Breaking News

අන්තර්ජාතික සාධාරණත්වයෙන් තොරව තෝරාගත් වගවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අභියෝගය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක්ගේ ඉදිරි සංචාරය, ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මැද පෙරදිග වර්ධනය වන ගැටුම්වලින් යටපත් විය හැකිය. සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු පසුගිය වසර දහසය තුළ සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා මාලාවකට ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධ වේ. ගැටුම් අතරතුර මානව හිමිකම් ආරක්ෂා කිරීමේ සහ යුද අපරාධවලට දඬුවම් ලැබෙන බවට වග බලාගැනීමේ වැදගත්කම මෙම යෝජනා කෙරෙහි අවධානය යොමුකරයි. මෙම සංචාරය ගෝලීය පද්ධතියේ පැහැදිලි ගැටළුවක් ද පෙන්නුම් කරයි: සමහර විට, බලවත් රටවල් තම දේශපාලන අවශ්‍යතාවලට ගැලපෙන විට අන්තර්ජාතික නීති නොසළකා හරියි. මෙය සාධාරණ, නීති රීති මත පදනම් වූ පද්ධතියක් පිළිබඳ අදහසට පටහැනිය.  මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ නොසලකා හැරිය යුතු නැත යන්න, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජිනීවා සම්මුතීන් සහ අනෙකුත් ගිවිසුම්වල දක්නට ලැබෙන ගෝලීය කැපවීමේ කොටසකි.

මහකොමසාරිස්වරයාගේ සංචාරය විවේචනයට ලක්වීමට ඉඩ තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, වඩා බලවත් රටවල් සමඟ එක්ව අන්තර්ජාතික නීති දැඩි ලෙස අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවට බලපෑම් කරන බව සමහරු විශ්වාස කරති. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි බලවත් රටවල් 2003 දී ඉරාකය ආක්‍රමණය කළේ භයානක ආයුධ ඇති බව පවසමිනි. ඊශ්‍රායලය ඉරානයේ සහ ගාසා තීරයේ හමුදා ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ තමන්ව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය බව පවසමිනි. මෙම අවස්ථාවලදී, ශක්තිමත් රටවල් එවැනි ක්‍රියාමාර්ගවලට සහාය දක්වන බව හෝ නොළකා හරින බව පෙනේ. විචාරකයන් පවසන්නේ, මෙය ද්විත්ව ප්‍රමිතීන් පෙන්නුම් කරන බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව වැනි දුර්වල රටවල් කෙරෙහි ඕනෑවට වඩා අවධානය යොමුකරන අතරම, ප්‍රතිවිපාක නොමැතිව බලවත් රටවලට නීති කඩකිරීමට ඉඩ ලබාදෙයි. මෙය ගෝලීය මානව හිමිකම් පද්ධතිය කෙරෙහි අසාධාරණ සහ අඩු විශ්වාසනීය බවක් ඇති කරන බව ඔවුහු විශ්වාස කරති.

මහකොමසාරිස්වරයාගේ සංචාරය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධ වන්නේ ඇයි සහ එය සැබවින්ම ප්‍රයෝජනවත්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකාව තුළ විවාදයක් ඇති කිරීමට ද ඉඩ ඇත. අන්තර්ජාතික නීති සහ ප්‍රමිතීන් රටට වෙනසක් ගෙනඒමට සැබවින්ම උපකාරී වේද, නැතහොත් ඒවා සැබෑ ගැටළු විසඳන්නේ නැතිව බාහිර ලෝකය විස්මයට පත්කිරීමට අදහස් කරන සංකේතාත්මක ක්‍රියාමාර්ග පමණක් දැයි සමහරු අසනු ඇත. සමහරු එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම රටේම ගැටළු විසඳීමට උපකාරී වන බව දකිනු ඇත. තවත් සමහරු එය ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමක් ලෙස සැළකිව හැකිය. වසර 30ක සිවිල් යුද්ධයේදී යුද අපරාධ සම්බන්ධයෙන් වගවීම පිළිබඳ ගැටළුව තවමත් ඉතා සංවේදී වන අතර, දැඩි එකඟ නොවීම් ඇති කරයි. ශ්‍රී ලංකාවට දුෂ්කර හා වේදනාකාරී අතීතයක් ඇති නමුත්, එම අතීතයට අවංකව මුහුණදීමෙන් ආදර්ශයක් තැබීමට ද අවස්ථාවක් තිබේ. මෙය බොහෝවිට ජාතික ආරක්ෂාව තහවුරු කරන බව පවසමින් තම වැරදි ආරක්ෂා කරන අනෙකුත් රටවලට වඩා වෙනස් වනු ඇත.

අන්තර්ජාතික බිඳවැටීම

නූතන අන්තර්ජාතික ක්‍රමය නිර්මාණය වූයේ දරුණු ලෝක යුද්ධ දෙකකට පසුවය. එයින් පෙන්නුම් කළේ, මහාපරිමාණ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට, අතීතයේ ගනු ලැබූ උත්සාහයන් අසාර්ථක වූ බවයි. රටවල් එකට එකතු වී සාමය පවත්වාගැනීම සඳහා නීති, සහයෝගීතාව සහ බෙදාගත් තීරණ ගැනීම මත පදනම් වූ නව පද්ධතියක් ගොඩනැගීමට එකඟ විය. දෙවැනි ලෝක යුද්ධයේ දරුණු අපරාධ සහ දුක් වේදනාවන්ගෙන් පසු, මානව හිමිකම් සහ මානුෂීය ගැටළු පිළිබඳ නව අන්තර්ජාතික නීති සකස් කරන ලදී. එවැනි ඛේදවාචක නැවත කිසිදා සිදුනොවන ලෙසට, එකල බලවත් රටවල් ලෝකය නව දිශාවකට ගෙනයෑමට පොරොන්දු විය.

නීති මත පදනම් වූ අන්තර්ජාතික පද්ධතියක් පිළිබඳ අදහස, බලය විසින් ලෝකය හරි වැරැද්ද තීරණය කළ කාලයකට ආපසු යෑම වැළැක්වීම සඳහා ඉදිරිපත් කෙරුණක් විය. මෙම ක්‍රමය එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජිනීවා සම්මුතීන් සහ අන්තර්ජාතික යුක්ති අධිකරණය හා අන්තර්ජාතික අපරාධ අධිකරණය වැනි අන්තර්ජාතික අධිකරණ පද්ධති හරහා ගොඩනගා ඇත. කෙසේවෙතත්, මෑත වසරවලදී, මෙම ක්‍රමය විශාල පීඩනයකට ලක්ව ඇත. එය තවදුරටත් ක්‍රියාත්මක විය යුතු ආකාරයට ක්‍රියාත්මක නොවේ. යථාර්ථයේ දී, අන්තර්ජාතික නීතිය සියලු රටවලට සමානව ක්‍රියාත්මක නොවේ. බලවත් ජාතීන් බොහෝ විට ප්‍රතිවිපාකවලට මුහුණ නොදී නීති කඩකරන අතර, දුර්වල රටවල් වගකීමට යටත් වේ. මෙම අසාධාරණ සැළකීම පද්ධතියේ විශ්වසනීයත්වයට හානි කර ඇති අතර අන්තර්ජාතික නීතිය සැබවින්ම සැමට අදහස් කර ඇත්දැයි ජනතාව ප්‍රශ්න කිරීමට හේතු වී තිබේ.

මේ වන විට යුක්රේනයේ, ගාසා තීරයේ ප්‍රධාන ගැටුම් සහ ඊශ්‍රායලය හා ඉරානය අතර වර්ධනය වන ආතතීන් පෙන්නුම් කරන්නේ, අන්තර්ජාතික නීතිය තවදුරටත් නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවයි. මෙම ගැටුම්වලට සම්බන්ධ බලවත් රටවල් අන්තර්ජාතික නීති නොසළකා හරිමින් සිටින අතර, ලෝකයේ සෙසු රටවල්, විශේෂයෙන් වඩා බලවත් ජාතීන්, බොහෝ විට නිහඬව සිටියි. දකුණු අප්‍රිකාව වැනි රටවල් කිහිපයක් පමණක් මෙම උල්ලංඝනයන් ගැන සකච්ඡා කර ඇත. බලවත් රටවල නිහඬතාව හෝ නිදහසට කරුණු කීම නිසා, අන්තර්ජාතික නීතිය දේශපාලන අවශ්‍යතාවලට ගැලපෙන විට පමණක් භාවිත කරන බව පෙනේ. මෙය ඇතැම් රටවලට ප්‍රතිලාභ ලබාදෙන්නේ නම්, එමගින් ගෝලීය නීති නොසළකා හැරිය හැකි බවට හැඟීමක් ඇති කරයි. අතීතයේ දී, ඉරාකයේ, ලිබියාවේ සහ සිරියාවේ මේ හා සමාන තත්වයන් අපි දුටුවෙමු. එහිදී කලක් සමෘද්ධිමත්ව සිටි ජාතීන් විනාශ වනු දැකගත හැකිවිය.

අනුකූලතාව පවත්වාගැනීම

ශ්‍රී ලංකාවේ තත්ත්වය විසින්, සාධාරණ සහ විශ්වාසදායක අන්තර්ජාතික නීති පද්ධතියක් තිබීම වැදගත් වන්නේ මන්දැයි පෙන්වයි. මේ දක්වා, ශ්‍රී ලංකාවට තමන්ගේම පද්ධති භාවිත කරමින් යුද්ධයෙන් ඇති වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු කිරීමට නොහැකි වී තිබේ. එහෙත් විශාලම පාඩම නම්, අන්තර්ජාතික නීති අසාධාරණ ලෙස ක්‍රියාත්මක නොකළ යුතු බවයි. ගෝලීය සංවිධානවලට, කුඩා හෝ දුර්වල රටවල් වගවීමෙන් යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය නම්, ඔවුන් ඊශ්‍රායලය, රුසියාව සහ එක්සත් ජනපදය වැනි බලවත් රටවල් ද එම එකම ප්‍රමිතීන්ට යටත් කළ යුතුය. ඔවුන් එසේ නොකරන්නේ නම්, සැමට සමාන සහ සාධාරණ යුක්තිය ප්‍රවර්ධනය කිරීම වෙනුවට, සමහර රටවලට බලපෑම් කිරීමට සහ අනෙක් අය ආරක්ෂා කිරීමට පද්ධතිය භාවිත කරන බවක් පෙනෙනු ඇත.

ගෝලීය කටයුතුවලදී ද්විත්ව ප්‍රමිතීන් සුලබ වුවද, අන්තර්ජාතික නීතියට සහාය දැක්වීම තවමත් ශ්‍රී ලංකාවට යහපතකි. අන්තර්ජාතික නීතිය පරිපූර්ණ නොවුණත්, එය කුඩා රටවලට වඩා බලවත් ජාතීන්ගේ අසාධාරණ ක්‍රියාවන්ට එරෙහිව යම් ආරක්ෂාවක් ලබාදෙයි. ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දුන් පොරොන්දු ඉටුකළ යුතු අතර, එම කැපවීම් ඉටුකිරීමට උපරිම උත්සාහයක් දැරිය යුතුය. එක්සත් ජාතීන්ගේ රැස්වීම් වැනි අන්තර්ජාතික රැස්වීම්වලදී, ශ්‍රී ලංකාව මෙම පොරොන්දු භාවිත කර අන්තර්ජාතික නීතිවලට ගරු කරන බව පෙන්විය යුතු අතර, එය රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමට සහ එහි කීර්තිනාමය ශක්තිමත් කිරීමට උපකාරී වේ. ඒ සමඟම, ශ්‍රී ලංකාව සමහර විට අන්තර්ජාතික නීතිය ක්‍රියාත්මක කරන අසාධාරණ ආකාරය ගැන කතාකළ යුතුය. මානව හිමිකම් සහ යුක්තිය බැරෑරුම් ලෙස සළකන බව පෙන්වීමෙන්, ශ්‍රී ලංකාවට සියලු රටවලට සාධාරණ සැළකීමක් ලබාදීමට සහ ගෝලීය ප්‍රජාවේ වගකිවයුතු සහ විශ්වාසදායක සාමාජිකයකු බව පෙන්වීමට හැකියාව ලැබෙනු ඇත.

අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව අතීතය සමඟ කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ සාමය හා එකමුතුකම සඳහා ඉතා වැදගත් වේ. සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ප්‍රධාන අදහස්, සත්‍යය, වගවීම, වන්දි ගෙවීම සහ බිඳුණු පද්ධති නිවැරදි කිරීම ගැටුමකින් සුවය ලබන ඕනෑම රටකට අවශ්‍ය වේ. මෙම අදහස් සෑම තැනකම සහ සෑම විටම වැදගත් වේ. ශ්‍රී ලංකාව සාමකාමී, ශක්තිමත් සහ සාර්ථක රටක් වීමට අවශ්‍ය නම්, අනෙකුත් රටවල් කුමක් කළත් නොකළත්, එය මෙම ක්‍රියාවලිය හරහා ඉදිරියට යා යුතුය. ශ්‍රී ලංකාවට තමන්ගේම ඉතිහාසයට අවංකව මුහුණදීමෙන් පමණක්, එහි ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්ගේ මිශ්‍රණය දුර්වලතාවක් වෙනුවට ශක්තියක් බවට පත්වන යහපත් අනාගතයක් ගොඩනගා ගත හැකිය.

ජෙහාන් පෙරේරා

leave a reply