Breaking News

ටිරාන් උද්ඝෝෂණ මැඩලන්න බ්‍රිතාන්‍ය අගමැති අනුගමනය කරනවලු

සුළුතරයක් විසින් සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය කඩාකප්පල්වන ආකාරයට සිදු කරන ‘නීති විරෝධී’ උද්ඝෝෂණ මැඩලීමට බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනක් අනුගමනය කිරීමට තමන් සූදානම් බව පොලිසිය බර ඇමති ටිරාන් අලස් පවසයි.

ඍෂි සුනක් නීතිවිරෝධී ආකාරයේ උද්ඝෝෂණ මැඩලීමට පොලීසියට අලුත් බලතල ලබා දී ඇති බවත් තමන්ද එම ශිෂ්ඨ සම්පන්න යුරෝපීය අත්දැකීමෙන් පිට කිසිදු විටෙක කටයුතු නොකරන බවත් ටිරාන් අලස් පවසා තිබේ.

බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් උපුටා දක්වමින් ටිරාන් අලස් අමාත්‍යවරයා එබව සඳහන් කර ඇත්තේ, ට්විටර් පනිවිඩයක් නිකුත් කරමිනි.

බ්‍රිතාන්‍ය අගමැති රිශී සුනාක් පවසා තිබුණේ “ආත්මාර්ථකාමී සුළුතරයක් සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතය කඩාකප්පල් කරන ආකාරයට සිදුකරන නීති විරෝධී උද්ඝෝෂණ කිසිසේත් අනුමත නොකරන බවත්, නීති විරෝධී කටයුතු කරන උදවිය නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් දැනුවත් විය යුතු බවයි. තවද නීති විරෝධී උද්ඝෝෂණ මැඩලීම සඳහා පොලිසියට අලුත් බලතල ලබාදී ඇති බවත් ය. ”

සුනක්ට හිසරදයක් වී ඇති බව පෙනෙන්නේ බ්‍රිතාන්‍යයේ තරුණ පිරිස්වල සහභාගිත්වයෙන් මෑතක සිට සිදුවෙමින් පවතින ‘Just Stop Oil ‘ ව්‍යාපාරයේ පා ගමන් සහ විරෝධතා බව පෙනේ. ‘Just Stop Oil ‘ ව්‍යාපාරය ඉල්ලා සිටින්නේ බ්‍රිතාන්‍ය විසින් ක්‍රියාත්මක කරන ෆොසිල ඉන්ධන ව්‍යාපෘති නතර කරන ලෙසයි. එම ව්‍යාපෘති නවතා දැමීමට ආණ්ඩුව එකඟ වෙනතුරු තමන්ගේ විරෝධතා පවත්වන බව ඔවුන් සපථ කර තිබේ. මෙම ව්‍යාපාරය විසින් ප්‍රධාන වීථිවල පා ගමන් යාම, තෙල් පර්යන්තවලට කඩා පැනීම් සහ කලා කෘතිවලට ප්‍රහාර එල්ල කිරීම සිදුකරමින් සිටියි.

රිෂී සුනක්ට මෙම පාරිසරික විරෝධතා හිසරදයක් වීම පුදුමයක් නොවේ. බ්‍රිතාන්‍ය මේ මොහොතේ සිටින්නේ දේශපාලනික සහ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමිනි. සුනක් යනු ජනතා කැමැත්තකින් බලයට පත්වූ පාලකයෙක් නොවේ. ‘Just Stop Oil ‘ වැනි විරෝධතා ආණ්ඩුවට එරෙහි විරෝධතා දක්වා වර්ධනය වීමේ ලොකු ඉඩක් පවතියි. ඔහුට අවශ්‍ය වන්නේ ඊට පෙර මෙම විරෝධතා මර්දනය කර දැමීමටයි.

දැන් අපි ටිරාන් දෙසට හැරුනහොත් ඔහු සුනක්ව අනුගමනය කිරීමට සිතීම ගැන පුදුම විය යුතු නැත. ලංකාව තුළද මේ වනවිට පවතින අර්බුදය හමුවේ දැනට පවතින අරගලය වර්ධනය විය හැක. ඊට පෙර ටිරාන්ටද අවශ්‍යව ඇත්තේ නීතිවිරෝධී උද්ඝෝෂණ ලෙස ලේබල් කර අරගලය මර්දනය කිරීමටයි. සුනක්ට සහ ටිරාන් යන දෙදෙනාටම අවශ්‍යව ඇත්තේ ජනතාවගෙන් තම ඔලුව බේරා ගැනීමටයි.

leave a reply