Breaking News

Xpress Pearl නැවෙන් තෙල් කාන්දු වී ඇතිබව තහවුරුයි – කැස්බෑවුන් 417 ඩොල්ෆින් 48ක් සහ තල්මසුන් 08 ක් මියගිහින්

ජල සාම්පලවල පෙට්‍රෝලියම් සංඝටක අඩංගුව තිබූ බව අනාවරණය වී ඇතැයි ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණයට දැනුම් දී තිබේ.

නෞකාවේ ගින්න හේතුවෙන් මුහුදු ජලයට විස රසායනික ද්‍රව්‍ය හා ඉන්ධන මුසු වී ඇති බවට ද රජයේ රස පරීක්ෂකවරයා විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර ඇත.

Xpress Pearl නෞකාවේ ගිනි ගැනීමේ සිද්ධියෙන් කැස්බෑවුන් 417 ඩොල්ෆින් 48ක් සහ තල්මසුන් 08 දෙනෙකුගේ මළ සිරුරු වෙරළට ගොඩ ගසා තිබු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම හමුවේ කළ කරුනු දැක්වීමේදී අනාවරණය විය. වනජීවී දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙනු ලැබූ දත්ත වාර්තාවන්ට අනුව මෙම සතුන්ගේ මරණ පිළිබඳව කරුණු අනාවරණය වී ඇත. එක් එක් වෙරළ තීරවලට ගොඩ ගසා තිබේ සතුන්ගේ මෘත ශරීර පිළිබඳව ඒවාට අදාල අධිකරණවලට කරුණු වාර්තා කර ඇති අතර, එම සතුන්ගේ මෘත ශරීර රජයේ රස පරීක්ෂකවරයා සහ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත අධිකරණ නියෝග මත යොමුකර තිබිණි.

නැව ගිනිගැනීම නිසා ලංකාවේ මුහුදු තීරණයන්ට අමතරව තමිල්නාඩුවේ රාමේෂ්වරම් ආශ්‍රිත මුහුදු තිරයන්ද දූෂණයට ලක්ව තිබූ බව වාර්තා විය. මියගිය කැස්බෑවන් සහ ඩොල්ෆින් මත්ස්‍යයන් ඇතුළු දුර්ලභ සමුද්‍රීය ජීවීන් අති විශාල ප්‍රමාණයක් එම මුහුදු තීරයන්ට ද ගොඩ ගසා තිබේ. මසුන්, ඉස්සන් සහ දැල්ලන් ඇතුළු සාම්පල පරීක්ෂණ කටයුතු සදහා රාමේෂ්වරම් අසල පිහිටා ඇති මණ්ඩපම් හි මධ්‍යම මත්ස්‍ය සමීක්ෂණ ආයතනය වෙත යවා තිබුණි.

leave a reply