Breaking News

නාමල්, වීරවංශ සහ ලාල් කාන්ත අරගලය එකම විදිහට දැකීම

අරගලයට සහය දුන් විදේශ බලවේග කවුරුන්ද යන්න පිළිබඳව වැඩි විස්තර නුදුරේදීම හෙළිවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

“මං විතරක් නෙවෙයි මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න සමහර නායකයොත් අරගලය තුන්වෙනි පාර්ශවයකින් මෙහෙයවූවා කියන එක කියනවා. අපිත් එක්ක හිටපු අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් ඒ පිළිබඳව පොතකුත් ලියලා තියෙනවා.” යැයි ඔහු පවසනවා.

විමල් වීරවංශ විසින් ‘නවය සැඟවුණු කතාව’ කතාව නමින් අරගලය සම්බන්ධ පොතක් ලියා තිබේ. නාමල් කියන ආකාරයටම එම පොතේ මූලිකවම සඳහන් කර ඇති කරුණ වන්නේ ඇමරිකාව ඇතුළු විජාතික බලවේග විසින් ගෝල්ෆේස් අරගලය මෙහෙයවූ බවයි.

ඉන්පසු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ ලාල් කාන්ත ද විමල් වීරවංශ විසින් සඳහන් කළ මෙම කරුණ අනුමත කර තිබුණේ යූටියුබ් නාලිකාවක් සමඟ වැඩසටහනකට එක්වෙමිනි. එම ග්‍රන්ථයේ හෙළිදරව් කරන අමෙරිකානු තානාපතිනි ජූලියා චන්ග් අරගලය මෙහෙය වූවාය කියන කරුණ සත්‍යක් බවයි.

මෙම තුන්කට්ටුවම අරගලය මෙහෙයවූවේ තුන්වෙනි පාර්ශවයක් බව කියමින් සමාන අදහස් දරමින් සිටියි. අරගලය ගොල්ෆ්ස් භුමියට පමණක් සීමා නොවූ බව මේ තුන්දෙනාම අමතක කරන මූලික කරුණකි.

ගෝල්ෆේස් යනු රට පුරා විවිධ තැන්වල පැනනැගුණු අරගලවල එක් සංකේතයකි.

ගෝල්ෆේස් ඇතුළුව රට පුරා ජනතාවට පොදුවේ අරගලයට එන්නට බලපෑවේ ඒ මොහොතේ තිබූ ආර්ථික, සමාජීය, දේශපාලන පීඩනයයි. එයට ජූලි චන්ග් අවශ්‍ය නොවීය.

එසේම අරගලයට පැමිණි පිරිස අතර විවිධතත්වයක් තිබූ බවද පිළිගත යුත්තකි. එය තුළ එකිනෙකට වෙනස් අදහස් දරන , විවිධ පක්ෂවලට අයත්, අනන්‍යතා අර්බුද සහිත, ජීවත්වීම සඳහා අරගලයට පැමිණි, ඇත්ත පීඩනය දරාගත නොහැකිව විකල්පයක් හොයමින් පැමිණි වශයෙන් විවිධ ගැහැණු සහ පිරිමින්ගේ එකතුවක් තිබුණි. ඒ තුළ රාජ්‍ය නොවන සංවිධාන, විවිධ පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධානවලට අමතරව රාජ්‍ය ඔත්තු සේවා මෙන්ම ඇමරිකානු ඔත්තු සේවාද ක්‍රියාත්මක වන්නට ඇත.

නමුත් ඇමරිකාව විසින් සමස්ත අරගලය මෙහෙයවුවා කීම අමූලික බොරුවකි. එසේම එම තනි තනි කණ්ඩායම්වලින් අරගලයේ සමස්තය බැහැර කළ නොහැක.

අරගලය යනු මිනිස් නැගිටිමකි. විප්ලවයක් නොවේ. වියයුතු පරිද්දෙන් අසංවිධිත මිනිස් නැගිටීමක සීමාව සලකුණු කරමින් එය අවසන් විය. නමුත් එම මිනිස් නැගිටීම විසින් සමාජය වෙත ඉගැන්වූ පාඩම අහක දැමිය යුතු නොවේ.

නාමල් සහ විමල් වීරවංශලාගේ මේ හැසිරීම ඔවුන්ගේ දේශපාලන පටු ස්වභාවය නියෝජනය කරනවාක් මෙන් ලාල් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ පටු බව මේ ප්‍රකාශ හරහා පෙනේ.

අනිත් අතින් නොදියුණු සමාජයේදී තමන්ට විග්‍රහය කරගැනීමට අපහසු දේවල්වල්වලදී ඒවා යක්ෂයින් විසින් සිදුකරන හෝ දෙවියන් විසින් සිදුකරන දේ ලෙස සළකන ලදී. නාමල්ට විමල් වීරවංශට සහ ලාල්ට අරගලය යනු කැමති දෙයක් නොවේ. කරදරයකි. ඒ අනුව තමන්ට විග්‍රහ කරගත නොහැකි දෙයක් කවුරුන් හෝ නොපෙනෙන බලවේගයක් විසින් කරන ලද බව ඔවුන් සිතයි. ඒ බලවේගය ඔවුන්ට අනුව ඇමරිකාවයි. ඔවුන්ගේ මනස තිබෙන්නේ එම නොදියුණු යුගයේ බව පැහැදිලිය.

leave a reply