Breaking News

IMF කොන්දේසිවලට අධ්‍යාපනය වෙන්දේසි කරන ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු ! – අන්තරේ

ජනතා මතයට එරෙහිව පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ජනතා අයිතිවාසිකම් දිනෙන් දින කප්පාදු කරමින් පවතී. ජාන්ත්‍යන්තර මූල්‍ය අරමුදලේ ( IMF ) උවමනාවන් අනුව යමින් ජනතා සුභසාධනය කප්පාදු කරමින් ලංකාව පෞද්ගලිකරණ දිශානතිය දක්වා ගෙන යන මෙම වැඩපිළිවෙලේ දිගුවක් ලෙස 2023 වසරේ අයවැය වැඩපිළිවෙළ දියත් වේ.

මෙම අයවැය වැඩපිළිවෙළ අනුව අධ්‍යාපනයට වෙන් කරනු ලබන ප්‍රතිපාදන තවදුරටත් කප්පාදු කරමින් පවතින අතර අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් යෝජනා කර ඇත. රනිල් වික්‍රමසිංහ අයවැය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව අමතා කරන ලද කතාවේ මූලික සාරාංශය සම්පූර්ණයෙන් අධ්‍යාපනය විකිණීමට අදාල කූට ව්‍යාපෘතිය කරලියට ගෙන ඒමේ එක් අවස්ථාවක් පමණි. පාසල් සහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නවලිබරල් උවමනාවන් අනුව වෙළෙඳපොළට විවෘත කිරීමත් ඒ ඔස්සේ ධනපතින්ගේ මඩිය තරකිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය උපයා දීමත් මෙහි මූලික අරමුණ බව පැහැදිලිය.

අධ්‍යාපනය යනු සමාජය සතු දැනුම් පද්ධතිය වේ. අධ්‍යාපනය තනි පුද්ගල නිර්මිතයක් නොවන අතර අතීත සමාජයේ සාමූහික කැපකිරීම්වල වර්තමාන ඵලය වේ. එබැවින් එය පුද්ගලික අභිමතාර්ථ සපුරාලීමට ලාභ උපයන ව්‍යාපෘතියක් බවට පත් කිරීම ජනතා ද්‍රෝහී ක්‍රියාවකී.

ඇති නැති පරතරයකින් තොරව අධ්‍යාපනය ලැබීමට මෙලොව උපදින සියලු දරුවන්ට අවස්ථාව හිමි විය යුතුය . අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීම මගින් දුප්පත් දරුවන්ට අධ්‍යාපන අයිතිය අහිමි වී යයි. එබැවින් සමාජයේ සියලු ජනතාව එකට එකතු වී අධ්‍යාපනය විකිණීමට පිඹුරුපත් සකස් කරන නවලිබරල් වැඩපිළිවෙළට එරෙහිව වීදි බැසිය යුතු කාලය පැමිණ ඇත.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

leave a reply