Breaking News

රනිල් අයවැයෙන් විප්ලවයක් ගැන කතා කරලා ප්‍රතිවිප්ලවයකට සූදානම් වෙනවා – පුබුදු ජයගොඩ

රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ අයවැය කතාවෙදි ඔහු විප්ලවයක් ගැන කතා කරමින් ප්‍රතිවිප්ලවයකට සූදානම්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ඊයේ(15) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ වාමාංශිකයන් ඉදිරිපත් කළ විවේචන වෙනත් ආකාරයෙන් පුනරුච්චාරණය කරන රනිල් වික්‍රමසිංහ ඊට විසඳුම් ලෙස ගෙන එන්නේ ජනතා විරෝධී විසඳුම් මාලාවක් බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

“නවලිබරල් ආර්ථිකය ජනතාවට කිසිදු වාසිදායක යමක් ඉතිරිකර නැති බවට වමේ විවේචනය ප්‍රකාශ කරමින් රනිල් කරන්න යන්නෙ ජනතා සුබසාධන මුලුමනින්ම කප්පාදු කිරීමට හේතු දැක්වීමයි. 1977 ජේ.ආර්. ඉදිරිපත් කළ ක්‍රමයටත් එහා ගිය කප්පාදුවක් ඔහු කරන්න සූදානම් වෙන්නෙ. මාගරට් තැචර් එංගලන්තයෙදි කිව්ව ‘ම්ලේච්ඡ ධනවාදී’ ක්‍රියාමාර්ග මෙහි ක්‍රියාත්මක කරන්න ඔහු සූදානම් වෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කප්පාදු කිරීම් කළත් මිලදී ගැනීමේ හැකියාව පවත්වා ගෙන යන්න යම් සමාජ සුබසාධන ක්‍රමවලට අවස්ථා හදනවා. නමුත් රනිල් වික්‍රමසිංහ ගේන්නෙ පහළ ආදායම්ලාභින් සියලු දෙනා සම්පූර්ණයෙන් ඇද වැටෙන විදියේ කප්පාදුවක්.

ඊළඟට රනිල් කියන විදියට ආර්ථිකයේ ප්‍රතිලාභ බුක්ති විඳින විදියට සුලු පිරිසක් වෙනුවට සමාජයම ඉහළට එසවීමලු අරමුණ. සමව බෙදී යන සියලු දෙනාට සම අවස්ථා හිමිකරන ආර්තිකයක් ගැන ඔහු කියනවා. මේක තමයි සමාජවාදින්ගේ ඉල්ලීම. නමුත් එහෙම කියමින් රනිල් මොනවද යෝජනා කරන්නෙ? ඔහු ක්‍රියාත්මක කරන්නෙ ඊට සපුරා ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙළක්. උදාහරණයක් විදියට බුදුන් උපුටා දක්වමින් පරිභෝජනයට නෙවෙයි ආයෝජනයට ණය ගතයුතුයි කියලා රනිල් කියනවා. ණය ගත්තම ඒ ණය යම් නිෂ්පාදනීය අරමුණක් වෙනුවෙන් ගත යුතුයි කියන එක විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භයේ සිට බොහෝ දෙනා අවධාරණය කරණ අදහස. නමුත් වසර හතළිස් ගණනක් තිස්සේ කළේම ණය අරගෙන කිසිදු නිෂ්පාදනීය වටිනාකමක් නැති දේට යෙදවීමයි. විශාල ගොඩනැගිලි, පාලම්, පාරවල් හදනවා වගේ යටිතල පහසුකම්වලට යටකරලා රටේ ආදායම් උපදවන්න හැකියාවක් නෑ. රනිල් වික්‍රමසිංහ මේ අවුරුදු හතළිස් ගණනම පාර්ලිමේන්තුව නියෝජනය කලා, කැබිනට් මන්ඩල නියෝජනය කළා. අගමැති ලෙස වැඩ කළා, දැන් ජනාධිපති ලෙසත් කාලයක් වැඩ කළා. නමුත් ඒ කාලය පුරාම ණය අරගෙන කලේ ඔහු කියන දේට පටහැනිවයි. දැන් රට අන්තිම අගාධයට වැටුණම නහයෙන් අඬනවා රටට ණය වෙවී අපි මඟුල් කෑවා, බුදු හාමුදුරුවො නම් මෙහෙමයි කිව්වෙ කියලා. මේ කතාව කියලා රනිල් ණය අරගෙන නිෂ්පාදනීය ආයෝජන ලෙස කරන්න යන්නෙ මොකක්ද කියලා නිශ්චිතව කියන්නෙත් නෑ.

රනිල් ලෝකෙට ණය වෙලා කෑවා කිව්වට. එයා ගෙනල්ලා තියෙන්නෙ ලෝකෙට ණය වෙලා, මගුල් ගේයි ගෙදර බඩු මුට්ටුයි මනමාලියි හැමෝම ණයට සින්න වෙන අයවැයක්.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන සියල්ලම නොකර වෙනත් දේවල් කිරීම ගැනත් කියලා, ප්‍රගතිශීලි අයවැයක් ගෙන එනවා කියලා කරන්න යන්නෙ මොකක්ද කියලා ඔහුගේ මුලු කතාව ඇහුවම තේරෙනවා. ආයෝජකයන්ට දිරිමත් කරන්න පහසුකම් සලස්වනවා කියන, රනිල් ගෙ ආර්ථික සැලසුම්වල සුලු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් ශක්තිමත් කිරීමට මොනවද තියෙන්නෙ? මහා පරිමාණ බහුජාතික සමාගම්වලට බදු සහන ආදි වශයෙන් විශාල වශයෙන් සහන දෙමින් මේ රටේ කර්මාන්තකරුවන් බිලිදීමේ සැලැස්මක් තමයි රනිල් මේ විප්ලවයක් කියමින් ගෙනත් තියෙන්නෙ. ආයෝජකයන් දිරිමත් කරන්න යටිඅතල පහසුකම් සකස් කරන්න ණය ගන්න බවත් කියනවා. මේ කරන්න යන්නෙ පරණ දේම නෙවෙයිද? ණය ගැනීම ගැන එකතැනක එකක් කියලා කරන්නෙ පරණ දේම තමයි.

ආයෝජකයන් ආකර්ෂනය කරගන්න වෙනත් රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරන බවකුත් කියනවා. මේ වනවිට ඉන්දියාව සමග අත්සන් කළ නිදහස් ගිවිසුම් නිසා මේ රටේ සුලු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට සිදුව ඇති විනාශය දැක දැකත් මේ කරන්න යන්නෙ ඒකම තමයි. සෙස් බද්ද අහෝසි කරන්නත් යනවා. දේශීය නිෂ්පාදකයන් වෙනුවෙන් පනවා ඇති සියලු සෙස් බදු අවුරුදු 3කද් ඇතුළත සම්පූරන්යෙන් ඉවත් කරන්න යෝජනා කරනවා.

මේ අතර කම්කරු ව්‍යාපාරය විසින් සටන් කරමින් දිනාගත්ත අයිතිවාසිකම් ආරක්ෂා කරන ලංකාවෙ කම්කරු නීති සශෝධනය කරන්න සැලසුම් කර තිබෙනවා. මේ රටේ කම්කරුවන් ආරක්ෂා කරන නීති කප්පාදු කරමින් ප්‍රාග්ධන හිමියන්ගේ පහසුවට සේවක අයිතිවාසිකම් අහෝසි කරන්නයි යන්නෙ.
මේ රටේ රජයේ ඉඩම් වෙළඳපොළට ගෙන යන නීති ප්‍රතිසංස්කරණ ගෙනත් මේ රටේ ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය සමාගම් අයිතියට පැවරීමේ පියවර ගැනීමයි.

ඊළඟට සියලු රාජ්‍ය ව්‍යවසාය විකුණා දැමීමට යෝජනා කරනවා. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආයතනය, හිල්ටන් සහ වෝටර්ස් එජ් හෝටල් විකුනා දමන්න යෝජනා කරනවා. මේ අතරින් ශ්‍රීලන්කන් හැර අනික් ආයතන සියල්ම හොඳට ලාභ ලබන ආයතන. රාජය වයවසාය ලෙස පාඩු ලබන බව කියමින් මේවා විකුණා දමන්න රනිල් සූදානම් වෙන්නෙ. 2014 දක්වා ලාභ ලබපු ශ්‍රීලන්කන් ආයතනය කාාබසිනියා කළේ මහින්දගෙ චක් ගෝලයන්. ඒ නිසා ඒක ගැන වෙනම පරික්ෂණ කරලා ලාභ ලබන ආයතනයක් දක්වා පත්කරක්න හැකියාව තිබෙනවා. නමුත් සියල්ල විකුණා දමන්න හේතු දක්වද්දි වංචනික ලෙසයි රනිල් කරුණු දක්වන්නෙ.

අනෙක් පැත්තෙන් පාසල් අධයාපනය කප්පාදු කරමින් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරිමටත් සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරණය වේගවත් කිරීමටත් අයවැයෙන් සැලසුම් කර තිබෙනවා. මේ පසුගිය ආණ්ඩු සියල්ලම විසින් සැලසුම් කරපු, නවලිබරල් ප්‍රතිසංස්කරණවල නිහ්චිත අංගයක් රනිල් විසින් ගෙන ඇවිත් තිබෙන්නෙ. මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය, මව්පියන් ගුරුවරුන් ප්‍රගතිශීලි ව්‍යාපාර විසින් පරාජය කළ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය බහුජාතික සමාගම්වලට ලාභ උවමනාවන්ට පවරා දෙන උත්සාහය නැවත කරළියට ගැනීමක්.

මේ ආකාරයට මේ රටේ ආර්ථිකයේ අප හඳුනාගත් අඩුපාඩු සියල්ල ඒ ලෙසම පවත්වා ගෙන යමින් රනිල් මේ අයවැයෙන් කරන්න යන විප්ලවය මොකක්ද? මේ විප්ලවය කිය කියා ප්‍රතිවිප්ලවයක් කරන්න සූදානම් වෙන්නෙ. ඒ නිසා මේ අයවැයට අප විරුද්ධ වියයුතුයි, ජනතාව, ප්‍රගතිශීලි ව්‍යාපාර, වැඩකරන ජනතාව, ගොවියන්, කම්කරුවන්, ධිවරයන්, කාන්තාවන්, ශිෂ්‍යයන් වගේම සුලු හා මධ්‍ය පරිමාණ නිස්පාදකයන් සියල්ල ඒකරාශි වී මේ ප්‍රතිවිප්ලවයේ උත්සාහය පරාජය කළ යුතුයි, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒ සඳහා වැඩකරන ජනතාව දැනුවත් කිරිමත් ජනතාව සංවිධානය කිරිමත් කරන බව අවසාන වශයෙන් සඳහන් කරනවා.”

 

leave a reply