Breaking News

හිටපු සොලිසිටර් ජනරාල්වරියගේ හඬ පටය නිශ්ශංක සේනාධිපති ස්ථාන 10න් සංස්කරණය කරලා

හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති දුරකතන සංවාදයක් සේනාධිපති විසින් පටිගත කර සංස්කරණය කර ඇති බව පරිපාලන අභියාචනා විනිශ්චය සභාව විසින් තහවුරු කර තිබේ.

මොරටුව විශ්ව විද්‍යාලයේ වාර්තාවක් ඇතුලුව විශේෂඥ වාර්තා තුනක් සනාථ කළේ මෙම පටිගතකිරීම සැලකිය යුතු ලෙස සංස්කරණය කර ඇති අතර, එය මූලික හඬපටයෙහි අඩංගු අදහස මූලික වශයෙන් විකෘති කර ඇති බවයි.

මේ අතර රජයේ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඩී.එල්. ගුණතිලක හිටපු සොලිසිටර් ජනරාල්වරියට එරෙහි චෝදනා ගැන පරීක්ෂණයක් පවත්වමින් කියා සිටියේ මෙම හඬපට පටිගත කිරීම ස්ථාන 10 කදී සංස්කරණයට ලක් කර ඇති බවයි.

2019 සැප්තැම්බර් මාසයේදී Youtube වෙත මුදා හැර තිබූ එකී සංවාදය හේතුවෙන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ වැඩතහනම් කර අනිවාර්ය සේවා නිවාඩු යවන බව රාජ්‍ය සේවා කොමිසම විසින් මීට පෙර ඇයට දැනුම්දී තිබුණා.

විනිශ්චය සභාව රාජ්‍ය සේවා කොමිසමට නියෝග කර ඇත්තේ ඉහත වැඩ තහනම් කිරීමේ නියෝගය අහෝසි කරන ලෙසත් වහාම ක්‍රියාත්මක වන පරිදි සොලිසිටර් ජනරාල් තනතුරේ වික්‍රමසිංහගේ රාජකාරි කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර දෙන ලෙසත් ය.

කෙසේවෙතත් හිටපු සොලිසිටර් ජනරාල්වරිය පසුගිය සිකුරාදා (ජූලි 30) විශ්‍රාම ගැන්වීමට නියමිතව තිබුණා.

තීන්දුවේ සඳහන් කර ඇත්තේ, එම පටිගතකිරීම තමා විසින් තම අවශ්‍යතාවයට ගැලපෙන ලෙස සංස්කරණය කිරීමට ලක් කළ බව මූලික විමර්ශනයේදී නිශ්ශංක සේනාධිපති ප්‍රකාශයක් මඟින් පිළිගත් බවයි.

සංස්කරණය නොකළ හඩපටියක් ඉදිරිපත් කිරීමට ඔහුට අවස්ථාව ලබා දී ඇතත් එය කිරීමටද ඔහු අසමත් වී ඇත.

හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකදී සේනාධිපති දුරකථන ඇමතුමක් ලබාගැනීමෙන් ඩිල්රුක්ෂි ඩයස් උගුලකට හසුකරගෙන ඇති බව අදාළ පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර වජිර අබේවර්ධන සිය දුරකථනය වික්‍රමසිංහට දිගු කරමින් පවසා ඇත්තේ තමන් හට ඇය සමඟ කතා කිරීමට අවශ්‍ය බව නිශ්ශංක සේනාධිපති පවසන බවයි.

ඔවුන්ගේ සංවාදය නීත්‍යානුකූල ප්‍රසම්පාදනය පිළිබඳ ප්‍රශ්නයකට සම්බන්ධ වූවකි.

අධිකරණයේදී කරුණු ඉදිරිපත් වී ඇත්තේ සේනාධිපති මහතා හිතා මතාම උගුලක් අටවා ඔහුගේ අවශ්‍යතාවය සඳහා ඇය සමඟ කරන ඕනෑම දුරකථන සංවාදයක් පටිගත කිරීමට පෙර සූදානමකින් බලා සිටි බව ඔප්පුවන බවයි.

මේ අතර, සේනාධිපති විසින් ප්‍රකාශයට පත්කරන ලද හා බෙදාහරින ලද බව කියන හඬපට සහ වීඩියෝ පටය තුළින් තමාට සිදු වූ අලාභය හා හානිය සඳහා රුපියල් බිලියන 2 ක මුදලක් වහාම ගෙවන ලෙස ඉල්ලා ඩිල්රුක්ෂි ඩයස්, නිශ්ශංක සේනාධිපති වෙත එන්තරවාසි ලිපියක් ද යවා තිබෙනවා.

leave a reply