බටලන්ද වධකාගාරය පවත්වාගෙන යෑමේ චූදිතයා ලෙස රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල වීම සිදු වූයේ අද ඊයේක නොව එම වධකාගාරය පවත්වාගෙන ගිය කාලවකවානුව තුළද රනිල්ට මේ චෝදනාව එල්ල කරනු ලැබුවා . 2025 මාර්තු මාසේ 14 වන දා අනුර කුමාර දිසානායකගේ මාලිමා ආණ්ඩුව මෙතෙක් පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබූ බටලන්ද කොමිසන් වාර්තාව සභාගත කරනු ලැබුවා .
අලුත් වටයකින් රනිල්ට එල්ල වෙමින් තිබෙන බටලන්ද වධකාගාරය පවත්වාගෙන යෑමේ චෝදනාවෙන් නිදහස් වීම සඳහා රනිල් වික්‍රමසිංහ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් තමන් බටලන්ද සංකීර්ණයේ නිවාස වෙන්කර ගත්තාට එහි සිදුවූ සාපරාදී ක්‍රියාවලට සම්බන්ධයක් නොමැති බවට කළ ප්‍රකාශය හරහා යළිත් සනාථ වුණේ රනිල් එහි යම් සම්බන්ධතාවයක් තිබුණු බවයි .
බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් මතුව ඇති අලුත් කතාබහ තුළ රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයකු සහ ලේකම්වරයකු ලෙස ක්‍රියා කරමින් සිටි සුදත් චන්ද්‍රසේකරගේ ඉල්ලා අස්වීමේ ලිපිය යළි කියවා බලන්නට බලකරමින් තිබේ . මක්නිසාදයත් රනිල් සහ බටලන්ද අතර ඇති සම්බන්ධතාවයේ ඉඟිය සුදත් චන්ද්‍රසේකරගේ ඉල්ලා අස්වීමේ ලිපිය තුළද සටහන්ව තිබීමයි .
පහත සඳහන් එම සම්පූර්ණ ලිපියයි
19/03/2018
එක්සත් ජාතික පක්ෂ නායක
අග්‍රාමාත්‍ය,
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා.
සේවයෙන් ඉල්ලා අස්වීම
ගරු අගමැති / නායක තුමනි,
රටේ සහ පක්ෂයේ අනාගතය ඉතාම ඛේදනීය ස්ථානයකට පැමිණ ඇත. ඒ සදහා ප්‍රධාන වශයෙන්ම අවසානයේ වගකිව යුතු පුද්ගලයා ඔබ තුමා බැවින් මෙම ලිපිය ලිවීමට අදහස් කළෙමි.
ඔබගේ චරිතය, ක්‍රියාකාරකම් සහ උපක්‍රම ගැන අන් සියල්ලන්ටම වඩා මනා අවබෝධයක්, දැනීමක් ඇත්තේ මට පමණි.
බලය ලැබූ විට සියල්ල අමතක කරන ඔබ, ඔබටම උරුම කරගත් වෙනම මඃකල්පිත ලෝකයකට පිවිසීම ඔබගේ ප්‍රධානම ලක්ෂණයකි. සියළු වැරදි වලට මූලික ආරම්භය එයයි. යමක් ඇගයීම ස්තුති කිරීමක් කලාතුරකින් හෝ දක්නට ලැබෙන්නේ ඔබ අසරණ වූ විටෙක පමණකි. කෙළෙහි ගුණ දැක්වීම යනු කුමක්දැයි ඔබ නොදන්නා බව හෝ දැන, එවැන්නක් නොදැන සිටිම ඔබගේ කපටි ක්‍රියාවකි. නායකයෙකු තුල තිබිය යුතු එම මූලික ලක්ෂණය ඔබෙන් දිස් වූවා නම්, මා සැමදා, දිවා, රාත්‍රි ප්‍රාර්ථනා කල ආකාරයට ඔබව ජනාධිපති කරවීමේ සිහිනය සැබෑ කරගත හැකිව තිබුනේ මීට බොහෝ කලකට පෙරය. නමුත් අප දැන් ප්‍රමාද වූවා වැඩි යැයි මට සිතේ. එය සදාකල්ම ඉටු නොවන සිහිනයක් බවට ඔබ විසින්ම තව දුරටත් පත් කර ගනිමින් සිටී.
මගේ, ඔබේ පමණක් නොව සමස්ත පාක්ෂිකයාගේ ඒ බලාපොරොත්තු සියල්ලම සම්පුර්ණයෙන් වතුරේ ගලා ගොස් අවසන්ය. ඔබ ඔබගේ ප්‍රථිරෑපය සම්පුර්ණයෙන්ම විනාශ කර ගත්තා, පමනක් නොව, ඔබත්, පක්ෂයත් දෙකම විනාශ කරමින් සිටී. මට එදා ඔබ තුමා ගැන තිබුනේ විශේෂ ගෝවරනීය ආදරයකි. නමුත් මේ මොහොතේ ඔබගේ හැසිරීම සහ තීරණ ගැනීමේ නොහැකියාව තුලින් රටත්, පක්ෂයත් ඔබ විසින් විනාශ කරමින් සිටී.
පොහොට්ටුව මෙවර මැතිවරණයේ සැලකිය යුතු ජයග්‍රහනයක් ලැබුවේ, ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතාවයන් නිසා නොව, ඔබගේ දියාරු නායකත්වය නිසාය.
ඔබට තව, තවත් ප්‍රමාද විය නොහැක. එසේ වුවහොත් සියල්ලම විනාශය කරා ඉක්මනින්ම ලඟා වෙනු ඇත.
පාක්ෂිකයින් රනිල් යන නම, ඇසුනු සැණින් කෝප වූ ඒ අවධියේ, ඔවුන් එකා මෙන්, ඔබට විරුද්ධව නැගී සිටියදී, ඔබ වෙනුවෙන් කිසිවකුත් කිසිවක් කිරීමට ඉදිරිපත් නොවී, ඔබ අසරණ වූ ඒ මොහොතේ, මා විසින් පිහටුවා ගන්නා ලද සන්නිවේදන බලකාය මගින් තර්ජන, ගර්ජන, අපහාස උපහාස මැද නිර්භයව ගමින්, ගමට යමින් පාක්ෂිකයාගේ මතය වෙනස් කිරීමට මම නායකත්වය දුනිමි. එපමනක් නොව 36,000 කට ආසන්න පිරිසක් සාමාජිකයින් වශයෙන්ද, 576කු කොට්ඨාශ මට්ටමින් නිළධාරීන් වශයෙන්ද, 7800ක පිරිසක් ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයින් වශයෙන්ද, 134 කු දේශකයින් වශයෙන් ද බදවා ගැවීමට මට හැකි විය.
සන්නිවේදන බලකාය එදා, මෙදා තුල මේ පක්ෂය තුල බිහි වූ ප්‍රධානතම ක්‍රියාකාරි සංවිධානය බවට පත් කිරීම තුළින්, මා මහත් ආඩම්බරයට පත් වුනෙමි. එකල පක්ෂයට ඔබගේ මූලිකත්වයෙන්, රැළියක්වත් පැවැත්විය නොහැකි මොහොතක, සන්නිවේදන බලකාය කුරුණෑගල දී අති සාර්ථකම මැයි පෙළපාලිය සහ මැයි රැළිය පවා පැවැත්වීය.
සන්නිවේදන බලකායේ කිසිම කටයුත්තක් සදහා පක්ෂයෙන් තඹ සතයකුදු ලබා නොගෙන, මගේ හිත මිතුරන්ගේ උපකාරයෙන් අද දක්වාම එය පවත්වා ගෙන යන ලදී.
සන්නිවේදන බලකාය යනු ඔබතුමා සහ පක්ෂය ආරක්ෂා කිරීම වෙනුවෙන් කොට ඇද්ද අලින්ය.කොට අදින අලින්ට, කිසිදා පෙරහැරේ යාමට නොහැකි බව මා දැන ගත්තේ ඔබ ගෙනි.
අපගේ සිහිනය මල්ඵල ගන්වමින් ඔබ අගමැති වශයෙන් දිවුරුම් දීම අප ලැබු මහඟු ජයග්‍රහනයකි. ඒ සතුට සමරමින්, ඔවුන් සදහා අරලිය ගහ මන්දිරේදි භෝජන සංග්‍රහයකින් ස්තුති කරන මෙන් මා කීප වතාවක්ම ඔබ තුමන්ගෙන් කල ඉල්ලීමට, ඔබ ප්‍රතිචාර දක්වන ලද්දේ ” සාගලට ” දැනුම් දෙන ලෙසටයි. එදා සිට අද දක්වා අවුරුදු 3 ක් යන තුරුත්, මට ඒ අවස්ථාව ලබා ගැනීමට නොහැකි වීම තුළින් මා දැඩි ලැජ්ජාවකට සහ බලවත් කලකිරීමකට පත්ව සිටිමි.
මාගේ සගයන් ඉදිරියේ මා අන්ත අසරණ විය. ඔබ තුමන් වෙනුවෙන් මගේ රාජකාරි සීමාවෙන් පිටතට ගොස්, මෙතරම් කැප වීමක් කල, මට අත්වූ ඉරණම මෙය නම්, අසරණ අහිංසක පාක්ෂිකයාට “අබ සරණයි ” හැර වෙනත් කීමට දෙයක් නැත.
එපමණක් ද නොව, අප රජය බලයට පත් වූ විගස දේශපාලන පත්වීම් ලබා දීමේදී සන්නිවේදන බලකායේ සුදුසුකම් ඇති 50 දෙනෙකුගේ නාම ලේඛණයක් ඔබ තුමාට කීප වතාවක්ම භාර දුන්නද, ඉන් එක් අයෙකුටවත්, කිසිම තනතුරක් නොලැබීමට තරම් ඔවුන් අවාසනාවන්තම පිරිසක්ම විය. ඒ ඔවුන් රෝයල් කොලේජ් එකට නොගිය, කොට අඳින, පෙරහැරේ නොයන අලින් වීම නිසාය. එනමුත් අවම වශයෙන් නිසි පිළි ගැනීමක්වත් ලැබෙන්නේ නම් සැමදා වුවද ඔවුන් ඔබ වෙනුවෙන් කොට අඳිනු ඇත.
නමුත් අප සමහර සාමාජිකයින් ඇමතිවරුන් පසු පස ගොස් තනතුරු, පත් වීම් ඉල්ලීමේදී, ලැබුන ප්‍රථිවාරය වූයේ ” ඔයගොල්ල වැඩකලේ රනිල්ටනෙ “, එයාගෙන්ම ඉල්ලා ගන්න යන උත්තරයයි.
එදා මාතර සිට කොළඹ දක්වා ශ්‍රිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න කණ්ඩායම ඔබව නායකත්වයෙන් ඉවත් කිරීමට, ඔබට එරෙහිව සූදානම් කර තිබූ පෙළපාලිය එදා කොළඹට පැමිණියේ නම් අද ඔබ අගමැති පුටුවේ සිටීම හුදු සිහිනයකි.
මම එදා කුරුදු පොලු හමුදාවට මංගල සමරවීර මැතිතුමා සමග නායකත්වය ලබා දෙමින්, සන්නිවේදන බලකාය ප්‍රමුඛ, කණ්ඩායම් මෙහෙයවා ඔබවත්, පක්ෂයත් බේරාගත් බව, අද සියල්ලන්ටම මෙන්ම, ඔබ තුමන්ට ද අමතකව ඇත.
ඔබ අගමැති වූ පසුව එම කුරුදු පොලු නඩුවේ විත්කරුවන් වූ 86 කුට ආසන්න පිරිස අරලියගහ මන්දිරයට කැදවා ස්තුති කිරීමක් මා ඉල්ලා සිටි අතර අදවන තුරුත්, ඒ අවස්ථාව නොලද බව ලැජ්ජාවෙන් යුතුව මතක් කර දෙමි.
අද එම පිරිසෙන් 3කු මියගොස් ඇති අතර, 2කු සදාකාලිකවම අංශභාග රෝගීන් බවට පත්ව ඇත්තේ අන් කිසිවක් නිසා නොව, ඔබව ආරක්ෂා කිරීමට පාරට බැස වෙඩි සහ පොලු පහරවල් වලට ලක්වීම නිසාය. ඔවුන් අද අන්ත අසරණ වී ඇත. සතර අතට ණය වී අතින් වියදම් කරගෙන උසාවි ඇවිත්, තමන්ගේ වියදමින් කහට කෝප්පයක් බී, ඔබට ශාප කරමින් ආපසු නිවෙස් වලට යෑම හැර වෙන විකල්පයක් ඔවුන්ට නැත. අප මේ ගෙවන්නේ ඔබව ආරක්ෂා කිරිම නිසා කෝපයට පත් දෙවින්ගෙන් අප ලැබූ ශාපයක් දැයි අපට සිය දහස් වාරයක් සිතේ.
පසුගිය සතියේ මාතර උසාවියේ පැවති කුරුදු පොලු නඩු විභාගය අවසානයේදී, ඔවුන්ගේ හිත්වල, මුහුණු වල ඇති කනගාටුව සහ සාධාරන වෛරය සමගින්, ඔවුන් පැවසූ කරුණු කාරණා අනුව මට හැගී ගියේ, ඔවුන් ඔබට එරෙහිව ද, කුරුදු පොලු අතට ගන්නා කාලය වැඩි ඈතක නොවන බවයි.
එසේ වුව හොත් එදා මෙන්, හෙටටත් ඔවුන්ට නායකත්වය දීමට මම දෙවරක් සිතා නොබලන්නෙමි. ඔවුනට පිටුපා නායකත්වයෙන් මග හැරීම මට කිසිසේත් කල නොහැක්කකි.
අප පක්ෂයක් ලෙසට බලයට පත් වූ සෑම අවස්ථාවකදීම පක්ෂය තමන් බලයට පත් කල පාක්ෂිකයා අමතක කර, තමන් සහ තම ගජ මිතුරන් ගැන පමණක් සිතා කටයුතු කොට අප හට වැරදුන බව, මම ඔබ තුමන්ට සිය දහස් වතාවක් සිහිපත් කර ඇත්තෙමි. පාක්ෂිකයා නොමැතිව පක්ෂයද, පක්ෂය නොමැතිව රජය ද පැවතිය නොහැකි බැවින්, ගජ මිතුරන්ට වඩා ප්‍රමුකස්ථානය පක්ෂයට ලබා දෙන ලෙසට කීප වරක්ම බැගෑපත් වුවද, එය බීරි අලින්ට වීනා වයන්නක්ම විය.
පසුගිය වසර කීපය තුල අප සතිපතා, නිතිපතා මේ පිළිබදව පැය ගණන් කාලය අපතේ හරිමින් අරලියගහ මන්දිරයේදි, සාකච්ඡා පැවැත් වූවෙමු. නමුත් ඒ සියල්ලම කථා වලට පමනක්ම සීමා වූ අතර ක්‍රියාකාරි කිසිවක් සිදු නොවීම මෙම ප්‍රථිපලය ලැබීමට හේතු විය.
මා මුල සිටම, බලයට පැමිණි දින සිටම පැවසුවේ කොට්ඨාශ මට්ටමින් සම්මන්ත්‍රණ පවත්වා පාක්ෂිකයා දැණුවත් කරමින්, පාක්ෂිකයා සමග නිරන්තර සම්බන්ධතාවයක් ගොඩනගා ගත යුතු බවකි. නමුත් අවාසනාවට පක්ෂයට, පාක්ෂිකයා අවශ්‍ය වූයේ මැයි දිනයට, පක්ෂ සම්මේලනයට සහ මැතිවරණ කාලයට පමනි.
දැන් එහි ප්‍රථිපලය පාක්ෂිකයා විසින් පැහැදිලිව ප්‍රකාශයට පත් කර ඇත. නමුත් මැතිවරණය පරාජය වී මාසයක් ඉක්ම ගොස් ඇතත් අඩු තරමින්, ඒ සදහා කැප වී ක්‍රියාකල පාක්ෂිකයින්ට, අපේක්ෂකයින්ට, පළාත් සභා මංත්‍රීවරුන්ට සහ සංවිධායකවරුන්ට, ” ඔබ දුන් සහයෝගයට ස්තූතියි ” කියන්න පවා ඔබට අමතක විය. එයට හේතුව ලෙසට මම දකින්නේ, ” උඹලට ඕන නම් මාව අගමැති කර ගිනින්, නැත්තම් නිකන් හිටපල්ලා ” යන මානසිකත්වයකින් ඔබ කටයුතු කිරීමයි.
පක්ෂයේ වගකිව යුතු තනතුරු දරණ නායකයින්යිද, පාක්ෂිකයා නොසලකා හැරි බව මම පැහැදිලිවම දනිමි. ඒ එක් එක් අයගේ පුද්ගලික න්‍යය පත්‍ර නිසාවෙනි.
අවසාන වශයෙන් මා ගැනද යමක් පැවසිය යුතුව ඇත. මම දැනට සිරිකොතපක්ෂ මූලස්ථනයේ මා විසින් ගොඩනගා, මා විසින් උපකරණ මිළදී, ගෙන කාර්යාලයක් ලෙසට මා විසින් පරිවර්තනය කරණ ලද සිරිකොත ගරාජයේ කාගේත් දුග්ගන්නාරාළ වශයෙන් කිසිවක් කර කියා ගත නොහැකිව නිකමුකු ලෙසට කටයුතු කරමි. මට කිසිදු කාර්යය භාරයක් හෝ වගකීමක් නිල වශයෙන් භාර දි නොමැත.
මා 1985.01.10 වෙනි දින සිට මේ දක්වා ඔබ වෙනුවෙන් නොකලේ මොනවාදැයි මා ඔබ කුමන්ගෙන් ඇසුවොත් එයට පිළිතුරු දීමට, ඔබට නොහැකි වුවත්, එය ඔබ තුමන්ගේ හෘද සාක්ෂිය හොදින් දන්නා බව මා තරයේ විශ්වාස කරමි. මා මීට පෙර කීපවතාවක්ම ඉල්ලා අස්වීමට උත්සාහ කල අවස්ථාවල දී, ඔබ මට ප්‍රකාශ කර සිටියේ ” සුදත් ඔයා යමක් නිර්මානය කල හැකි, වගකීමක් ඉටු කල හැකි, දක්ෂයෙකු, නායකයෙකු නිසා, ඔබේ සේවය මට අවශ්‍ය ” බවයි.
නමුත් එදා, ඔබ සදහන් කල දක්ෂයා නිකමෙකු, කාර්යයභාරයක් නොමැති අයෙකු බවට අද ඔබම පත් කර ඇත. ඔබගේ න්‍යය පත්‍රයට අනුව ඔබට බලය නොතිබුන අවධියේ, එකල ඔබගේ පුද්ගලික ලේකම් ලෙසට සේවය කල සුනිල් මාගම්මන, සුනිල් ප්‍රේමසිරි සහ සැම්සන් යන අයව සිරිකොතට ගාල් කල ආකාරයට මාවද ගාල් කිරීමට උස්සාහ කිරීමට තරම් ඔබ මට ද්‍රෝහි විය. ඔවුන්ගේ මට්ටමින් මාව තක්සේරු කිරීම ඔබ කරගත් ලොකුම වරදක් බව ඔබට වැටහෙන කාලය තව වැඩි ඈතක නොවන බව සිහිපත් කරන්නේ කනගාටුවෙනි.
ඔබ වෙනුවෙන් ජීවිතය කැප කරමින් මුළු හදවතින්ම අවංක වූ මට, එසේ ද්‍රෝහී වීමට ඔබට හැකිනම්, මා ඔබට ද්‍රෝහි වීම සමස්ත ජනතාව පමණක් නොව දෙව් දේවතාවුන් වහන්සේලා පවා අනුමත කරන බව මම තරයේ විශ්වාස කරමි. එය මාගේ හෘද සාක්ෂියට අණුව වරදක් නොවන බව මට සිතේ. නමුත් මම සතුරා හදුනා ගත් විට, ඔබ මෙන් මා ඉවසා බලා සිටින්නේ නැත.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි අවධියේ, තුන් වරක්ම මට කථා කොට එතුමන් හා එක්වීමට කථා කල බව එම දිනවලදිම මම ඔබතුමාට පැවසුවෙමි. නමුත් ලාභ ප්‍රයෝජන වලට මම කිසිසේත්ම ද්‍රෝහියෙකු නොවීමි.
1988 භීෂණ සමයේ ඔබේ ජීවිතයට මරණීය තර්ජන එල්ල වෙද්දි, ඔබ ලඟ සිටි ආරක්ෂකයින් ඔබව තනිකර පළා යද්දි, මා, මගේ ජීවිතට පරදුවට තබා, ඔබේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් නායකත්වය දුනිමි. ප්‍රභාකරන්ගේ තර්ජන හමුවේ මා නොභියව නව ආරක්ෂක උපක්‍රම භාවිතා කරමින් සෙවනැල්ලක් ලෙසට නොසැළි, මා ගැන නොසිතා ඔබගේ ජීවිතය ගැන සිතා ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් දිවා, රාත්‍රි නොබලා මම කැප වුනෙමි.
ඔබ නිසා මා බටලන්දේ මිනීමරුවා විය. ගාමිනි අතුකෝරලගේ මිනීමරුවා විය. ඔබ වෙනුවෙන්, සිරිකොත ඉදිරිපිට ගිනි තබාගෙන මියගිය රියන්සි අල්ගමගේ මිනීවරුවා විය.(නමුත් ඔබ රියන්සිගේ අවමඟුලට සහභාගි නොවුණි.) රනිල්ගේ තොල් රතු, කීර්තියයි. කොල්ලා විය. ඒ මට ලැබුනු ධනයයි.
ඒ ධනය හැර මට ජීවත් වීමට නිවසක් හෝ එක පර්චසයක් හෝ වෙනත් ආදායම් මාර්ගයක් නැත. අදටත් මා ජීවත් වන්නේ මගේ මිතුරන් කුලී ගෙවන කුලී නිවාස වලයි. අහිගුණ්ඨිකයෙකු මෙන් අවුරුදු දෙකකට වරක් ගෙවල් මාරු කිරීමට සිදුව ඇත්තේ නිවාස හිමියන් අවුරුදු දෙකකට වරක් කුළිය වැඩි කරන නිසාවෙනි. නමුත් එය මට ආඩම්බරයකි. ඒ මාගේ දෑත් පිරිසිදු නිසාය.
නමුත් බිම වැටුනත් නැගී සිටීමට ධෛර්යයක් මට ඇත. මා ඔබගේ පුද්ගලික ලේකම් ධූරයට පත් වුයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය දෙවරක්ම මාව අනිවාර්යය නිවාඩු යවා දේශපාලන පළිගැනීමට පත් කල බැවිනි. ඒ මා ඔබ වෙනුවෙන් කල සේවය නිසා මිස, වෙනත් අපරාධයක් වෙනුවෙන් නොවේ. මා වැටුප් රහිතව අනිවාර්යය නිවාඩු යවා සිටි කාලය තුල මා ජීවත් වන්නේ කෙසේ දැයි, නිකමටවත් සොයා බැලීමට තරම්වත්, ඔබට හදවතක් නොමැති බව මම දැන ගතිමි.
මට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි 76 (නගර සභා භූමියේ බෝම්බ සිද්ධිය ඇතුළුව) ක් විභාග විය. නමුත් මට දේශපාලන පළිගැනීම් සදහා කිසිවක් 2001 දී හෝ 2015 ඔබ තුමාගේ රජය යටතේ ඉටු නොවිනි. මා හට අද විශ්‍රාම වැටුපක් පවා නැත. මේ පිළිබදව මා ඔබට පැවසූ විට මට දන්වා සිටියේ සාගලට මතක් කරන ලෙසයි. සාගලගේ පිළිතුර වූයේ අන් අය මෙන්, සිරිකොතට අවශ්‍ය අභියාචනය භාර දෙන ලෙසටයි. අදටත් එම ලිපි ගොනුව ඒ ආකාරයෙන්ම සිරිකොතේ ඇත. අද මාගේ සමකාලීනයන් නියෝජ්‍ය පොලිස්පති වරුය.
මගේ තත්වය මෙය නම් මේ රටේ අහිංසක අප පාක්ෂියින්ට අයත් වන්නේ කවර නම් ඉරණමක්ද?
ඔබගේ පුද්ගලික ලේකම් වූ මා, අද විශේෂ සහයක නම් තනතුරකට බාල්දු කර ඇත. මා හට ඔබ සිදු කර ඇති අසාධාරනකම් පැවසීමට තරම් මම බැගෑපත් නොවෙමි. එය ලිවීමට පිටු දහස් ගනණක් අවශ්‍යයි. නමුත් ඒ සියල්ලක්ම මා රහසක් වශයෙන් රැක ගනිමින් මා කලේ මෝඩ ක්‍රියාවක් දැයි මට දහස් වර සිතිනි.
මින් ඉදිරියට මට රජයෙන් ලැබෙන රු.53.000/ ක වැටුප් මුදල සහ රජයෙන් ලැබුන වාහනයද, ඒ සදහා ලැබුන රු.22.000/ ක ඉන්ධන ද පිනට ලබාගෙන කාර්යය භාරයක් නොමැතිව තව දුරටත් සිරිකොතේ රැඳී සිටිමින් ජීවත් වීම ජාතික අපරාධයක් ලෙසට මම සලකමි.
ඔබගේ ගජ මිතුරු කැළ සමග ඔබ, පක්ෂයත් රටත් අගාධයකට ඇද දමමින් සිටින බව මට පෙනේ.
1995 වර්ෂයේදී ඔබ විසින් මට මුදලින් රුපියල් ලක්ෂයක් සහ මාගේ දියණිය, ඔබ තුමන්ගේ මෑණියන්ගේ අවමඟුල් උත්සවය අතරතුර දීම, කොළඹ කාන්තා විදුහලට ඇතුලත් කර දීමෙන්ද, දැක්වූ සහයෝගය සඳා අමතක නොකරමි.
මේ සමඟම විශේෂ සහකාර තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය නිසි කටයුතු සදහා අගමැති ලේකම් සමන් ඒකනායක වෙතට ඉදිරි කටයුතු සදහා යොමු කරමි.
අවසාන වශයෙන් මා අතින් දැණුවත්ව හෝ නොදැණුවත්ම ඔබ තුමන් වෙනුවන් පුරා අවුරුදු 33 ට වැඩි සේවා කාලය තුළදී, යම්කිසි වරදක්, සිත් රිදවීමක්, වරදක් හෝ අපහාසයක් සිදු නොකල බව ද ප්‍රකාශ කරමි. එනමුත් ඔබව ආරක්ෂා කිරීම සදහා මට එරෙහිව ඇති කරගත් සතුරන් ගණන ලක්ෂ ගණනකි.
මම,
ඔබ තුමන් වෙනුවෙන් කැපව සිටි, (ONE MAN GOD)
සුදත් චන්ද්‍රසේකර