මීතොටමුල්ල කුණු කන්ද අවට ජනතාවගේ හිසමතට කඩා වැටී වසර තුනක් ගතව තිබේ. 2017 වසරේ අදවැනි දිනක සිදුවූ එම අනතුරින් ජීවිත 32ක් බිලිගන්නා ලදී. මෙම ඛේදවාචකය එක් අතකින් කුණු කන්ද තිබෙන ස්ථානයෙන් ඉවත්කරන ලෙස ඉල්ලු ජනතාවගේ ඉල්ලීම් කනකට නොගත් ආණ්ඩු විසින් සිතා මතා සිදුකළ මිනීමැරුමකි. වසර තුනකට පෙර සිදුවූ මෙම ඛේදවාචකයෙන් මියගිය තුවාල ලැබූ පිරිස් සිහිකිරීමේ අවස්ථාවක් අද දින මීතොටමුල්ලේ පැවැත්වී තිබේ. එම අවස්ථාවට සහභාගී වූ මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව ජනතාව දියත්කළ සටනේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ නීතිඥ නුවන් බෝපගේ තැබූ සටහනක් පහත දැක්වේ. ඔහු සඳහන් කර ඇති පරිදි හමුදාව යොදා තමන්ට පහරදුන්,කොළඹ ලස්සන කරන අතර කුණු කන්දක් නිර්මාණයට තීන්දු ගත් තැනැත්තා දැන් රටේ ජනාධිපතිය,කොලඹ නගර සභාවේ නාගරික කොමසාරිස් ලෙස එවකට කොමිස් සෙල්ලම් මෙහෙය වු භද්‍රානි ජයවර්ධන ඒ ජනාධිපතිවරයා පත්කල සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යක්ෂකවරිය වේ, ජනාධිපති සමාව බලාපොරොත්තුවෙන්.
දුමින්ද සිල්වා නාමමාත්‍රිකව බන්ධනාගාරයේය.සමාගම්වල ලාභය වෙනුවෙන් පෙනී සිටි රනිල් වික්‍රමසිංහලා මරික්කාර්ලා නැවත පාර්ලිමේන්තුවට යන සටනේය, මියගිය මිනිසුන්ගේ ජීවත්වන්නන් සහ ඇදිවත පවා අහිමි වූ මිනිසුන් කොරෝනා ආධාර යදිමින් පොරකකා පෝලිම්වලය.
කොරෝනා විවේකයේ කුණු කන්දට යටවුවන් සැමරැවෙමි
වසර 8 ක් කුණු කන්දේ ඔක්කාරය දනවන ගන්ධයත් ඉන් ජනනය වන මීතේන් වායුවත් කිසිදු මුඛ ආවරණයක් නොමැතිව ආග්‍රාහනය කල පවුල් දස දහසක් අතර මාද ජීවත් වුනෙමි.වසර 7 ක් පුරාවට විටක මහ පාරේද,තව විටක රජයේ කාර්ය්‍යාල වලද, නැත්නම් පොලිස් හෝ උසාවි කුඩු තුලද දිනක මහා කුණු කන්දක් අපේ හිස මතට කඩා හැලෙනු ඇතැයි පුන පුනා කියමින් සටන් වැදුනෙමු.
2017 වසරේ අප්‍රෙල් 14 රාත්‍රියේ මතක මාගේ මරණය තෙක් මා මනසින් ඉවත් නොවන නිදන්ගත වෛරසයක් බදු විය.එදින මා මීතොටමුල්ල දහම්පුරට එනවිට ශශිදරන් මහා පස් ,කුණු ,කොන්ක්‍රිට් ගොඩක් උඩ හිදිමින් සිය දියණිය වර්නිකා සහ බිරිද ගේ විලාප හඩක් අඩි 40 ක් පොලොව යටින් ඇසෙන බව කියද්දී එවන් හඩන් නොඇසුනු මම අහක බලමින් හඩන්නට සැරසිනි.අහක බැලුවද එහායින් පෙනුනේ මින් පෙර හැමදාම මුන ගැසී සාකච්ඡා පැවැත්වු කීර්තිගේ නිවස වෙනදා තිබු තැනින් අඩි 40 ක් එසවී ඇති දර්ශනය වෙයි.අප සැලසුම් හදමින් සාකච්ඡා පවත්වන විට වේලෙන මුවට කෙල නැවත උනන්නට තේ කෝප්පය ගෙන ආ මානෙල් අක්කාව කුණු කන්දෙන් ගොඩ ගත්තද ඇයගේ කකුල් දෙක නොකැපුවහොත් මියයන අවදානමෙන් ඇය ජීවිතය සහ මරණය අතර ගැටුමකය.ඒ නිවසට කුණු කන්ද විසින් ගෙන ආ අමිහිරිතාව යටපත්කල සුන්දර දියණියක් වු කීර්තිගේ මිණිපිරියගේ අතක් පමණක් බැකො මැෂිමට හසුව ඉහලට පැමිණ ඇත.සිරැරේ උණුසුම නොයන ලද දේහයන් දෙකක් කොන්ක්‍රිට් බිත්තියකට හසුව තිබෙනු දැක ඔවුන් තවමත් ජීවත්විය ඇතැයි සිතමින් හමුදා සෙබලු පිරිසක් කැදවා පැමිණියද ඔවුන් මියගොස් ඇති බව තහවුරැ විය.එක් අයෙකුගේ අතක් කපා සිරැර ඇද දැමු පසු ගයනි අක්කාගේ පුතුන් දෙදෙනා එලෙස මියගොස් සිටි බව හදුනා ගැනිනි.අදද ඉදහිට ඇය හමු වු විට මුහුණ බලමින් කතා කිරීමට මට අපහසුය.කීර්තිගේ නිවසට යාබද නිවසේ ජීවත් වු සාපින් සහ සාහිඩ් දරැවන් දෙදෙනා බොහෝවිට ක්‍රිඩා කල මහ පාර එදින නොතිබිනි.එහෙත් ඔවුන්ගේ දෙමාපියන් පාර තිබුණායැයි උපකල්පනය කරන පස් ගොඩක් හාරමින් දරැවන් දෙදෙනා සොයයි.වෙනදා රාත්‍රියේ පෝස්ටර් ඇලවීමට යන පාරවල්වල බුරමින් අපට සිය හාම්පුතුන්ගේ ආරක්ෂකයන් බවට ආඩම්බරයෙන් හැගවු බල්ලන් කිහිප දෙනෙකුම තම හාම්පුතුන් වැළලුනු පස් ගොඩැලි උඩ පහුරැ ගාමින් සිටී.මිනිසුන් සිය සියලු ප්‍රශ්න වලට යාග හෝම සදහා ගිය දේවාලයේ භාරකාරිනිය දිව ගොස් බේරීමට නොහැකි වූ සිය මව ඇද සිටි චීත්ත රෙද්ද ඉව කරමින් එහා මෙහා ඇවිදියි.වෙනදා උසාවි වල සිතාසි බෙදන්නට මැතිවරණ කඩදාසි බෙදන්නට මිනිසුන් සොයා එන ග්‍රාම සේවකගේ දියණිය සිය පියා,මව සහ සහෝදරයා හමුවෙතැයි සිතමින් ඝෝෂාකාරි බැකෝ යන්ත්‍රය දෙස අපේක්ෂා සහගතව බලා සිටී.ඒ අතර කුණු කන්දට යටව මීතේන් වායුවට තැමිබුණු මිනිස් ශරීර කලුවර කදන් මෙන් කලු පැහැයෙන් ගොඩගෙන මෝචරිය වෙත ගෙන යන ලදි.අප කුණු කන්දට එරෙහිව අරගල කරන සෑම මොහොතකම අපට පහරදුන්, අත්තඩංගුවට පත්කල,බැරියර් දැමු ආරක්ෂක අංශ අදද කුණු කන්ද අවට එසේම රැකවල් ලා ගෙනය.ඒ එක පෙලට මල් මිනී ගොඩගන්නටය.
වෙනදාට මීවිත පොදකින් පසුව ගීත ගයන,කලහ කරන හඩවල් පිරි ගම එකම ලතෝනියකින් කාලකන්නි හැගීමක් ජනිත කරයි.බොහෝ මිනිසුන්ට සිය පැදියක් අහිමි කලා පමණක් නොව ජීවිත කාලයටම අලුත් අවුරැදු සැමරැමද අහිමි විය.කූණු කන්දට එරෙහි අරගලයට පිටුපෑ, සමච්චල් කල මිනිසුන් සිය අසරණ මුහුණු සගවා ගන්නේ තමන් මහා වරදක් කල බවට හැගෙවෙන අයුරිනි.ඒ අතර කුණු කන්දට එරෙහිව ගොඩනැගුනු ජනතා ව්‍යාපාරය මර්ධනය කිරීමට දේශපාලන බලාධිකාරයන් වෙත සහය දුන් ඔත්තු සැපයු ගම්වාසීන් මෙන්ම තමන්ගේ වැඩක් බලාගෙන හිදීම මිස අරගල කිරීමෙන් කිසිවක් දිනාගත නොහැකියැයි සිතු අයද විය.නමුත් මේ කටුක වේදනාබර මොහොතේ ඔවුන්ගේ දුක් වැළද ගන්නට සිටියේ ඔවුන්ගේ පන්තියේම අරගල කළ මිනිසුන් පමණක්ම විය.ජාතියක් ආගමක් නොසලකා ක්‍රමය නැමැති කුණු කන්ද සියල්ලන්ගේම ජීවිත මතට කඩා වැටී ඇති සැටි මා දුටූවෙමි.ඒ අසරණ මිනිසුන්ගේ දේහයක් දේහයක් පාසා ඒ කුණු ක්‍රමය බිදින්නට අප හෙලූ කුලුගෙඩි පහරවල් ප්‍රමාණය මදි වීම ගැන මා මගේ හෘදය සාක්ෂිය සමග නොනවතින ගැටුමකට හසුවිය.
වසර 3 කට පෙර කුණු කන්දට කිලෝමීටර් දෙක තුනක් ඈතින් ඇවිදින මන්තීරැ උද්‍යාන නෙලුම් කුලුණු හැදු ඊනියා නාගරික සංවර්ධනය මේ මිනිසුන්ගේ ජීවිත වලට දුහුවිල්ලෙන් තරම් වත් වටිනාකමක් ලබා දුන්නේ නැත.තවද පිළිකාවක් මෙන් මේ ක්‍රමයට අරන් ගත් දුෂණය විසින් කුණු ටොන් එකක් එකක් පාසා මිලියන ගණනක් කොමිස් හුවමාරැ කර ගන්නා ලදි.එකී සියලු සමාජය නොව ලාභය පදනම් කරගත් තීන්දු තීරණ සදහා ප්‍රධාන පාලක පක්ෂ දෙකම සිය රාජ්‍ය ව්‍යුහය එනම් විධායකය සහ ව්‍යවස්ථාදායකය මෙහෙයවන ලදි.සුන්දර වෙල් යායක කුණු දමන්නට අවසර දූන් සහ ඒ අවසරයට විරුද්ධව උද්ඝෝෂණ කලොත් අත්තඩංගුවට ගැනීමට නියෝග කල අධිකරණයද ඊට මර්ධන උපකරණයක් ලෙස යොදා ගන්නා ලදි. විධායකය,ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන කුලුණු තුන ජනතාවගේ ආරක්ෂයන්යැයි කියන මිත්‍යාව මැනවින් පසක් කරන්නට කඩා වැටුනු කුණු සමත් විය.
එදා මේ සිතුවිලි නැවත ආවර්ජනය කොට මා ලියන මේ මොහොතේ හමුදාව යොදා අපට පහරදුන්,කොළඹ ලස්සන කරන අතර කුණු කන්දක් නිර්මාණයට තීන්දු ගත් තැනැත්තා දැන් රටේ ජනාධිපතිය.කොලඹ නගර සභාවේ නාගරික කොමසාරිස් ලෙස එවකට කොමිස් සෙල්ලම් මෙහෙය වු භද්‍රානි ජයවර්ධන ඒ ජනාධිපතිවරයා පත්කල සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යක්ෂකවරිය වේ. ජනාධිපති සමාව බලාපොරොත්තුවෙන්
දුමින්ද සිල්වා නාමමාත්‍රිකව බන්ධනාගාරයේය.සමාගම්වල ලාභය වෙනුවෙන් පෙනී සිටි රනිල් වික්‍රමසිංහලා මරික්කාර්ලා නැවත පාර්ලිමේන්තුවට යන සටනේය.මියගිය මිනිසුන්ගේ ජීවත්වන්නන් සහ ඇදිවත පවා අහිමි වූ මිනිසුන් කොරෝනා ආධාර යදිමින් පොරකකා පෝලිම්වලය.
කුණු කන්දේ ඛේදවාචකයට වසර තුනක් පිරෙන දිනය වන විට සමස්ථ සමාජයම වසංගත බියකින් සලිත වී සිටී.එය විසින් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය වැනි ලාභය නොව මිනිස් ජිවිත ප්‍රමුඛ කරගත් සංකල්ප ගැන නැවත සංවාදයක් රට තුල පමණක් නොව ලෝකය පුරාම ගොඩනගා ඇත.පරිසරය සොබාදහම ගැන නැවත අනුරාගයක් නිර්මාණය වෙමින් ඇත. සාමුහික සමාජ ක්‍රමයක් ගොඩනැගීමකින් මිස මානව පැවත්ම සාක්ෂාත් කර ගත නොහැකි බව අපට පසක් කර ඇත.ලෝකය දේශසීමා වලට බෙදී වෙන් වී සිටීම වෙනුවට දේශසීමා උල්ලංඝනය කර ආදරය පතුරවන අයුරැ අපට කියුබාව වැනි රටවල් කියාදී ඇත.ධනය එක්රැස් කරන ආත්මාර්ථයට පරයමින් අනෙකාගේ ජීවත්වීම වෙනුවෙන් වග වන හැගීම් ජනිත කරවන්න අපට හුරැ කරමින් ඇත.
කුණු කන්දට විරුද්ධව පීඩිත ජනතාව අරගල කලා හා සමානවම කොරෝනා එනවිට රට වසා දමන්නට බලකරමින් ජනතාව අරගල කරන ලදි,චන්දය වෙනුවෙන් කොරෝනාව කල් තබන විට චන්දය කල් තබන්නට අරගල කලහ.උද්‍යාන ඇවිදින මන්තීරැ වෙනුවෙන් සෞඛ්‍යය අධ්‍යාපනය විකුණන විට එය රැක ගත්තේ ජනතාවය.මේ වන විටත් එකිනෙකාට උදවු කරගනිමින් මිනිසුන් ජීවත් කරවීමට වෙහෙස වන්නේ ජනතාවමය.ඉහත කී භාවිතාවන්, හැගීම් ,පුරැදු, ආදරය කැපවීම් සහිතව සමාජය මින් ඉදිරියට වෙනස් වන්නේනම් එය කල හැක්කේද සටන් කරන බලවේගවලට මිස පිම්බූ හිස් රැස්වළලු හිමි චරිත වලට නොවේ.