Tag: migrant workers

  • කොරියානු දේශපාලකයාගේ ලංකවේ අවිවාහක කතුන් ආනයනය කිරීමේ ප්‍රකාශය ගැන ආණ්ඩුව නිහඬයි

    කොරියානු දේශපාලකයාගේ ලංකවේ අවිවාහක කතුන් ආනයනය කිරීමේ ප්‍රකාශය ගැන ආණ්ඩුව නිහඬයි

    දකුණු කොරියාවේ ප්‍රාන්ත ප්‍රධානියෙකු උපත් අනුපාතය පහත වැටීමේ අර්බුදයට විසඳුමක් ලෙස ලංකාවේ කාන්තාවන් එරටට ආනයනය කළ යුතු බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රතිචාරය ලංකාව විදෙස් ගත ශ්‍රමිකයන් ගැන දක්වන සැලකිල්ල මෙන්ම ලංකාවේ විදේශ කටයුතු සම්බන්ධ දුර්වල බව පෙන්වන්නක් වේ.

    දකුණු කොරියාවේ උපත් අනුපාතය පහත වැටීමේ අර්බුදයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් එරටට “අවිවාහක කතුන්” ආනනයනය කළ යුතු බවට මතභේදාත්මක යෝජනාවක් කළ බව කියන ජින්ඩෝ ප්‍රාන්ත ප්‍රධානියා එම ධූරයෙන් ඉවත් කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

    පාලක කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් පෙබරවාරි 9 වන දා කිම් හී සූ නෙරපා හැරීමට තීන්දු කළ බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත.

    කිම් නෙරපා හැරීමට කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළ බව පක්ෂ ප්‍රකාශකයෙක් පවසා ඇත.

    ඉකුත් සතියේ ජින්ඩෝ ප්‍රාන්ත ප්‍රධානියා මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර එම කාන්තාවන් “ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන තරුණයින්ට” විවාහ කර දිය හැකි බව ප්‍රකාශ කර ඇත.

    මෙම යෝජනාව ඉදිරිපත් වන්නේ, දකුණු කොරියාව ලොව අඩු ම උපත් අනුපාතික ඇති රටක් ලෙස වාර්තා වන පසුබිමක ය. ඒ හේතුවෙන් රටේ මිලියන 50ක් වන ජනගහනය වසර 60ක් තුළ අඩකින් පහත වැටෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.

    එහෙත් මෙම ප්‍රකාශය හරහා සංක්‍රමණික කාන්තාවන් ආනයනය කළ හැකි වස්තූන් ලෙස විග්‍රහ කිරීම සහ සංක්‍රමණික කාන්තාවන්, සුළුතර කණ්ඩායම් කෙරෙහි වටිනාකම් සහ ආකල්ප පිළිබඳ කාරණයක් ලෙස විවේචනයට ලක්විය.

    කිම්ගේ ප්‍රකාශ හෙළා දැක ඇති සෝල්හි පිහිටි වියට්නාම තානාපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කර ඇතත් මේ වනතෙක් ලංකාව එවැනි දෙයක් සිදුකර නැත.

    ඒ අනුව ආණ්ඩුකාරවරයා සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දකුණු කොරියානු පළාත් බලධාරීන් වියට්නාමය වෙත කණගාටුව පළ කර සමාව අයැද ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇති නමුත් එම වාර්තාවල ශ්‍රී ලංකාවෙන් සමාව අයැදීමක් හෝ කණාගාටුව ප්‍රකාශ කිරීමක් මේ දක්වා සඳහන් වී නොමැත.

    විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා ඇත්තේ මේ සම්බන්ධව නිල ප්‍රකාශයක් නිකුත් කරන බව ය.

    නමුත් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල වෙත පවසා ඇත්තේ , ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය එරට රජයේ නිල ස්ථාවරය නොවන බවයි.

    එම ප්‍රකාශය කළ ආණ්ඩුකාරවරයා ධූරයෙන් ඉවත් කිරීමෙන් එම ප්‍රකාශය එරට රජය බැහැර කර ඇති ආකාරය පෙනී යන බව ද ඔහු පැවසීය.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දත්තවලට අනුව 2024 වසර වන විට 7,114 දෙනෙකු දකුණු කොරියාවේ සේවයේ නිරත වන අතර ඉන් 127 දෙනෙක් කාන්තාවෝ වෙති.

    මේ අතර, කිම්ගේ ප්‍රකාශයට එරෙහිව අඟහරුවාදා ජින්ඩෝ ප්‍රාන්ත කාර්යාලය ඉදිරිපිට රැළියක් පැවැත්වීමට කාන්තා සහ සංක්‍රමණික අයිතිවාසිකම් සඳහා වන ක්‍රියාකාරීන් සැලසුම් කර ඇති බව වාර්තා වේ.

    මේ අතර සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කර ඇත්තේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මේ මස අගදී දකුණු කොරියාවේ සංචාරය කිරීමට නියමිත අතර, එම රටේ ශ්‍රී ලාංකිකයින්ට වැඩි රැකියා අවස්ථා ලබා දීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි. මෙම සංචාරය අතරතුර ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද වාර්තා කර තිබේ. මතභේදාත්මක දකුණු කොරියානු දේශපාලනඥයා පදිංචි ජින්ඩෝ ප්‍රාන්තයට ද ශ්‍රී ලංකා දූත පිරිස සංචාරය කිරීමට නියමිතයි.

    කාන්තා මන්ත්‍රීවරියන්ට සිදුවන අපහාස ගැන ආණ්ඩුව පසුගිය සමයේ විශාල උනන්දුවක් දක්වන නමුත් එම උනන්දුව රටේ සමස්ත කාන්තාවන් සම්බන්ධයෙන් දක්වන්නේ ද යන සැකය මතුවේ.

  • නව ආණ්ඩුවත් ජනසංහාරික ඊශ්‍රායලය වෙත ශ්‍රමිකයන් සැපයීමේ ප්‍රතිපත්තියක

    නව ආණ්ඩුවත් ජනසංහාරික ඊශ්‍රායලය වෙත ශ්‍රමිකයන් සැපයීමේ ප්‍රතිපත්තියක

    රනිල් වික්‍රමසිංහ පාලනය අනුව යමින් නව ආණ්ඩුවද ඊශ්‍රායල රැකියා සඳහා ශ්‍රමිකයන් යැවීම තවදුරටත් කිරීමට තීරණය කර තිබේ.

    ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ 5 වන කණ්ඩායමට අයත් රැකියා ලාභීන් 177 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම ඊයේ (16) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩබලන සභාපති ජානක අධිකාරී මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදුකෙරුණි.

    ගාසා තිරය තුළ සිදුකරන මහා විනාශය හේතුවෙන් බොහෝ රටවල්වල විරෝධතා පැන නැග ඇත්තේ ඊශ්‍රායලය සමඟ සබදතා නවතා දමන ලෙස ඉල්ලමිනි. ලෝකයේ බොහෝ පිරිසක් ඊශ්‍රායල භාණ්ඩ වර්ජනයකද නිරත වෙමින් සිටියි.

    මේ අතර වර්තමාන ආණ්ඩුව ඊශ්‍රායල රැකියා සඳහා ශ්‍රමිකයන් යැවීම සිදුකරමින් සිටියි. රජය මැදිහත්වීමෙන් ඊශ්‍රායල රැකියා සඳහා යැවීම දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් වූවේ පසුගිය ආණ්ඩු සමයේදීයි.

    මේ පිළිබඳ එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් ඇමති බිමල් රත්නායක පවසා තිබුනේ රටවල් කිහිපයක් ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා පවත්වාගෙන යන ආකාරයටම, ශ්‍රී ලංකාව ද සබඳතා පවත්වන බවයි.

    ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම නවත්වුවහොත් එය රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇති බව ඔහු පැවසීය.

    විශේෂත්වය වන්නේ ලංකාවේ පලස්තීන සහයෝගීතා ව්‍යාපාරයේ සභාපතිවරයා වන්නේද බිමල් රත්නායකයි.

  • පසුගිය වසරේ ලක්ෂ 14ක් රටින් ගිහිල්ලා – වැඩිම පිරිස ගොස් ඇත්තේ මැද පෙරදිග රටවලට

    පසුගිය වසරේ ලක්ෂ 14ක් රටින් ගිහිල්ලා – වැඩිම පිරිස ගොස් ඇත්තේ මැද පෙරදිග රටවලට

    පසුගිය වසරේදී රටින් පිටවී විදේශගතවී ඇති සංඛ්‍යාව 14,37,607ක් බව මහබැංකු වාර්තා හෙළිකර ඇති බව පේරාදෙණිය විශ්විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

    එය පෙර වසරට සාපේක්ෂව බලන විට 3,09,849ක වැඩිවීමක් බවත්, එය 27%ක ප්‍රතිශතයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

    ඒ අනුව මාසයකදී සාමාන්‍යයෙන් පුද්ගලයන් 1,18,900ක් පමණ රටින් පිටවී ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

    මේ අයගෙන් 2,97,656ක් පමණ රටින් පිටව ගොස් ඇත්තේ විදේශ රැකියා සඳහා බවද සඳහන්ය.

    2023 වසරේ විදේශ රැකියා සඳහා ගිය අයගෙන් 70%ක් පමණ විවිධ ආකාරයේ වෘත්තීය දක්ෂතා සහිත අය බවත්, අඩු දක්ෂතා සහිත අය 30%ක් පමණ වන බවත් අදාළ සංඛ්‍යාලේඛන හෙළිදරව් කොට ඇත. රටින් පිටව ගොස් ඇති අයගෙන් 55%ක් පිරිමින් වන අතර 45%ක් කාන්තාවන් බවද සඳහන්ය.

    එමෙන්ම 34%ක් පමණ වයස අවුරුදු 25-34 අතර කාණ්ඩයේ අය බවයි දැක්වෙන්නේ.

    එලෙසම මේ ආකාරයෙන් සිදුවන ශ්‍රම සංක්‍රමණයෙන් 78%ක් පමණ ගොස් ඇත්තේ මැදපෙරදිග රටවලටය. යුරෝපයට 7%ක්ද, ආසියාතික රටවලට 12%ක්ද, ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය යන රටවලට 0.08%ක්ද පිටව ගොස් ඇති බව සඳහන්ය.

  • වෘත්තිකයන් රැසක් රට හැර ගිහින් – වෘත්තීය සංගම්වලින් අනාවරණයක්

    වෘත්තිකයන් රැසක් රට හැර ගිහින් – වෘත්තීය සංගම්වලින් අනාවරණයක්

    රටේ පවතින අවිනිශ්චිත ආර්ථික තත්ත්වය හේතුවේ වෘත්තිකයන් රැසක් වෙනත් රටවලට ගොස් ඇති බවට සංඛ්‍යා ලේඛන ඉදිරිපත්වෙමින් පවතියි.

    වසරේ පළමු මාස 8ක කාලය තුළදී වෛද්‍යවරුන් 477 දෙනකු රට හැරදා විදේශගතවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. බදු පැනවීම සහ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රටේ අනාගතය පිළිබඳව පවතින අවිනිශ්චිත තත්වය නිසා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් සියයට 10 ක් පමණ විදේශ රැකියාවට ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා ද පවසා තිබේ.

    යෝජිත බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදී සංගම් කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ වෘත්තීයවේදීන් රට හැරයෑමේ සීඝ්‍ර ප්‍රවණතාව හමුවේ අර්බුද රැසක් ඉදිරියේදී ඇතිවිය හැකි බවය.

    ශ්‍රී ලංකා පරිගණක සංගමයේ ඇස්තමේන්තුව අනුව දැනට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සෘජුවම 150,000 ක පමණ රැකියා කරන බව කී දමිත් හෙට්ටිහේවා, 2021 වසරේ කළ සමීක්‍ෂණයට අනුව තොතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සෘජු ශ්‍රම බලකාය 125,000 පමණ වූ බව ද සඳහන් කරයි.

    හතර වැනි තාක්‍ෂණ විප්ලව ඩිජිටල් විප්ලවක් වීම නිසා තොරතුරු තාක්‍ෂණ ඉන්ජිනේරුවන්ට සහ වෘත්තිකයන්ට හොඳ ඉල්ලුමක් ඇති බවත් ඒ හේතුවෙන් මේ වන විට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් 10,000 ක් පමණ රටහැර ගොස් ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

     

     

  • මිනිත්තු 5760ක පාපන්දු තරඟ වෙනුවෙන් 15000ක් මරණ. ලැජ්ජයි!

    මිනිත්තු 5760ක පාපන්දු තරඟ වෙනුවෙන් 15000ක් මරණ. ලැජ්ජයි!

    පාපන්දු ලෝක කුසලාන තරඟය පැවැත්වෙන් තිබෙන මේ මොහොතේ තරඟාවලියේ සූදානම වෙනුවෙන් පැවති ඉදිකිරීම්වලදී සංක්‍රමණික කම්කරුවන් විශාල ප්‍රමාණයක් මියයාම සම්බන්ධයෙන් ලෝකය තුළ මහත් ආන්දෝලනයක් මතුව තිබේ. පසුගියදා ජර්මන් රසිකයන් පිරිසක් තරඟයක් අතරතුර විශාල බැනරයක් ප්‍රදර්ශනය කරමින් මෙම කම්කරුවන්ගේ මරණ සම්බන්ධයෙන් විරෝධය පළකර තිබුණි. එම බැනරයේ දැක්වුණේ ‘මිනිත්තු 5760ක පාපන්දු තරඟයක් වෙනුවෙන් 15000ක මරණ. ලැජ්ජයි.'(15,000 deaths for 5,760 minutes of football. Shame on you) යන්නයි.

    කෙස්වෙතත් පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය කටාර් රාජ්‍යයට හිමිවීමෙන් පසු එහි වැඩබිම් වලට ආ සංක්‍රමණික සේවකයින් 400-500 අතර ප්‍රමාණයක් 2011 වසරේ සිට ලෝක කුසලානය ආරම්භ වන දින දක්වා මියගොස් ඇතැයි කටාර් පාපන්දු ලෝක කුසලාන ප්‍රධානි හසාන් අල් තවාඩි සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

    ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය පසුගිය 2010 වසරේ කටාර් රාජ්‍යයට හිමි වීමත් සමග මේ දක්වා ලෝක කුසලානයට සුදානම් වීමට යාමේදී සංක්‍රමණික සේවකයන් 6500 ක් පමණ මියගොස් ඇතැයි ”ද ගාර්ඩියන්” පුවත්පත පළකර ඇති වාර්තා අසත්‍ය බව හසාන් අල් තවාඩි එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත.

    ගාර්ඩියන් අනාවරණය කර තිබුණේ මෙම සංක්‍රමණිකයන් පකිස්ථානයෙන්, ඉන්දියාවෙන්, නේපාලයෙන්, බංගලාදේශයෙන්, සහ ශ්‍රී ලංකාවෙන් පැමිණි අයවලුන් බවයි.

    කෙසේවෙතත් ඔහු පවසා ඇත්තේ තමන් මියගිය නිශ්චිත ගණන සඳහන් කළ නොහැකි බවත් 400ක් 500ත් අතර ප්‍රමාණයක් මියයන්නට ඇති බවයි.

    ලෝක කුසලානයට සුදානම් වීමේදී මියගිය සංක්‍රමණිකයන්ගෙන් සැලකිය යුතු කොටසක් කටාරයට පැමිණ ඇත්තේ 2010 වසරේදී කටාරය පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දිනා ගැනීම හේතුවෙන් 2011 වසරේ එම වැඩබිම් වල වැඩකිරීමට බව සංක්‍රමණිකයන්ගේ මිය යෑම් පිළිබඳ සොයා බැලූ ”ෆෙයාර් ස්ක්වෙයාර් ප්‍රොජෙක්ට්” සංවිධානයේ අධ්‍යක්ෂක නික් මැක්ගීහැන් මහතා ”ද ගාර්ඩියන්” පුවත්පතට පවසා ඇත.

    මෙම සංක්‍රමණිකයන් පිළිබඳ නිවැරදි දත්ත, මියගිය සේවකයන් වෙනුවෙන් වන්දි මුදලක් ලබා දුන්නාද, ඔවුන් මියගිය අකාරය පිළිබඳ පැන නගින ප්‍රශ්න පිළිබඳ ලෝක පාපන්දු සම්මේලනය සහ කටාරය පිළිතුරු දිය යුතු බව ඔහු ”ද ගාර්ඩියන්” පුවත්පතට පෙන්වා දී තිබේ.

    කටාර් ලෝක කුසලාන සංවිධායකින් මියගිය සංක්‍රමණ සේවකයන් සංඛ්‍යාව 40 ක් බවත් ඉන් තුන් දෙනෙකු පමණක් වැඩබිම් වල සිදු වූ අනතුරු හේතුවෙන් මිය ගිය බවත් මීට පෙර ප්‍රකාශ කර තිබිණ.හසාන් අල් තවාඩිගේ මෙම ප්‍රකාශය සමග මියගිය ගණන 40 සිට 400 දක්වා වැඩි වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

    ඉන්දියාව, බංගලිදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල දත්ත වලට අනුව 2011-2020 කාලය තුළ සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ මරණ 5,927ක් සිදුවී ඇත. වෙනමම, කටාර්හි පාකිස්තාන තානාපති කාර්යාලයේ දත්තවලට අනුව 2010 සහ 2020 අතර පාකිස්තාන සංක්‍රමණික කම්කරුවන් 824ක්මියගොස් තිබේ.

    මෙම දත්තවලට 2020 වසරේ අවසන් මාස කිහිපයේ මියගිය අයගේ දත්ත ඇතුලත් නොවන බවද වාර්තා වේ. පිලිපීනය සහ කෙන්යාව ඇතුළු කටාර් වෙත විශාල ශ්‍රමිකයන් යවන රටවල් ගණනාවක මරණ මෙම සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොවන බැවින් මුළු මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩිවිය හැකි බව ගාර්ඩියන් පුවත්පත පවසයි.

    බොහෝ දුරට 2022 දී පාපන්දු තරඟාවලිය සඳහා සූදානම් වීම පදනම් කරගනිමින් පසුගිය වසර 10 තුළ කටාරය පෙර නොවූ විරූ ආකාරයකින් ගොඩනැඟිලි ඉදිකිරීමේ ව්‍යාපෘති ආරම්භ කර ඇත. නව ක්‍රීඩාංගණ හතකට අමතරව, පොදු ප්‍රවාහන පද්ධති, හෝටල් සහ ලෝක කුසලාන අවසන් මහා තරගයට සත්කාරකත්වය සපයන නව නගරයක් නව ගුවන් තොටුපළක්, මාර්ග ඇතුළු ප්‍රධාන ව්‍යාපෘති දුසිම් ගනනක් නිම කර ඇත. ඒ සඳහා බහුල ලෙස සේවයේ යොදවා ඇත්තේ සංක්‍රමණික කම්කරුවන් වේ.