ක්ලැරන්ස් කියන්නෙ අද පවා සෑහෙන ජනප්‍රියත්වයක් හිමි කර ගෙන තියෙන ගායකයෙක් කියලා අපි දන්නවා.සිංහල පොප් සංගීතය සම්බන්ධයෙන් ක්ලැරන්ස්ගෙ මැදිහත් වීම අදටත් සෑහෙන දුරට වලංගු යි.තව ම කොල්ලො කෙල්ලො ක්ලැරන්ස්ගෙ සින්දු මුමුණනවා.පරණ ක්ලැරන්ස් ලෝලියො තව ම ඉන්නවා.හැබැයි අපි අද කතා කරන්නෙ බොහෝ ක්ලැරන්ස්වාදීන් පවා අහලා නැති එච්චර ප්‍රසිද්ධ වෙච්චෙ නැති සින්දුවක් ගැන.
“මාවතේ අපි” කියන්නෙ ආර්.ප්‍රේමදාස ජනාධිපති වීදියේ සිඟමන් යදින මිනිසුන්ගෙ ජීවිත නඟා සිටුවන්න කියලා පටන් ගත්තු ව්‍යාපාරයක්.වීදියේ කලාකරුවන් එකතු කරලා ඒගොල්ලන්ගෙ දක්ෂතා ලෝකෙට පෙන්නලා එතනින් ඒ අයට වෙන මාවතක් හරි ගස්සලා දෙන එක තමයි ව්‍යාපෘතියෙ අරමුණ වුණේ.එල්පින්ස්ටන් රංගශාලාවෙ ප්‍රසංගයක් සංවිධානය කරලා රටේ ප්‍රසිද්ධ සංගීත ශිල්පීන් ගෙන්නලා ඒ අය ඉදිරියේ සින්දු කියලා නටලා තමන්ගෙ හැකියාවන් ප්‍රදර්ශනය කරන්න මේකෙන් වීදි කලාකරුවන්ට අවස්ථාවක් ලැබුණා.
අරමුණ පැත්තෙන් බැලුවම මේක නරක යි කියලා කියන්න බෑ.වීදි කලාකරුවන් බිහි වන සමාජ ක්‍රමය අහෝසි කරනවා වගේ වැඩ අපිට කවදාවත් ප්‍රේමදාසලා අතින් සිද්ධ වෙයි කියලා හිතන්න බෑනෙ.එහෙම තත්ත්වයක් යටතෙ මේ වගේ වැඩක් සංවිධානය කිරීම පිටිපස්සෙ ප්‍රේමදාස තමන්ගෙ පීඩිත අතීතය එක්ක තියාගෙන හිටිය සම්බන්ධෙ අපිට අඳුරගන්න පුළුවන්.
හැබැයි ඇත්තට ම මේ ව්‍යාපෘතියේ නාමයෙන් සිද්ධ වුණේ මොකක්ද,කියලා කට ඇරලා කියන්න තරම් හයියක් තිබ්බ ගායකයෙකුට හිටියෙ ක්ලැරන්ස් විතරයි කියලා අපිට කියන්න වෙනවා.
“මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ
නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත
ලොවකට කොන් කලා
ගී ගයා
රැඟුමන් රඟා
ලොවට පෙන්නලා”
ජෝතිලා,සුනිල්ලා ප්‍රේමදාසගෙ “ගම්උදා” ස්ටේජ් උඩ කිසි ම විචාරයකින් තොරව සින්දු කියද්දි ක්ලැරන්ස්ට තිබ්බා ඒ ව්‍යාපෘතිවල බොරු සෝබන අඳුන ගන්න තරම් පෞරුෂයක්.කටහඬක පෞරුෂය කියන්නෙ ඒ හඬේ තියෙන බර විතරක් නෙවෙයි කියලා ක්ලැරන්ස් පෙන්නලා දෙන්නෙ මේ සින්දුවෙන් කියලා අපට හිතෙනවා.ජෝති වගේ ගායකයෙක්ගෙ හඬේ තියෙන බරත් එක්ක බැලුව ම ක්ලැරන්ස් සැහැල්ලු හඬක් තියෙන ගායකයෙක් වුණාට දේශපාලනික නො වන බර කොයිතරම් අනතුරුදායක ද, කියලා තේරුම් ගන්න මේ සන්සන්දනය වටිනවා.
මේ සින්දුවෙ ක්ලැරන්ස්ගෙ බොහෝ සින්දුවල තියන සුපුරුදු ගතිය නෑ.විශේෂයෙන් ම ක්ලැරන්ස් තමන්ගෙ සින්දුවෙන් සාමාන්‍යයෙන් අමතන්නෙ නාගරික පහළ මධ්‍යම පන්තියකට වුණාට මේ සින්දුවෙ ඒ ගතිය නෑ. පද රචනාව ගත්තත් ඒ මධ්‍යම පාන්තික රුචිය අමතක කරපු ගතිය දකින්න ලැබෙනවා.නාගරික පීඩිත ජන කොටසක් රවට්ටපු ව්‍යාපෘතියක විත්තිය තමන් දන්න හඳුනන නාගරික මධ්‍යම පන්තිය කැමති භාෂාවෙන් ලියන්න කියන්න බෑ කියලා ක්ලැරන්ස් තේරුම් අරන් තියෙනවා.මාවතේ අපි,අතරමං කළා,කොන් කළා,හාමතේ,කන්නාඩි දාපු නිලධාරියන්,යැදුව යාතිකා,සංගීතකාරයන් ගෙන්නලා,චාටූ කතා වගේ යෙදුම්වල මේ වෙනස තදින් සලකුණු වෙලා තියෙනවා.
ප්‍රේමදාසගෙ ඒකාධිපති බල ව්‍යාපෘතියට එරෙහිව කේමදාස භාවිත කරපු සංගීතයත් එක්ක බලද්දි මේ සින්දුවෙ දි ක්ලැරන්ස් සංකීර්ණ මදි වුණාට මේ සින්දුවෙන් ඇහෙන සංගීතයෙත් අර අපි උඩින් කියපු වෙනස සටහන් වෙලා තියෙනවා.ක්ලැරන්ස් මේ සින්දුවෙ දි පාවිච්චි කරන සර්පිනාව නාදය එයාගෙ අනෙක් සින්දුවල අපිට ඇහිලා නෑ.සර්පිනාවට අර නාගරික මධ්‍යම පන්තිය අල්ල ගන්න බෑ කියලා ක්ලැරන්ස් දන්නවා.හැබැයි ඒ සර්පිනා සද්දෙ අත්දැකීමෙන් ම ඉල්ලා සිටින්නක්.සර්පිනාව තාමත් වීදියේ සංගීතයත් එක්ක බැඳිලා තියෙන ආයුදයක්.ඒ නිසා ඒක තමන්ගෙ ගිටාරයත් එක්ක මුසු කර ගන්නව මිසක් වෙන විකල්පයක් ක්ලැරන්ස්ට මෙතන දි ඉතුරු වෙලා නෑ.
ගායනය පැත්තෙන් ගත්තත් මේ සින්දුවෙ දි අපිට ඇහෙන්නෙ සුපුරුදු ක්ලැරන්ස් නෙවෙයි.මේ සින්දුව ලියවිලා තියෙන්නෙ ම රැවටීමට ලක් වුණු වීදි කලාකරුවෙකු උත්තම පුරුෂයෙන් අත්දැකීම ඉදිරිපත් කරන විලාසයෙන්.එතකොට ක්ලැරන්ස්ට අර මධ්‍යම පන්තිය වෙනුවෙන් මේ සින්දුව ප්‍රථම පුරුෂයෙන් ගයන්න බෑ.රැවටීමට ලක් වෙච්ච අසරණයාට අනුකම්පා කරන මධ්‍යම පන්තියේ ව්‍යාජ කටහඬ වෙනුවට රැවටීමට ලක්වෙච්ච පන්තියේ ම කටහඬ අපිට මේ සින්දුවෙන් ඇහෙන්නෙ ඒ නිසා.
“ඈත ඈත ඈත ඈත” කියලා හතර පාරක් කියනකොට,සංගීතකාරයන් ගෙන්නලා,නිලධාරියන්ගෙ චාටූ කතා කියලා කියනකොට වීදි ගායකයෙකු බවට ම ක්ලැරන්ස් පත් වෙනවා.
පාට පාට සළු අන්දලා
වේදිකාව මත නංවලා
රූපවාහිනියේ පෙන්නලා
අපව පෙන්නලා
මේ ඇන්දිල්ල කොයි තරම් අපහාසාත්මක ද, කියන එක ක්ලැරන්ස් “අපව පෙන්නලා”,”ලොවට පෙන්නලා” වගේ යෙදුම් වෙන ම ගයමින් පෙන්නලා දෙනවා.
ඒ සියලු සාධනීයතා අතරෙ සින්දුවෙන් මතු කෙරෙන අතිශය දේශපාලනික තේමාත්මකයට හානි පැමිණෙන කාරණය
වෙන්නෙ මේ රැවටීම නිලධාරීන්ගෙ කර මත පැටවීමට දරන උත්සාහය.ඒ තමයි ක්ලැරන්ස්ගෙ දේශපාලනික සවිඤ්ඤාණකත්වයේ සීමාව.
උපුටා ගැනීම රළ අතිරේකය
ගායනය/සංගීතය/පද – ක්ලැරන්ස් විජේවර්ධන