Breaking News

උතුරේ මිනිමරුවන් දකුණේ මිනීමරුවන් සමානය වෙනසකට ඇත්තේ මරණ සිදුවූ වර්ෂයේය

සමන්සිරි හේරත්

අද 2021 අප්‍රියෙල් මාසයේ විසි එක් වෙනිදා , ම්ලේච්ඡ අන්තවාදී මෙන්ම දේශපාලන උවමනාවන් වෙනුවෙන් අහිංසක ජීවිත තුන්සියකට ආසන්න ප්‍රමාණයක් බිලි අරගෙන අද දිනයට වසර දෙකක් සම්පූර්ණ වෙනවා. මේ අපුල අත්දැකීමට මැදිහත් වුණු අනුබල දුන්, මේ මිනිස් ජීවිත අහිමි වීමේ ඛේදවාචකය ලැජ්ජා විරහිතව තමන්ගේ දේශපාලන බල වුවමනාවන් වෙනුවෙන් පාවිච්චි කළ ඒ නරුම මිනිස් කැල අදටත් යහතින් එකට සහයෝගයෙන් මළවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලන ජීවතුන් අතර ඉන්න මිනිසුන්ව නොමඟ යවමින් සිටී.

මේ ගෙවුණු දෙවසර තුළ ඒ ම්ලේච්ඡ ප්‍රහාරයේ සැලසුම් කරුවන් හෙළිදරව් කරන්නට නිවැරදි ශක්තිමත් බලවේගයක් නිර්මාණය කරනවා වෙනුවට මල අහිංසක මිනිසුන්ගේ උරුමය තමන්ගේ අතේ තබාගෙන එය පාරට්ටු කරන කාදිනල් ඇතුළු පිරිස කළේ මෙහි සැබෑ වගඋත්තරකරුවන්ට ගැලවී යෑමට අවශ්‍ය කරන මග නිර්මාණය කිරීමයි. ඒ මල උන්ගේ ජීවිත මතින් දේශපාලන උවමනාවන් ඉෂ්ට කර ගැනීමට දේශපාලකයන්ට අතහිත ලබා දීමයි. සැබෑ ජනතා විරෝධය ව්‍යාජ විරෝධයන් මත ගොනු කර දියාරු කර හැරීමයි. අවසාන දින තුන තුළ එය වඩා හොඳින් කැපී පෙනිණි .

මෙම සැලසුම් සහගත ත්‍රස්ත ක්‍රියාවට එරෙහිව ඊට අනුබල දුන් දේශපාලන අන්තවාදී මතවාද නිර්මාණය කළ උන් ඇතුළු සියලු බලවේග, නීතිය හමුවට ගෙන ඒමට පැවති, පවතින ආණ්ඩුවට බලපෑම් කිරීමට කළ යුතුව තිබුණේ සමස්ත රටවැසියා ඒකරාශී කරගත් බලපෑමක් එල්ල කරන්නට සංවිධානගත වී වැඩ කිරීමයි. මේ දෙවසරක් ගෙවන අද දිනයේදී සිදුවෙමින් පවතින්නේ යුක්තිය වෙනුවට සාධාරණය වෙනුවට වැරදිකරුවන්ට දඬුවම් දීම වෙනුවට මෙලෙච්ඡ ප්‍රහාරය ජනතාවගේ මතකයෙන් ගිලිහී යන තෙක් ජනතාව මං මුලා කරන දේශපාලන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමයි.

2022 අප්‍රියෙල් මාසේ විසි එක් වෙනිදා මේ අකාලයේ මිය ගිය ජීවිතවලට සාධාරණය ඉෂ්ට කළා යැයි කියමින් එදින ඉටිපහනක් දල්වන්නට කෙනෙකු සිතන්නේ නම් මේ දිනපතා සංවිධානාත්මකව නිර්මාණය කරන දියාරු බලවේගයන් වලට යටත් නොවී නිවැරදි නායකත්වයක් තෝරාගෙන ම්ලේච්ඡ ප්‍රහාරයෙ වගඋත්තරකරුවන්ට දඩුවම් ලැබෙන තෙක් සටන් කිරීමට අවශ්‍ය කරන සංවිධාන ශක්තියක් ගොඩනඟා ගැනීමයි. එය කළ හැකි වන්නේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට තනිව විමුක්තිය අත්පත් කර දීමට තනි සටනක් නිර්මාණය කිරීමෙන් නොව. සමස්ත රටේම තැන් තැන් වල දේශපාලන උවමනාවන් වෙනුවෙන් තමන්ගේ සමීපතමයන් සහෝදරයන් දරුවන් අහිමි වී හඬන මව්වරු පියවරු එකට ඒකරාශී කරගෙන නගන සාමූහික හඬකිනි.

උතුරේදී දේශපාලන සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන මරා දැමූ මිනිසුන්ගේද, කිසිදු චෝදනාවක් එල්ල නොකර රඳවා සිටින ඒ දෙමළ ජනතාවගේ ද, කිසිදු හේතුවක් නොදක්වා අතුරුදහන් කළ සියලු මිනිසුන්ගේ ද, දකුණේ දී පැහැර ගෙන ගොස් මරා දැමූ මිනිසුන්ගේද, විවිධ දේශපාලන උවමනාවන් වෙනුවෙන් මහමග තැන තැන මරා දැමූ සියලු පුද්ගලයන්ගේ ද, යුක්තිය වෙනුවෙන් කඳුළු සලන සැම මේ අරගලය වෙනුවෙන් එක් විය යුතුය. මේවා සම කළ නොහැකි අසමානකම් තියෙන දේශපාලන අන්තවාදී ම්ලේච්ඡ මිනීමැරුම් වුවද, අතුරුදන් කිරීම් වුවද, පැහැරගැනීම් වුවද , සිරගත කිරීම් වුවද, රටේ මිනිසුන්ගේ නෙත්වල කඳුළු හොල්ලන දේශපාලන අපරාධය .

ජාතිය ආගම වෙනස් වුවද, ජිවත්වන ප්‍රදේශය වෙනස් වුවද, මරණයට පත් වූ ස්වභාවය වෙනස් වුවද , මේ හැම කෙනෙක්ගේම ගහලයා සමානය. මේ හැම කෙනෙක් වෙනුවෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් ඥාතීන්ගෙන් සහෝදරයින්ගෙන් හිතමිත්‍රාදීන්ගෙන් වැටෙන කඳුළු බිංදු සමානය. එපමණක්ද නොව මොවුන් යුක්තිය වෙනුවෙන් හඬ ගන්නෝය. යුක්තිය ඉල්ලා හඬා වැටෙන්නෝය. එහෙයින් අප කාටත් ඇත්තේ එකම අරමුණක් වෙනුවෙන් විවිධ තැන්වලින් පැන නගින අරගලයකි. එය ඒකරාශී කර නිර්මාණය කරන බලවේගය තුළ යුක්තිය ඉටු නොකර කිසිවෙකුට මග හැර යෑමට නොහැකි වේ .

 

leave a reply