ගම්පහ දිස්ත්‍රික්කයේ නැදුන්ගමුව වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් පිටවෙන අපද්‍රව්‍ය භූගත ජලයට එක්වීමෙන් පසු ඇතිවූ තත්ත්වය නිසා පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ වැලිවේරිය අවට ප්‍රදේශවාසන්ට වෙඩි තබා ඝාතනය කර ඊයේ දිනට වසර 10කි.
රතුපස්වල ජල සටන ආරම්භ වූයේ 1997 වසරේදීය. 1997 වසරේ සිට පැවති එක් රජයකින්වත් සාධාරණයක් නොවුණු තැන 2013 ජූලි 27 වැනිදා ප්‍රදේශවාසීහු රතුපස්වලදී පාරට බැස විරෝධතා ආරම්භ කළහ. ජූලි 27 ඇරැඹි උද්ඝෝෂණය අඛණ්ඩ උද්ඝෝෂණයක් බවට පත්වෙමින් 28, 29, 30 සහ 31 යන දින හතරේම පැවැත්විණි. එවකට රාජපක්ෂ රජයට දැනෙන ලෙස අඛණ්ඩ උද්ඝෝෂණයක් කිරීම සිහිනයක් වුවත් රතුපස්වලදී පාර බැසි වැඩි හරියක් ජනතාව 2010 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා ඡන්දය දුන්නෝ වෙති.
දින හතරක අඛණ්ඩ උද්ඝෝෂණයකිනුත් සෙතක් නුවුණු තැන අගෝස්තු පළමු වැනිදා දහස් ගණනක් ප්‍රදේශවාසීහු ප්‍රධාන වශයෙන් ස්ථාන තුනකදී විරෝධතා ආරම්භ කළහ. අදාල කර්මාන්ත ශාලාව අසල, වැලිවේරිය නගරය සහ බැලුම්මහර මංසන්ධියෙන් විරෝධතා ඇරැඹෙන්දී ආරක්ෂක ලේකම් සමග සාකච්ඡාවකට බව කියමින් විරෝධතාවල ඉදිරිපෙල සාමාජිකයෝ කිහිප දෙනෙක් කොළඹට කැඳවූහ.
එම රැස්වීම ඉවර වීමටත් පෙර බැලුම්මහර මංසන්ධියට යුද හමුදාව ලවා ප්‍රහාරයක් එල්ල කළේය. පොලු මුගුරු අතැති යුද හමුදා සාමාජිකයෝ ජනමාධ්‍යවේදීන්ට මුලින්ම පහර දුන්හ. අනතුරු ජනමාධ්‍ය පළවා හැරීමෙන් පසු සාමාන්‍ය ජනතාවට පහර දුන්හ. මෙම පහරදීම සිදුවෙද්දි මම යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකට කතා කර මෙම පහරදීම ගැන විමසීමක් කළෙමි. ඔහු ප්‍රකාශ කළේ ආරක්ෂක ලේකම්ගේ (ගෝඨාභයගේ) රැස්වීමක් යද්දී මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ සිදු කිරීමට වැරදි නිසා ඔවුන් පලවා හැරි බවයි. එම ප්‍රකාශයෙන් පැහැදිලිවම තේරෙන්නේ මෙය සැලසුම් සහගත ප්‍රහාරයක් බවයි.
ඉන් පසුව බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනගේ (දැන් මේජර් ජනරාල්) ප්‍රධානත්වයෙන් යුත් හමුදා කණ්ඩායම වැලිවේරිය නගරයට ගිය අතර එහි සිටි ජනමාධ්‍යවේදීන්ට ද ප්‍රහාරයක් එල්ල කළහ. තමන් ජනමාධ්‍යවේදීන් බවට තහවුරු කරමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්ම නිකුත් කරන හැඳුනුම්පත පෙන්වද්දී ඒ ගැන තඹ සතේකට ගණන් නොගෙන ජනමාධ්‍යවේදීන්ට පහරදී පළවා හැරීය.
ඉන් අනතුරුව නිරායුධ සිවිල් වැසියන් පහර දෙමින් වෙඩි තබන්නට වූහ. අතුරු මාර්ගවල පන්නා පන්නා වෙඩි තැබූහ. නිවාසවලට පැන පහර දුන්හ. වැලිවේරිය නගර මධ්‍යයේ පිහිටි කිතුණු දේවස්ථානයට කඩා වැද එහි සිටි පිරිසටද පහර දුන්හ. කන්‍යාරාමයට කඩාවැදී කන්‍යාෙ සොයුරියකට ගිනි අවිය දිගු කළේය. පල්ලියේ සෑම දෙසකටම වෙඩි තැබූහ. පල්ලිය තුල සිටි පිරිසට අමානුෂික ලෙස පහර දුන්හ. ටෙලිකොම් ආයතනයට පැන එහි සිටි කාර්ය මණ්ඩලයට පහර දුන්හ.
මෙම පහරදීමේ සහ වෙඩි තැබීමේ ප්‍රතිඵලයක් ලෙස පාසල් සිසුහු දෙදෙනක් සහ ඇඟළුම් කම්හල් සේවකයෙන් මිය ගිය. එක් පාසල් සිසුවෙකුට වෙඩි තබා තිබුණේ ඔහු අතුරු පාරක සිටියදීය. මරණයට පත්වූ ඇඟළුම් කම්හල් සේවකයාට මැරෙන තුරු යුද හමුදාව පහර දී තිබුණේ ඔහු කිතුණු දේවස්ථානයේ සිටියදීය.
අමානුෂික ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයේ වැටී තිබූ උණ්ඩ අහුලා ලේ සෝදා නගරය සුද්ධ පවිත්‍ර කළ අතර පසුව ආරක්ෂාවට යැයි කියමින් පොලිසිය සහ තවත් හමුදාව යෙදවීය. පල්ලිය ඇතුළේ වෙඩි තැබූවත් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලන කාදිනල්තුමෝ ඇතුළු පිරිස ඊට යුක්තිය ඉල්ලා කෑමර නොදුන්හ. මෙම අයුක්තියට එරෙහිව අබියෝග කළේ නැත. බෞද්ධ ස්වාමීන් වහන්සේලා ද දෙතුන් නමක් හැරුණු විට අනිත් හිමිවරු මෙම අපරාධයට එරෙහිව හඬ නොනැගූහ.
ආණ්ඩුව මෙම විමර්ශන බාර දුන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයට වන අතර ඔවුන් විමර්ශන කළේ සාක්කි යටපත් වන අන්දමටය. රතුපස්වලට සාධාරණයක් නොවන පසුබිමක 2015 ජනාධිපතිවරණයේදී ප්‍රදේශවාසීන් එක්ව මහින්ද රාජපක්ෂට ගම්පහ දිස්ත්‍රික්කයෙන් දැවැන්ත පරාජයක් අත්කර දුන්නේය. මහින්දට පරාජය අත්කර දුන්නේ මහින්ද වෙනුවෙන් ඡන්දය ලබා දුන් අති බහුතරයක් විසින් වීම විශේෂත්වයකි.
කොළඹ අපරාධ කොට්ඨාසය සාක්කි වසන් කරමින් කරන මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරණ ලෙස ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් මම 2015 පෙබරවාරි 06 වැනිදා CIB ii 332/19 අංකයෙන් පොලිස්පතිට පැමිණිල්ලක් කළෙමි. පසුව එම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කෙරුණු අතර එය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් එහි විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ සහ පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදු වූ අතර යුද හමුදාවේ බ්‍රිගේඩියර් (දැන් මේජර් ජනරාල්) දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ වන විට මෙම අපරාධය සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී හමුදාවේ පිරිසට එරෙහිව නඩු විභාගය පැවැත්වේ.
රතුපස්වල මෙතරම් දුර දිග යෑමට හේතු වූ වැලිවේරිය හිටපු පොලිස් ස්ථානාධිපති එස් කේ උපාලි ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණේ නැත. රතුපස්වල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබන ලෙස නියේග කළ පිරිසට නීතිය ක්‍රියාත්මක වූයේ නැත. පරිසරය දූෂණය කළ කම්හල ගම්වාසීන්ගේ නොනවතින විරෝධය හේතුවෙන් වෙනත් ස්ථානයකට ගෙන ගියද කම්හලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේ නැත.
තුවාල කරුවන්ට වන්දි ගෙනදීම සඳහා අපට ලොකු වෙහෙසක් දැරීමට සිදුවිය. මොන විවේචන තිබුණත් මාධ්‍යවේදී සජීව විජේවීරගේ මැදිහත්වීම මත එවකට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශ්‍රිරාල් ලක්තිලක මෙම කටයුත්ත සඳහා ලොකු වැඩකොටසක් කළේය. අවසානයේ තුවාල වූවන් වෙනුවෙන් වන්දි ලැබිණි.
විරෝධතා අතරතුර ගස්ලබු ගස් පොඩිවීයැයි ඇතුළු චෝදනා නගමින් ගම්වාසීන්ගේ පළි ගැනීමට නඩු ගොනු කර තිබුණු අතර ඒවා ඉවත් කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේ නැත. අවසානයේ සාක්කි නොමැතිකම නිසා ගම්වාසීන් නිදහස් කෙරිණි.
නොමිලයේ ළිංවලින් වතුර බිව් ජනතාවට අවසානයේ සිදුවූයේ මුදල් ගෙවා නල ජලය ලබා ගැනීමටය.
යහපාලන ආණ්ඩුවෙන් රතුපස්වලට යුක්තිය ඉෂ්ඨ වූයේ නැත. ඇතැම්විට ශානි අබේසේකරලා රහස් පොලිසියේ නොසිටින්නට වෙඩි තැබූ හමුදාවේ පිරිසට ද නඩු නැත. යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය නිසාම අවසානයේ රතුපස්වල ජනතාව ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන තැනට තල්ලු විය. ගෝඨාභය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු චූදිත බ්‍රිගේඩියර්වරයා මේජර් ජනරාල්වරයකු ලෙස උසස් කළේය.
2022 ගෝඨා ගෝ හෝම් අරගලයේදීද රතුපස්වල ජනතාව ලොකු වැඩකොටසක් කළහ. එය ඇතැම්විට බොහෝ දෙනකු නොදන්නවා විය හැකිය.
ගාලුමුවදොර අරගලයේදී සේම රතුපස්වල ජන අරගලයටද රැකියා අහිමිකරගෙන පැමිණි ඇතැමුන්ට තවමත් රැකියා නැත. තවත් පිරිසක් පහරකෑමෙන් සහ වෙඩි කෑමෙන් තවමත් දුක් විඳිති. තිදෙනකුට ජීවිතය අහිමිව ගොස් තිබේ.
මෙවැනි විපතක් ඇති කළ රාජපක්ෂ ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස නීතියෙන් බාධාවක් නැතිව තවමත් යහතින් සිටිති. කර්මාන්ත ශාලා හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වී සිටී. ජනතාව තවමත් දුක් විඳිති.