Breaking News

අර්බුදයට විසඳුම් දෙන්න, ද්විබල ව්‍යුහයකින් අන්තර්වාර පාලනයකට සූදානම් වෙමු! – දුමින්ද නාගමුව

(2023 මැයි 1 වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දින රැලියේදී ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා කළ කතාවේ අත්‍යවශ්‍ය කොටස් සහිත සටහනකි මේ.)

“පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට මේ 137වැනි ජාත්‍යන්තර කම්කරු දිනය අපි සමරන්නෙ IMF මර උගුලට, අමෙරිකන්-ඉන්දියන් විජිතකරණයට එරෙහිව වැඩකරන ජනතා බලයක්!” කියන තේමාව අරගෙන. සමහරු අහනවා මේ සටන් පාඨය ගැන. සමහරුන්ට මේකෙ අඩුපාඩු ගැන ප්‍රශ්න තියෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉතිහාසයේ තෝරපු සටන් පාඨ සහ ඒවගෙ වලංගුභාවය ගැන කතා කරන්න මේක අවස්ථාවක්. ගෝඨාභය රාජපක්ෂ 2021 පොහොර ප්‍රතිපත්තිය වෙනස් කළ වෙලාවෙ පක්ෂයේ ‘ගොවි අරගල ව්‍යාපාරය’ එදා හරියටම සටන්පාඨය තේරුවා, ‘ගොවිතැන විනාශ කරන කඩිකුලප්පු පොහොර ප්‍රතිපත්තිය හකුළා ගනිව්” කියලා. පොහොර සම්බන්ධ ප්‍රතිපත්ති වෙනස් නොකළ යුතුයි කියලා අපි කිව්වෙ නෑ. අපි කිව්වෙ ලොක්කා, මේක කරන්න කඩිකුලප්පුව වැඩියි පියවරෙන් පියවර එන්න කියලා කිව්වෙ. ඒ නිසා අපි හරියට සටන් පාඨය තෝරලා තිබුණා.

පහුගිය අවුරුද්දෙ අප්‍රේල් ගෝල්ෆේස් අරගලයට කලින් සියලුම වෘත්තිය සමිති නියෝජිතයන් වානිජ හා කාර්මික සේවක සංගමයේ එකතු වෙලා සාකච්ඡාවක් කළා. ඉන්පස්සෙ, අප්‍රේල් 28 ඓතිහාසික වැඩවර්ජනය සම්බන්ධ එකඟතාව ඇතිවුණ වෙලාවෙ වැඩවර්ජනයේ සටන් පාඨ සම්බන්ධ සාකච්ඡාවෙදි අපි ‘කම්කරු අරගල මධ්‍යස්ථානය’ විධියට යෝජනා කළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට විරුද්ධව සටන් පාඨ ගත යුතුයි කියලා. නමුත් ඔය සමන් රත්නප්‍රියලා වගේ හොරිකඩ වෘත්තිය සමිති නායකයො ඒකට විරුද්ධ වුණා. පස්සෙ වෘත්තිය සමිති මධ්‍යස්ථාන දෙකක් හැදුණො. එදා IMF මරඋගුලට විරුද්ධ යෝජනාවට පක්ෂ ‘වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකතුව’ හැටියට අපි දිගටම සටන් වැදුණා. ඒ නිසා අපි හරියට වෙලාවට නිවැරදි දේශපාලන සටන් පාඨ තෝරලා තිබෙනවා.

පසුගිය කාලෙ ජයග්‍රහණය කළ සයිටම් විරෝධී සිසු ජන අරගලය ඉස්මත්තට ඇවිත්, රජයේ වෛද්‍යවරුන්ගෙ සංගම් සම්මන්ත්‍රණ ශාලාවෙ සයිටම් විරෝධී දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති හා ශිෂ්‍ය සංවිධාන එකතු වෙලා කළ සාකච්ඡාවෙදා සටන් පාඨ සම්බන්ධ ආව විවාදයක් තමයි, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ගුණාත්මක බවද ප්‍රශ්නය නැත්නම් අධ්‍යාපන පෞද්ගලිකකරණයද ප්‍රශ්නය කියලා. සමහරු කිව්වෙ අධ්‍යාපනයෙ ගුණාත්මකභාවය තමයි ප්‍රශ්නය කියලා. මේකෙදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ හැපුණා. ‘විප්ලවවාදී ශිෂ්‍ය සංගමය’ හැපුණා. ‘කම්කරු අරගල මධ්‍යස්ථානය’ හැපුණා. මොකක් ගැනද අපි හැපුණේ? අපි කිව්වා අධ්‍යාපන පෞද්ගලිකකරණය තමයි ප්‍රශ්නය කියලා. අපි ඒ සටන ජයග්‍රහණය කළා විතරක් නෙවෙයි, අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහිව දැවැන්ත සමාජ මතයක් සකස් කරන්න සමත් වුණා.

පහුගිය අවුරුද්දෙ ගෝල්ෆේස් අරගලය වෙලාවෙ ‘වෙනසක තාරුණ්‍ය’ සංවිධානය ඒකට අඛන්ඩව දායක වෙන්න එතැනට ගිය අපි, ‘වෙනසක තාරුණ්‍ය’ හැටියට ඉදිරිපත් කළ ප්‍රධාන සටන් පාඨයක් එතන තිබුණා. පහුගිය කාලෙ මාලිගා දෙදරවපු, පාලකයන්ට ඇහෙන කොටත් මළ මුත්‍ර පිටවුණු ඒ සටන් පාඨය තමයි, ‘දියවන්නාවෙන් එළියට බලයක්’ කියන සටන් පාඨය. නියම වෙලාවට නියම දේශපාලන තේරුමෙන් සටන් පාඨ තේරුවා.

ඒ නිසා අදත් අපි කියනවා IMF මර උගුලට, අමෙරිකන්-ඉන්දියන් විජිතකරණයට එරෙහිව වැඩකරන ජනතා බලයක්!” ඒක තමයි මේ වෙලාවෙ සටන් පාඨය. ඒක තමයි කම්කරු පන්තියේ සන් පාඨය. ඒක තමයි වමේ සටන් පාඨය. ඒක තමයි අරගලයේ මීළඟ පියවර තීරණය කරන සටන් පාඨය.

පහුගිය කාලෙ ආණ්ඩුවලින්, යහපාලන කලිලිය වගේම පොදුජන පෙරමුණ විසින් විවිධ හේතු දාලා කම්කරු දිනය පැවැත්වීම නවත්වන්න හැදිවා. නමුත් අපි නැවැත්වුවාද? සමහරු 2018 ආණ්ඩුවෙ නිවේදන අහලා මැයි දිනේ කඩේ වැහුවා. අපි එහෙම හීලෑ වෙලා කම්කරු දිනය මගහැරියෙ නෑ, මැයි 1 වැනිදා අපි කම්කරු දිනය පැවැත්වුවා. 2019 පාස්කු ප්‍රහාරය පාවිච්චි කරලා කම්කරු දිනය නවත්වන්න බැලුවා, ඉතාම අසීරු තත්වයන් මැද අපි පිටකොටුවෙදි ජාත්‍යන්තර කම්කරු දිනය පැවැත්වුවා. ඊළඟට 2020 වසන්ගතය මැද අන්තර්ජාලය ඔස්සෙ කම්කරු දිනය පැවැත්වුවා. ඉන්පස්සෙ 2021 වසංගතය පාවිච්චි කරලා කම්කරු දිනය පවත්වන එක නවත්වන්න පොහොට්ටුව ආණ්ඩුව උත්සාහ කළා. නමුත් අපි ජාත්‍යන්තර කම්කරු දිනය එදත් පැවැත්වුවා. ඒ නිසා සහෝදරියනි, සහෝදරවරුනි අපි ජාත්‍යන්තර කම්කරු දිනය පවත්වන්නෙ නොම්මර ගණන් කරන්න නෙවෙයි. ඒ දිනය අපට වැදගත් වෙන්නෙ අපේ හදවතේ තිබෙන දේශපාලන බැඳීමක් අරමුණක් එක්ක, කම්කරු පන්තිය සම්බන්ධ අපේ තියෙන බැඳීමක් එක්ක, ඒ නිසා අසීරුම අවස්ථාවලදිත් අපි ඒ බැඳීම සටහන් කරමින් කම්කරු දිනය සමරනවා.

මේ ජාත්‍යන්තර කම්කරු දිනය වෙලාවෙ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඉටුකළ වගකීම ගැන පසුගිය වසර 10ක ඉතිහාසය ගැන හොඳට හොයලා බලන්න. මේ රටේ මොන දේශපාලන ව්‍යාපාරයද ජනතාවට දේශපාලන ජයග්‍රහණ ලබා දුන්නෙ? අපි මැදිහත්වූ අපි බරදීපු උර දීපු කට්ට කාපු හැම අරගලයක්ම ජයග්‍රහණය කරා ගෙන යන්න සමත් වෙලා තියෙනවා. සයිටම් අරගලය, කොතලාවල පනතට එරෙහි අරගලය, ගුුරු අරගලය, ඒ වගේම ගෝඨා පළවාහැරීමේ අරගලය, ජයග්‍රහණ කරා ගෙන යන්න තමන්ගෙ කොටස හරියටම ඉටු කරන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් උපරිම දායකත්වය ලබා දී තිබෙනවා. ඒ නිසා මේ වෙලාවෙ මේ රටේ පොදු ජනතාවට, මේ රටේ වැඩකරන ජනතාවට අපි කියනවා, ඔබ ඉදිරියේ දැල්වෙමින් තිබෙන ඒ ආලෝකය දෙස බලන්න. ඔබ ඉදිරියේ ගොඩ නගන විමුක්ති මාර්ගය දකින්න දෑස් දල්වන්න කියලා අපි කියනවා.

දැන් මොකක්ද මේ ‘ IMF මරඋගුල.? ජාත්‍යන්තර අත්දැකීම් අනුව, IMF කෙරුවාව ගැන කලින් කියැවුණා. දැන් ජූනි මාසෙදි මොකද වෙන්න යන්නෙ. බැංකුවල සල්ලි දාලා තියෙනවා නම්, පෞද්ගලික අංශයේ පඩියෙන් කැපිලා කැපිලා තියෙන ඊපීඑෆ් අරමුදල ගැන, ඒ මුදල්වලින් ජීවිතයෙ අනාගත බලාපොරොත්තු තියාගෙන ඉන්නවා නම්, මේ කතාව අහගන්න. මොකක්ද වෙන්න යන්නෙ? මේ රටේ විදේශ ණය කපාහැරීම ගැන තමයි මුලින්ම සාකච්ඡාව ආවෙ. නමුත් දැන් විදේශ ණය හිමියො කිව්වා, උඹලා අපේ ණය කපන්න එනවා නම් උඹලගෙ රටේ ණය කපලා එන්න කියලා. උඹලගෙ ණය කපන ගාන කියපල්ලා, ඊට පස්සෙ අපේ ණය කපන එක ගැන කතා කරමු කියලා කිව්වෙ. මේවා ජනතාවට කියන්නෙ නැතිව හැංගුවා. අපි කිව්ව කොන්දේසි මොනවද කියලා හෙලිකරන්න, හොර රහසෙන් ගහපු ගිවිසුමේ වගන්ති ප්‍රකාශයට පත් කරන්න කියලා. නමුත් දැන් අපි දන්නවා රනිල් වික්‍රමසිංහ කියපු විදියට විදේශ ණය තියෙනවා ඩොලර් බිලියන 43ක්, දේශීය ණය ඩොලර් බිලියන 2ක්. දැන් මේ ඩොලර් බිලියන 42 කපන්න රනිල් සූදානම් වෙන්නෙ. ඒ කියන්නෙ මේ රටේ ප්‍රධාන බැංකු 3න් මහජන බැංකුව, ලංකා බැංකුව, ඉතිරි කිරීමේ බැංකුව සහ රක්ෂන සංස්ථාව. මේව තමයි ආණ්ඩුවට ණය දීලා තියෙන්නෙ. මේ ණය ගන්න කටයුතු කළේ ආණ්ඩුවමයි, ඒ නිසා ලේසි දේ තමයි ආණ්ඩුවම මේ ණය කපා හරින්න වැඩ කරන එක. බැංකුවලින් ගත්තා කිව්වට මේ මුදල් කොහෙන් ආව ඒවද? මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ ගණනක් දුක් මහන්සියෙන් හම්බ කරලා තමන්ගෙ පඩියෙන් ඉතුරු කරපු අරමුදල් තමයි මේ කපන්න යන්නෙ. ජනතාව අමාරුවෙන් ඉතිරි කරපු මුදල් බැංකුවල තියෙන්නෙ. අන්න ඒවා තමයි මේ අය අවදානමට ලක් කරන්න හදන්නෙ. මේවා කැපුවට ප්‍රශ්නයක් නෑ කියලා කියන විද්වතුන් පිරිසකුත් ඉන්නවා. ජනතාව වලට තල්ලු කරන්න කලින් එතනට ගෙන යන්න බොරු කියපු විද්වතුන්, ජනතාව වලට වැටුණම, අමාරුවෙ වැටුණම, මේ පාලකයන් ගන්න පියවර මගින් වලට තල්ලු කළාම මොකුත් කියන්නෙ නෑ. මේ අර්ථසාධක අරමුදලේ 10%ක් ගත්තම මොකද වෙන්නෙ? 20%ක් 30%ක් ගත්තම මොකද වෙන්නෙ? අනිවාර්යයෙන්ම මේ බැංකුවල තියන ඉතිරි කිරීම් සම්බන්ධ බලපෑමක් ඇති වෙනවා. ඒක බැංකුවල පැවැත්මට බලපානවා. ස්ථාවර තැන්පතුවලට වගේම පොලී සම්බන්ධයෙන් බලපානවා. බැංකුවල ඉහළ නිලධාරින් ආණ්ඩුවට කියනවා මේක බැංකුවලට ප්‍රශ්නයක්, මේ පියවර ගන්න එපා කියලා. රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා ‘බැංකුකාරයො මගේ ඔලුවට පිස්තෝලෙ තියලා මේක කරන්න එපා කියලා තර්ජනය කරනවා, එහෙම නං බැංකුවලට ආර්ථිකය කරගෙන යන්න කියමු’ කියලා රනිල් කියන්නෙ.

දැන් මේ රටේ ජනතාව අනතුරකට කැඳවා ගෙන යද්දි මේ තත්වය වළක්වන්න ක්‍රමයක් තිබුණෙ නැද්ද? අපි කියනවා තිබුණා. ජනවාරි මුල ලෝකයේ විශිෂ්ටතම ආර්ථික විශේෂඥයන් 182ක් මේ රටේ පාලකයන්ට ලිව්වා, ඔවුන් ලිපියකින් ඉල්ලා සිටියා, IMF ණය කොන්දේසි පිළිගන්න එපා කියලා. මේ ණය විලෝපික ණය, සමහර ණයවලින් ඵලදායක යමක් වෙලා නෑ, ඒ සාකච්ඡාව අරගන්න, ඒ තර්කය පාවිච්චි කරලා ණය කපා හරින්න ඉල්ලීමක් කරන්න. නමුත් ඒක ගණනට ගත්තෙ නෑ. අපි දන්නවා, චීනය ණය දුන්නෙ රාජපක්ෂලා පුම්බන්න. අර නෙලුම් කුළුණ, කිසිම ආදායමක් නෑ. වැලි පුරවලා හදපු වරායෙන් වැඩක් නෑ, ගුවන්තොටුපළක් හැදුවා වැඩකට නෑ. හම්බන්තොට එක ක ඒවා අටවලා දැන් ණය ගෙවනවා. වරාය නගරයක් හැදුවා ඒකට ආයජෙකයො බිලියන ගණන් අරන් එනවා කිව්වා. මේවට ගත්ත ණය අපි දිනපතාම ගෙවන්න ඕන. මේ චීන ණය ගත්තෙ කොන්දේසිවලට. ඒ ණය ගන්න ඕන චීන බැංකුවෙන්, ඉදිකිරීම් කරන්නත් ඕන චීන සමාගමකින්. එහෙම කියලා ගත්ත ණය මුදලින් චීනටෙම කොන්ත්‍රාත් දුන්නා. ඒ කොන්ත්‍රාත් කරන්නෙත් චීන සමාගම් නෙවෙයි. බාගෙට බාගයක් ලාභ තියාගෙන ලංකාවෙ සමාගම්වලට සබ් දෙනවා. ඒ සමාගම් ලාභ තියාගෙන ඉදිකිරීම් කරන්නෙ. දුන්න ණයවල කතාව ඒකයි. අපි ගෙවන්නෙ රාජපක්ෂලාට කොමිස් තියාගෙන චීනයට වාසිදායක වූ ගනුදෙනුවක්. දැන් ඒවා එහෙමම තියෙද්දි කපා හරින්නෙ මහන්සි වෙලා හම්බ කරලා ඉතිරි කරපු බැංකුවල තැන්පත් කරපු මුදල්. රක්ෂණ සංස්ථාවෙ තමන්ගෙ ජීවිත වෙනුවෙන් තැන්පත් කරපු වාරික මුදල්. ඒවට ඒ අරමුදල් හිමි ජනතාව කොන්දේසි දැම්මෙ නෑ. නමුත් දැන් කපා හරින්න යන්නෙත් ඒ ජනතාවගෙ අරමුදල් පාවිච්චි කරලා දීපු ණයමයි.

ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් දැන් මේ රටේ වැඩ කරන ජනතාවගේ අරමුදල් අවදානමට ලක් කර තිබෙනවා. තමන්ගෙ ඉතිරි කිරීම් තිබෙනවා නම්, සේවක අරමුදල් අරගෙන ජීවිතේ ගැටගහගන්න බලාගෙන ඉන්න පෞද්ගලික අංශයේ සේවක සහෝදර සහෝදරියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ වෙන්න යන අවදානම් තත්වය ගැන කටයුතු කරන්න සංවිධානය වෙන්න.

මේ වනවිට පාලකයන් විසින් රජයේ ආයතන පෞද්ගලිකකරණය කරන්න සූදානම් වෙනවා. මේ රටේ රාජ්‍ය රෝහල් පද්ධතිය දුර්වල කරන්න පියවර දෙකකින් සැලැස්මක් ක්‍රිියාත්මක වෙනවා. එකක් තමයි ගෙවන වාට්ටු ඇති කරලා ක්‍රමයෙන් රෝහල්වල ප්‍රතිකාර ගන්න ගෙවීම් කරන පැත්තට අසරණ රෝගීන් හුරුකරවන එක. දැනටමත් රෝහල්වල නිර්දේශකරන ඖෂධ වර්ග, සමහර උපකරණ, වෛද්‍ය වාර්තා පිටතින් මුදල් ගෙවලා කරන්න වෙන තත්වයක් තියෙන්නෙ. රෝහල්වලට අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම නිසා වාට්ටුවල පහසුකම් නෑ, ඇඳන් ප්‍රමාණවත් නෑ. අලුතින් ඉදිකිරීම් මොකවත් කරන්න අරමුදල් දෙන්නෙ නෑ. තියෙන අරමුදලත් ගෙවන වාට්ටු හදන්න වියදම් කරනවා. බිම නිදාගන්න කොට එක ඇඳේ දෙන්නා ඉන්න කොට හිතෙනවා මීට හොඳයි ගෙවන වාට්ටුවට යනවා කියලා. අන්න ඒ විදියට තමයි මේ පෞද්ගලිකකරණ සැලසුම පටන් ගන්නෙ.

දෙවන පියවර ලෙස සෞඛ්‍ය රක්ෂණ හඳුන්වලා දීලා රජයේ සෞඛ්‍ය සේවය තවදුරටත් කඩාබිඳ දමන්න, දුර්වල කරන්න යන්නෙ. සෞඛ්‍ය රක්ෂණය ගැන කියලා මේක ඉදිරියට ගෙන යන කොට සමහරු සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය ගැන කැමැත්ත පළ කරන බවක් තිබෙනවා. නමුත් ඒ අය දන්නවද මේ සෞඛ්‍ය රක්ෂණවල ආවරණ කරන රෝග ප්‍රමාණයක් තියෙනවා. ඒවයින් පිට කිසිම සෞඛ්‍ය පහසුකමක් ආවරණය වෙන්නෙ නෑ. ඒවට වෙනම ගෙවන්න ඕන. දැන් රජයේ රෝහලවල ඕනම ලෙඩකට ප්‍රතිකාර ගන්න පුලුවන්. මේ මහජන සෞඛ්‍ය සේවයේ තියෙන්නෙත් අපේ බදු මුදලින් පවත්වා ගෙන යන රක්ෂණ ක්‍රමයක්. ඒ රක්ෂණය අත්හැරලා අපි පෞද්ගලික රෝහල්වල පිහිට පතන්නද යන්නෙ.

එහෙම යද්දි පෞද්ගලික රෝහල්වල ගාස්තු දන්නවද? මේ රටට අමෙරිකාවෙ වගේ සෞඛ්‍ය රක්ෂණයක් හොඳයි කියන අයට මේ ගැන කියන්න වෙනවා. රජරට පවතින වකුගඩු අකරණිය රෝගයට අවශ්‍ය රුධිර කාන්දුකරණය සඳහා එක දවසක එක වතාවකට පෞද්ගලික රෝහලකින් රුපියල් 80,000ක ගාස්තුවක් ගන්නවා. මේ රෝගය වැලඳුණ ගොවි අම්මලා, තාත්තලා ඉන්නවා සතියකට දෙපාරක් මේ ප්‍රතිකාරය අවශ්‍ය. ඒ අයට මේ ක්‍රමයෙන් ජීවිතය ආරක්ෂා කරගන්න පුලුවන්ද? ලක්ෂ ගණන් සල්ලි තියෙන අයට විතරක් සෞඛ්‍ය සේවය. එවැනි පෞද්ගලික රෝහලකින් මොළයේ රුධිර කැටියක් නිසා සැත්කමක් කරන්න වුණොත් ලක්ෂ 15ක්. වෙන දෙයක් තියා වැඩියි කියලා උන්ඩුකපුච්ඡය ඉවත් කරන්න වුණාම ඒ සැත්කමකටත් රුපියල් එක්ලක්ෂ හැටදාහක් පමණ වැය වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ පෞද්ගලික රෝහලකට ඇතුලු වෙන්නත් ගාස්තු අයකරනවා. ඒ නිසා මේ රට මිහිපිට කනත්තක් කරන පාරක මේ යන්න හදන්නෙ. ඒ නිසයි මේක මර උගුලක් කියලා අපි කියන්නෙ. මේකෙ පෙරලා ගන්න, වෙන්කර ගන්න කියලා දෙයක් නෑ. කොන්දේසි එපා, ණය විතරක් ගන්න කියලා එකක් නෑ. ණය ගන්නවා කියන්නෙම මේ කොන්දේසි ඉටුකරන්න කියන එකයි.

මේ කියන පාරෙන් පිට වෙන පාරක් තියෙනවද කියලා අහනවා. අපි කියනවා රාජ්‍ය ආයතන 52ක් විකුණන් මේ අය සූදානම් වෙන්නෙ. පාඩු ලබන ආයතන විතරක් නෙවෙයි, ලාභ ලබන ආයතනත් විකුණන්න යන්නෙ. පාඩු ලබන ආයතන විකුනද්දි මේ දක්වා පාඩුව රජය භාර ගන්න කියලා එකඟතාවක් තියෙනවා. ඒ කියන්නෙ ඛනිජ තෙල් සංස්ලාවෙ රුපියල් බිලියන 450ක පාඩුව රජය තියාගෙන ඒ ආයතනය විතරක් පෞද්ලික අංශයට පවරන්නෙ. ඒ පාඩුව නැවත වරක් ගෙවන්න වෙන්නෙ මේ රටේ ජනතාවට. තෙල් සංස්ථාවෙ සියලුම වානිජ ආයතන, ව්‍යාපාර තමයි දෙන්නෙ. දැන් ජූනි මාසෙ සමාගම් එනවා. අපි දන්නවා 60 දසකයේ සිරිමා බණ්ඩාරණායකගෙ ආණ්ඩුව මේ ආයතන රජයට පවරා ගන්න කොට පත්තරවල ප්‍රවෘත්ති ගියේ කැල්ටෙක්ස්, ෂෙල් වගේ සමාගම් මේ රටේ ජනතාවට තෙල් විකුණලා ජනතාවගේ ආදායම් හූරාගෙන කන නිසා අපි මේ සමාගම් විසින් පවත්වා ගෙන යන තෙල් වෙළඳාම රජයට ගන්නවා කියලා. දැන් ඒක අනික් පැත්තට හරවනවා.

මේ වනවිට කම්කරු නීතිය වෙනස් කරමින් කම්කරුවන්ගෙ අයිතිවාසිකම් කප්පාදු කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ ගැව වෘත්තිය සමිති ඇහුවම කියන්නෙ මොකක්ද? කම්කරු නීති ගොඩක් තියෙන නිසා එක නීතියක් හදන්නලු යන්නෙ. ෆයිල් ගොඩක් යනවලු, මේ නීති කිහිපයක් තියෙන එකලු ප්‍රශ්නෙ. නමුත් මේ එක නීතියක් බවට පත් කරද්දි මේ රටේ කම්කරුවන් මේ දක්වා බුක්ති විඳින අයිතිවාසිකම් කපලා ඒ අලුත් නීතිය එන්නෙ. ඒ අලුත් නීතිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි යටතේ අප ඉදිරියට එනවා. දැන් මේ රටේ වැඩකරන ජනතාව ලබන වැටුප හරි අඩකට වැඩියෙන් අවප්‍රමාණ වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ මූළික වැටුප රුපියල් 25000ක් නම්, ඒකෙ අද වටිනාකම රුපියල් 10,000ක් පමණ වෙනවා. වැටුප 50000ක් නම් අද ඒකෙ වටිනාකම 20000ක් විතරයි. ඔබ ලබන්නේ ලක්ෂයක වැටුපක් නම්, අද ඒකෙ විනාකම 40000ක් විතරයි. ් නිසා වැටුපෙ ඇත්ත අගය පහළ බැහැලා තියෙන්නෙ. ඒ නිසා මෙන්න මේ අඩු වටිනාකමක් ගෙවීම නිසා ජීවත් වෙන්න බැරි තත්වයක් ඇති වෙලා.

ඒ නිසා මේ රටේ පහළ පන්තියේ දුප්පත් ජනතාව වගේම වෘත්තිකයන්, මධ්‍යම පාන්තිකයන් කියන මේ හැම දෙනාගෙම ප්‍රශ්න විසඳන්න ඔවුන් එක වේදිකාවකට එක අරගලයට කැඳවන දවසක තමයි මේ ප්‍රශ්න විසඳන්න වෙන්නෙ. මේ සමාජය ඊළඟ පියවරට ඉදිරිය බලා ගෙන යන්න වෙන්නෙ එහෙමයි. ඒක කරන්න බෑ මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි යටතේ. මේ ආකාරයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පාරෙන් ඉවත් වෙන්න කියලා අපි බල කරද්දි සමහරු අහනවා මුල්‍ය අරමුදලෙන් පිට පාරක් තියෙනවද කියලා. අපි අහනවා අර එක්ස්පස් පර්ල් නැවේ සිදුවීමෙන් මේ රටට අහිමි කළ මුදල ඩොලර් බිලියන 10ක් මේ රටේ ජනතාවට අහිමි කළා. ඒක විතරක් මදිද මේ රටේ ආර්ථිකයෙ අර්බුදයෙන් මිදෙන්න.

ඒ සිදුවීම නිසා වන්දි ගන්න එක වළක්වන කුමන්ත්‍රණයේ ඉන්නෙ රජයේ ආයතන කීපයක්, දූෂිත වයාපාරිකයෙක් සහ දේශපාලන නායකත්වය. රාජපක්ෂලාගේ ආවරණයෙන් වැඩිලා මේ රටට පිලිලයක් වූ කෝටිපති ව්‍යාපාරිකයෙක් මේක පස්සෙ ඉන්නවා. අපි අහනවා මේ අපේ ඇස් ඉදිරියේ සිදුවන මේ වංචාව, හොරකම මදිද මේ ප්‍රශ්නය තේරුම් ගන්න? මේ අනතුර වෙලාවෙ අවශ්‍ය කරන පියවර එකක්වත් ගත්තෙ නෑ. අපි පක්ෂයක් හැටියට මේ ප්‍රශ්නයට මැදිහත් වුණා. අපේ පක්ෂයේ තරුණ සංවිධාන, අපේ රටේ පරිසර සංවිධාන, මේ ගැන ප්‍රශ්න කළාත සාමාන්‍යයෙන් රථවාහන අනතුරකදි පවා අපි පොටෝ එකක් ගහනවා, පැමිනිල්ලක් කරනවා, සාක්ෂි එකතු කරගන්නවා. මේ එකක්වත් එක්ස්ප්‍රස් පර්ල් විනාශය සම්බන්ධව කරලා නෑ. සාක්ෂි විධිමත්ව එකතු කරලා නෑ. කලට වෙලාවට අවශ්‍ය නීතිමය පියවර අරගෙන නෑ, නඩුවත්වත් දාලා නෑ. අපි ඒ වෙලාවෙ කිව්වා මේ නැව අත්අඩංගුවට ගන්න කියලා. මේ රටේ ජනතාවට හිමි විය යුතු වන්දි මුදල ගන්න බැරි තත්වයක් දැන් ඇවිත්. මේ රටේ වංචා විමර්ශනය කරන්න දූෂණ අල්ලන්න අලුත් පනත් ගේන්න හදනවා. තියෙන පනත්වලින් වැඩක් ගන්නවද? නීතිපති දෙපාර්තමේන්තුව මොකද කරන්නෙ? අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හැටියට ඉන්න කෙනාට මේ රටේ වීසා ගන්නවත් බැරි තත්වයකදි පාර්ලිමේන්තුවෙ ඉඳගන්න පුළුවන් වුණේ කොහොමද? ඒකයි මේ රටේ නීතියෙ තත්වය. වසන්ත මුදලිගේ හිරේ දාන්න කොච්චර ඉක්මනින් තදියමේ වැඩ කළාද? ඇප දුන්නට පස්සෙත් ආපහු ගන්න නීතිපති දත කෑවා. නීතිපති දෙපාර්තමේන්තුව නෙවෙයි, නීතිකති දෙපාර්තමේන්තුව. මේ නීතිය පාවිච්චි කරන්නෙ පාලක පන්තියේ අරමුණුවලට. ඒ නිසා උන්ට නීති අදාළ නෑ. ඒ නිසා ජනතාවට යුක්තිය බලාපොරොත්තු වෙන්න බෑ.

දැන් අපේ කම්කරු දින සටන් පාඨය ‘IMF මර උගුලට, අමෙරිකන්-ඉන්දියන් විජිතකරණයට එරෙහිව වැඩකරන ජනතා බලයක්!” මේ අමෙරිකන් ඉන්දියන් විජිතකරණය, මේ දක්වා ආව ගමනේ ගුණාත්මක වෙනසක් තිබෙනවා. ඒක අමතක කරලා අපට ඉදිරි දේශපාලනය ගැන හිතන්න බෑ. අමෙරිකන්-ඉන්දියන් බල දේශපාලනයෙ ඉදිරිපිම්මක් තබා තිබෙනවා. මේ රූකඩ පාලකයා ඒකට හවුල් වෙනවා. ඉන්දියන් අමෙරිකන් කියද්දි චීනය ගැන මොකද කියන්නෙ? අපි වේලාසනින්ම කිව්වා ‘අමෙරිකන් චීන බලපොරයට ලංකාවේ ජනතාව ගොදුරු නොකරනු!’ කියලා. මේ වනවිටත් ලෝක යුද්ධයක දිශාවට මේ කඳවුරු දෙක ගමන් කරමින් ඉන්නවා. ඒකෙ නිරපරාදෙ ගොදුරුක් බවට මේ රටේ ජනතාව පත්වන බවයි අපි කිව්වෙ. දැන් එහි ගුණාත්මක අලුත් තත්වයකට ඇවිත් තිබෙනවා. අමෙරිකන්-ඉන්දියන් න්‍යායපත්‍රය මේ රටේ ක්‍රියාත්මක වෙමින් ගුණාත්මක වශයෙන් නව තත්වයකට අපි මුහුණ දෙමින් ඉන්නවා. පහුගිය දවසක ජුලී චං අමෙරිකන් තානාපතිනිය කියනවා ත්‍රිකුණාමලයේ හමුදා කඳවුරක් හදන්න අදහසක් නෑ කියලා. මේ ත්‍රිකුණාමලය යුද කඳවුරක් සම්බන්ධ අමෙරිකාවේ අවධානය ගැන විවිධ මාධ්‍ය තුළ ප්‍රකාශ කරන කොට එයා ඒකට මාධ්‍ය නිවේදනයකින් උත්තර දීලා තිබුණා. මේ වනවිට අමෙරිකා එක්සත් ජනපදයට අවශ්‍ය ලෙස මේ රටේ ආරක්ෂක කටයුතු සංවිධානය කරමින් තිබෙනවා. පසුගිය පෙබරවාරි 14 අමෙරිකන් CIA ප්‍රධානියා විලියම් බාන්ස් කටුනායක ගුවන් තොටුපලේ VVIP පර්යන්තයෙන් ලංකාවට ඇවිත් අධිවේගි මාර්ගය වහලා කොළඹට ඇවිත් ජනාධිපති රනිල් එක්ක සාකච්ඡා කළා. ලංකාවෙ ආරක්ෂක අංශ ප්‍රධානින් හමුවුණා. අපි අමෙරිකන් තානාපතිගෙන් අහනවා, ඔයගොල්ලො පාරදෘෂ්‍යභාවය ගැන විනිවිදභාවය ගැන ගොඩක් කතා කරනවනෙ, එහෙම නම් ඒ කරපු සාකච්ඡාවල කරුනු වහාම එළිකරන්න. මාස දෙකකට වඩා ගිහින් තියෙනවා. අමෙරිකන් තානාපති කාර්යාලය මේ ගැන කටවත් ඇරලා නෑ. පත්තරවල වාර්තා වුණා, මේ රටේ රහස් ඔත්තු අංශ සමග අමෙරිකන් ඔත්තු සේවා තොරතුරු හුවමාරු කරගන්න. මේ රටේ ඔත්තු සේවා එක්ක අමෙරිකාවට තියෙන ගනුදෙනුව මොකක්ද? මේ වනවිට අමෙරිකාව, ඉන්දියාව, ජපානය, ඔස්ට්‍රේලියාව එකතු වෙලා ‘QUAD’ කියන සංවිධානයක් හදලා ඉන්දියන් සාගරයේ භූ දේශපාලනයට මැදිහත් වෙනවා. අමෙරිකාව දැන් මේ ආරක්ෂක ඔත්තු සේවා සම්බන්ධ කරගෙන ලංකාව ඒකෙ ඉත්තකේ කරගන්න හදන්නෙ. අපි අහනවා ඒ ආරක්ෂක එකඟතාව මොකක්ද? ඊළඟට ගුවන්තොටුපළ හරහා මේ රටට එන අයගේ ජීවදත්ත හුවමාරු කරගන්න එකඟ වෙලා තියෙනවා. අමෙරිකාව සූදානම් වෙන්නෙ මොකටද? මුහුදෙන් ලංකාවට එන විදුලි සංදේශ කේබල්එකෙන් හුවමාරුවන තොරතුරු අමෙරිකානු ඔත්තු සේවාවලට විවෘත කරන්න එකඟ වෙලා තියෙනවා. ඒ වගේම මේ දක්වා කරගන්න බැරි වුණ සෝෆා ගිවිසුමට එකඟ වෙලා තියෙනවා. අමෙරිකන් රූකඩය පාවිච්චි කරලා මේ රටට මැදිහත් වෙමින් තියෙන්නෙ. එක්සත් ජනපදය, ඒ ආකාරයට තමයි මේ රටේ පාලකයන් සමග එකතු වෙලා ලංකාවෙ බලය පිහිටුවන්න කටයුතු කරමින් ඉන්නෙ.

මේ වනවිට ලෝකය දෙවැනි ලෝක යුද්ධයට කලින් තිබුණ ආකාරයෙන් 1929 වගේ ආර්ථික අවපාතයකට 2023-24 කාලයේ ගමන් කරමින් තිබෙනවා. මේකෙ කරුණු සංඛ්‍යා ලේඛන ටිකක් කියන්න වෙනවා. 2021 ලෝකයේ ආර්ථික වර්ධන වේගය 6%යි. 2022 ඒක 3.2%යි. 2023 වනවට ඒක තවත් බහිනවා 2.7%දක්වා. ලෝක ආර්ථිකය ඇකිලෙද්දි අමෙරිකාවට මොකද වෙන්නෙ? 2021 එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනය 5.7%යි. 2022දි වැටුණා 2.4%යි. මේ අවුරුද්දෙ ඒක පල්ලම් බහිනවා 1.1%දක්වා. ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන විදියට අමෙරිකාව ආර්ථික අවපාතයකට ගමන් කරමින් තිබෙනවා. ජර්මනිය, යුරෝපයේ දැවැන්තම ආර්ථික බලවතා මේ අවුරුද්දෙ ආර්ථික වර්ධනය ඍන අගයක් -0.3 කරා ගමන් කරමින් තිබෙනවා. ඊළඟට ඉතාලිය -0.2ක් කරා ගමන් කරමින් තිබෙනවා. මේ නිසා ලෝකයේ ආර්ථික බලවතුන්ට වෙළඳපොළවල් ලෙස රටවල් අත්පත් කරගන්න වගේම ඒ බෙදා ගත්ත රටවල යුද්ධ ඇතිකර එයින් වාසි ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේක තමයි ලෝක පරිමාණයෙන් ඇතිවන අභියෝගය.

අනෙක් පැත්තෙන් ඉන්දියාව මේ තත්වය තුළ මොකක්ද කරන්නෙ? ඔබ දන්නවා ලංකාවෙ ආර්ථික අර්බුදය වෙලාවෙ ඉන්දියාව ඩොලර් බිලියන 3.9ක් ගෝඨාභයට විසි කළා. දැන් ඒ විසිකරපු ඩොලර් වෙනුවෙන් කෑල්ල ඉල්ලනවා. මේ රටේ ආර්ථිකයට බලපෑම් කරන්න සූදානම් වෙනවා. අංක එක තමයි, කොළඹ වරායෙ බටහිර ජැටිය අරගත්තත් සේවක විරෝධය නිසා ගන්න බැරි වුනු නැගෙනහිර ජැටිය නැවත ඉල්ලා සිටිනවා. ඊළඟට දෙවරනා කාරණය, මන්නාරමෙන් ඉන්දියාවට ලංකාව සම්බන්ධ කරන මාර්ගයක් ඉදි කරන සැලැස්මක ඉදිරියට එනවා. එ් වගේම තුන්වැනියට, ඉන්දියාවයි ලංකාවයි, විදුලි බල රැහැනකින් සම්බන්ධ කරන්න සූදානම් වෙනවා. බලශක්ති ක්ෂේත්‍රයේ තීරණ ගැනීමේ බලය අත්පත් කරගන්න සූදානම් වෙනවා. හර්ෂ ද සිල්වා කියනවා අපි ඉන්දියාවට විදුලිය විකුණන්න ඕන කියලා. වෙන්න යන්නෙ ලංකාවෙ බලශක්තිය පාලනය කිරීමේ තවත් ස්විච් එකක් ඉන්දියාවට ලැබෙන එකයි. හතරවෙනි කාරණය හැටියට ඉන්දියාව ලංකාව වෙළඳ ගනුදෙනුවලදි ඉන්දියන් රුපියල පාවිච්චි කරන්න සූදානම් වෙනවා. පස්වෙනි කාරණය ත්‍රිකුණාමලය ආර්ථික කලාපයක් ක්‍රියාත්මක කරන්න සැලැස්ම ඉදිරියට ගේනවා. එතකොට ඉන්දියන් හමුදාව එවන්න විතරයි ඉතිරි වෙන්නෙ. කලින් ඒක කළා. දැන් ඒකෙ අනික් පැත්තට ආර්තික වශයෙන් බලය පිහිටුවලා බලශක්ති ආධිපත්‍ය පිහිටුවලා ඉන්දියන් හමුදාව එන එක විතරයි ඉතුරු වෙන්නෙ.

මේක තමයි ඉදිරියට ක්‍රියාත්මක කරන්න හදන න්‍යාය පත්‍රය. ඒ නිසා මේ න්‍යාය පත්‍රය එක්ක තමයි මේරටේ වැඩකරන ජනතාවට ගනුදෙනු කරන්න වෙන්නෙ. මුල්‍ය අරමුදල හරහා අමෙරිකන් ඉන්දියන් න්‍යායපත්‍රයක් ඉදිරියට ගෙන යන්න සූදානම් වෙන්නෙ. ඒ නව තත්වය ගැන අපි විශේෂ අවධානය යොමු කරන්න වෙනවා.

අනෙක් පැත්තෙන් මැතිවරණ සියල්ල අකුලලා ජනාධිපතිවරණයකට යන්නයි වික්‍රමසිංහ සූදානම් වෙන්නෙ. මේ වනවිට මුල්‍ය අරමුදල හරහා මේ ආර්ථික අර්බුදය, රටේ වැඩ කරන ජනතාවට බර පටවන සැලැස්මක් ක්‍රියාත්ම වෙන්නෙ. තවතවත් ණය ගන්න ඒ ණය සමස්ත ජනතාව පිට පටවන්න මේ පාලකයන් කටයුතු කරමින් ඉන්නවා. මුල්‍ය අරමුදලන් ඩොලර් බිලියන 3ක ණයක් තමයි ගත්තෙ. ඒ ණය ගත්ත තත්වය වාසියට අරන් ඉදිරියෙදිත් තව ණය ගන්න සූදානම් වෙනවා. මේ උගුල අස්සට තමයි වික්‍රමසිංහ මේ රටේ ජනතාව ගෙන යන්නෙ. දැන් මේකට විසඳුම මොකක්ද? අපි කියනවා පළවෙනියටම අරගලය තමයි විසඳුම. පහගිය අවුරුද්දෙ මේ රටේ වෙනස්කම් කරන්න සූදානම් වූ ජනතාවගේ අරගලයම තමයි මේ එළඹෙන තත්වය වෙනස් කරන්න ඇති ක්‍රමය. ඒ වෙනුවෙන් ජනතාව සූදානම් කරන්න ඕන.

දැන් මේ දවස්වල එක එක හාල්පාරුවො අරගලය ගැන සමාලෝචනය කරනවා. එකෙක් කියනවා අමෙරිකාවලු මේ අරගලය පිටිපස්සෙ හිටියෙ. ඒක කියන්නෙ කවුද? අමෙරිකන් පුරවැසියෙක් මේ රටේ ජනාධිපති කරන්න වන්දිභට්ටකම් කරපු කෙනෙක්. ඒ විතරක්ද අමෙරිකන් පුරවැසියෙක් ඇමති මණ්ඩලටෙ ගේන්න උදව් කරපු මිනිහෙක්. මේවා කියද්දි අපි අහනවා, මේ රනිල් වික්‍රමසිංහ අගමැති කළේ කවුද? පොදුජන පෙරමුණ, පොහොට්ටුව. රනිල්ව ජනාධිපති කළේ කවුද? පොහොට්ටුව. 134ක් ඡන්දය දුන්නෙ පොහොට්ටුව. ඒ පොහොට්ටුව බලයට ගේන්න රැස්වීම් තිය තිය ගිරිය පුප්පං කෑගහපු උන් තමයි දැන් මේ අරගලයයි අමෙරිකන් තානාපති කාර්යාලයයි ඈඳන්න හදන්නෙ. හරියට අඳුනගමු මේ රටට එරෙහිව වැඩකරන්නෙ කවුද කියලා. මේ අයට ප්‍රතිපත්තියක් නෑ. වැඩපිළිවළෙක් නෑ. පොහොට්ටුවේ ඡන්ද 151ක් තියෙද්දි 134 බහුතරයක් ඡන්දය දුන්නා රනිල් ජනාධිපති කරන්න. අමෙරිකන් තානාපතිනියත් වටේ කරකැවෙන්න ඇති, තමන්ට ඕන එකා වෙනුවෙන් එක එක දේවල් කරන්න ඇති. හැබැයි අරගලය, ඒ මහජන නැගිටීම තමයි මේ රටේ ප්‍රභූ දේශපාලනය භීතියට පත් කරපු මේ දසකය තුළ සිදුවූ දැවැන්තම දේශපාලන සිදුවීම. ඒකට තමයි මුන් මේ බය වෙලා තියෙන්නේන ඒ නිසා අපි අරගලය ඉදිරියට ගත යුතුයි. කවුද මේ අරගලය ඉදිරියට ගත යුතු. මේ රටේ වැඩ කරන ජනතාව තමයි ඒ වෙනුවෙන් පෙරමුණ ගත යුතු. අරගලයේ මීළඟ පරිච්ඡේදයෙදි මේ රටේ වැඩ කරන ජනතාව මධ්‍යම පන්තිය සමග සන්ධානයක් ඇතිකරගන්න ඕන. හැබැයි මේ මැද පන්තිය අරගලයක් කරන්න ඉස්සරහට පනින්නෙ නෑ. තෙල් නැති වුණාම විදුලිය නැති වුණාම පැන්නා වගේ මධ්‍යම පන්තිය නැවත ඉදිරියට එන්නෙ නෑ. හැබැයි වැඩකරන ජනතාව මුහුණ දෙන අභියෝගය හමුවේ ඉදිරියෙදි අරගලයට අඩිය ඉස්සරහට තියන්න වෙන්නෙ වැඩකරන ජනතාවටමයි.

සමහරු අහනවා ඇයි 2022 අරගලය මෙහෙම වුණේ නැත්තෙ? අරගලය අතෙන්නට ගෙනියන්න තිබුණා නේද? මෙහෙම කරන්න තිබුණා නේද? අපි කියනවා ඔව්, එහෙම වෙලාවක් තිබුණා. 2022 අප්‍රේල් 28 වැනිදා වැඩවර්ජනයක් තිබුණා. මැයි 6 වැනිදා හර්තාලයක් තිබුණා. ඒ ලංකා ඉතිහාසයේ වැඩකරන ජනතාව කළ දැවැන්ත වැඩවර්ජනය සහ හර්තාලය ලෙස වාර්තා වුණාත මැයි 9 වැනිදා ප්‍රහාරයට පස්සෙ කැඳවන ලද වැඩවර්ජනය අවසන් වූ විදිය කවුරුත් දන්නවද? ඒ වැඩවර්ජනය පාවාදීමකින් අවසන් වුණා. අප්‍රේල් මාසෙ ආරම්භ වුණු අරගලයට ශක්තිය දෙන, නායකත්වය දෙන භූමිකාවකට වැඩකරන ජනතාව පැමිණෙමින් තිබුණා. මැයි 9න් පස්සෙ වැඩකරන ජනතාවගේ නැගිටීම පාවාදුන් අය මේකට වගකියන්න ඕන. ඊට පස්සෙ තමයි ශිෂ්‍ය ව්‍යාපාරයට තනිව මේක ඇදන් යන්න සිදුවුණේ. ගෝල්ෆේස් අරගලකරුවො මේක ඇදන් ගියේ. අවසානයෙදි මහජන නැගිටීමකින් ජූලි 9 වැනිදා ගනුදෙනුව බේරාගන්න සිදුවුනේ. වැඩකරන ජතාවට මේ අරගලයෙ භූමිකාවක් තිබුණා. ඒ භූමිකාව හරියට අත්පත් කරගෙන ඉදිරියට ගෙන ගියා නම් සමහරවට ජූලි 9 දක්වාවත් මේක කල් යන්නෙ නෑ. කල්යන්නෙ නෑ විතරක් නෙවෙයි, මේ රටේ වැඩකරන ජනතාවට ලංකා ඉතිහාසයේ දැවැන්ත පිම්මක් පනින්න අවස්ථාව තිබුණා. ඒක කරන්න බැරි වුණා. ඒ පිම්ම පනින්න අවස්ථාව නැති වුණා. ඒ නිසා වැඩකරන ජනතාව දැන් ඒක නිවැරදි කළ යුතුයි. මේ තීරණාත්මක අවස්ථාවෙ ඒ භූමිකාවට අවතීර්ණ විය යුතුයි.

දැන් මේ රටේ වෘත්තිය සමිති නායකයන්ගෙන් බහුතරයක්, සේරම නෙවෙයි, වැඩි පිරිසක් වැනෙනවා. පුදුම වැනිල්ලක් වැනෙනවා. ඒ වැනිල්ල නිසා තමයි මේ රටේ කම්කරු ව්‍යාපාරයට කිසිම ජයග්‍රහණයක් ඉදිරියට ගෙන යන්න බැරි. අපි දැක්කා ගුරු අරගලය වෙලාවෙ මහින්ද රාජපක්ෂ 3000ක් දුන්නට පස්සෙ සමහර වෘත්තිය සමිති නායකයො ඒක රෝල්කරලා සාක්කුවෙ දාගෙන හැරෙන්න සූදානම් වුණේ. නමුත් ඒ වෙලාවෙ අපි කියන්න ඕන, ඒකාබද්ධ ගුරු සේවා සංගමය වගේ පිරිසක් තමයි එහෙම හැරෙන්න බෑ, දිගටම ජයග්‍රහණය දක්වා සටන් කරන්න ඕන කියලා කිව්වෙ. ඒ නිසා අද සමහර වෘත්තිය සමිති නායකයො වැනෙනවා. අද සමහර වෘත්තිය සමිති නායකයන් ගෙවන්නෙ මධ්‍යම පාන්තික ජීවිතයක්. ඒ නිසා මධ්‍යම පන්තියේ මතවාදය තමයි ඒ අයගේ ජීවිතවල වැඩ කරන්නෙ. පෞද්ගලිකකරණය වුණත් ටිකක් කළාට කමක් නෑ නේද? එහෙමයි ඒ අය කියන්නෙ. මේ වැනිල්ල නිසා තමයි අද මේ රටේ වැඩකරන ජනතාව ඉදිරියට ගෙන යන්න නොහැකි දුබලකමක් තියෙන්නෙ. ඒ නිසා අපි මේ රටේ වැඩකරන ජනතාවට කියනවා මේ තත්වයට මුහුණ දෙන්න හරි කෙලින් හිටගන්න. අපි වෘත්තිය සමිති නායකයන්ටත් කියන්නෙ මේ වැනෙනසුලු තත්වයෙන් මිදෙන්න, මේ තත්වය තුළ කෙලින් හිටගන්න කියලා. මර්දනයට එරෙහිව සටන්කාමී ලෙස සූදානම් වෙන්න, මර්දනයට එරෙහි ඒකාබද්ධ අරගලයක් කැඳවිය යුතුව තිබෙනවා. ඒ වගේම ඒ අරගලය ඉදිරියට ගෙන යායුතුව තිබෙනවා.

අපි පැහැදිලිව කියනවා මේ අර්බුදයට විසඳුම තියෙන්නෙ මැතිවරණයක් හරහා නෙවෙයි. ඕන නම්, මැතිවරණ තියලා බලමු. නමුත් තව කොච්චර මැතිවරණ තිබ්බත් මේ අර්බුදයට විසඳුමක් ලැබෙන්නෙ නෑ. අපි කියනවා මේ අර්බුදයට විසඳුම් හොයන්න නම්, ද්විබල පාලනයක් අවශ්‍යයි. ඔව්, මේ රටේ ආණ්ඩුව, පාර්ලිමේන්තුව හදිසියේ වෙනස් කරන්න බැරි තත්වයක් තුළ අපි පැහැදිලිව කියනවා, ද්විබල අන්තර්වාර පාලනයක් හදන්න ඕන. මොකක්ද ඒ? ආණ්ඩුවත් තියෙනවා, පාර්ලිමේන්තුව තියෙනවා, හැබැයි, මහජන කවුන්සිල්, ජන අරගල සභා, මහජනතාව නියෝජනය කරන එළියෙ බලයක් තියෙනවා. මේ දෙක ඒකාබද්ධ කරපු බලයක් ගොඩනගන්න ඕන. අන්න ඒ බලය තමයි, මේ රටේ ජනතාව අර්බුදයෙන් ගොඩ එන්න තියෙන දේශපාලන විසඳුම. ඒ නිසා මේ විසඳුම වෙනුවෙන් වැඩ කරමු, සටන් වදිමු, මේ අර්බුදය විසඳන්න අපි කියනවා, හොඳට තේරුම් ගන්න. මේ දසකයේ ලෝකය කරකැවෙමින් තිබෙන දුෂ්කර කොන්දේසි යටතේ ලෝකයේ බලරටාවන් අනිවාර්ය ලෙස වෙනස් කරනවා. ඒ නිසා අපි කියනවා, ලෝකය, ලංකාව ගමන් කරමින් තිබෙන්නෙ සමාජ විප්ලවයක ප්‍රසව වේදනාව තමයි මේ එමින් තිබෙන්නෙ. ඒ නිසා ඒ වෙනුවෙන් සංවිධානය වෙමු, වැඩ කරමු. අරගලය ශක්තිමත් කරමු, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශක්තිමත් කරමු. අරගලය ශක්තිමත් කරමු.

විප්ලවයට ජයවේවා!
සමාජවාදයට ජය වේවා!

leave a reply