Day: December 8, 2020

  • වගකීම් විරහිත රාජ්‍යයක අසරණ වෙන ජනතාව 

    වගකීම් විරහිත රාජ්‍යයක අසරණ වෙන ජනතාව 

    කෑගල්ල උඩුමාගම ප්‍රදේශයේ පදිංචි ධම්මික බණ්ඩාර  නමැති පුද්ගලයා කොරෝනා සඳහා ආයුර්වේද ඖෂධයක් නිෂ්පාදනය කර ඇති බවට  ආරංචිය ජනතාවට ලබා දුන්නේ මෙරට මාධ්‍ය සහ  youtube canal පවත්වාගෙන යන මාධ්‍යවේදීන් කියාගන්නා පුද්ගලයන්  විසිනි.  කෙසේ  වෙතත් මේ පැණිය පිළිබඳ කතාබහක් පාර්ලිමේන්තුවේ පමණක් නොවෙයි මාධ්‍ය ඉදිරියේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි  පානය කිරීමෙන් ඒ පිළිබඳ ජනතාවට  බලාපොරොත්තුවක් ගෙනදෙන ක්‍රියාවලියක් සිද්ධ වුණා.

    ලෝකය මෙතෙක් සොයාගෙන තියෙන corona එන්නත් ජනතාවගෙන් මුදල් අයකර ලබාදෙනවා නම්, එම  එන්නත් එදා වේල හොයාගෙන කන මිනිස්සුන්ට අරගෙන එන්නත් කර ගැනීමට නොහැකි තරම් මිලෙන් අධිකයි. අද නිල වශයෙන් ‍එක්සත් රාජධානිය ෆයිසර් එන්නත  රටේ තෝරාගත් ජනතාවගෙන් ලක්ෂ හතරකට ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා.  එම  එන්නත නිපදවූ ෆයිසර් සමාගම මීට සති දෙකකට පමණ ඉහත ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ගේ මේ නිෂ්පාදනයේ මිළ මාත්‍රා දෙකක්  දළ වශයෙන් ඩොලර් 39.00 ක්  පමණ වන බවයි.  ඊට අදාළ අනෙකුත්  වියහියදම් එකතු වූ විට එහි  මිල ඉහළ යෑම නිසැකයි. මෙසේ ගත් කල රටේ බහුතරයක් ජනතාවට මේ බටහිර වෛද්‍ය විද්‍යාව විසින් සොයා ගන්නා ලද එන්නත්  රජය  මැදිහත් වී නොමිලේ ලබා දුන්නේ නැත්නම් ලබා ගැනීම දුෂ්කර කටයුත්තක් වනු ඇත .  ධම්මික බණ්ඩාර නැමැති මෙම පුද්ගලයා ප්‍රකාශ කරන තොරතුරුවලට අනුව  ඔහුගේ ඖෂධය සාර්ථක නම්  අපේ රටේ දුප්පත් මිනිසුන් ලද ජයග්‍රහණයක්. ඒ විතරක් නෙවෙයි ඒක ලෝකෙම හමුවේ රට ලබපු ජයග්‍රහණයක් බවට පත්වෙනවා.  නිසි  වැඩපිළිවෙළක් යටතේ මේ ක්‍රියාවලිය නිවැරදිව සිදු වුණා නම් අද මේ විඳින අපහාස, විවේචන සිද්ධ නොවෙන්නට ඉඩ තිබුණා.  නමුත් මේ ක්‍රියාවලිය ආරම්භයේ සිටම ධම්මික බණ්ඩාර නැමැති පුද්ගලයාගේ ප්‍රකාශ එකින් එක අරගෙන බැලූ විට  පැහැදිලිව පෙනෙන්න තිබෙන කාරණය තමයි  ඖෂධය නිසි පරීක්ෂණයකට භාජනය කර එහි ප්‍රතිඵල පිළිබඳව තක්සේරුවක් පිළිගත හැකි ආකාරයෙන් කර නොමැති බව.

    කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අද සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කර සිටින්නේ මේ බෙහෙත පිළිබඳව යම් සායනික පරීක්ෂණ ප්‍රමාණයක් කර තිබෙනවා, එය සාර්ථක බව ඔප්පු වී තිබෙනවා, නමුත් වැඩිදුර පරීක්ෂණ තවමත් කරමින් පවතිනවා කියා . එහි වාර්තාව ලැබෙන්නේ තව සතියකින් බව ඔහු පවසනවා. නමුත් මේ කියන ඖෂධයට   අදාල පිළිගත හැකි සහතිකයක් ලැබී නැහැ. බටහිර වෛද්‍ය විද්‍යාව පැත්තෙන්  හෝ  ආයුර්වේද වෛද්‍ය සහතිකයක් හෝ  පිළිගැනීමක් ලැබී නොමැත. ඒ අනුව ගත් කල මේ ඖෂධය තවමත් පිළිගත හැකි මට්ටමක නැති එය පානය කළ විට කොරෝනා සුවවිය හැකිය  යන්න කට වචනයෙන් කියන තැනක තමයි මේ ඖෂධයේ සහතික ත්ත්වය තියෙන්නේ.

    මෙවන් වටපිටාවක් යටතේ අද ධම්මික බණ්ඩාර නැමැති මෙම ආයුර්වේද වෛද්‍යවරයා යයි කියා ගන්නා තැනැත්තා  ජනතාවට මේ පැණිය නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. විශාල ජනකායක් එහි එක් රැස් වී සිටින අතර බොහෝ දෙනෙක්ට සැක මතු වී තිබෙනවා, එතැනින් නව කොරෝනා පොකුරක් නිර්මාණය වේවි කියා .  කෙසේ  වෙතත් සමාජ මාධ්‍ය හරහා පැන නැගුණු විරෝධය  හමුවේ  එම  ක්‍රියාවලිය හවස් වන විට නවතා දැමීමට  මැදිහත්වීමක් කර තිබෙනවා.

    රජය මෙම පැණිය ප්‍රචලිත කිරීමේ පාර්ශවය නියෝජනය කරන අතර එහි වැදගත්ම කාර්යය වෙනුවෙන් පෙනී නොසිටිනවා . රාජ්‍ය මැදිහත්වීමක  පිළිගත් ක්‍රියා පටිපාටියකට යටත් නොකර  එක් එක් පුද්ගලයාට අවශ්‍ය ආකාරයට මේ  ක්‍රියාවලිය ඇතුලේ හැසිරෙන්නට ඉඩදී  තිබෙනවා . දැනට සිදුවී ඇති ක්‍රියාවලිය නිරීක්ෂණය කළ විට නිගමනයකට එළැඹිය හැක්කේ  මෙය ද එක්තරා විදිහක ජනතාව ඇන්දවීමේ ක්‍රියාවලියක් බවයි , එහි විශේෂත්වය වී තිබෙන්නේ   ඇන්ඳවීමේ ක්‍රියාවලියට රාජ්‍ය මැදිහත්වීමද ලබා දීමයි.

    මෑතකාලීන මාධ්‍ය භාවිතාවන් පිළිබඳ ව අපි විමර්ශනය කරන විට පෙනී යන්නේ රටේ ජනතාව මිත්‍යාවේ හිර කර තබන්න  ක්‍රියාත්මක වෙන ප්‍රධාන පෙළේ මාධ්‍ය මාෆියාව දැනුවත් ක්‍රියාවලියක් අරගෙන යන බව සහ  මෙය ද එහිම කොටසක් ද යන්න නිසැක සැක ඇතිවෙන තැනකට  ගෙන ගොස් ඇති බව පෙනීමයි.  කොරෝනා වසංගතය අද පාලනය කළ නොහැකි තැනකට ගමන් කර තිබෙන තත්ත්වයක් තුළ ආණ්ඩුව පළමු කොරෝනා රැල්ලේ දී පාරම් බාපු ආකාරයට මේ අවස්ථාවේදී එය තමන්ගේ වාසියට යොදා ගැනීමට අවස්ථාව නැති නිසා ජනතාව අතරින් මතුවෙන විරෝධයේ  දිශාව වෙනස් කර නන්නත්තාර කිරීමට මෙවැනි උප්පරවැට්ටි යොදනවාද කියන අනුමානය අපට කළ හැකියි .

     පසුගිය කාලයේ හොර ජෝතිෂ වේදීන් රටට හඳුන්වා දුන්නේ සහ ප්‍රචලිත කලේ මාධ්‍ය එකතුවි . මෙවර ද කරන්නේ ජනතාව නොමඟ යැවීමේ ක්‍රියාවලියයි . ඉදින් හැම කෙනෙකුම ජීවිතයට ආදරේ බැවින්   වසක් විසක් වුවද මුලින්ම පානය කිරීමට පෙළඹෙන එක සාමාන්‍ය දෙයකි.

  • කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් සය දෙනෙකු කෝව්ඩ් ආසාදිතයන් වීම සම්බන්ධවයි.

    කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් සය දෙනෙකු කෝව්ඩ් ආසාදිතයන් වීම සම්බන්ධවයි.

    රුහුණ විශ්වවිද්‍යාලයට අයත් කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුවියන් සිව් දෙනෙකුට සහ සිසුන් දෙදෙනෙකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇත. අවසන් වසර සිසුන් දෙදෙනෙකු නොවැ.03 වන දා ද, තෙවන වසර සිසුන් දෙදෙනෙකු සහ සිසුවියන් දෙදෙනෙකු නොවැ.06 දිනයේ ද PCR ප්‍රතිඵල අනුව එලෙස ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මේ වන විට වෛද්‍ය සිසුන් රැඳී සිටින එක් නේවාසිකාගාරයක් සම්පූර්ණයෙන්ම හුදකලා කර ඇති අතර අනෙක් නේවාසිකාගාරවල මහල් කිහිපයක සිසුන්, සිසුවියන් නිරෝධායනය කර සිටී. විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ මෙම සිසුන් කෝවිඩ් 19ට නිරාවරණය වූයේ කෙසේදැයි තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැතිවීමයි.

    මින් පෙරද කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණි කොරෝනා ආසාදිත රෝගී කාන්තාවකට නිරාවරණය වීම හේතුවෙන් වෛද්‍ය සිසුන් සහ සිසුවියන් 11 දෙනෙකු පීඨය තුළම නිරෝධායනයට ලක් කළ අතර පසුව සිදු කළ PCR පරීක්ෂණ මගින් ඔවුන් ආසාදනය වී නොමැති බව තහවුරු විය. නමුත් මෙම සිසුන් සය දෙනාට එවැනි සම්බන්ධයක් හෝ නොමැති අතර වසර කණ්ඩායම් දෙකකට අයත් සිසුන් වීම තවත් වැදගත් කරුණකි.

    වසංගත අවදානම හේතුවෙන් විශ්වවිද්‍යාල වසා දැමූ තත්ත්වයක් පැවතියද වෛද්‍ය පීඨවල අවසන් වසර සිසුන් සඳහා සායනික පුහුණු අඛණ්ඩව පැවැත්වෙන අතර නේවාසිකාගාරවල රැඳී සිටිමින් ඔවුන් සායනික කටයුතු සඳහා සම්බන්ධ වේ. එහිදීද කරාපිටිය වෛද්‍ය පීඨයේ පළමු වසර හැර අනෙක් ශිෂ්‍ය කණ්ඩායම් පහම පීඨය තුළ රැඳී සිටී. මේ වන විටත් කරාපිටිය වෛද්‍ය පීඨයේ නේවාසිකගාරවල 600කට ආසන්න සිසු සිසුවියන් ප්‍රමාණයක් සිටින අතර, පීඨයෙන් පරිබාහිරව බෝඩිම් වල 200ක පමණ සිසුන් පිරිසක් රැඳී සිටිති. එහි ඇති අවදානම පිළිබඳව උපකුලපතිවරයා, පීඨාධිපතිවරයා ඇතුළු බලධාරීන් නොතකාහැර ඇති බව පැහැදිලිය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලනය ඇතුළු බලධාරීන් මෙහිලා කටයුතු කර තිබෙන්නේ ඉතා වගකීම් විරහිතව වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිසුන් විශාල පිරිසක් අද අවදානමට පාත්‍ර වී තිබේ.

    වසංගත අවදානමක් රට පුරා පැතිර යන මොහොතක සායනික පුහුණුව සඳහා දෛනිකව රෝහල්වලට යන වෛද්‍ය සිසුන් කෝවිඞ් රෝගීන් හා සම්බන්ධ වීමේ ප්‍රවනතාව ඉතා ඉහළය. ඔවුන් බොහෝ දෙනා පොදුවේ නේවාසිකාගාර පරිහරණය කරමින් එකට වාසය කරති. විවිධ අවශ්‍යතා සපුරාගැනීම සඳහා පොදු සමාජය හා ගැටෙති. පුහුණුව ලබන රෝහලේ විවිධ වාට්ටුවලට ගොස් රෝගීන් හා සමීපව ගණුදෙනු කරති. විශේෂයෙන්ම වසංගත තත්ත්වයේ වර්ධනයත් සමඟ දැන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවා වසංගතයට ගොදුරු වෙමින් පවතී. සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් ආසාදිතයන් බවට තහවුරු වූ පුවත් පසුගිය කාලය පුරා මාධ්‍ය මගින් වාර්තා කරන ලදී. එවන් වටපිටාවක අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයේ රැඳී සිටින සහ විශේෂයෙන්ම සායනික පුහුණු සඳහා රෝහල් කරා යන ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව සම්බන්ධව වගකීමක් සහිතව බලධාරීන් කටයුතු කළ යුතුය. වසංගත තත්ත්වයක් පැතිර යද්දී, විශේෂයෙන් වෛද්‍ය සිසුන්, සම සෞඛ්‍ය පීඨවල සිසුන් රෝහල් තුළ කටයුතු කිරීම නිසා සෘජු අවදානමකට මුහුණ දෙන බව බලධාරීන් නොදැනුවත් යැයි කිව නොහැකිය. එහෙයින් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු අවසන් කිරීමට මෙන්ම එසේ කිරීමට යාමේ දී ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධවද වගකීම් සහගත වන්නට බලධාරීන්ට හැකි විය යුතුය. නමුත් රුහුණ වෛද්‍ය පීඨය ආශ්‍රිත සිදුවීමෙන් පෙනී යන්නේ කෙසේ හෝ අධ්‍යයන කටයුතු අවසන් කොට සිසුන් පිටත් කිරීම කෙරෙහි මිස ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව අබමල් රොණක තරම් වගකීමක් විශ්වවිද්‍යාල පරිපාලනයත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් ඇතුළු බලධාරීන් භාරගෙන නොමැති බවයි. කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් කිහිප දෙනෙකුද මින් දින කිහිපයකට පෙර ආසාදිතයන් බවට තහවුරු විය. එහිදීද බලධාරීන් කටයුතු කර තිබුණේ ඉතා වගකීම් විරහිත ලෙසය.

    ප්‍රතිකාර කටයුතුවල නිරත සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා අනිවාර්යයෙන්ම සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් (PPE) ලබාදිය යුතු අතර රජය විසින් එම වගකීම පැහැර හැර සෞඛ්‍ය කාර්යමණ්ඩල අවදානමකට ඇද දමා ඇති බව අ.වි.ශි.බ.ම විසින් මින් පෙර ද ජනාධිපතිවරයාගේ පටන් සියලු බලධාරීන් දැනුවත් කර තිබේ. නමුත් ඒ පිළිබඳව කිසිඳු තැකීමකින් තොරව මේ මොහොතේත් කටයුතු සිදු වෙමින් තිබෙන අතර සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ප්‍රතිකාර කටයුතුවලට අමතරව අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පළඳනා (PPE) සකසා ගැනීමටත් කාලය වැය කිරීමට සිදුව තිබේ. 2021 අයවැය තුළින් ද සෞඛ්‍ය ප්‍රතිපාදන රු. බිලියන 20 ක් කප්පාදු කර ඇති අතර වසංගත තත්ත්වය මෙතරම් උග්‍රව පැතිර යන මොහොතකත් රජය වගකීම් විරහිතව කටයුතු කරන බවට තවත් කරුණු අවශ්‍ය නැත. වෛද්‍ය පීඨවල සායනික කටයුතු සඳහා සම්බන්ධ වන සිසුන් අනාරක්ෂිත වන්නට මෙයද ප්‍රබල හේතුවක් වී තිබේ. කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන්ට ගතවූ මුළු කාලය පුරාවටම අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කිසිවක් පරිපාලනය මගින් ලබාදී නැත. ඒවා සිසුන් මැදිහත්ව සකසාගෙන, හෝ මිලදීගෙන තිබේ. රජය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලනය සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව අංශු මාත්‍රයක තැකීමකින් තොරව කටයුතු කර ඇති බව එමගින්ම පැහැදිලි වේ.

    මෙය කරාපිටිය වෛද්‍ය පීඨයට පමණක් සීමා වූ ගැටලුවක් නොවේ. එක්දිනක් පමණක් භාවිතා කළ හැකි ඉටි කොළවලින් සැකසූ සෞඛ්‍යාරක්ෂිත ඇඳුමක මිල වෙළඳපොලේ රු.750ක් වන අතර ඒවා දෛනිකව මිලදී ගැනීමට ගියේ නම් සිසුන්ට එක් මාසයකට අවම රු. 22500ක් වැය කිරීමට සිදුවේ. එය කිසිසේත් සිසුන්ට දරාගත හැක්කක් නොවන අතර ඒ හේතුවෙන් වෛද්‍ය පීඨවල හා සම සෞඛ්‍ය පීඨවල බොහෝ සිසුන්ට එකම ඇඳුම සෝදා දින ගණනක් පරිහරණය කිරීමට සිදුව තිබේ. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස දැන් සිසුන් කෝවිඞ් 19 ට නිරාවරණය වී ඇති අතර කරාපිටියේ පමණක් සිසුන් සය දෙනෙක් ආසාදිතයන් බවට පත්ව තිබේ.

    මෙම තත්ත්වයට සෑම වෛද්‍ය පීඨයකම, සෑම සමසෞඛ්‍ය පීඨයකම සායනික කටයුතු සඳහා සම්බන්ධවන සිසුන්ට මුහුණ දෙන්නට සිදුව තිබේ. එම සියලු සිසුන්ට කටයුතු කිරීමට සිදුව ඇත්තේ ඉතා අනාරක්ෂිතව වන අතර ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම රජය විසින් භාරගත යුතුය. නමුත් පෙනෙන්නට තිබෙන්නේ රජය වෛද්‍ය සිසුන්, සම සෞඛ්‍ය සිසුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවල වගකීම තබා දිනකට රෝගී මරණ කිහිපයක්ම වාර්තාවන තත්ත්වයක් පවතින මොහොතකත් වසංගතය පිළිබඳව කිසිඳු තැකීමක් නොකර අත්තනෝමතිකව කටයුතු කරන බවයි. රජය කරන්නේ මෙවන් සිදුවීම් පිලිබඳ තොරතුරු ජනතාවගෙන් වසන් කොට සඟවා තබා ගැනීමට උත්සාහ කිරීම පමණි. එහෙයින් දැන්වත් ජන ජීවිත අනතුරේ නොදමා වසංගතය පිළිබඳව වගකීම් සහගතව කටයුතු කරන ලෙස සියලු ජනතාව විසින් රජයට බල කර සිටිය යුතුය. සෞඛ්‍යයට අයවැයෙන් ප්‍රතිපාදන කපා දැමීම නොව මේ මොහොතේ වගකීම් සහගතව කටයුතු කරන රජයක් විසින් කළ යුත්තේ තවත් වැඩිපුර ප්‍රතිපාදන වෙන් කොට වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට කටයුතු යෙදීමයි. ජනතාව ආරක්ෂා කිරීම කෙසේ වෙතත් අවම වශයෙන් වෛද්‍ය සිසුන්ට මුව ආවරණයක් ලබාදීමටවත් රජය අසමත්ව සිටී. එහෙයින් වහාම සියලු වෛද්‍ය පීඨවල, සියලු සම සෞඛ්‍ය පීඨවල සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කළ යුතු බවත් ඒ සඳහා වහාම මැදිහත් විය යුතු බවත් අප රජයට අවධාරණය කර සිටිමු.

  • ආදරය කිරීම වරදක් ලෙස දකින ඉන්දියාව

    ආදරය කිරීම වරදක් ලෙස දකින ඉන්දියාව

    ඉන්දියාව තුළ හින්දු ජාතිකවාදයේ නැගී ඒමත් සමඟ මුස්ලිම් විරෝධී ක්‍රියාමාර්ග දැඩි කර තිබේ. ඉන් එකක් වන්නේ ආගම් දෙකක පුද්ගලයන් දෙදෙනකු විවාහ වීම වළක්වමින් අලුතෙන් හඳුන්වා දුන් නව නීතියයි. මෙම නව නීතිය හින්දු අන්තවාදීන් විසින් හඳුන්වනු ලබන්නේ ‘ලව් ජිහාඩ්’ යන නමිනි. එම කණ්ඩායම් එකී යෙදුම උපයෝගී කරගනිමින් විවාහවීම මගින් හින්දු කාන්තාවන් ඉස්ලාම් දහමට හරවා ගනු ලබන මුස්ලිම් ජාතිකයන්ට චෝදනා කරයි.

    හින්දු කාන්තාවක් ඉස්ලාම් ආගමට හරවා ගැනීමට තැත්කරන ලද බවට චෝදනා ලද මුස්ලිම් ජාතිකයෙක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් පොලිසිය විසින් පසුගිය සතියේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඉන්දියාව විසින් බලාත්මක කරන ලද එම නීතියට එරෙහිව විශාල විරෝධයක් පළවෙමින් ඇති අතර විවේචකයන් විසින් එය හඳුන්වනු ලබන්නේ “ඉස්ලාම් භීතිකාව” පදනම් කරගත් ක්‍රියාමාර්ගයක් හැටියටය. නමුත් භාරතීය ජනතා පක්ෂය එයින් අධෛර්යට පත්වී ඇති බවක් පෙනෙන්න නැහැ. එම පක්ෂයේ පාලනයේ යටතේ පවතින අනිත් ප්‍රාන්ත 4 තුළත් මෙම නීතිය බලාත්මක කිරීම ඔවුන්ගේ උත්සාහයයි.

    නමුත් හින්දු ජාතිකයෙකු විසින් මුස්ලිම් කාන්තාවක විවාහ කරගැනීම හින්දු අන්තවාදීන් පෙන්වනු ලබන්නේ ආදරය ලෙසයි.

    මෙහි මුලින් සඳහන් කරන ලද අත් අඩංගුවට ගනු ලැබීම, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බාරෙයිලි (Bareilly) දිස්ත්‍රික්කයේ පොලිසිය විසින් නිකුත්කරන ලද ට්විටර් පණිවුඩයක් මගින් තහවුරු කරනු ලැබ ඇත.

    එම කාන්තාව මේ වසර මුලදී වෙනත් පුරුෂයකු සමඟ විවාහ වූ නමුත් ඇය මුස්ලිම් ජාතිකයා සමගත් ඇසුරක් පවත්වා ඇතැයි පැවසෙයි.

    මේ සතියේ බදාදා (02 දෙසැම්බර්) අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයා දින දාහතරක කාලයක් සඳහා රැඳවුම් භාරයට යවනු ලැබ ඇත.

    මුස්ලිම් – හින්දු ආදරය විස්තර කරන චිත්‍රපටිවලට පවා වාරණ
    මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මාසයේ දී ‘Netflix’ මාධ්‍ය ජාලයත් විවේචනයට ලක්විය. එම මාධ්‍ය ජාලය විසින් නිර්මාණය කරන ලද ‘A Suitable Boy’ නම් රූපවාහිනී වෘත්තාන්ත මාලාවට ඇතුළත් එක් දර්ශනයක දී කැමරාව කෝවිලක් පසුකරමින් පෙරට යද්දී හින්දු තරුණියක සහ මුස්ලිම් තරුණයකු සිප වැළඳගන්නා රූපරාමුවක් ද ඊට ඇතුළත් විය.

    එම දර්ශනය ”ආගමික හැඟීම්”වලට හානිකර යයි කියාසිටි මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ස්වදේශ කටයුතුභාර ඇමති නරෝත්තම් මිශ්‍රා ‘A Suitable Boy’ රූපවාහිනී වෘත්තාන්තයේ නිෂ්පාදකවරයාට සහ අධ්‍යක්ෂවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සිය නිලධාරීන්ට නියෝග කළේය.

    ආදරයට ඉඩක් නෑ
    ඉන්දියාව තුළ පරමාදර්ශී විවාහ ලෙස සැලකෙන්නේ යෝජිත විවාහ , විෂමලිංගික විවාහ හා එකම ප්‍රජාව තුළ සිදුවන විවාහයනුයි. ඉන්දියාවේ සියලුම විවාහ වලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් යෝජිත විවාහ වේ. අන්තර් ආගමික විවාහ දුර්ලභ ය. එක් අධ්‍යයනයක් මගින් සඳහන් කර ඇති පරිදි ඒවා 2% ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයකි.

     

  • එන්නත මට අපේක්ෂා සහගත උපන් දින තෑග්ගකි ” 90 හැවිරිදි මාග්‍රට් කියයි

    එන්නත මට අපේක්ෂා සහගත උපන් දින තෑග්ගකි ” 90 හැවිරිදි මාග්‍රට් කියයි

    90 හැවිරිදි මාග්‍රට් කීනන් එක්සත් රාජධානියේ නව කොරෝනා වයිරස් එන්නත් කිරීමේ ව්‍යාපාරයේ මඟින් ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබාගත් ලොව පළමු රෝගියා බවට පත්විය .

    “කෝවිඩ් -19 ට එරෙහිව එන්නත ලබා දුන් පළමු පුද්ගලයා වීම මට මහත් වරප්‍රසාදයක්. එය මට බලාපොරොත්තු විය හැකි වඩාත්ම අපේක්ෂා සහගත උපන් දින තෑග්ගයි” යනුවෙන් ලබන සතියේ 91 වන වියට පා තබන මාග්‍රට්පවසා තිබේ . “වසරේ වැඩි කාලයක් තනිව සිටීමෙන් පසු නව වසර තුළ මගේ පවුලේ අය සහ මිතුරන් සමඟ කාලය ගත කිරීමට හැකිවනු ඇතැයි මා විස්වාස කරනවා ඇය වැඩි දුරටත් සඳහන් කර තිබේ .”

    එන්නත් කිරීමේ වැඩපිළිවෙළ ප්‍රථම අදියර යටතේ එන්නත් මාත්‍රා 800,000 ලබාදීම සඳහා එක්සත් රාජධානියේ සෞඛ්‍ය අංශ දැනටමත් කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම එන්නත සෙල්සියස් අංශක -80 ක ගබඩා කළ යුතු අතර භාවිතයට පෙර අවසන් දින පහ තුළ සාමාන්‍ය ශීතකරණවල තබා ගත හැකියා .

    90 හැවිරිදි මාග්‍රට් නිල COVED-19 එන්නත ලබාගත් පළමුවැන්නා වි ඇය බලාපොරොත්තුව දල්වාගත් දෑසින් යුතුව පියනගන අතර අපි රාජ්‍ය අනුග්‍රහයෙන් ජඩමාධ්‍ය ආශිර්වාදයෙන් ජනගත කළ මිථ්‍යාවේ තෙරපෙමින් පෝලිමේ සිටිමු.

  • පැණි බේරෙන ගිනිඅවිය -මංජුල වෙඩිවර්ධන

    පැණි බේරෙන ගිනිඅවිය -මංජුල වෙඩිවර්ධන

    පරතර කුමට පැණි පෝලිම් කිටිකිටිය
    ගිනි අවියෙන් ද පැණි බේරී එන හැටිය
    ආනයනය කරව් මේ පැණි පිටරැටිය
    ස’බර මෙයයි පැණි බේරෙන මුතු ඇටය

    2020 දෙසැම්බර් 08

  • දත්තවාදය ගැන දන්නේ මොනවද ?

    දත්තවාදය ගැන දන්නේ මොනවද ?

    Yuval Noah Harari කියන්නේ ඊශ්‍රායල් ජාතික ඉතිහාසඥයෙක් මෙන්ම සමාජ විද්‍යාඥයෙක් මෙන්ම ඊශ්‍රායලයේ Hebreu විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙක්. මෑත කාලයේ ඔහු ප්‍රකාශයට පත්කළ පොත් කිහිපයක් නිසා වර්තමානයේ ඔහු ඉතා ජනප්‍රිය සාස්ත්‍රඥ තරුවක් බවට ( interlectuval star ) පත්වෙලා තියනවා.

    Sapians නොහොත් A Brief History of Humankind නමින් ඔහු 2014 ප්‍රකාශ කළ කෘතිය අද වනවිට ලොව පුරා භාෂා රාශියකටම පරිවර්ථනය වී ඇති අති ජනප්‍රිය කෘතියක්. මේ මානව ඉතිහාසයේ කථාව එහි වර්ථමානය සහ අනාගතය සමග සංසන්දනය කරමින් ඉතා තාර්කික සහ නිර්මාණාත්මක ලෙස රචනා කොට ඇති මෙම කෘතිය අද වනවිට ළමා පරපුරට පරිශීලනය කිරීමේ පහසුව පිණිස ග්‍රැපික් මාධයෙන් පවා ප්‍රකාශයට පත්කොට ඇත.

    වසර 2016 දී පමණ ඔහු මෙම ක්ෂේත්‍රය අළලා තවත් අපූරු පොතක් පලකරනවා. එය නම්කොට ඇත්තේ Homo Deus නොහොත් A Brief History of Tomorrow යනුවෙනි. තාක්ෂණයේ අසීමාන්තික දියුණුව සමග මානව සමාජයේ සිදුවන පරිවර්තනය මෙහිදී විමසනවා.

    ඔහුගේ කෘතියේ ආවසාන පරිච්චේදය නම්කොට ඇත්තේ දත්තවාදය නොහොත් Dataism යනුවෙනි. දත්ත සහ ඇල්ගරිදම් මගින් අනාගත ලෝකය පාලනය කරන බවත් ලෝක සමාජ සහ දේශපාලන ප්‍රමුකතා දත්තවාදයට අනුව යලිත් උඩුයටිකුරු වී සැකසෙන බව ඔහු උදාහරණ සහිත ගෙනහැර දක්වනවා.

    මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ Homo Deus කෘතිය ප්‍කාශයට පත්කළ අවස්ථාවේ දත්තවාදය ගැන ඔහු පලකල අදහස් සම්ච්චයක්.

    මෙම වීඩියෝවේ ප්‍රති නිෂ්පාදනය Red Chilli Media වෙතිනි.

    දත්තවාදය ගැන දන්නේ මොනවද ?