Breaking News

ජනතාවට විදුලි සැර වදින ‘විදුලි බිල’ 

විදුලි ගාස්තු නැවතත් වැඩි කරන තීරණයක් ගත් බව විදුලිබල ඇමති කියනවා. ආසන්න කාලයේ විදුලි බිල වැඩි වෙන්නේ දෙවන වතාවට. මීට පෙර 2022 අගෝස්තු මාසයේත් විදුලි ගාස්තු වැඩි කිරීමක් වුණා. ආසන්න මාස හයක් තුළ පොදුවේ විදුලි ගාස්තු තුන් ගුණයකින් පමණ වැඩි වුණා. ලංකාවේ අඩුවෙන්ම විදුලිය පාවිච්චි කරන්නන් වන මසකට ඒකක 30 ට අඩු විදුලි පාරිභෝගිකයන්ගේ බිල පස් ගුණයකින් වැඩි වුණා. මේ විදුලි ගාස්තු වැඩිවීම අපි කාටවත් දරාගන්න බෑ. බොහෝ දෙනා ඉදිරියේදී නිවසේ විදුලි බිල ගෙවා ගන්න බැරිව විදුලිය විසන්ධි වන අවදානමට වැටී සිටිනවා.

ඒ විතරක් නෙවෙයි, විදුලිය භාවිතා කර නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා සියල්ලේ මිල මේ නිසා ඉහළ යනවා. නිදසුනක් විදියට බේකරි නිෂ්පාදනවල මිලේ සිට ඡායා පිටපතක මිල දක්වා භාණ්ඩ හා සේවා ගණනාවක මිල ඉහළ යනවා. මේ නිසා ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ දැඩි උද්ධමනයෙන් පීඩාවට පත්ව සිටින ලංකාවේ ජනතාවගේ අර්බුදය තවත් උග්‍ර වෙනවා. ඒ වගේම විදුලිය භාවිතා කරන කර්මාන්ත බිඳ වැටීම නිසා ජාතික නිෂ්පාදනය සහ රැකියා අවදානමට ලක් වෙනවා. දැනටමත් ඇඟලුම් කර්මාන්ත ශාලා ගණනාවක් ලංකාව අතහැර බංගලාදේශය වගේ විදුලි ගාස්තු අඩු රටවලට යාමට ගත් තීරණය විසින් අර්බුදයක් ජනිත කර තිබෙනවා. මෙතරම් ප්‍රශ්නකාරී වන විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණයට ආණ්ඩුව එළඹුණේ ඇයි? ඒ සඳහා ආණ්ඩුව ඉදිරිපත් කරන හේතු සහ කියන නිදහසට කාරණා නිවැරදිද?

ලාභ – පාඩු කතා වස්තුව

ආණ්ඩුව කට ඇරියොත් කියන්නේ ‘විදුලි බල මණ්ඩලය පාඩුයි’ කියලා. විදුලිය කියන්නේ ලාභ ගැනීමට තිබෙන බිස්නස් එකක්ද, එහෙමත් නැතිනම් පොදු මහජන සේවාවක්ද? විදුලි බල මණ්ඩලය පාඩු ලැබීමට ජනතාව වගකිව යුතුද? ඒ වගේ ප්‍රශ්න ගැන වෙනම කතා කරන්න ඕන. නමුත් පසුගිය අගෝස්තුවේ විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පස්සේ විදුලි බල මණ්ඩලය දිගටම ලාභ ලැබුවා. 2022 සැප්තැම්බරයේ රුපියල් මිලියන 1,821ක්, ඔක්තෝබරයේ මිලියන 9,257ක්, නොවැම්බරයේ මිලියන 5,031ක් ලෙස ලාභ ලැබුවා. ඒ සියල්ල පැත්තකින් තියමු. මෙවර විදුලි ගාස්තු ඉහළ නැංවීමෙන් පසුව 2023 වර්ෂය සඳහා රුපියල් බිලියන 765ක ආදායමක් අපේක්ෂා කරන බව විදුලි බල මණ්ඩලය පවසනවා.

2022 වසරේ සමස්ත වියදම ලෙස සඳහන් වන්නේ රුපියල් බිලියන 471ක්. එයින් ක්ෂයවීම් බිලියන 33 සහ මූල්‍ය වියදම් බිලියන 38 ඉවත් කළොත් 2022 මෙහෙයුම් වියදම රුපියල් බිලියන 400කට සමාන වෙනවා. ලංකාවේ ආර්ථිකය 2023 වසරේදී 4%කින් පමණ හැකිලෙන නිසා විදුලි පරිභෝජනයත් අඩු වෙන්න නියමිතයි. ඒ වගේම යුක්‍රේන – රුසියා යුද්ධය නිසා ඉහළගිය ලෝක වෙළඳපළේ ගල් අඟුරු සහ ඉන්ධන මිල මේ වසරේදී 35%කින් පමණ අඩු වීමට නියමිතයි. ඒ නිසා 2023 විදුලි බල මණ්ඩලයේ මෙහෙයුම් වියදම බිලියන 400ට වඩා අඩුවෙයි. එහෙම තිබියදී රුපියල් බිලියන 765ක් උපයා ගැනීමේ අදහසින් ජනතාව මත බර පටවන්නේ ඇයි? ඒ අධික ලෙස ලාභ ලැබීමට. ඒ වගේම විදුලි බල මණ්ඩලය ලාභ ලබන බව පෙන්වා එය විකුණා දැමීමට.

අපට සුභසාධන දෙනවාද?

විදුලි බලය සඳහා ජනතාවට සුභසාධන පදනමින් ගාස්තු අය කරන නිසා විදුලි බල මණ්ඩලය පාඩු ලබන බව තවත් වැරදි මතයක්. ලංකාවේ විදුලි පාරිභෝගිකයෝ ලක්ෂ 78ක් ඉන්නවා. එයින් කර්මාන්ත සඳහා විදුලිය ගන්න අය හැරුණු විට ලක්ෂ 67ක් ගෘහස්ත විදුලි පාරිභෝගිකයෝ. ඒ අතරින් ලක්ෂ 14ක් මසකට භාවිතා කරන්නේ විදුලි ඒකක 30ට අඩුවෙන්. මසකට විදුලි ඒකක 31-60 අතර භාවිතා කරන ලක්ෂ 17ක් සහ 61-90 අතර භාවිතා කරන තවත් ලක්ෂ 17ක් ඉන්නවා. ඒ කියන්නේ සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් 76%ක් පමණ වන ලක්ෂ 48ක් නිවෙස් භාවිතා කරන්නේ මසකට විදුලි ඒකක 90ට අඩු ඉතාම සුළු විදුලි ප්‍රමාණයක්. ඒ හැම දෙනාටම ජල විදුලිය දෙන්න පුළුවන්. 2021 අවුරුද්දේ මසකට ඒකක 90ට අඩුවෙන් විදුලිය භාවිතා කරන නිවෙස් සඳහා වසරටම අවශ්‍ය වුණේ ගිගාවොට් පැය 2400ක් වගේ ප්‍රමාණයක්. නමුත් ඒ අවුරුද්දේ ජල විදුලිය ගිගාවොට් පැය 4400ක් නිෂ්පාදනය කළා. ජල විදුලිය නිෂ්පාදනයට යන්නේ එක ඒකකයකට රුපියල් 5කටත් අඩුවෙන්. ඒ කියන්නේ ලංකාවේ නිවෙස්වලින් 75%කටම ඒකකය රුපියල් 5 ගානේ විදුලිය දෙන්න පුළුවන්. මිල අධික ගල් අඟුරු සහ ඩීසල් විදුලිය අවශ්‍ය වෙන්නේ වැඩි විදුලි පරිභෝජනයක් කරන අයට. එහෙම නම් ඒ අයගෙන් ඒ වැඩි මිල අය කර ගන්න පුළුවන්. නමුත් කරන්නේ මොකක්ද? වැඩි විදුලියක් පරිභෝජනය කරන පොහොසතුන්ගේ බිලත් දුප්පතුන් මත පටවලා.

විදුලි ගාස්තු ඉහළ දැම්මෙ අඩුම මිල විදුලිය වන ජල විදුලිය භාවිතා කරන, අඩුම විදුලි පරිභෝජනයක් සහිත, දිළිඳුම ස්ථරයට වැඩිම ප්‍රතිශතයකින් විදුලි ගාස්තු වැඩි කරලා අධි පරිභෝජනයක් කරන පොහොසතුන්ගේ සුඛෝපභෝගී විදුලි පරිභෝජනයට අඩුම ප්‍රතිශතයක් වැඩි කරලා. මේක සාධාරණද? මේ මොන සුභසාධනයක්ද? සුභසාධනය දෙන්නේ පොහොසතුන්ට.

මොකද කරන්නේ?

ආණ්ඩුව කරන්නෙම බොරුව. උසස්පෙළ විභාගය ලියන සිසුන්ට පාඩම් කරන්න ඒ සති දෙක තුනට විදුලි කප්පාදුව නතර කරන්න බැරි බව කීව ආණ්ඩුව විදුලි බිල වැඩි කළාට පස්සේ අපූරුවට විදුලිය දෙනවා. අර්බුදයේ මුළු බර ජනතාව මත පටවනවා විතරක් නෙවෙයි, විදුලි බල මණ්ඩලය විකුණන ව්‍යාපෘතිය වෙනුවෙන් වන වන්දියත් ජනතාවටම ගෙවන්න වෙලා. මේ අසාධාරණයට එරෙහිව අපි මොකද කරන්නේ? මුළු රටම විදුලි බිල් නොගෙවා විරෝධය පාන ක්‍රියාමාර්ගයක් වැනි එකක් හැර වෙන විසඳුමක් නෑ. නමුත් ඒ සඳහා සංවිධානය වෙන්න ඕන. විදුලි බිලේ ප්‍රශ්නයත් පාර්ලිමේන්තුව ඇතුළේ විසඳෙන්නේ නෑ. ඒක විසඳන්න නම් පාර්ලිමේන්තුවෙන් පිට බලයක් හදන්න ඕන. ජනතාවගේ බලයක් හරහා, ‘විදුලි බිල් ගෙවීම ප්‍රතික්ෂේප කරන’ ව්‍යාපාරයක් හරහා මිස විසඳුමක් නෑ. ඒ වෙනුවෙන් අපි එක්වෙමු.
පුළුල් ජනතා ව්‍යාපාරයක් වටා සංවිධානය වෙමු.

???? විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව රට පුරා කෙරෙන විරෝධතාවලට ඔබත් එක්වන්න.
???? විරෝධය දැක්වීමට සීමා නොවී ජනතා බලයක්, මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමට දායකත්වය දෙන්න.
???? වැඩි කළ විදුලි බිල්, ගෙවන්න බෑ – ගෙවන්නේ නෑ !

leave a reply