීරපායීන්ගේ ශ්වසන පද්ධතිය (Respiratory System) ආසාදනය කරනු ලබයි. කිසියම් තැනැත්තකු වෙත COVID19 වෛරසය ආසාදනය වී ඇත්නම් පළමු දින 14 ඇතුළත රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. කැස්ස, අධික වෙහෙස, උණ සහ හුස්ම ගැනීමේ අපහසුතාවය ප්‍රධාන රෝග ලක්ෂණ වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන ආකාරයට වෛරසය ආසාදනය වූ 80% පමණ පිරිසට ස්වභාවික ප්‍රතිශක්තිකරණය හේතුවෙන් රෝගය සුව වීමේ සම්භාවිතාවයක් පවතී. කෙසේ වෙතත් COVID19 වෛරසයේ ව්‍යාප්ති සීඝ්‍රතාවය සහ සුවවීමට ගතවන කාලය දීර්ඝ වීම හේතුවෙන් අද වනවිට ලොව පුරා රටවල් 199 කින් රෝගීන් වාර්තා වෙමින් පවතී. ඒ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය වසංගත තත්ත්වයක් ලෙස නම් කරන ලදී.

* මරණයට හේතුව (Cause of Death)

COVID19 යනු මාරාන්තික වෛරසයක් බව අද වන විට තහවුරු වී ඇත. එසේ නම් COVID19 ආසාදිතයන්ගේ මරණය සිදුවන්නේ කෙසේද?

නාස් විවරයෙන් ආරම්භ වන ශ්වසන පද්ධතිය අවසන් වන්නේ පෙණහළු තුළ පිහිටා ඇති ගර්ත(alveoli) නම් කුඩා ව්‍යුහ රාශියකිනි. මෙම ව්‍යුහ ශරීරයේ ඔක්සිජන් හුවමාරුවේ මූලික කාර්යයභාරය ඉටුකරයි. ශරීරයේ සියලු සජීවි සෛලයන්ගේ ජීවක්‍රියා වල පැවැත්ම සඳහා අවශ්‍ය වන ඔක්සිජන් සපයාගනු ලබන්නේ ආශ්වාසයෙනි. මෙකී ආශ්වාස වාතය පෙණහලු තුළ ඇති ගර්ත වෙත ගමන් කළ පසු ගර්ත වටා ඇති කුඩා රුධිර කේෂ නාලිකා (පුප්පුශීය ධමනි) මඟින් එහි ඇති ඔක්සිජනීහෘත රුධිරය වෙත ඔක්සිජන් අවශෝෂණය කරනිමින් රුධිරයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ගර්ත වෙත මුදාහරී. ප්‍රාශ්වාසයේදී පිටකරනු ලබන්නේ මෙලෙස ගර්ත තුළට එකතු වූ කාබන්ඩයොක්සයිඩ සහිත වාතයයි. මේ ආකාරයට පිරිපහදු කරන ලද ඔක්සිජනීකෘත රුධිරය නැවත පුප්පුශීය ශිරා ඔස්සේ හෘදය වෙත ගමන් කර, රුධිර සංසරණ පද්ධතිය හරහා ශරීරය පුරා බෙදාහරී. ගර්ත හරහා සිදුවන වායු හුවමාරුව භෞතික විද්‍යාවේ LaPlace රීතියට අනුගතව සිදුවේ. සරලව විග්‍රහ කරනු ලැබූවද මෙම සමස්ත කාර්යය දේහය තුළ ඇති සියලු ජීවි සෛල වල පැවැත්ම තීරණය කරන ප්‍රමුඛතම කෘත්‍යයයි.

අරම්භයේදී සඳහන් කළ ආකාරයට මෙම නව කොරෝනා වෛරසය ආසාදනය වන්නේ ක්ෂීරපායීන්ගේ ශ්වසන පද්ධතියට ය. ඒ අනුව COVID19 වෛරසය ආසාදනය වීමකදී පෙණහළු ආසාදයන වීමක් සිදු වේ. එහිදී සිදු වන්නේ ගර්ත අභ්‍යන්තරයේ තරල එක්රැස්වීමයි. මෙම තත්ත්වය ආසාදිත පෙණහළු වල පහළ සිට ආරම්භ වේ. මෙලෙස ගර්ත තුළ තරල එක්රැස් වීම වායු හුවමාරුවට බාධාවක් වන අතර එය වෛද්‍ය විද්‍යාවේදී නිව්මෝනියා(pneumonia) තත්ත්වයක් ලෙස සලකනු ලබයි. මෙලෙස නිව්මෝනියා තත්ත්වය වර්ධනය වීම ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය පහළ යාමට හේතුවකි. මේ නිසා මෙවැනි රෝගීන් වෙත බාහිර ශ්වසන උපකරණ මාර්ගයෙන්(ventilator machines) ඔක්සිජන් සහිත වාතය සැපයීම සිදු කරනු ලබයි. වෝහාරික වෛද්‍ය විද්‍යාව තුළ ශ්වසන අවහිරතාවයක් හේතුවෙන් ශරීරයේ ඔක්සිජන් මට්ටම පහළ යාම Asphyxia තත්ත්වයක් ලෙස සලකනු ලබයි. Asphyxia යනු ශ්වසන පද්ධතියේ පවතින කිසියම් බාධාවක් හේතුවෙන් හෝ ශ්වසන පද්ධතියට බාහිරින් සිදුවන යම් බාධාවක් හේතුවෙන් හෝ වායුගෝලයේ ඔක්සිජන් ඌණතාවයක් නිසා හෝ වායු පීඩනයේ ඌණතාවයක් නිසා හෝ ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නිසි පරිදි නොලැබීම හේතුවෙන් ඇතිවන තත්ත්වයකි. මෙය විසංඥතාවයක් හෝ මරණය ඇතිකිරීමට හේතු විය හැක. ‍මේ අනුව COVID19 ආසාදිතයකුගේ මරණයට මූලික වශයෙන් හේතු වන්නේ පෙණහළු ආසාදනය වීම නිසා ඇතිවන නියුමෝනියා තත්ත්වය ලෙස සැලකිය හැක.

* මරණ පරීක්ෂණය සිදුකිරීම හා මෘතශරීරය විනාශ කිරීම (Autopsy Practice & Disposal of the Death Body)

COVID19 ආසාදිතයකුගේ මරණය සිදුවීමෙන් පසු එකී ආසාදිතයාගේ මෘතදේහයේ COVID19 වෛරසය පැවතිය හැකි බව කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන තිබේ. මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් 2020 මාර්තු 24 වන දින COVID19 ආසාදිත මරණයකදී මෘතදේහය පරික්ෂා කිරීම සම්බන්ධව උපදෙස් මාලාවක් නිකුත් කරන ලදී.

‍මෙම අන්තර්ජාතික උපදෙස් මාලාව අනුව ශ්‍රී ලංකාවේ ද COVID19 ආසාදිතයකුගේ මරණයකදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිලිබඳ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත. ඒ අනුව මූලික වශයෙන් COVID19 වෛරසය ආශ්‍රිත රෝගීන් (ආසාදිත සහ සැක සහිත) ප්‍රධාන ඛාණ්ඩ 4කට වර්ගීකරණය කර ඇත. ඉන් පළමු ඛාණ්ඩය වන වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇති රෝගියකුගේ මරණය සම්බන්ධව පහත පියවර අනුගමනය කළ යුතුය.

ඒ අනුව වසංගත රෝග විද්‍යායතනයේදී හෝ COVID19 ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කරනු ලබන වෙනත් රජයේ රෝහලක දී හෝ COVID19 ආසාදිත රෝගියකු මියගියහොත් මරණයට හේතුව හදිසි හෝ නොදන්නා හේතුවක් නොවන බැවින් දේහය සඳහා මරණ පරීක්ෂණයක් (අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370 සහ 371(1) වගන්ති ප්‍රකාරව) පැවැත්වීම හෝ පශ්චාත් මරණ පරීක්ෂණයක් (අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 373 වගන්තිය ප්‍රකාරව) පැවැත්වීම අනිවාර්යය නොවේ. මරණයට හේතුව කුමක් ද යන්න සඳහන් කරනු ලබන මරණ ප්‍රකාශනය(DECLARATION OF DEATH) හෙවත් බී.33 දරණ ආකෘති පත්‍රය අදාල වෛද්‍යවරයා විසින් පිරවිය යුතුය.

මරණයෙන් පසු මෘත ශරීරය වාට්ටුව තුළ පැය දෙකක කාලයක් නොතැබිය යුතු අතර වහාම පොලිතින් බෑගයක බහා තැබිය යුතුය. කිසිඳු තැනැත්තකුට දේහය ඇල්ලීමට අවසර නොලැබෙන අතර දේහය පිළිබඳ කටයුතු සිදුකරන සියලු පුද්ගලයන් (වෛද්‍යවරයාගේ සිට කම්කරුවා දක්වා) පුද්ගල ආරක්ෂිත උපකරණ(Personnel Protection Equipment) පැළඳසිටීම අනිවාර්ය වේ. වාට්ටුවේදී හෝ මෘතශරීරාගාරයේදී මරණකරුගේ ළඟම ඥාතීන්ට පමණක් මරණකරුගේ මුහුණ පමණක් පෙනෙන ලෙස දේහය දැකබලාගැනීමට අවස්ථාව සැලසිය යුතු අතර ඔවුන් සියලු දෙනා ආරක්ෂිත උපකරණ පැළඳසිටිය යුතුය. මෘත ශරීරය එම්බාම් කිරීම තහනම් වන අතර, අවමංගල්‍ය කටයුතු සඳහා අදාල දේහය ඇතුලත් කළ පොලිතින් බෑගය දේහය තැන්පත් කරන පෙට්ටියේ බහා එය මුද්‍රා තැබිය යුතුය. මුද්‍රා තබන ලද පෙට්ටිය නැවත කිසිඳු අවස්ථාවකදී විවෘත නොකළ යුතුය. අවමංගල්‍ය කටයුතු සඳහා දේහය නිවෙස් වෙත රැගෙන යා නොහැක. ආගමික කටයුතු සඳහා පමණක් දේහය සහිත පෙට්ටිය මෘතශරීරාගාරයේ විශේෂ පීඨිකාවක තැන්පත් කළ හැකි අතර ජනතාව එක්රැස් වන ලෙස අවමංගල්‍ය කටයුතු සිදුනොකළ යුතුය. දේහය භුමදානය නොකළ යුතු අතර අනිවාර්යයයෙන්ම ආදාහනය කළ යුතුය. දේහය පිළිබඳ අවසන් කටයුතු උපරිම පැය 24ක කාලයක් ඇතුලත සිදු කළ යුතුය. දේහය විනාශ කිරීම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයා සහ පොලීසියේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කළ යුතුය.

ඒ අනුව COVID19 ආසාදිතයකුගේ මරණය සිදු වූ පසු එකී දේහය තවත් රෝග වාහකයකු වීම වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ඉදිරිපත් කර ඇති නිර්ණායක මත පියවර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කරනු ඇත.

අවසාන වශයෙන් සඳහන් කළ යුතු වන්නේ, COVID19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ ප්‍රමුඛතම වගකීම මහජනතාව වෙත පැවරී ඇති බවය. යම්හෙයකින් ජාතික සෞඛ්‍ය සේවයේ ධාරිතාවය ඉක්මවා යන ආකාරයට වෛරසය ව්‍යාප්ත වුවහොත් එය සිතාගැනීමට අපහසු වන තරමට භයානක තත්ත්වයක් නිර්මාණය කරනු ඇත. තමන්ගේ ආදරණීයයන් පොලිතින් උරයක බහා අදාහනය කිරීමට කටයුතු කරනවාද නැතිද යන්න තෝරාගැනීමේ තීරණාත්මක මොහොතට දැන් අප එළඹ ඇත.

ටහන : කුසල් කාවින්ද අමරසිංහ

ඡායාරූපය : CT ස්කෑන් යන්ත්‍රයක් මඟින් පරික්ෂා කරන ලද COVID19 ආසාදිතයකුගේ පෙණහළු වල ඡායාරූපයක්. ඊතල මඟින් දක්වා ඇත්තේ වෛරසය හේතුවෙන් පෙණහළු ආසාදනය වී ඇති ප්‍රදේශයි.

වැඩිදුර අධ්‍යයන සඳහා :

‍ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ උපදෙස් මාලාව
https://apps.who.int/…/WHO-COVID-19-lPC_DBMgmt-2020.1-eng.p…

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත විද්‍යා ඒකකය විසින් COVID19 රෝගීන් වෙත ප්‍රතිකාර කිරීම සඳහා ලබා දී ඇති උපදෙස් මාලාව අඩංගු චක්‍රලේඛය
http://www.epid.gov.lk/…/Ci…/Corona_virus/coronacircular.pdf

COVID-19 සැක සහිත සහ තහවුරු කළ රෝගීන් පිළිබඳ සායනික මාර්ගෝපදේශ සංග්‍රහය – සෞඛ්‍ය අමාත්‍යංශය (7 වන පරිඡේදය – මරණ පරීක්ෂණ කටයුතු සහ දේහය විනාශ කිරීම)
http://www.epid.gov.lk/…/Corona_virus/covid-19-cpg_march-20…

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වෛද්‍ය සහතික සහ මරණ සහතික නිකුත් කිරීම සඳහා ලබා දී ඇති උපදෙස් මාලාව(2016) (බී.33 ආකෘතිය ඇතුලත්ව)
http://www.srilankamedicalcouncil.org/…/2894475624a6e3c7575…

leave a reply