Breaking News

VIDEO – බෙල්ලන්විල රජ මහා විහාරයේ දුක්විඳින මියන් කුමාර්ගේ අලුත් කතාව

සංජීවනී රූපසිංහ

බුදුන් වහන්සේ දේශනා කළේ සියලු සත්වයින්ට මෛත‍්‍රී දක්වන්නා වූ ධර්මයකි. බෞද්ධයෝ දිනපතා මෙත්ත සූත‍්‍රය ශ‍්‍රවණය කරනු ලබන ජන කොටසක් වෙත්. එහි දැක්වෙන්නේ මෛත‍්‍රියයි. දුර සිටින සතුන්ටද ළඟ සිටින සතුන්ටද ඇසට පෙනෙන සතුන්ටද ඇසට නොපෙනෙන සතුන්ටද බුදු දහම මෛත‍්‍රී කරන්නට කියා දෙයි. එවන් බුදු දහම නියෝජනය කරන අග‍්‍රස්ථානයක් වූ බෙල්ලන්විල රජ මහා විහාරයට 2013 වසරේදී මියන්මාරය විසින් ඇත් පැටවෙක් පරිත්‍යාග කළ අතර ඔහු මියන් කුමාර් නම් විය. මෙම හස්තියා දිගින් දිගටම දරුණු අපයෝජනයන්ට ලක් වෙමින් සිටි අතර විවිධ සංවිධාන ඒ පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සහ රජයේ වගකිවයුතු නිලධාරීන් දැනුවත් කිරීම සිදු කරනු ලැබීය. එහෙත් ඒ කිසිවකින් පලක් වූයේ නැත. ඒ අතර 2020 ජනවාරි 29 වන දින මියන්මාරය මෙම සතාට සිදු කරන අපයෝජනය නවතා දමන ලෙසයි ඉල්ලා සිටියා. මියන්මාර තානාපතිවරයා විහාරස්ථානයට පැමිණි අතර ඒ පිළිබඳ වගකිවයුතු භික්ෂූන් වහන්සේ නමක් සමාව අයද සිටි බව එකල කියවිණි. එහි එක් හැරවුම් ලක්ෂයක් වන්නේ මියන් කුමාරට ආහාර දෙන්නට ගිය අවස්ථාවේ බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ එහි ඇද වැටී අපවත් වීමයි.ඒ පිළිබඳ විවිධ කට කතා වලට අනුව කියවුණේ මියන් කුමාර පහර දීමෙන් ස්වාමීන් වහන්සේ අපවත් වූ බවයි. එය සත්‍යයක් හෝ අර්ධ සත්‍යයක් වන්නේ නම් ඒ එම අපයෝජනයන් පිළිබඳ සතා තුළ ගොජ දමමින් තිබූ වෛරයයි. මෙවැනි පහරදීම් කළ පළමු ඇතා මියන් කුමාර නොවේ. හවායිවල සිටි සර්කස් සඳහා පුහුණු කළ එක් ඇතින්නක්ද දීර්ඝ කාලීන කෲරත්වය ඉවසිය නොහැකිව සිය ඇත් ගොව්වා මරා නිදහස සොයා එළියට එන්නේ සිය සර්කස් ජීවිතයට ආයුබෝවන් කියමිනි.

සතෙකුට කතා කර ඔහු වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිටිය නොහැක. කතා කර සාධාරණය ඉල්ලා සිටීමට නොහැකි සතුන් ගහකොළ වෙනුවෙන් යම් සමාජයක් කොතරම් සංවේදී වන්නේ ද එකී සමාජයේ සදාචාරයේ නිර්ණායකය ද එයම වනු ඇත. සතුන්ට ගහ කොළවලට හිංසා කිරීම පැන නගින්නේ දිගු කාලයක් යුද්ධ කරමින් මානව ගුණධර්ම පිරිහී ගිය සමාජ ප‍්‍රතිමාන බිඳී ගිය ජාතියක් බවට අප පත්ව ඇති නිසාය. අවසංවේදීකරණය වූ ජාතියක ඛේදවාචකය නිරූපනය කරමිනි. අනෙක් අතට අපි තුළ රෝපණය කරවූ අහංකාර චින්තනයයි. අපි තමයි ලොක්කෝ යන චින්තනයයි. අප අන් ජාතීන් පෙලන්නේ ද ස්ත‍්‍රීන් පෙළන්නේ ද කුඩා දරුවන් අපයෝජනය කරන්නේ ද සතුන්ට හිංසා කරන්නේ ද ගහකොළ කඩා බිඳ දමන්නේද මේ අධිකාරී චින්තනය නිසාය. එහෙත් ඔබට මට මෙන්ම මේ මහ පොළොව සතුන්ට ද ගහකොළවලට ද අයිතිය. මේ සමාජයේ සමාජ ප්‍රති මානයන් ගොඩ නගන්නට තවත් බොහෝ කල් ගත වනු ඇත. එහෙත් අප එදිනෙදා පැන නගින ගැටලූ උදෙසාවත් කෙටිකාලීන පිළිතුරු ලබා ගත යුතු වෙමු. මියන් කුමාර පිළිබඳ ප‍්‍රශ්නය ද එබඳු ප‍්‍රශ්නයකි.

මේ වන විට මෙම හස්තියා නැවතත් දරුණු අපයෝජනයට ලක්ව සිටී. නායක හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පසු ඔහු හොරණ ප‍්‍රදේශයේ තැබූ බව සැලවුව ද එය කුමන ස්ථානයේ දැයි දැන ගන්නට නොහැකි විය. නැවතත් මෙම සත්ත්වයා බෙල්ලන්විල විහාරයට ගෙනැවිත් ඇති අතර දරුණු දඬුවමට ඔහු පත් කරමින් ඔහුට දිගින් දිගටම පහර දෙමින් සිටී. නායක හිමියන් මේ පිළිබඳව මුනිවත රකින්නේ බෙල්ලන්විල රජමහා විහාරය ශ‍්‍රී ලාංකීය බුදුදහමේ මුදුන්මල් කඩක් බව ද අමතක කරමිනි. එවන් පුදබිමක මෙවන් විපතක් සිදු කළ හැකිද?

සත්ත්වවේදීන් පවසන ආකාරයට දරුණු වදහිංසනයට ගොදුරුව මෙම සතාට මානසික රෝගයක් වැලදී ඇත. ඒ සඳහා පශූ වෛද්‍යවරයෙකු ගෙන්වා නිසි පරිදි ඖෂධ ලබා දීම වෙනුවට පහර දීම සදාචාරය අගයන කිසිම සමාජයක් පිළි නොගනු ඇත. අතීතයේ මානසික රෝගීන්ට පහර දීම යුරෝපයේ මෙන්ම ලංකාවේද ඉතිහාසය ඇසුරෙන් අපට සොයා ගත හැකිය. එහෙත් පහර දීමෙන් කිසිම මානසික රෝගියෙක් සුවපත් නොවන අතර එය ඉතා අමානුෂික ක‍්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතුද? මෙම සතාට ද පහර දීමෙන් කීකරු කර ගැනීම කළ හැකි දෙයක් නොවන අතරම එය හුදු ම්ලේච්ඡුත්වය පමණක් වනු ඇත. පා සතරම බැඳ දමා මෙසේ සතෙකුට හිංසා කළ හැක්කේ කවරෙකුටද? නිසැකවම එම මිනිසා පරපීඩන කාමුකත්වය නම් මානසික ව්‍යාධියෙක් පෙළෙන්නෙක් විය යුතුය. මේ මානසික ව්‍යාදීන්ගෙන් පෙළෙන මිනිසුන් මැද අපයෝජනයට ලක්ව කුඩා දරුවෙකු මෙන් කෑ ගසන හඬ හස්තියාද අද වන විට මානසික රෝගයකින් පෙළෙනවා විය හැකිය.

මේ අහිංසක සත්ත්වයා මෙම කෲරත්වයෙන් මුදවා ගන්නට එක්වන මෙන්, මේ සත්ත්වයා කෑ ගසා හඬා ඉල්ලන නිදහස ඔහුට ලබා දෙන්නට එක්වන මෙන් මම ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.

ආතතියෙන් පෙළෙන මියන් කුමාර්

මියන් කුමාර්ට අඩම්තේට්ටම් කරමි

 

leave a reply