Breaking News

මුනුබුරාගේ කවිය

මංජුල වෙඩිවර්ධන

හැම හේමන්තෙට ම පෙර
තුරු
පත් සළනවා තමයි…
ඒත්, තුරුපත් නොවේ ඔබ
කප්පරක් හේමන්ත පසුකර
හැම වසන්තෙ ම හිනැහුණ…

මේ හිම සමේ නො වැටුණ
හිම පියල්ලක් සේ
මුද්‍රා තැබූ දෙණ තුළ
ශීතලෙන් ගුළිවී
කොහේ යන්නෙ ද ඔබ
කොන්තයත් හිමි නැති
පටැළවුණු අත්ලෙහි
කවර රහසක්
ගුලිවී තිබෙන්නෙ ද?

ගැටවර කතන්දර මත
කිරිකැටි හිනා ඉතිරුණ
ඔය මහලු මැදුරට
වෛරස රැගෙන ආ කෘමියා
කවර අඬුපඬු විහිදන
කවර මුහුණක සැඟවුණ
කවර කෘමියක් ව ද?

හිතුමතේ අත් විහිදා
‘ෆෝසිසියා’ හිනැහෙන විට
වසන්තය අත ළඟ බව
කියා දුන්නී එ ද වස
අත්තම්මේ ඔබ ය…

නිල්ල පාදාගෙන
‘ප්‍රීමවේර්’ කුසුම් නැඟැ එන
නිම්න භූමිය පෙන්නා
වසන්තය ඇවිදින් බව
කියා දුන්නේ එ දවස
අත්තප්පේ ඔබ ය…

අත්-මුව වැසුම පැළඳුව
වෛරසමුවා සිහිනෙක
දෑත් පටලාගෙනැ විත්
මේ සා පාළු කුටියේ
සයනය දෙ පස ඉඳඟෙන
පහදා දෙන්න හැකිවෙද
අලුතින් හුස්ම ගන්නා
මේ වසන්තය නො දැක ම
හුස්ම අත් හැරි කාරණ?

 2020 අප්‍රේල් 21

කවියාගේ සටහන:
අප්‍රේල් 20 වන දා වෙද්දි EHPAD වල විතරක් මියගිය වැඩිහිටියන් ගණන 7752යි.

මංජුල වෙඩිවර්ධන

leave a reply