Breaking News

කොතලාවල පනතට එරෙහි වූ සිසු – කම්කරු නායකයින් මර්දනය කිරීම වහා නවතනු! සංවිධාන 43ක ඒකාබද්ධ නිවේදනයක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල නව පනත් කෙටුම්පතට විරෝධය පළ කළ ශිෂ්‍ය නායකයන්, දේශපාලන ක්‍රියාකාරින් හා වෘත්තිය සමිති නායකයන් මර්දනය කිරීම වහා නවතන ලෙස ආණ්ඩුවට බල කරමින් සංවිධාන ගණනාවක් සාමුහික ප්‍රකාශයක් නිකුත්කර ඇත.

‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය’ සමග සංවිධාන 43ක නියෝජිතයන් අත්සන් කර ඇති මෙම ප්‍රකාශයෙන් කොතලාවල පනත වහා හකුලා ගන්නා ලෙසත් පනතට විරෝධය දැක්වූවන් බොරු චෝදනා ගෙන එමින් සිරගත කිරීම හා කොරෝනා රෝගීන් බවට පත් කිරීමේ උත්සාහය නවතා දමන ලෙසත් බලකර ඇත.

මේ වනවිට කොතලාවල පනතට විරුද්ධ වීම නිසා ක්‍රියාකාරින් 5 දෙනකු සිරගත කර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත්කර ඇත. සිරගත කළ 5 දෙනාගෙන් තිදෙනකුට රැඳවුම් ස්ථානයේදී කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා විය. සෙසු ක්‍රියාකාරින්ටද අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ අයිතිවාසිකම් ලබා නොදෙන තත්වයක් ඇති බවද නීතිඥයන් හමුවීමේදී පවා බාධා කිරීම් හා අනවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බවට චෝදනා නැගී ඇත.
මේ තත්වය තුළ විරෝධතා දැක්වීම නිසා පලිගැනීම් නවතන ලෙස ආණ්ඩුවට බල කරමින් ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය’ ඇතුළු සංවිධාන නිකුත් කළ නිවේදනය පහත පළ වේ.

කොතලාවල පනතට එරෙහි වූ සිසු – කම්කරු නායකයින් මර්දනය කිරීම වහා නවතනු!
‘ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය’ නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට බරපතල සමාජ විරෝධයක් එල්ල වී තිබේ. කොතලාවල පනත යනු එක් ආයතනයක් සම්බන්ධයෙන් පමණක් බලපාන පනතක් නොව මෙරට සමස්ත අධ්‍යාපන ක්‍ෂේත්‍රයටම බලපාන පනත් කෙටුම්පතකි. මෙමගින් ආණ්ඩුව සිදු කිරීමට උත්සාහ කරනුයේ පෞද්ගලික විශ්වවිද්‍යාල හා පෞද්ගලික පාසල් ජාලයක් නිර්මාණය කිරීම හරහා අධ්‍යාපනය විකිණීමයි. එසේම හමුදා ප්‍රධානීන්ගෙන් යුත් පාලක මණ්ඩලයක් හරහා අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමයි.

කොතලාවල පනතට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් එල්ල වීම හේතුවෙන් එය පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීම අවස්ථා දෙකකදී කල් දැමීමට ආණ්ඩුවට සිදු විය. එම සමාජ විරෝධය නිර්මාණය කිරීමට ප්‍රමුඛ නායකත්වයක් ගනු ලැබුවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරයයි. එම අරගලය හේතුවෙන් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය හා සම්බන්ධ ශිෂ්‍ය නායකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති නායකයින් ඉලක්ක කරගනිමින් දැඩි මර්දනයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතියි.

පසුගිය ජූලි මස 08 වනදා පාර්ලිමේන්තු වට රවුම අසල පැවති විරෝධතාවේදී පොලීසිය විසින් වෘත්තීය සමිති නායකයින්, සිසු ක්‍රියාකාරීන් ඇතුළු 32 ක් පහර දී අත්අඩංගුවට ගනු ලැබිණි. පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දුන්න ද නිරෝධායනයට රැගෙන යන බව පවසා ඉන් 16 දෙනෙකු බලහත්කාරයෙන් මුලතිව් හමුදා කඳවුරක රඳවා තැබීය. එය සම්පුර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවකි. වසංගතය පාලනය කිරීම සඳහා පවතින නිරෝධායන නීතිය විරෝධතා මර්දනය කිරීමට පාවිච්චි කිරීමකි. මෙලෙසම නිරෝධායන නීති භාවිතා කරමින් ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ගැටලු විසඳන ලෙස බල කරමින් අරගල කළ ගුරුවරුන් වෙතත්, වෙනත් සාධාරණ මහජන විරෝධතාවල නිරත වන අයත් අත්තඩංගුවට ගැනීම්, නඩු පැවරීම් සිදුකරමින් තිබේ.

අගෝස්තු 03 දා පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවක් පැවැත්වූ අතර එයින් අනතුරුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරීන් හා කම්කරු නායකයින් පැහැර ගැනීම්, අත්අඩංගුවට ගැනීම්, සිරගත කිරීම් ආරම්භ විය. ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප, රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී හේෂාන් හර්ෂණ, කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත, සිසුජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි යන අය මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධව පවතින පහත කරුණු පිළිබඳ අවදානය යොමු කරන්නෙමු.

■ අත්අඩංගුවට ගත් පිරිස එළඹෙන 31 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. එනම් මාසයකට ආසන්න කාලයක් ඔවුන් සිරගත කිරීමට කටයුතු යොදා ඇත. ආණ්ඩුවට අවශ්‍ය වන්නේ මොවුන් දිගින් දිගටම බන්ධනාගාරගත කර තැබීමයි. එයට හොඳම සාධකය වන්නේ මෙම නඩුවේ චෝදනාවන්ය. ප්‍රධානම චෝදනාව වන්නේ පොදු දේපල හානි කිරීමයි. මෙහි පොදු දේපල හානි කිරීම යනු කාඩ්බෝඩ්වලින් සකස් කළ මිනී පෙට්ටියක ආකෘතියක් ගිනි තැබීම හේතුවෙන් මාර්ගයට හානි සිදු කිරීම ලෙස දක්වා තිබේ.
පසුගිය කාලයේ මිග් යානා ගණුදෙනු, සිල් රෙදි වංචා, සතොස මුදල් කොල්ලකෑම, සීනි බදු වංචාව, තම මව පියාගේ සොහොන් සඳහා ජනතා මුදල් වැය කිරීම ආදියට සම්බන්ධ සියලු දෙනා නිදොස් කොට නිදහස් කරද්දී, මනුෂ්‍ය ඝාතනවලට වැරදිකරුවන් බවට පත් වූවන්ට ජනාධිපති සමාව දී රාජ්‍ය ආයතනවල තනතුරු පිරිනමද්දී, කාඩ්බෝඩ් පෙටිටියක් පිළිස්සීම හේතුවෙන් ලක්ෂ ගණනක අලාභයක් සිදු වූ බව කියා ඇප දීම පවා ප්‍රතික්ෂේප කර ඇත. එමගින් පැහැදිලි වන්නේ ඇප ලබා නොදීම හා සිරගත කිරීම අරමුණ කරගනිමින්ම හිතාමතාම පොදු දේපල පනත පාවිච්චි කර ඇති බවයි.

■ මෙම අත්අඩංගුවට ගැනීම් සිදු වූයේ නිල නොවන කණ්ඩායම් හරහා පැහැර ගැනීම් ආකාරයටයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප වාහනයකින් පැමිණි පිරිසක් විසින් විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැහැර ගෙන ගොස් යම් ස්ථානයක රඳවා තබාගෙන සිට පසුව තලංගම පොලිසිය වෙත භාර දෙනු ලැබීය. අගෝ. 05 වනදා විරෝධතාවකට සහභාගි වී නැවත විශ්වවිද්‍යාලයට පැමිණෙමින් සිටි ආචාර්යවරුන් හා සිසුන් රැගත් බස් රථයක් නවතා තමන් පොලිස් නිලධාරීන් ලෙස හඳුන්වාදුන් පිරිසක් බස් රථයේ සිටි ආචාර්ය අමින්ද ලක්මාල් අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගනු ලැබීය. එම අවස්ථාවේ සජීවී දර්ශන ප්‍රවෘත්ති ප්‍රකාශයන්වල ද විකාශය කෙරිණ. රජරට විශ්වවිද්‍යාලයේ හේෂාන් හර්ෂණ අත්අඩංගුවට ගනු ලැබුවේද නිවසට පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් පිරිසකි.

■ අගෝස්තු 03 විරෝධතාවෙන් පසු එයට නායකත්වය දුන්, සක්‍රීයව කටයුතු කළ ශිෂ්‍ය නායකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති නායකයින්, සිවිල් දේශපාලන ක්‍රියාකාරීන් ඉලක්ක කර සැලසුම් සහගතව අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටී. ඒ සඳහා හොඳම සාක්ෂිය වන්නේ අත්අඩංගුවට ගැනීමට සිටින පිරිස සම්බන්ධව නිසි කරුණු දැක්වීමක් පොලිීසිය මෙතෙක් අධිකරණයට වාර්තා නොකර සිටීමයි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයකු වන උදාර සඳරුවන්ගේ නිවසට සහ ඔහු නවාතැන් ගත් ස්ථාන වෙත පැමිණි පොලිස් කණ්ඩායම් බලහත්කාරයෙන් පරීක්ෂා කිරීම් සිදුකර ඔහු භාර නොවන්නේ නම් නිවැසියන් අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර ඇත. උදාර සහෝදරයාගේ පියා රෝහල්ගතව සිටියදී ඔහුගේ සහායට රෝහලේ සිටි විවෘත විශ්වවිද්‍යාලයේ සහෝදරයෙකුට පොලීසියට පැමිණ කටඋත්තරයක් ලබා දෙන ලෙස දැනුම් දී තිබිණ. ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ සහෝදරයාගේ නිවසට, කාර්යාලයට හා සේවා ස්ථානයට අවස්ථා කිහිපයකදීම පොලිසිය කඩා වැදී ඇත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නියෝජනය කරමින් විරෝධතාවට සම්බන්ධ වූ ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතාට දුරකථනය හරහා තර්ජනය කිරීම් සිදුකර තිබිණ. ශිෂ්‍ය නායකයින්, කම්කරු නායකයින් ගණනාවක් පසුපස මේ වන විටත් ආණ්ඩුවට සම්බන්ධ නිල හා නිල නොවන කණ්ඩායම් ලුහු බඳිමින් සිටී.

■ තත්ත්වය එසේ තිබියදී බන්ධනාගාර ගතව සිටින අයවලුන් සඳහා නීති ආධාර ලබාගැනීම හා අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ද්‍රව්‍ය ලබාදීමේදී බාධාවන් සිදු කර ඇත්තේ ද නිරෝධායන රෙගුලාසිවලට මුවා වෙමිනි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින අ.වි.ශි.බ.ම කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප හා කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්තට මහාධිකරණ ඇප අයදුම්පතක් යොමු කිරීමට අදාළ ලේඛනවලට අත්සන් ලබාගැනීම සඳහා නීතිඥයන්ට ඔවුන් හමුවීමට අවස්ථාව ලබා දී නොමැත. වසංගතය ව්‍යාප්තවීම සම්බන්ධ ගැටලුවක් පවතී නම් එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය නීති කටයුතු හෝ සිදු කිරීමට සෞඛාරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඒ වෙනුවට වින්දිතයෙකුට තමන්ට නිදහසට කරුණු දැක්වීමට හෝ ඒ සඳහා නීති ආධාර ලැබීමට ඇති අයිතිය උල්ලංඝණය නොවිය යුතුය. බන්ධනාගාර වැනි ස්ථානයක වසංගත තත්ත්වය තුළ ඇප ගැනීම් වැනි කටයුතුවලදී විශේෂ අවදානයක් යොමු විය යුතුය. රටේ මූලික නීතියෙන් පවා තහවුරු කර ඇති මූලික අයිතීන් කඩවන ලෙස නිරෝධායන නීතියක් පැවතිය නොහැක. එසේම ඕනෑම සැකකරුවෙකුට තම මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ඇති අයිතිය ආරක්ෂා විය යුතුය.

පිටත පුද්ගලයන්ගෙන් වසංගතය බන්ධනාගාර තුළට පැමිණීම වළක්වන බව පෙන්වමින් නීතීඥයින් හෝ හමුවීමට අවස්ථාව නොදෙන ආණ්ඩුව මහජන උද්ඝෝෂණවලට සම්බන්ධවන ක්‍රියාකාරීන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන සිරගත කිරීමෙන් ඔවුන් වසංගතයට ගොදුරු කිරීමේ උත්සාහයට අපි තරයේ විරෝධය පළ කරන්නෙමු.

සිසුන්, වෘත්තීය සමිති ඇතුළු සටන් කරන බලවේග මත මුදාහරින මෙම මර්දනය අපි සියලු දෙනා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු. එසේම දැනට සිරගත කර සිටින සිසු – කම්කරු නායකයින් වහා නිදහස් කළ යුතු බවත් පැහැර ගැනීම්, සිරගත කිරීම්, අත්අඩංගුවට ගැනීම්, නඩු පැවරීම් වහා නවත්වාගත යුතු බවත් අවධාරණය කරමු. එසේම ජනතා විරෝධයට කන් දෙමින් කොතාලවල පනත වහා හකුළා ගත යුතු බවට බලකර සිටිමු.
මෙයට,

මහාචාර්ය ශ්‍යාම බන්නැහැක – සභාපති, විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය.
ජෝශප් ස්ටාර්ලිං – ප්‍රධාන ලේකම්, ලංකා ගුරු සංගමය.
චන්න දිසානායක – සභාපති, ලංකා බැංකු සේවක සංගමය.
රියන්සි විජේමාන්න – නියෝජ්‍ය සභාපති, ලංකා වතු සේවා සංගමය.
දුමින්ද නාගමුව – සංවිධායක ලේකම්, කම්කරු අරගල මධ්‍යස්ථානය.
ශ්‍රීනාත් පෙරේරා – ප්‍රධාන ලේකම්, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය.
කේ.එම්.පී. ලක්මාල් – සභාපති, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය.
ලීනස් ජයතිලක – සභාපති, එක්සත් කම්කරු සම්මේලනය.
චින්තක රාජපක්ෂ – මෙහෙයුම්කරු, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය.
ධර්මසිරි ලංකාපේලි – ප්‍රධාන ලේකම්, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය.
එච්.අයි. ලසන්ත – උප සංවිධායක, ස්වාධීන තටාක සේවක සංගමය.
මයුර සේනානායක – ලේකම්, ලංකා ප්‍රගති ගුරු සංගමය.
මහින්ද ජයසිංහ – ලේකම්, ලංකා ගුරු සේවා සංගමය.
යල්වෙල පඤ්ඤාසේකර හිමි – සභාපති, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය.
ඩබ්.එන්. මෙන්ඩිස් – සභාපති, රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය.
ඉෂාන්ත දැල්කඳුර ආරච්චි – සභාපති, පුහුණු විද්‍යා පීඨ හා උපාධිධාරී ගුරු සංගමය.
වෛද්‍ය විපුල වික්‍රමසිංහ – මහලේකම්, රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.
ජී.ඩී. දහනායක, සභාපති – ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය.
ජගත් ආනන්ද සිල්වා – ලේකම්, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය.
ජේ.බී. ගුරුසිංහ – සම ලේකම්, තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය.
ප්‍රියන්ත වික්‍රමසිංහ – ලේකම්, ජනබල පවුර.
ටැම්පිටියේ සුගතානන්ද හිමි – ප්‍රධාන ලේකම්, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය.
වසන්ත කරුණාතිලක – ලේකම්, ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය.
සංජීව බණ්ඩාර, ලේකම් – ඒකාබද්ධ ගුරු සේවා සංගමය.
විදර්ශන කන්නංගර – ලේකම්, ප්‍රැක්සිස් සාමූහිකය.
රිවිහාර පින්නදූව – සාමාජික, තරුණ නීතීඥ සංගමය.
වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු – සංවිධායක ලේකම්, සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය.
කැලුම් ප්‍රියන්ත, සභාපති – ඉංජිනේරු සේවා වෘත්තීයවේදීන්ගේ සංගමය.
තැන්නේ ඤාණානන්ද හිමි – කැඳවුම්කරු, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය.
සරත් කහගල්ල – ප්‍රධාන ලේකම්, ස්වාධීන ලංකා ගුරු සංගමය.
නන්දන ජයරත්න – ලේකම්, ඒකාබද්ධ දුම්රිය සේවක සංගමය.
චන්දිමාල් විජේරත්න – ප්‍රධාන ලේකම්, ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය.
වෛද්‍ය ගිෂාන්ත දසනායක – සභාපති, සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.
වයි.බී. ජයසේකර – ලේකම්, ඒකාබද්ධ ජල සම්පාදන සේවක සංගමය.
සුදන්ත මාධව – සම සංවිධායක, අලුත් පරපුර.
අනුර ගුණරත්න – කැඳවුම්කරු, සත්‍ය සහ යුක්තිය උදෙසා පුරවැසියෝ.
අජිත් ප්‍රසන්න – ලේකම්, ඒකාබද්ධ වරාය සේවක සංගමය.
මහේෂ් ගුණතිලක – සභාපති, ඒකාබද්ධ හෙද සේවක සංගමය.
උදේණි දිසානායක – සභාපති, සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරී සංගමය.
චමින්ද පෙරේරා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, ලංකා වෘත්තීය සමිති සම්මේලනය.
තරිඳු ප්‍රසාද් – කැඳවුම්කරු, අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව.
ඉමේෂ් සංගීත් – කැඳවුම්කරු, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව.
ගල්වැව සිරිධම්ම හිමි – කැඳවුම්කරු, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බලමණ්ඩලය.
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය වෙනුවෙන්,

උදාර සඳරුවන්,
වැඩබලන කැඳවුම්කරු,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.

2021.08.26

leave a reply