Breaking News

පාස්කු ප්‍රහාරයේ චූදිත පොලිස් නිලධාරීන් තමන්ව බේරා දෙන්නැයි මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එල්ල වී ඇති චෝදනාවලින් බේරාදෙන ලෙස උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඥානරතන හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු නොවීම සම්බන්ධයෙන් ප්‍රහාරයට මාස 28ක් පිරෙන අද දිනයේ කළු කොඩි ඔසවන ලෙස කාදිනල් හිමියෝ මීට පෙර ඉල්ලීමක් කළහ. ඒ අනුව අද ඇතැම් නිවෙස්වල කළුකොඩි ඔසවා තිබේ. පොලිස් නිලධාරීන් පිරිස මහානාහිමිවරුන් හමුවීමට ගියේ මෙම නිවේදනය සිදු කිරීමෙන් පසුවය.

පසුගිය 19දා උන් වහන්සේ හමුවට ගිය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් ඇතුළු චූදිතයන් පිරිසක් මේ ඉල්ලීම කර තිබේ. අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදී, අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් මේ නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් ද දැනුම් දී තිබිණි. එහෙත් මේ නිලධාරීන්ට අදාළව මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නැති අතර, ඔවුන්ගෙන් ඇතැමෙකුට උසස්වීම් සහ වරප්‍රසාද ලබාදීම සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබිණි. මෙවැනි චෝදනාවක් ඇති පොලිස් නිලධාරියෙකු, අදාළ චෝදනාවෙන් නිදහස් වන තුරු ඔහුට හෝ ඇයට උසස්වීම් හෝ නව වරප්‍රසාද හිමිවන්නේ නැත.

මේ පිරිස මහා නායක හිමියන් හමු වී පවසා ඇත්තේ තමන් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් කළ හැකි සියල්ල කළ බවයි. බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගතයුතු නිශ්චිත ක්‍රියාමාර්ගයක් පිළිබඳව එවකට පැවති රජය හෝ ආරක්ෂක අමාත්‍යංශය විසින් පැහැදිලි උපදෙසක් පොලිස් නිලධාරීන්ට ලබාදී නොතිබූ බව ද අදාළ පොලිස් නිලධාරීන් මෙහිදී පැහැදිලි කර තිබිණි.

අදාළ ප්‍රහාර සිදු වූ ප්‍රදේශවල සේවය කළ නිසා පොලිස් නිලධාරීන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස ජනාධිපති කොමිෂන් සභාව විසින් නියෝග කොට ඇති බවත්, එලෙස විමර්ශනයක් සිදුවන විට ඔවුන්ට විශ්‍රාම වැටුපද අහිමිවීමේ ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවත් ඔවුන් අස්ගිරි මහා නායක හිමියන්ට පෙන්වා දී ඇත. මේ නිසා අදාළ කරුණු සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඔවුන් උන් වහන්සේගෙන් ඉල්ලා ඇත. ඉන්පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මොනරාගල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් පවසා තිබුණේ රාජකාරිය කිරීම වරදක් වීම හේතුවෙන් රැකියාව අහිමිවීමේ හෝ සිරදඬුවම් ලැබීමේ අවදානමක සිටින බැවින් ඒ සම්බන්ධයෙන් මහ නා හිමියන්ට සහ දළඳා වහන්සේට කන්නලව් කිරීමට මෙලෙස පැමිණි බවයි.
පාස්කු ප්‍රහාරයට අදාලව වගකීම් පැහැර හැරීම ගැන ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝගය අනුව සහ නීතිපතිගේ නිර්දේශ මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් කළ මූලික පරීක්ෂණයක් පැවැත්වූ අතර එම විමර්ශනයෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු අට දෙනකුට එරෙහිව ලබා දිය යුතු චෝදනාපත්‍ර කෙටුම්පත් කර ජාතික පොලිස් කොමිෂන් සභාවට පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී යොමු කර තිබිණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ වන විට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකින් පරීක්ෂණ සිදු කෙරෙන නිසා එහි තීන්දුව ලැබෙන තෙක් චෝදනාපත්‍ර නිකුත් කිරීම ගැන තීන්දුවක් ගැනීම කල් තැබීමට එවකට ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 11 දෙනකුට එරෙහිව විමර්ශන සිදු කර විනයානුකූලව පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් නීතිපතිවරයා ලිපියක් යොමු කර තිබූ අතර එහි නම තිබුණු නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා හැර සෙසු 10 දෙනාට විනය පියවර ගත යුතු බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිර්දේශ කර තිබිණි. කෙසේ වෙතත් චෝදනාපත්‍ර කෙටුම්පත් කර තිබුණේ නිලධාරීන් 08 දෙනකුට එරෙහිව බව පොලිස් ආරංචි මාර්ග කියයි.

ඒ දිනවල විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතාට එරෙහිව ද විනය පියවර ගැනීම සුදුසු බවට මූලික විමර්ශනයෙන් පසු නිර්දේශ වී ඇතත් එය පොලිස් කොමිෂන් සභාවට ලැබෙන අවස්ථාව වන විට ඒ මහතා විශ්‍රාම ගොස් තිබිණි.
මෙම මූලික විමර්ශනය ආරම්භ කර තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු සහ පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු පිරිසකට බවත්, මූලික විමර්ශන අවසන් වන විට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙසත්, පොලිස් අධිකාරීවරුන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙසත් උසස්වීම් ලබා තිබිණි.

එවකට නියෝජ්‍ය පොලිස්පති සහ දැන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එවකට නියෝජ්‍ය පොලිස්පති සහ දැන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, එවකට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහත්වරුන් එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනාය.

පාස්කු කොමිෂන් සභාවේ වාර්තාවද මීට මාස කිහිපයකට පෙර නිකුත් වූ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව විනයානුකූලව කටයුතු කළ යුතු බව එම වාර්තාවේ ද සඳහන් කර තිබිණි.

පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් පසු අදාල පොලිස් නිලධාරීන්ට එරෙහි චෝදනා පත්‍ර රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමත කර එවා ඇති බව පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා මීට පෙර පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එසේ තිබියදී මෙම පිරිසේ ඇතැමෙකුට වැටුප් වර්ධන ලබාදීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණි. වැටුප් වර්ධකයක් ලබාදීමෙන් සිදු වන්නේ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය වැඩිවීම බවත්, වැටුප් වර්ධක දෙකක් හෝ කියිපයක් ලබා දුන් නිලධාරීන් ද මෙම ලැයිස්තුවේ සිටින බවත්, ඒ අනුව ඔවුන් ජ්‍යෙෂ්ඨත්වයේ ඉහළට පැමිණෙනවා පමණක් නොව ඇතැම්විට ඊළඟ තනතුරට උසස්වීම ද සිදුවන බවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
විදේශීය බුද්ධි අංශයකින් ලැබුණු තොරතුරු පොලිස්පතිවරයා විසින් මෙම චෝදනා එල්ල වී ඇති නිලධාරීන් වෙත යොමු කර ඇති බවත්, ඒ ගැන පසුවිපරම් කර සොයා බැලීම මෙම පිරිසේ වගතීම බවත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා චූදිතයකු වෙනවා නම් මෙම පිරිස අනිවාර්යෙන්ම චූදිතයන් බවට පත්විය යුතු බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

චෝදනා එල්ලවන පොලිස් නිලධාරීන් ඒවා ඉවත් කර දෙන ලෙද ඉල්ලමින් මහා නාහිමිවරුන් බැහැ දැකීමට යෑම ගැන සමාජයේ කතාබහක් ඇතිවී තිබේ.

උපුටා ගැනීම – medialk වෙබ් අඩවිය

leave a reply