1934 වසරේ දී බදුල්ල – හාලිඇල ප්‍රදේශයේ ඌවාක්කට්ටවලෛ නමැති ග්‍රාමයේ උපත ලද සන්දානසාමි ජෝශෆ් හෙවත් තෙලිවත්ත ජෝශෆ්, 60 දශකයේ දී ලේඛන කලාවට පිවිසියේ ය. 70 දශකය වනවිට මෙරට දෙමළ සාහිත්‍ය තුළ තම අනන්‍යතාව සලකුණු කිරීමට ඔහු සමත් විය.
ලාංකීය දෙමළ සාහිත්‍යයේ නියමුවෙකු ලෙස ‘තෙලිවත්ත ජෝශෆ්’ කිසිදු පැකිළීමකින් තොරව හඳුන්වා දිය හැක. ලේඛකයෙකු ලෙස ඔහු මෙරට ජීවත් වන දෙමළ ජනයා මුහුණ දෙමින් සිටින දේශපාලන, ආර්ථික සහ සමාජීය ගැටලු සම්බන්ධයෙන් සිය හඬ අවදි කළේ ය. රාජ්‍ය විසින් දෙමළ ජනතාවට එරෙහිව මුදාහරින ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඔහු සිය ලේඛන කටයුතු මෙහෙයවී ය. තෙලිවත්තේ ජෝෂප්, වතුකර ජනයා මුහුණ දෙන ගැටලු ඉතා යථාර්තවාදීව සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කළ දෙමළ සාහිත්‍යයගේ දුලබ නිර්මාණකරුවෙකි. ඔහු, 2013 වසරේ දී විෂ්ණූපුරම් සම්මානයෙන් ද, 2014 වසරේ දී සාහිත්‍ය රත්නා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය.
අභාවප්රාප්ත ප්රවීණ ලේඛක තෙලිවත්ත ජෝශප් අවසන් වරට සහෘදස්පන්දන සඟරාවට ලබා දුන් සාකච්ඡා
මේ ජූලි මාසය. ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් කළු මාසයක්. 1983 වසරේ කළු ජූලි අත්දැකීම්වලට ඔබත් මුහුණ දුන්නා.
අවසන් වරට මම ප්‍රකාශයට පත් කළ නව කතාව ‘නාංගල් පාවිගලාග ඉරුක්කිරෝම්’ නැතහොත් 1983 යන නමින් ප්‍රකාශයට පත් කළා. 1983 වසරේ සිදු වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය කිසිම රටක සිදු නොවූ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස කියන්න පුළුවන්. ඒ ප්‍රචණ්ඩත්වය තුළට හසු වී ඉන් බේරුණ කෙනෙක් විදියට මගේ හිතේ කිසිම දිනක අමතක කළ නොහැකි සිද්ධියක් ලෙස 1983 වසරේ ඇති වූ කළු ජූලිය මගේ සිත තුළ තැන්පත් වෙලා තියෙනවා. එය කවදාවත් සුව නොවන තුවාලයක් කියලත් කියන්න පුළුවන්. මම මේ ගැන පොතක් විදිහට ලියන්නේ 2016 වසරේ දී. මේ සිදුවීම් දෙක අතර කාල පරතරය අවුරුදු 33 ක් විතර තියෙනවා. 2016 අවුරුද්දට කලින් මගෙත් එක්ක ආශ්‍රය කරන අයට 1983 අවුරුද්දේ අපි විඳි පීඩාවන් සහ දෙමළ ජනයාව පාර දිගේ පන්නගෙන ගිහින් කපා කොටා දැමූ ආකාරයත්, බඩවැල් එළියට පැනලා තියෙද්දී දෙමළ ජනයා ජීවිතය බේරගන්න දුවපු ආකාරය ගැනත් කිව්වා ම ඒක චිත්‍රපටියක් වගෙයි කියලා කිව්වා හැරෙන්න, එහි තිබුණ රුදුරු බව ඔවුන්ට දැනුණේ නැහැ. මොකද කිව්වොත් අත්විඳපු අය තමා ඒකේ වේදනාව දන්නේ. මොවුන් පසුකාලීනව ආපු අය. 1983 කියලා කිව්වාම සාමාන්‍ය දෙයක් කියලයි හිතන්නේ. මේ නවකතාව ලියන්න ඕනේ කියලා හිතුණේ 1983 ප්‍රචණ්ඩතවය ඒ අයුරින් ම ජනතාවගේ හිතට කාවද්දන්න ඕනේ කියන අරමුණ නිසයි. මේකේ දී ‘අපි පව්කාරයන් ලෙස සිටින්නෙමු’ කියන නම භාවිත කළෙත් ඒ කාරණාව නිසයි. මේකේ දී අපි කියලා කියන්නේ දෙමළ ජනයා. දෙමළ ජනයා පව්කාරයන් ලෙසයි ලංකාව තුළ ඉන්නේ. මේ පොත භාග්‍යා ප්‍රකාශකයන් හරහා ප්‍රකාශයට පත් කරද්දී, එහි හිමිකරු තිලකර් ඉතා හොඳ පිට කවරයක් නිර්මාණය කළා. ඒක ජාත්‍යන්තර වශයෙන් කතා බහට ලක් වූ ඡායාරූපයක්. මේ තුළින් කළු ජූලියේ තත්ත්වය පසුකාලීන තරුණ ප්‍රජාව වෙත යම් මට්ටමකින් හෝ අරගෙන යන්න ඕනේ කියන අදහස මා තුළ තිබුණා. මේ නවකතාවේ මම කියන්න උත්සහ කළේ ඒ දවස්වල දෙමළ ජනයා මුහුණ දුන් පීඩාවන් ගැන. අපි කුලියට හිටිය නිවාසයේ අයිතිකාරිය වූ සොයිසා කියන කාන්තාවට තමා මේ පොත පිදුවේ. අපට පහර දෙන්න ආපු අයගෙන් බේරගත්තෙත් ඇයයි. ඒ දවස්වල යාඥා කරන්නවත් පහන පත්තු කරන්න බැරි වුණා. අපි අඳුරේ තමා යාඥා කළෙත්. මේක සිදුවෙද්දී මම ටොෆි කර්මාන්ත ශාලාවකයි වැඩ කරමින් හිටියේ. එහෙ තිබුණ වාහන 60 – 70 ක් විතර ගිනි බත් කළා. අපිට එළියට යන්න නොදී ගේට්ටුව වහලා තිබ්බා ඒකේ අයිතිකාරයෝ. කර්මාන්ත ශාලාවට පහර දෙන්න ආපු අයට පේන්න ටොෆි විසි කරලා ඒ අයව ඇතුළට අරන්, එයාලාත් එක්ක ම ඉතා සූක්ෂම ලෙස අපිව පිටත් කළා. එතැන දී මගේ අතින් අල්ලගත් කෙනෙක් ඔයා මෙතැන ඉන්න එපා, තත්ත්වය භයානකයි කියලා චිත්‍රපටිශාලාවක් තුළට මාව දාලා වැහුවා. එයාගේ නම සයිමන්.
දෙමළ විමුක්ති අරගලයට පෙර සිටම වතුකරයේ ජනයා රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුණා නේද ?
1956 වසරේ මේ රටේ දේශපාලන දිශානතියේ වෙනසක් සිදු වුණා. මොකද කිව්වොත් මේ රටේ ජනයාගේ ජීවිතය වෙනස් කරපු අවුරුද්දක් ඒක. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් මෙරට දේශපාලන බලය එක්සත් ජාතික පක්ෂයෙන් ලබා ගත් අවුරුද්ද ලෙස මේක හඳුන්වන්න පුළුවන්. බණ්ඩාරනායක මේ රටේ සංස්කෘතිය, කලාව වෙනුවෙන් ගොඩාක් දේවල් කරලා තිබුණාට ඔහු දේශපාලන භාවිතය සිදු වූයේ දෙමළ ජනයාට විරුද්ධවයි. ඔහු තමන්ගේ පාලන කාලයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ තිබූ ප්‍රතිපත්තිමය මතභේද හේතුවෙන් ඉවත් වෙලා, කොහොම හරි එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්න ඕනේ කියන අදහසින් තමා හිටියේ. ඒ වෙනුවෙන් සිංහල ජනයාගේ හැඟීම් ඇවිස්සුවා. ඔහු සහ ඔහුගේ පක්ෂයේ නායකයන් දේශපාලන වේදිකාවල දෙමළ ජනයාට විරුද්ධව අදහස් පළ කළා. සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කරනවා කියන අදහස් සිංහල ජනයා තුළ ජනිත කළා. ඒ තුළින් ඔහු අසීමිත බහුතර බලයක් සමඟින් බලය ලබා ගත්තා. එහෙම බලය ලබා ගෙන ඔහු එක තැනක දී කියලා තියෙනවා, මට මේක කරන්න වෙනත් ක්‍රමයක් තිබුණේ නැහැ කියලා. මහජාතියේ හැඟීම් සුළුතරයට විරුද්ධව ඇවිස්සීමේ මූල බීජය රෝපණය කළ කෙනෙක් විදිහට බණ්ඩාරනායකව හඳුන්වලා දෙන්න පුළුවන්. කලා සාහිත්‍ය සම්බන්ධයෙන් ඔහු ගොඩාක් දේවල් කරලා තිබුණත් තවත් භාෂාවක් විනාශ කිරීමට ඔහු කටයුතු කළා. දෙමළ ජනයාට විරුද්ධව සිංහල මහජාතිය හැරවූ නායකයා විදිහත් ඔහුව හඳුන්වන්න පුළුවන්. 1956 වසරෙන් පසුව දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්ව බොහෝ සිදුවුණා. මහජාතිය වූ සිංහල ජනයා සුළුතර ජනයාව තමන්ගේ විරුද්ධවාදීන් ලෙස සිතා පහර දීමට ඉදිරිපත් වන එක සාධාරණ නැහැ. මොකද කිව්වොත් ඔවුන් බහුතර පිරිසක්. මහජාතියේ හැඟීම් සොරකම් කරනු ලැබූ කාලයක් ලෙස මේ කාලය හඳුන්වලා දෙන්න පුළුවන්. ඉන් අනතුරුවයි දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ඉතා වැඩි වශයෙන් සිදු වුණේ. අපි ඒ ගැන අවුරුදු වශයෙන් කියන්න පුරුදු වෙලා හිටියත් ඒවා සිදුවීම් වශයෙන් ගත්තොත් අති විශාල ප්‍රමාණයක්. ඒවායෙන් නැති වුණ මිනිස් ජීවිත ගැන හරි තක්සේරුවක් කරලා නැහැ. අවම විනාශයක් විදිහට තමා රජයේ වාර්තාවල දක්වලා තියෙන්නේ. 1983 දී සිදු වුණ කළු ජූලිය විමුක්ති කොටි සංවිධානය සිදු කළ පහර දීම්වලට සිදු කළ ප්‍රතිප්‍රහාරයක් කියලා සිංහල ජනයා කිව්වාට, කොටි සංවිධානය හෝ උතුරේ ආයුධ සන්නද්ධ අරගල ඇති වීමට පෙර දෙමළ ජනයා කෙරෙහි ප්‍රචණ්ඩත්වය මුදාහැරියේ මොන පදනමකින් ද කියන ප්‍රශ්නය මම මතු කරන්න කැමැතියි.
ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනයා මෙරටට පැමිණි වසර 200 ක් පමණ ගත වෙලා තිබුණත් ඔවුන්ට ලැබිය යුතු මූලික අයිතිවාසිකම් පවා තාම ලැබිලා නැහැ නේද?
ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනයා කියන්නේ බි්‍රතාන්‍යන් විසින් මෙරට ධනය සූරා කන්න රැගෙන ආ පිටස්තර ජාතිකයක් කියන මතය ඉතා ගැඹුරින් සමාජ ගත වෙලා තිබෙනවා. ඒ කියන්නේ මීට අවුරුදු 200කට කලින් තමන්ගේ තේ, කෝපි සහ රබර් වතුවල වැඩ කරන්න මෙරටට රැගෙන ආ පිරිසක් තමා මේ ජනයා. වතු වගාවන් සඳහා ආයෝජනය කළේ විජාතිකයන්, ඒ වෙනුවෙන් ශ්‍රමය ලබා දුන්නෙත් විජාතිකයන් මේ දෙපිරිස ම මෙරට ධනය සූරා කන්න ආපු අය කියන මතය මෙරට ඉන්න විද්වතුන් සහ පර්යේෂකයන් සිංහල ජනයා තුළ ස්ථාපිත කරන්න බොහෝ වැඩ කොටසක් කරලා තියෙනවා. ඒවා අවුරුදු 200ක් ගිහිනුත් මේ සමාජයෙන් ඉවත් කිරීමට නොහැකි වීම ගැන ඇත්ත වශයෙන් ම අපි දුක් වෙන්න ඕන කාරණයක්. මේ ජනතාව වෙනුවෙන් අයිතිවාසිකම් ලබා ගන්න නfඬ්සයියර් වැනි වෘත්තිය සමිති නායකයන් උත්සහ කළත් ඒවා දේශපාලනිකව ඉදිරියට අරගෙන යන්න බැරි වුණා කියන එකයි මගේ අදහස. අදටත් වෘත්තීය සමිති පෙර වගේ ම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා. එහෙත් ඒවා දේශපාලනික වේදිකාවට අරන් එන්න බැරි වුණ නිසා පාලකයන් මේ ජනතාව සහ වෘත්තිය සමිති අවතක්සේරුවට ලක් කරනවා. මේ ජනයාට මූලික අයිතිවාසිකම් ලබා දෙන්න ඕනේ කියලා බලපෑමක් ඇති කෙරුණෙත් නැහැ කියන එකයි මගේ මතය. වතුකර ජනයාගේ නායකත්වය හරි නැහැ කියන එක ජනප්‍රිය මතකයක් වුණත් ඒක පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ, නායකයන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් තම ජනතාව වෙනුවෙන් හඬ අවදි කරලා ලබා ගත් ජයග්‍රහණ පවා ක්‍රියාත්මක නොකර ඉන්නේ ඒ ජනතාවට අයිතිවාසිකම් ලබා දෙන්න අවශ්‍ය නැහැ කියන මතය තවමත් පාලක පන්තිය විදිහට හඳුන්වන මහජාතියේ ස්ථාවරය වෙලා තියෙන නිසයි. ඒවා ලබා ගන්න වෙනම සටනක් වෘත්තිය සමිති සහ දේශපාලන ව්‍යාපාර තුළින් කරන්න සිදුවෙලා තියෙන්නේ ඒ නිසයි. එහෙමත් නැත්නම් ඒ අයිතිය ලබා ගන්න උසාවි ගාණේ රස්තියාදු වෙන්න සිදු වෙලා තියෙනවා.
වතුකරය ජනයාට ‘ඉතිහාසයක් නැහැ’ කියන කතාව සමඟ එකඟ වෙන්න පුළුවන් ද?
ඒක ඇත්තටම සාවද්‍ය ප්‍රකාශයක්. මේ ජනයාගේ ඉතිහාසය වෘත්තිය සමිති එක්කයි වැඩියෙන් බැඳිලා තියෙන්නේ. ඒ හරහා මෙම ජනයාගේ දේශාපාලන සහ සමාජීය සබඳතා ගොඩක් ඉදිරියට රැගෙන යන්න පුළුවන් වුණා. මේ ජනයාගේ ඉතිහාසය, ජීවන රටාව වැනි කරුණු සටහන් කිරීමට ගත් උත්සහයක් ලෙස වතුකර සාහිත්‍ය හඳුන්වා දෙන්න පුළුවන්. 1956 ට පසුව ඇති වූ වතුකර සාහිත්‍ය පුනරුදයෙන් මෙම ජනයාගේ ජීවන රටාව, ඔවුන්ගේ ගැටලු, සමාජීය, දේශපාලන සහ අධ්‍යාපනික ගැටලු වෙනත් ප්‍රාදේශීය ලේඛකයන් සහ ජනයා වෙත රැගෙන යාමට හැකි වුණා. වතුකරය, වතුකර සාහිත්‍ය, වතුකර ජනයා කියන දේවල් සාහිත්‍ය හරහා පුළුල් ලෙස පිටස්තර ජනයා අතරට ගිහින් තියෙනවා. මේ ජනයාගේ දේශපාලන ගැටලු, ජීවන රටාව වැනි කරුණු වතුකර සාහිත්‍ය හරහා බොහෝ ස්ථානවලට අරන් ගියා කියන එකේ සැකයක් නැහැ. ඒ නිසා ම මේ ජනතාවගේ ආර්ථික, දේශපාලන, සමාජීය සහ ඔවුන්ගේ පීඩාවට ලක් කරන මහජාතියේ අරාජිකත්වය සම්බන්ධයෙන් වතුකර සාහිත්‍ය හරහා ජාත්‍යන්තර මට්ටමින් සාකච්ඡාවට ලක් ව තිබෙනවා. එතුළින් මේ ජනයා ජාත්‍යන්තරය හඳුනාගත් ජන කොටසක් බවට පත් වුණා කියන එක පැකිලීමකින් තොරව කියන්න පුළුවන්. වතුකර සාහිත්‍යය හරහා මේ ජනයාගේ පාරම්පරික ජීවිතය ඇතුළුව මුහුණ දෙන සියලූම ගැටලු ඉතා පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කර තියෙනවා. බි්‍රතාන්‍යයන් විසින් ඉතා සැලසුම්ගතව ඉන්දියාවෙන් මෙරටට රැගෙන ආ මෙම ජනයාව ජාත්‍යන්තරය හඳුනන ජනතාවක් කළ ගෞරවය වතුකර සාහිත්‍යයට ලැබිය යුතුයි. නමුත් අවාසනාවන්ත විදියට එවැනි සටහන් බොහෝමයක් මෙරට තුළ සිදු වුණ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන්වල දී විනාශයට පත් වුණා කියන එකත් සිහිපත් කරන්න ඕනේ.
තම උපන් බිම අතහැරලා වෙනත් රටක ආර්ථිකය වර්ධනය කළ ජනතාව දේශපාලනික අනාථයන් බවට පත් කිරීම ගැන ඔබේ අදහස කුමක් ද?
අපි කවුරුත් දන්න විදිහට ලංකාවට 1948 වසරේ දී නිදහස හිමි වුණා. එය සිදු වූ විගස එකල හිටිය පාලකයන්ගේ පළමු රාජකාරිය වුණේ, රටේ සංඛ්‍යාත්මක සුළුතරය වූ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් කප්පාදු කරන එකයි. ඒකේ පළමු පියවර විදිහට වතුකර ජනයාගේ ඡන්ද අයිතිය අහෝසි කළා. ඒ කියන්නේ ඔවුන් ලංකාවේ පුරවැසියන් නොවෙන තත්ත්වයට පත් කළා. ව්‍යවස්ථාදායකයේ හිටිය වතුකර නියෝජිතයන් තනතුරුවලින් නෙරපා හැරීමට ලක් වුණා. ඒකට ප්‍රධානතම හේතුව වුණේ, ඩී.එස් සේනානායක, ඒ.ඊ ගුණසිංහ වැනි අයට මේ ජනයා කෙරෙහි තිබූ දේශපාලන චකිතය. අපට වඩා පහත් තත්ත්වයක ඉන්න ලක්ෂ ගණනක් පමණ සිටින වතු ජනයාගේ ඡන්දය වාමාංශික පක්ෂවලට ලැබීම මේ චකිතයට ප්‍රධානතම හේතුවක් වුණා. ඩී.එස් සේනානායක වැනි දේශපාලනඥයන්ට වාමාංශික පක්ෂ කෙරෙහි බිය වුණා මැතිවරණ ප්‍රතිඵලත් එක්ක. මේ ජනතාව සතු ඡන්ද අයිතිය දිගින් දිගට ම පැවැතියහොත් වාමාංශික පක්ෂ බලයට එයි කියන බියෙන් මෙම ජනයාගේ ඡන්ද අයිතිය උදුර ගන්න අවශ්‍යයි කියන සැලසුමට අනුව අරන් ආපු පනතක් ඒක. 1948 දී ලංකාව නිදහස ලබද්දී මේ ජනතාවගේ නිදහස උදුරගත්තා. ප්‍රජා අයිතිය අහෝසි කිරීම තුළින් මොවුන්ව දේශපාලනික අනාථයන් බවට පත් කළා කියන එකයි ඇත්ත. එම තත්ත්වයෙන් මිදීමට මේ ජනයාට විශාල කාලයක් ගත වුණා. ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න නායකයන් හිටියේ නැහැ. පාර්ලිමේන්තුව තුළ ඔවුන්ගේ හඬ නියෝජනය කෙරුණේ නැහැ. වතුකර ජනයාගේ වර්ධනය තමන්ට දැඩි අනතුරුදායක තත්වයක් කියලා ඩී.එස් සේනානායක වැනි නායකයන් ප්‍රසිද්ධියේ කියලා තියෙනවා. මේ ජනතාව වෙත දේශපාලන ප්‍රචණ්ඩත්වය කිසිදු බාධාවකින් තොරව මුදාහරින අවශ්‍ය වපසරිය නිර්මාණය කළෙත් නිදහස ලැබූ කාල සීමාවේදී. එදා සිට 1983 දක්වා සිදු වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මේ ජනයාගේ ජීවිත සීසීකඩ වුණා. මෙම ජනයාගේ පැමිණීම, වර්ධනය සහ ජීවන රටාව ගැන දේශපාලනික වශයෙන් ඉන්දීය රජය හෝ ලක් රජය සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීමක් කවදාවත් සිදු වෙලා නැහැ. භූගෝල විද්‍යාඥයෙකු වන ජවහල්ලාල් නේරු වැනි අය පවා දරන්නේ, මේ ජනයාගේ ආගමනය භූගෝලීය වශයෙන් සිදු වුණා කියන මතයක්. නමුත් මේ ජනයා ගැනවත් මෙරට තුළ ඔවුන් ගත කරන දුක්ඛිත ජීවිතය ගැනවත් පැහැදිලි වැඩ කොටසක් මෙම රජයන් සිදු කළේ නැහැ. සිරිමා – ශාස්ත්‍රි ගිවිසුම හරහා “කොටසක් ඔයාලා ගන්න, තවත් කොටසක් අපි ගන්නම්” කියලා මේ ජනයාව රටවල් දෙක අතර බෙදා ගත්තා. එය දේශපාලනිකව ඉතාමත් වැරදි ගිවිසුමක් කියලා ඉතිහාසය දෙස බැලීමෙන් අවබෝධ කරගන්න පුළුවන්. මේ ජනයා කෙරෙහි ඇති වූ ප්‍රචණ්ඩත්වයට මේ ජනයාට සිංහල ජනයා සමඟ එක් වී ජීවත් වීමට නොහැකි එසේ නොමැති නම් මෙම ජනයාව අන්‍යයන් ලෙස හුවා දක්වන සැලසුම් හොඳින් කෙරුණ නිසත් මේ ජනයා කෙරෙහි යොදවන බලය අද දක්වා අඩුවෙලා නැහැ. දෙමළ ජනයා, සිංහල ජනයාගේ පාරම්පරික සතුරන් බවට ඉතිහාසඥයන් සටහන් කරලා තියෙනවා. විශේෂයෙන් ම මහාවංශයේ. මෙම පාරම්පරික සතුරන් කියන වචනයෙන් මෙම ජනයාව විජාතිකයන් විසින් මෙරට ධනය සූරා කන්න රැගෙන ආ තවත් පිටස්තරයන් කියන එක ඉතා සූක්ෂම ලෙසත්, ගැඹුරු ලෙසත් මහජාතිය තුළ ස්ථාපිත කර තිබෙනවා. මොවුන්ට කවුරු පහර දුන්නත් අහන්න කවුරුත් නැහැ කියන අදහස මතු වුණ නිසයි, වතුවලින් පහර දී පන්නා දැමුවේ. පහර දීලා වව්නියා, කිලිනොච්චි වැනි ප්‍රදේශවලට පන්නා දැමුවා. මෙම ජනයාගේ ඉතිහාස දේශපාලන සලකුණ නැති වෙලා ගිය එක ගැඹුරින් කතා කළ යුතුයි.
වතුකර ජනයාගේ සියලු ම අයිතිවාසිකම් කප්පාදු කරලා මෙරටින් පිටුවහල් කළා. ඒ කාලේ තරුණයෙක් විදිහට හිටපු ඔබට මේ සම්බන්ධයෙන් දැනුන හැඟීම කොයි වගේ ද?
බණ්ඩාරනායක බලයට ආවාම අලුත් නීතියක් දැම්මා, මේ රටේ වැඩ කරන්න පුළුවන් මෙරට පුරවැසියන්ට විතරයි කියලා. ඒ නිසා ඉන්දියාවෙන් ඇවිත් තාවකාලික වීසා මඟින් රැකියා කරමින් ඉන්න සියලු ඉන්දියානුවන් මෙරටින් පිටුවහල් කරන්න ඕනේ කියන එකයි අලුත් නීතිය වුණේ. මේ නීතිය සම්මත වුණ වෙලාවේ මම හිටියේ තෙලිවත්ත කියන වතු යායේ. නමුත් රැකියාවක් තිබුණේ නැහැ. මගේ අයියා ඥානප්‍රගාසම් තෙලිවත්ත වතු යායේ ලිපිකරුවෙක් ලෙස සේවය කරමින් හිටියා. මේ නීතිය ගෙනාපු වෙලාවේ අපේ වත්තේ, ඬේවිඞ් කියලා ගුරුවරයෙක් හිටියා. එයා ඉන්දියානු වීසා එකක් තිබුණ කෙනෙක්. අධ්‍යාපන අමාත්‍යංශයෙන් වතු හිමිකරුට ලිපියක් ආවා මේ වගේ අයව යවන්න කියලා. ඒ නීතියට යටත් වෙන්න වෙනවා සමාගම් හිමියන්ට. ඒ නිසා ඬේවිඞ් කියන ගුරුවරයා ව මාසයක කාලයක් දීලා ලංකාවෙන් පිටත් කළා. තෙලිවත්ත කියන්නේ ලොකු වතු යායක්. ඒක කොටස් 4කට වෙන් කරලයි තිබුණේ. ඒකෙන් කොටස දෙකක හිටපු දරුවන්ට ඉගැන්වීම් කළේ ඬේවිඞ් කියන ගුරුවරයා. එයාව යැව්වයින් පස්සේ ගුරුවරයෙක් නැති අඩුපාඩුවකට හාමු මුහුණ දුන්නා. ඒ තරම් ඉක්මනින් කොහොමද ගුරුවරයෙක් හොයන්නේ කියන ගැටලුව වත්තේ හාමුට මතු වුණා. ඒ වෙලාවේ අයියාත් එක්ක වැඩ කරපු මිතුරන් කිහිප දෙනෙක් එස්.එල්.එස්.සී සහතිකයක් තිබුණ මාව ඒ තනතුරට යෝජනා කළා. එහෙම තමා මම ඒ වත්තේ ගුරුවරයෙක් ලෙස පත් වුණේ. මේ ගැන හාමු එක්ක කතා කරද්දී අයියා මල්ලි දෙන්නාට එක තැන ඉන්න බැහැ කියලා තියෙනවා. ලංකාවේ අය තමා ලංකාවේ රස්සා කරන්න ඕනේ, ලංකාවට අයිති නොවන අය මෙරට රස්සා කරන නිසා ලාංකිකයන් විරැකියාවෙන් ඉන්නවා කියන අදහස සිංහලයන් තුළ ජනිත කරීමක් විදිහට මේක හඳුවන්න පුළුවන්. ඒකෙනුත් අපේ ජීවිතයට ලොකු බලපෑමක් එල්ල කළා. බණ්ඩාරනායක වැනි අයගේ දෙමළ විරෝධය මෙම නව නීතිය තුළිනුත් හොඳින් ඉස්මතු වුණා.
දෙමළ භාෂාව විනාශ කිරීමේ තවත් පියවරක් ලෙස යාපනය පුස්තකාලය ගිනි තැබීම හඳුන්වලා දෙන්න පුළුවන්, කතුවරයෙක් විදිහට එය ඔබ දැනුණ විදිහ පැහැදිලි කළොත් ?
විශේෂයෙන් ම රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට විරුද්ධව හඬ නඟපු උතුරේ අරගලකරුවන් ව රාජ්‍ය ඉතා දරුණු ලෙස මර්දනය කළා. ඒ වගේ ම ඔවුන්ගේ බුද්ධිය, සම්ප්‍රදාය සහ සංස්කෘතිය වැනි දෑ විනාශ කළ යුතුයි කියන අරමුණින් හිටියා. බුද්ධිය විනාශ කිරීමක් ලෙස යාපන පුස්තකාලයට ගිනි තැබුවා. දකුණු ආසියාවේ විශිෂ්ඨතම පුස්තකාලය ලෙස යාපනය පුස්තකාලය හඳුන්වා දෙන්න පුළුවන්. ඒක ඔවුන් එක දිනකින් ගිනි තබා විනාශ කළා. දෙමළ සාහිත්‍ය පොත්, විරල පොත්, ඉතිහාස සටහන් ගිනි පවා තැබුවා. පුස්තකාලය දැවෙනවා කියලා දැනගත් ඬේවිඞ් පියතුමා මිය ගිය සිදුවීම ඉතිහාස ගත වුණ එකක්. පුස්තකාලයට ගිනි තැබීම කියලා කියන්නේ බුද්ධිමය දේපළ විනාශ කිරීමක්. එතුළින් දෙමළ ප්‍රජාවගේ බුද්ධිමය දේපළ විනාශ කළා. ඒක ගිනිබත් වූ ආකාරය තවමත් මගේ ඇස් ඉදිරිපිට මැවිලා පේනවා. ඒ ගැන මම කෙටි කතාවක් පවා ලිව්වා. මා සතුවත් සිංහල පොත් කිහිපයක් තිබුණා. මා සේවය කළ ස්ථානයේ හාමු නෝනා, ඇයගේ සැමියාගේ පොත් පිරුණු අල්මාරියක් මට බලාගන්න දීලා රට ගියා. අවුරුදු දෙකකට පසුව ඒ අල්මාරිය දිරලා කඩා වැටුණා. ඒ වෙලාවේ මම ඇහුවා ඒකට මොනවාද කරන්නේ කියලා. ඒ වෙලාවේ එයා දුන්න උත්තරය තමා ගිනි තියලා දාන්න කියලා කියන එක. ඒ ටික ගිනි ගනිද්දී, යාපනය පුස්තකාලයේ දෙමළ පොත් දැවුණ ආකාරය මතක් වුණා. කොපමණ කාලයක් ගියත් කිසිම අවස්ථාවක දෙමළ ජනතාවට අමතක කරන්න බැරි සිදුවීමක් ඒක. ඉතාමත් කෙටි කාලයකින් දෙමළ ජනතාව මහජාතිය සිදු කළ අපරාධ සහ ඉන් ඇති වූ දුක් වේදනා අමතක කරනවා කියලා කිව්වත් යාපනය පුස්තකාලය ගිනි තැබීම කවදාවත් හිතෙන් අයින් කරන්න බැරි දුකක් කියලා කියන්න පුළුවන්. මේ පුස්තකාලය ගිනි තැබීම හරහා මේ දේශපාලනඥයන් තමන්ගේ දේශපාලන ආරජිකත්වය මේ ජනයාට විරුද්ධව භාවිත කළා. මේ වගේ ම සිදු වීමක් තමා දෙමළ භාෂා සමුළුවේ දී පවා සිදු වුණේ.
වතුකරයේ අතීතයේ පැවැතුණ බලහත්කාරයෙන් සිදු කළ උපත් පාලන සැත්කම් වගේ දේවලින් රජය කළේත් වාර්ගික සංහාරයක් නේද?
ඉන්දිය සම්භවයක් සහිත දෙමළ ජනගහනයේ වර්ධනය පාලනය කරන්න බොහෝ ක්‍රමයන් රජය භාවිත කළා. ඒ අතර බලහත්කාර උපත් පාලන සැත්කම් වගේ දේවල් සිදු වුණා. නමුත් ඒවා මහා පරිමාණයෙන් සිදුවුණේ නැහැ කියන එකයි මගේ අදහස. නමුත් ජනගහනය පාලනය කරන්න වෛද්‍ය පහසුකම් අවම කිරීම්, යටිතල පහසුකම් ලබා නොදීම වැනි ක්‍රම හරහාත් මෙම ජනයාගේ වර්ධනය පාලනය කළා කියලා කියන්න පුළුවන්. මේවා තුළින් වතුකර ජනයාගේ උපත් අයිතිය පවා අහිමි කළා කියන කාරණාව ඇත්තක්.
මෙරට දෙමළ ජනයාට දේශපාලනික වශයෙන් මුහුණ දෙන්න සිදු වුණ පීඩා සම්බන්ධයෙන් හඬ අවදි කළ ලේඛකයෙක් විදිහට ඔබට ඇති වූ බලපෑම් මොනවාද?
අතීතයේ ඉඳන් අද වෙනකම් මෙරට දෙමළ ජනයා ආර්ථික, දේශපාලනික, සමාජීය සහ අධ්‍යාපනික ආදි හැම අංශයකින්ම බොහෝ සේ පීඩාවට පත් වුණා කියන එකට බොහෝ උදාහරණ ලබා දෙන්න පුළුවන්. ඒවායේ සම්පිණ්ඩනයක් ලෙසිකුඩෛ නිලල්’ කියන නමින් මම නව කතාවක් ලිව්වා. ඒ පොතට සන්දර්භය වුණේ මෑතකාලීනව සිදු වූ දේශපාලනික අරාජිකත්වය. මේ පොත ඉන්දියාවේ දී නැවත මුද්‍රණය කරන්න උත්සහ කරද්දී, ඉන්දියානු ලේඛකයෙක් වන බී. ජෙයමෝහන් ඉතා කැමැත්තෙන් පෙරවදනක් ලියා දුන්නා. මේ නවකතාව මෙරට දේශපාලන තත්ත්වය ඉතා ගැඹුරින් සාකච්ඡා කරන එකක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ නව කතාව ලංකාවේ දී ප්‍රකාශයට පත් කළේ ගොඩගේ සමාගමයි. මෙය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් බොහෝ බලපෑම් සහ තර්ජන ඇති වූ බවත් ගොඩගේ හිමිකරු මට කිව්වා. පොතක් ප්‍රකාශයට පත් කරන්න කලින් පිටපත් ඔයාලා කියවලා බලන්නේ නැද්ද, මේකේ මොනවාද තියෙන්නේ කියලාවත් ඔයාලා දන්නවා ද? මේක මහජාතියට විරුද්ධව ලියැවුණ පොතක් මේ වගේ එකක් ප්‍රකාශයට පත් නොකර ඉන්නයි තිබුණේ වගේ තර්ජන ආවා කියලා ගොඩගේ මහතා මා එක්ක කියලා තියෙනවා. එම වසරේ ගොඩගේ සාහිත්‍ය විශිෂ්ඨතා සම්මානය මට හිමි වුණා.
සංවාදය – ජෙගන් ගනේෂන්
උපුටාගැනීම සහෘදස්පන්දන ජුලි – අගෝස්තු කලාපය 2022