Breaking News

මිනිත්තු 5760ක පාපන්දු තරඟ වෙනුවෙන් 15000ක් මරණ. ලැජ්ජයි!

පාපන්දු ලෝක කුසලාන තරඟය පැවැත්වෙන් තිබෙන මේ මොහොතේ තරඟාවලියේ සූදානම වෙනුවෙන් පැවති ඉදිකිරීම්වලදී සංක්‍රමණික කම්කරුවන් විශාල ප්‍රමාණයක් මියයාම සම්බන්ධයෙන් ලෝකය තුළ මහත් ආන්දෝලනයක් මතුව තිබේ. පසුගියදා ජර්මන් රසිකයන් පිරිසක් තරඟයක් අතරතුර විශාල බැනරයක් ප්‍රදර්ශනය කරමින් මෙම කම්කරුවන්ගේ මරණ සම්බන්ධයෙන් විරෝධය පළකර තිබුණි. එම බැනරයේ දැක්වුණේ ‘මිනිත්තු 5760ක පාපන්දු තරඟයක් වෙනුවෙන් 15000ක මරණ. ලැජ්ජයි.'(15,000 deaths for 5,760 minutes of football. Shame on you) යන්නයි.

කෙස්වෙතත් පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය කටාර් රාජ්‍යයට හිමිවීමෙන් පසු එහි වැඩබිම් වලට ආ සංක්‍රමණික සේවකයින් 400-500 අතර ප්‍රමාණයක් 2011 වසරේ සිට ලෝක කුසලානය ආරම්භ වන දින දක්වා මියගොස් ඇතැයි කටාර් පාපන්දු ලෝක කුසලාන ප්‍රධානි හසාන් අල් තවාඩි සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය පසුගිය 2010 වසරේ කටාර් රාජ්‍යයට හිමි වීමත් සමග මේ දක්වා ලෝක කුසලානයට සුදානම් වීමට යාමේදී සංක්‍රමණික සේවකයන් 6500 ක් පමණ මියගොස් ඇතැයි ”ද ගාර්ඩියන්” පුවත්පත පළකර ඇති වාර්තා අසත්‍ය බව හසාන් අල් තවාඩි එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත.

ගාර්ඩියන් අනාවරණය කර තිබුණේ මෙම සංක්‍රමණිකයන් පකිස්ථානයෙන්, ඉන්දියාවෙන්, නේපාලයෙන්, බංගලාදේශයෙන්, සහ ශ්‍රී ලංකාවෙන් පැමිණි අයවලුන් බවයි.

කෙසේවෙතත් ඔහු පවසා ඇත්තේ තමන් මියගිය නිශ්චිත ගණන සඳහන් කළ නොහැකි බවත් 400ක් 500ත් අතර ප්‍රමාණයක් මියයන්නට ඇති බවයි.

ලෝක කුසලානයට සුදානම් වීමේදී මියගිය සංක්‍රමණිකයන්ගෙන් සැලකිය යුතු කොටසක් කටාරයට පැමිණ ඇත්තේ 2010 වසරේදී කටාරය පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දිනා ගැනීම හේතුවෙන් 2011 වසරේ එම වැඩබිම් වල වැඩකිරීමට බව සංක්‍රමණිකයන්ගේ මිය යෑම් පිළිබඳ සොයා බැලූ ”ෆෙයාර් ස්ක්වෙයාර් ප්‍රොජෙක්ට්” සංවිධානයේ අධ්‍යක්ෂක නික් මැක්ගීහැන් මහතා ”ද ගාර්ඩියන්” පුවත්පතට පවසා ඇත.

මෙම සංක්‍රමණිකයන් පිළිබඳ නිවැරදි දත්ත, මියගිය සේවකයන් වෙනුවෙන් වන්දි මුදලක් ලබා දුන්නාද, ඔවුන් මියගිය අකාරය පිළිබඳ පැන නගින ප්‍රශ්න පිළිබඳ ලෝක පාපන්දු සම්මේලනය සහ කටාරය පිළිතුරු දිය යුතු බව ඔහු ”ද ගාර්ඩියන්” පුවත්පතට පෙන්වා දී තිබේ.

කටාර් ලෝක කුසලාන සංවිධායකින් මියගිය සංක්‍රමණ සේවකයන් සංඛ්‍යාව 40 ක් බවත් ඉන් තුන් දෙනෙකු පමණක් වැඩබිම් වල සිදු වූ අනතුරු හේතුවෙන් මිය ගිය බවත් මීට පෙර ප්‍රකාශ කර තිබිණ.හසාන් අල් තවාඩිගේ මෙම ප්‍රකාශය සමග මියගිය ගණන 40 සිට 400 දක්වා වැඩි වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඉන්දියාව, බංගලිදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල දත්ත වලට අනුව 2011-2020 කාලය තුළ සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ මරණ 5,927ක් සිදුවී ඇත. වෙනමම, කටාර්හි පාකිස්තාන තානාපති කාර්යාලයේ දත්තවලට අනුව 2010 සහ 2020 අතර පාකිස්තාන සංක්‍රමණික කම්කරුවන් 824ක්මියගොස් තිබේ.

මෙම දත්තවලට 2020 වසරේ අවසන් මාස කිහිපයේ මියගිය අයගේ දත්ත ඇතුලත් නොවන බවද වාර්තා වේ. පිලිපීනය සහ කෙන්යාව ඇතුළු කටාර් වෙත විශාල ශ්‍රමිකයන් යවන රටවල් ගණනාවක මරණ මෙම සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොවන බැවින් මුළු මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩිවිය හැකි බව ගාර්ඩියන් පුවත්පත පවසයි.

බොහෝ දුරට 2022 දී පාපන්දු තරඟාවලිය සඳහා සූදානම් වීම පදනම් කරගනිමින් පසුගිය වසර 10 තුළ කටාරය පෙර නොවූ විරූ ආකාරයකින් ගොඩනැඟිලි ඉදිකිරීමේ ව්‍යාපෘති ආරම්භ කර ඇත. නව ක්‍රීඩාංගණ හතකට අමතරව, පොදු ප්‍රවාහන පද්ධති, හෝටල් සහ ලෝක කුසලාන අවසන් මහා තරගයට සත්කාරකත්වය සපයන නව නගරයක් නව ගුවන් තොටුපළක්, මාර්ග ඇතුළු ප්‍රධාන ව්‍යාපෘති දුසිම් ගනනක් නිම කර ඇත. ඒ සඳහා බහුල ලෙස සේවයේ යොදවා ඇත්තේ සංක්‍රමණික කම්කරුවන් වේ.

leave a reply