Breaking News

පුත්තලමේ දේශපාලඥයෙකු ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවේ සභාපති හා එක්ව  LRC ඉඩමක් කොල්ලකෑමට සැරසෙයි !

පුත්තලම දිස්ත්‍රික්කයේ පාලවිය පිහිටි මුල්ලවේලිවායල් නම් වූ අක්කර 20යි රූඩ් 34 කැ වපසරියකින් යුතු ඉඩම පසුගිය 13 වෙනිදින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරී ලියනගම යන විසින් මැනුම්කර, පාලවිය රේල් පාර රක්ෂිතයද ඇතුළු ඉඩම් කොටස්ද පුත්තලම නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුප්‍රකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අනීතික ලෙස පවරාදී කොල්ලකෑමට සුදානම් වේ. විමර්ශන නිලධාරියකු වන ලියනගම යන අයට මෙම මැනුම සිදුකිරීමට හෝ අධීක්ෂණයට නයිතිකමය බලයක් නොමැති අතර ඔහු විමර්ශන නිධාරියකුගේ රාජකාරිය සිදුකළයුත්තෙකි. එසේම මෙවැනි මැනීමක් සිදුකිරීමේදී අදාළ දිස්ත්‍රික් කාර්යාලයේ නිලාධාරියකු සහභාගී කලයුතු අතර, අදාළ ක්ෂේත්‍රයේ නිලධාරියා පවා සහභාගී කර නොගෙන හොරරහසේ මෙම මැනුම සිදුකර ඇත. ඉන්ම මෙහි වංචාසහගත ස්වභාවය පසක් වේ.

මෙසේ රජයේ සහ පොදු ජනතාවගේ දේපල වන LRC ඉඩම් පුත්තලමේ දේශපාලකයින්ට කොල්ලකෑමට දුන් පළමු අවස්තාව මෙය නොවේ. මීට පෙර සෙන්දිරියමුල්ල ප්‍රදේශයේ ඉඩමක්, නාත්තන්ඩියේ තොරවැටිය ඉඩම, කල්පිටියේ ඉඩම් කිහිපයක්ම, වනාතවිල්ලුවේ ඉඩම් විශාල ප්‍රමාණයක්ද, මෙසේ පුත්තලමේ දේශපාලඥයින්ට අක්‍රමවත් ලෙස පවරාදීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ දුෂිත පාලනාධිකාරිය කටයුතු කර ඇත.

8 දෙනෙකුගෙන් යුත් කොමිසමේ ඉඩම් හොරකම්වලට පහසුකම් සහ ඉඩහසර ලබාදෙමින් ඕනෑම කොමිෂන් පත්‍රිකාවක් අත්සන් තබන කොමිසමේ සාමාජිකයින් 3න් 4 දෙනෙක් යොදාගෙන එකම ගොනු අංක කිහිපයක් යටතේ සිදිකරන ලද අක්‍රමවත් ඉඩම් බැහැරකිරීම් විශාල ප්‍රමාණයක් අප විසින් මේ වන විටත් නිරීක්ෂණය කර ඇති අතර මේවා සම්බන්ධව ආයතන විශාල ප්‍රමාණයකට පැමිණිලි කර සහ හන්තානේ කෝටි 120කට ආසන්න වටිනාකමක් ඇති ඉඩමක් කොල්ල කෑමට දරණ උත්සාහයක් වැලක්වීමට අභියාචනාධිකරණයේ නඩුවක් පවා ගොනු කර අදාළ ගනුදෙනුව මේ වන විට වලකා ඇත.

එසේම 2022.11.14 පැවති ඇමතිමණ්ඩල රැස්වීමේ ගත තීරණ ප්‍රකාරව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති අමතමින් 22/විවිධ/(063) අංක යටතේ යවන ලද අමාත්‍ය මණ්ඩල තීරණ වාර්තාව අනුවත් ව්‍යවස්ථාපිත නිශ්චය, පවුල තුල පැවරීම් සහ විකල්ප ඉඩම් හැර අනෙකුත් අක්‍රමවත් ඉඩම් බැහැරකිරීම නවත්වන ලෙස දන්වා ඇතත්, මේ සියල්ල අභිභවා ගොස් LRC ඉඩම් කොල්ලය කොමිසමේ සභාපති මෙන්ම ඔහු නියෝජනය කරන දේශපාලන කණ්ඩායමේ මැති ඇමතිවරුන් සමග එක්ව දිගින් දිගටම සිදුකරගෙන යන අතර මෙලෙස බැහැරකරන ඉඩම් විශාල ප්‍රමාණයක් එක්කෝ දේශපාලඥයින්ට, ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන්ට හෝ විශාල මුදල් ගනුදෙනු මත කොමිසමේ දුෂිතයින් හරහා නොයෙක් ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ ධනවත් බලවත් කණ්ඩායම් වලට ලබාදීම සිදුවේ.

මෙසේ ඉඩම් නොයෙක් කණ්ඩායම්වලට බැහැර කරන්නේ නීතියෙන් ව්‍යවස්ථාපිත නිශ්චය ලැබිය යුතු ඉඩම් අක්කර සිය දහස් ගණනින් LRC යට ලබාදුන් අයවලුන් සිය ගණනක් තවමත් තමන්ගේ ව්‍යවස්ථාපිත නිශ්චය ලබාගැනීමට LRC ආයතනයට දශක ගණන් සතිපතා හෝ මාස්පතා ගියද ඔවුන්ට තමන්ට උරුම ඉඩම් කැබැල්ල පවා LRC ය ලබාදී නොමැති වටපිටාවකය. එසේ තිබියදී ඉඩම් මන්කොල්ලයටම තෝරාගත් ඉඩම් ප්‍රකාශකයින් කිහිප දෙනෙකු හරහා ඉඩම් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් වක්‍රව දේශපාලඥයින්ට හා ව්‍යාපාරිකයින්ට බැහැර කර ඇත. කටානේ ඉබුල්ගස්වාඩිය, මාතර වලහන්දුව වත්ත, හන්තානේ ඉඩම් විශාල ප්‍රමාණයක්, ඩෙවොන් වත්ත, පනිල්කන්ද වත්ත, ගාට්මෝර් වත්ත, මහනුවර දොතලුකන්ද, ඕඩේවැල්ල වත්ත, පුත්තලමේ තෝරවැටිය සහ සෙන්දිරියාමුල්ල (දංකොටුව රොටරි) ඉඩම්, මාදම්පේ උරලිය ඉඩම මින් අප විසින් හඳුනාගන්නා ලද ගැටලුකාරී අක්‍රමවත් හෝ වංචාසහගත ඉඩම් බැහැරකිරීම් වේ.

මෙලෙස වටිනා රජයේ දේපල කොල්ලකෑමට LRC ආයතනය දිගින් දිගටම කටයුතු කරන ආකාරයත් මිලියන සිය ගණනක් පොහොර ව්‍යාපෘතියකට යැයි කියා කොල්ලකෑ ආකාරයත් ඉඩම් කොල්ලයත් දිගින් දිගටම COPE කමිටු හමුවේ පවා අනාවරණය වී ඇති නමුත්, අද වන තෙක් මෙම ආයතනය නියාමනය කිරීමට කිසිම වගකිව යුතු ආයතනයක් ඉදිරිපත් වී නැත. විගණන දෙපාර්තම්න්තුවේ වටිනා විගණනයන් කිහිපයක් හැරෙන්නට,ඒවා මගින් හෙළිකරන ලද දුෂණ වලට එරෙහිව කිසිඳු ආයතනයක් මෙතෙක් නඩු පවරා හෝ දුශිතයින්ට එරෙහිව පරීක්ෂන අරඹා පොදු දේපල අවභාවිතාවට හා දුෂණයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගේන නැත. මෙවන් වටපිටාවක් තුල දිගින් දිගටම දුෂිත LRC පාලනාධිකාරිය හා දුෂිත දේශපාලඥයින් එකතුව දිගින් දිගටම ජනතා දේපළ කොල්ලකමින් සිටී. ඉඩම් ඇමතිවරයාට මෙන්ම ඉඩම් ලේකම්වරයාට පවා මෙම දුෂණ පිළිබඳව පැමිණිලි කර ඇතත් මෙතෙක් ඔවුන්ද මේ සම්බන්ධව කටයුතු කර නොමැතිවා පමණක් නොවේ, ඍජුව / වක්‍ර ලෙස දුෂණයන්ට අනුබල දෙන බවට සැක පහල වේ. එසේ නොමැතිනම් මාධ්‍ය හරහා මේසා විශාල හෙළිදරවු කර තිබියදීත් දිගින් දිගටම එම අත්තනෝමතික LRC සභාපති ඇතුළු පාලනාධිකාරිය ප්‍රශ්න කිරීමක් හෝ විමර්ශනයක් පවා නොකරන්නේ සහ ඔවුන්ගේ මෙම වංචාසහගත/අක්‍රමවත්/සැකසහිත ගනුදෙනු නැවත්වීමට කටයුතු නොකරන්නේ කුමන හේතුවකටද?

ඉඩම් කොල්ලයට එරෙහි පරිසර සංවිධාන එකමුතුව.

leave a reply