බිහිසුණු දේශපාලන කෘරත්වයක් මුදා හරිමින් 1977න් පසුව ජේ.ආර්. ජයවර්ධන පාලනයද ඉන්පසුව රණසිංහ ප්‍රේමදාස පාලනයද ගෙන ගිය ජනතා විරෝධී පාලනය හමුවේ අභීතව හඬ නැගූ විප්ලවවාදී ලේඛකයා, පත්තරකාරයන් අතර ‘සුනිල් අයියා’ නිසැකවම අප වෙත තබා ගිය ආදර්ශයන් රැසක්! ඔහු නික්ම ගිහින් යැයි කියනු මිස ඔහු නිහඬ වී ඇති බවක්, අභාවයට පත්ව හෝ මිය ගිය බවක් හෝ කිව නොහැකියි.
ස්වකීය පත්තරකාර භූමිකාවේදී නිසැකවම අවංක වූ ඔහු පසුකාලීනව දේශපාලන මතිමතාන්තර පළ කිරීමේදී දුර්වලකම් ගණනාවක් සිදු කළා. ඒ සම්බන්ධව ඔහුට විවෘතව අපගේ අදහස් ප්‍රකාශ කළ විට ඇතැම් කරුනු සම්බන්ධ එකඟ වුවත් වාමාංශිකයකු ලෙස හිඳිමින්ම සිංහල ජාතිකවාදයට, යුදකාමිත්වයට සහාය පළ කරමින් සිය සීමාව සලකුණු කරන්නට ඔහු කටයුතු කළා. නමුත් ඔහුගේ පුවත්පත් කලාවේ පුරෝගාමිත්වය ගැන නම් විවාදයක් නෑ.
ඔහුට සම කළ නොහැකි කුඩා පත්තරකාරයන් ලෙස අපට ඒ විසල් දේහය ශක්තියක් ධෛර්යයක්!
තවමත් අප අත ලෙළ දෙන පෑන ඔහු ඇතුළු අසහාය පත්තරකාරයන් අතළොස්සක් විසින් පණ පෙවූණක් බව කිව යුතුයි!
‘අටවෙනි පිටුව‘ ඇසුරෙන් වාම පුවත්පත් කලාවේ අත්පොත් තැබූ පරපුරක ගමන් සගයෝ බොහොමයකි. ‘සත්‍යවාදියාගේ දිනපොත‘ සිය සමාජාවබෝධයේ මුල් පොත බවට පත්කරගත් අපේ කාලයේ මිනිස්සු දහස් ගණනකි. එහෙත් සුනිල් මාධව නම් පත්තර කලාවේ සෙන්පතියා ඒ සියල්ල පරදුවට තබා පත්තර කොම්පැනිකාරයාගෙන් මිදී වීදියට බැස්සේ මුදලට වඩා තම ප්‍රතිපත්ති අගය කළ නිසාය. ඉන් අනතුරුව සුනිල් අයියා ‘ලක්මිණ‘ පුවත්පතේ නව විකල්ප පුවත්පත් කලාවක් වෙනුවෙන් කළ අත්හදා බැලීම වැරදුනි. අධෛර්යයට පත් නොවී ඔහු සිය සගයන් සමග තවදුරටත් ප්‍රයත්න දැරුවේ පත්තරකාරයන් ලෙස පිටකොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්නටය.
ඒ සියලු සගයන් එක්ක ‘ලක්දිව‘ සහ ‘හිරු‘ යන විකල්ප පුවත්පත් ඇසුරින් නව විකල්ප පුවත්පත් කලාවක් ලෙස වමේ පත්තර කලාවට අකුරු කළෝ අතලොස්සකි.
එය එසේ වූයේ ඇයි? එය වරදක් ලෙස කියවන්නට පෙර වමේ පුවත්පත් කලාව යනු කුමක්දැයි තම තම නැණ පමණින් කියවා ගන්නට කියවන සහෘදයන්ට ආරාධනා කරමි. මන්ද එය මේ යැයි අරුත් දක්වන්නට යාම සපත්තුවේ තරමට කකුල කැපීමක් විය හැකි නිසාය. වම යනු ඉතා පුළුල් සමූහයක් නිරූපිත පර්යායකි. එසේම වම යනු දකුණ මේ යැයි සනිටුහන් කරන වැදගත් නිර්ණායකයකි. ‘ආරම්භයේදී දෙවියන් විසින් පොළොව හා දිව්‍ය ලෝකය මැවී‘ යැයි බයිබලය කියයි. එහෙත් වම බිහිවූයේ එවැනි මනුෂ්‍යත්වයට ඔබ්බෙහි නම් නොවේ. රාජ වංශය පිළිබද තීන්දුවක් ගන්නට ප්‍රංශ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ රාජ වංශය ආරක්ෂා කළ යුතු බවට තර්ක කළෝ දකුණු පස අසුන් වෙතත් රාජ වංශය අවසන් කර සමූහාණ්ඩුවට බලය අත්පත් කරගත යුතු බව කීවෝ වම් පස අසුන් වෙතත් ගොනු වූ බවට සමහරු කියති. ප්‍රතිගාමිත්වය හා ප්‍රගතිශීලිත්වය යන අරුත් දනවන්නට දකුණ හා වම යන වචන යොදාගන්නේ යම් යම් ඇඟට දැනෙන හේතු නිසාය. දකුණ යනු බොහෝ මිනිසුන්ට සිය එදිනෙදා ක්‍රියාකාරකම්වලදී හුරු වූ පැත්තයි. වම යනු අඩු පිරිසකගේ හුරු පැත්තයි. මේ නිසාම දුර්වලයන් වෙනුවෙන් කරන දේශපාලනය සංකේතවත් කරන්නට වාමා දේහපාලනය යන අදහස ගත් බවටද මතයක් පවතී. සරලව කිවහොත් මිනිස් සමාජයේ පීඩිතයන්, අවවරාප්‍රසාදිතයන් වෙනුවෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් වැඩ කරන මිනිස් ක්‍රියාකාරිත්වය වාමාංශය ලෙස වටහා ගන්නට පුළුවන.
සුනිල් මාධව ප්‍රේමතිලක පත්තරකාරයකු වූයේ 70 දසකයේ වුවද ඔහු සිය වාම නැඹුරුව සක්‍රිය ලෙස අත්පත් කරගන්නේ 1977න් ඇරඹි එක්සත් ජාතික පක්ෂ පාලන කාලයයි. නව ලිබරල් සමාජ ආර්ථික ප්‍රතිසංස්කරන යටතේ ජේ.ආර්. – රොනී ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළට සක්‍රිය සෙ විරෝධය දැක්වූවන් අතර 1980 ජූලි වර්ජකයන් මෙන්ම සරච්චන්ද්‍ර වැනි බුද්ධිමතුන්ද විය. සුනිල් මාධව, දයාසේන ගුනසිංහ, බී.ඒ. සිරිවර්ධන, සිරිලාල් කොඩිකාර ආදී වශයෙන් වාම පුවත්පත්කලාවේදීන්ගේ භූමිකාව සලකුණුවන්නේ 1980 වර්ජනයෙන් පසුව ඇති කළ නිහැඩියාවට ප්‍රතිචාර ලෙස ඒ දේශපාලන රික්තය පිරවිමටය. එම නිහැඩියාව මහෝඝයක් වන්නේ වමේ පක්ෂවල නිද්‍රාශීලිත්වය අභිබවා වාම සමාජ ව්‍යාපාරයක් ලෙස පැන නැගුණු ජනතා විමුක්ති පෙරමුණේ පැමිණීමෙනි. ජවිපෙ දේශපාලනය 70 දසකයේ මේ බිමේ පැළ වී තිබුණද 80 දසකයේ අතු ඉති ලා වැඩෙන්නේ 80 වර්ජනය කුඩු පට්ටම් කර ඇති කළ මර්දනය තුළ ජයවර්ධනගේ පාලනයට අභියෝග කරන්නට වෙනත් දේශපාලන අවියක් නොවූ බැවිනි. සුනිල් අයියා අටවෙනි පිටුව තුළ දේශපාලන නියෝජනය ලබාදෙන්නේ ඒ අලුත් දේශපාලන රුධිරය සප්‍රාණික කරනු පිණිසය. අටවැනි පිටුවේ නිර්මාණ පල කරමින් සුනිල් අයියාගේ සෙවනේ වැඩුනු තරුණ නිර්මාණකරුවන් ඇත්ත වශයෙන්ම දේශපාලන වශයෙන් වාම හෘදය සාක්ෂියක් ඇත්තෝ වූහ. ඉනික්බිති, සියල්ල සතුටින් අවසන් වූයේ නැත.
1987 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ගෙන ගිය අරගලය සමාජ ආර්ථික පරිවර්තනයක් කරා ගෙන යන විප්ලවකාරී අවස්තාවක් බවට පත්කරගන්නට දැරූ උත්සාහය ලෙයින් යකඩින් මර්දනය කෙරිනි. සුනිල් මාධව වැන්නෝ 87-89 අරගලය අවසන් වූ පසුද සිය කාර්යභාරය අත්හරින්නට සූදානම් නොවූහ. ඔහු සිය පුවත්පත් කලාව අපරාජිත අරගලයක් බවට පත්කරවිය. තමන් විසින් දසකයකට පෙර ඇරඹි වාම පුවත්පත් කලාව අඛන්ඩ ලෙස ඉදිරියට ගෙන යමින් සුනිල් අයියා ප්‍රසිද්ධියේ පෙනී සිටියේ වාම සමාජ ව්‍යාපාරයක යළි පැමිණිම වෙනුවෙනි. වඩා නිශ්චිතව කිවහොත් මරා, නිහඩ කරන්නට හෝ සිරගත කර අක්‍රිය කරන්නට හැකි නොවන වමේ හෘදසාක්ෂිය පිළිබද සුනිල් අයියාට දෙගිඩියාවක් නොතිබිණි.
1992 ජනවාරි මස 26 ඔහුගේ ප්‍රධාන කර්තෘත්වයෙන් ඇරඹි ‘ලක්දිව‘ පුවත්පතතේ ප්‍රධාන පුවත වූයේ ‘ජවිපෙ නැවතත් ප්‍රසිද්ධ දේශපාලනයට‘ යන්නයි. සුනිල් අයියා ගැන පමණක් මෙහි සටහන් කළද එම පුවත්පත් ක්‍රියාවලිය තවත් සාමුහික පරිශ්‍රමයක් බව කිවයුතුව තිබේ. වැදගත්වන්නේ එහි මූලිකත්වය ගන්නට සමත් සවිමත් දේශපාලන පක්ෂපාතිත්වයක් සුනිල් මාධව ප්‍රේමතිලක සතුව තිබීමය. ඒ නිසා සුනිල් මාධව දේශපාලන පක්ෂයක ලේබලය තුළ පිහිටුවන්නට හෝ ඊට විරුද්ධ වන්නට වාද කිරීම අවශ්‍ය නැත. ‘හඩනු මැන නිදහස‘ පරිවර්තනය කරමින් ‘ස්ටීව් බිකෝ“ ගැන ඔහු ලිව්වේ ‘කලු විඥානය‘ නමැති බිකෝගේ ජාතිකවාදී දේශපාලන සංවිධානය උත්කර්ෂයට නංවන්නට නොවේ. පිඩාවට එරෙහිව නැගී සිට කුඩුපට්ටම් කළ ජනසමාජයකට යුක්තිය වෙනුවෙන් සටන් කිරීමේ ධෛර්ය ඔහු ගෙනාවේ එසේය. වාම පුවත්පත් කලාවක අත්පොත් තබමින් සිටි සහෘදයන් හමුවට ‘ඩොනල්ඩ් වුඩ්ස්‘ දකුනු අප්‍රිකාවේදී ඉටු කළ භූමිකාවේ වැදගත්කම පෙන්වා දෙන්නට සුනිල් අයියා සමත් විය. වැදගත් වූයේ එයයි. නැවත නැගී සිටිය යුතු බව ජනසමාජයටත් එහි ඉදිරිගාමීන්ටත් සංඥා කරන්නට මෙන්ම එකී සංඥාකරුවන් ලෙස නව පුවත්පත් කලාවක් මග කියන්නට සුනිල් අයියා ඇතුළු ලක්දිව, හිරු වැනි පුවත්පත් තුළ පෑන දේශපාලන අවියක් ලෙස යෙදවූ කණ්ඩායම ඉටුකළ කාර්යභාරය සුවිශේෂය.
එහෙත්, ඇත්ත නම් තිත්තය. යළිත්, සියල්ල සතුටින් අවසන් වූයේ නැත. වමේ දේශපාලන ව්‍යාපාරයක් දකුණේ භූමිකාව රඟ දක්වන්නට යාමෙන් දේශපාලන ව්‍යාපාරයත් එහි ක්‍රියාධරයනුත් එකවර සතුරු කඳවුර වෙත පාවා දෙනු ලැබිණි. ධනපති දේශපාලනයේ බල ක්‍රීඩාවක ඉත්තන් අදින්නට යන බවට සාටෝප බස් කියුවද ඉත්තන් වූයේ තමන්මයැයි වටහා ගත්තෝ ගමන වෙනස් කරද්දී සුනිල් අයියා වැන්නවුන් දුර්මුඛ වූ බව සටහන් කළ යුතුය. සමාජ ව්‍යාපාරයක් විසින් තමන් නියෝජනය කරන දේශපාලනය වෙනස් කරන විට එහි සාමාජිකයන්, හිතවතුන් යන සියල්ලගේම ඉරණම් ගමන එයයි. එපමණකින් නොනැවතී වාම ව්‍යාපාරයක් එම වෙනස්කම කරන්නේ වමේ සිට දකුණටය. මුළුමහත් සමාජයක ඉරණම් ගමන තීරණය වූයේ එසේය. වාම දේශපාලන දැක්මක සිට පටු ජාතිවාදය පරයන්නට තැත් කළ අවිය වූයේ ජාතිකවාදයයි. පසුගාමී ධනපති සමාජයක ජාතිකවාදය යනු හුදු මතවාදයක් නොව ජාතිවාදයේ නිවුන් සොයුරකු බව සනාථ විය. පීඩිත ජනකායකගේ අරමුණු වෙනුවට උන්ගේ පීඩකයන්ගේ අරමුණු සිය දේශපාලන බල ක්‍රීඩාවට යොදාගත් වමේ දේශපාලන පක්ෂයක් වියයුතු පරිදිම දකුණන් අවසන් ගමන් ගියේය.
සමාජ ව්‍යාපාරයක් පිළිබඳ විශ්වාසයෙන් දේහපාලනය කළ සුනිල් මාධව වැනි බොහෝ මිනිසුන් මනුෂ්‍යත්වය අහිමි කළ සමාජයක හුදකලා කරනු ලැබිණි. විප්ලවය, සහෝදරත්වය වැනි වචනවලින් ජීවිතය දෙස බැලූ සුනිල් අයියාට මනුෂ්‍යත්වය, ප්‍රේමය වැනි පොදු තේමා ගැන කියන්නට සිදුවූ සමාජ දේහපාලන පසුබිම සකස්වූයේ එසේය.
‘දැන් සුනිල් අයියා විප්ලවය ගැන කතා කරනවා අඩුයි. ඒ ඇයි?“ සහෘදයන් එසේ විමසූ විට ඔහු කීවේ එවැනි දේ සර්වකාලීනව වැදගත් වුවද මේ අප ජීවත්වන මොහොතේ දේශපාලන මංමුලාවන් මැද වඩා අවධානය තැබියයුතු කරුණක් ගැනයි. නවලිබරල් ධනවාදය විසින් හුදකලා කරනු ලැබූ, යන්ත්‍ර බවට පෙරලා දමනු ලැබූ ජනසමාජයකදී වමේ දේශපාලනය දකුණට යාම ගැන විග්‍රහ කරන්නට සිදුවන්නේ එම ජනසමාජයේ ඉරණමට සාපේක්ෂවය. එහිදී බල්ලො මරා හෝ සල්ලි හොයන තරමේ පටු අරමුණු රජකරන ජනසමාජය පළමුව මනුෂ්‍යත්වය වෙත හා ආදරය වෙත කැඳවාගන්නට අවශ්‍ය බව සුනිල් අයියා කියන විට එහි වරදක් නැත. එහෙත් එය දේශපාලනික වැඩක් ලෙස ඔහු පවා වටහාගෙන තිබුනේ නැත. දකුණට කැරකුණු වමේ දේශපාලන සගයන්ට මනුෂ්‍යත්වය, සහෝදරත්වය, ප්‍රේමය, වැනි මිනිස් හැගුම් විපරිත වූ විට එවුන් ගැන විශ්වාසය තැබූවන්ට කවර කතාද?
සුනිල් අයියා විප්ලවය අත්හැර ඇතැයි ඇතැමුන් කියන විට ඔහු එය එසේ නොවන බව පෙන්වා දුන්නේ සක්‍රියභාවයෙනි. ඔහු ලක්ජන පුවත්පත ආරම්භ කරන්නට එක් කරගත්තේ තමන් සෙවනේ වාම පුවත්පත්කලාවේ අත්පොත් තැබූ සගයන් පිරිසකි. එහෙත් ධනපති ප්‍රාග්ධනය හමුවේ හෘදසාක්ෂිය ආරක්ෂා කරගෙන වාම පත්තර කලාව ඉදිරියට ගෙනයන්නට ඉඩක් නැති බව ඔහු දැන සිටියේය. මෙතෙක් රාජ්‍ය මාධ්‍ය මෙන්ම ධනපති පත්තර ආයතනවල ලද අත්දැකීම් ඔහු සතු විය. ඒ අතරම, ‘මිනිසෙක්‘, ‘මොහොමඩ් අලිගෙ කතාව‘, ‘අන්ධකාරයේ දරුවා‘ වැනි කෘති හරහා ඔහු සිය දේශපාලන අරමුණ ප්‍රකට කළේය. වෙනසක් වූයේ සමාජ ව්‍යාපාරයක් විසින් ලබාදුන් ජවය නොමැතිව හුදෙකලාභාවයට පත් ලේඛකයකු ලෙස සුනිල් අයියා සදෘෂ්‍ය වීමය.
සුනිල් අයියාගේ පත්තර ජීවිතයට 50 වසරක් සපිරීම වෙනුවෙන් සහෘදයන් පිරිසක් විසින් සංවිධානය කරනු ලබන උත්සවය ‘උපහාර උලෙලක්“ ලෙස නම් කර ඇත. එහෙත් සුනිල් මාධවගේ පුවත්පත් කලා භූමිකාවට ඇත්ත උපහාරයක් කරන්නට හැකිවන්නේ එම පුවත්පත් කලාව ගැන සැබෑ කියැවීමකිනි. මන්ද යත්. සුනිල් මාධව නම් මිනිසා ස්වකීය ජීවිතකාලයෙන් වැඩි කාලයක් යෙදවූයේ පිඩිතයා වෙනුවෙන් හඬ නගන්නටය. පිඩිතයන්ට විමුක්තිය අත්පත් කරගෙදන දේශපාලන ව්‍යාපාරයක් පැන නැගිය යුතු බවත් එය සමස්ත ජනයාගේ ජයග්‍රාහී අවසානයක් කරා එනම් විප්ලවයක් කරා යායුතු බවත් සුනිල් අයියා අවංකව විශ්වාස කළේය. ඒ වෙනුවෙන් ලියුවේය. කතා පැවැත්වීය. සාහිත්‍යකරයේ යෙදුනේය. ඔහු විසින් තවදුරටත් එවැනි කාර්යභාරයක් ඉටු කරනු ඇතියි අපේක්ෂා කළ නොහැකිය. ඔහු ශාරීරිකවත් අධයාත්මිකවත් දුර්වල වී හමාරය. එය අප වටහාගත යුතුව ඇත. එහෙත් සුනිල් මාධව ප්‍රේමතිලක අමරණීය කාර්යභාරයක ජීවමාන හිමිකරුවෙකි. ඔහුගේ භූමිකාව මින් ඉදිරියට ප්‍රාණවත් කර සජීවි කළ හැක්කේ එම කාර්යභාරය ඉදිරියට ගෙන යාමෙනි.
එය ඉටු කළ හැක්කේ සුනිල් මාධව හෝ සුනිල් අයියා දශක ගනනකට පෙර සටහන් කළ දේ යළි සිය සටහන්වල කොපි ගැසීමෙන් ද නොවේ. ඒ වෙනුවට අපේ කාලයේ වාම පුවත්පත් කලාව වෙනුවෙන් ක්‍රියාකාරී වීමක් අවශ්‍ය වී තිබේ. හුදු උපහාර උළෙලකින් අවධාරණය කළ හැක්කේ සුනිල් මාධව භුමිකාවේ සමාජ දේහපාලන සලකනු කවරේද යන්නය. එය ඉතිහාස වේදිකාව මත කරනු ලබන අගය කිරීමකි. සුනිල් මාධව වැනි සැබෑ මිනිසුන් මහත් ආයාසයෙන් සනිටුහන් කළ වාම පුවත්පත් කලාව වර්ථමානයට කැඳවා ගැනීම සිදුවිය යුත්තේ ඔවුන්ගේ භූමිකාව නිසි ලෙස ඇගැයීමෙන් හා එය වර්ථමාන කාලයේ රෝපණය කිරීමෙනි. එවැන්නකට ජන සමාජය තුළ වඩාත් පීඩාවට පත් සාතිශය බහුතරයකගේ ආයාචනාවක් ආරාධනාවක් තිබේ. සුනිල් මාධව ප්‍රේමතිලකගේ පුවත්පත් කලාවේ 50 වැනි වසර සලකුණු කරන්නට කෙරෙන විවෘත ඇරැයුම තුළ එම ආරාධනාව ද ගැබ්ව ඇතැයි මම සිතමි.