Breaking News

ජන වරම දේව වරමක් නොවෙයි – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අවසන් ලියවිල්ලක් කෝ?

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ලංකාවේ පාසල් අධ්‍යාපන ක‍්‍රමයේ සිදු කිරීමට යන ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අදාළ වාර්තාවක් කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලමින් ජන අරගල සන්ධානය ඊයේ (06) අධ්‍යාපන අමාත්‍යංශයට ලිපියක් බාර දී තිබේ.

එමගින් ඔවුන් විමසා සිටින්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනුවෙන් පවසමින් ආණ්ඩුව ගෙන ඒමට අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ සඳහන් නිශ්චිත ලියවිල්ලක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවයි. ඒ වෙනුවට ඇත්තේ හරිනි අමරසූරිය වටේ අරගෙන යන POWER POINT presentation එක සහිත භාග ලියවිල්ලක් පමණක් බවයි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුමින්ද නාගමුව අවධාරණය කර කියා සිටියේ ආණ්ඩුවට ලැබී ඇති ජනවරම දේව වරමක් සිතා වැඩ නොකරන ලෙසයි. එසේ වුවහොත් එහි අයහපත් ප්‍රථිපල නිසැකවම භුක්ති විඳින්නට සිදු වන බවත් ඔහු සඳහන් කළා. ආණ්ඩුව කිසිම සංවාදයකින් තොරව අත්තනෝමතික සහ උද්දච්ච ලෙස ප්‍රතිසංස්කරණ ගෙන ඒමට කටයුතු කරන්නේ නම් මේ ක්‍රියාවලිය මීට වඩා බරපතල වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ලංකාවේ පාසල් අධ්‍යාපන ක‍්‍රමයේ සිදු කිරීමට යන බරපතල ප‍්‍රතිසංස්කරණයක් පිළිබද මේ වන විට විශාල සංවාදයක් ගොඩනැගී ඇත. මෙම ප‍්‍රතිසංස්කරණ පිළිබද කතිකාව ඇති වී තිබෙන්නේ වත්මන් ජාජබ ආණ්ඩුව ඒ පිළිබද හරියාකාර පැහැදිලි ලියවිල්ලක් ඉදිරිපත් නොකළ පසුබිමක් තුලය. මීට පෙරද පසුගිය දශක කිහිපය පුරා විටින් විට මෙවැනි ප‍්‍රතිසංස්කරණ ඉදිරිපත් වී ඇති අතර ඒවායේ නිෂේධනාත්මක කරුණු කෙතරම් පැවතියද එම හැම අවස්ථාවකම පැහැදිලි සංවාදයට බදුන් කළ හැකි ලේඛනයක් තිබුණි. 1981- අධ්‍යාපන ධවල පත‍්‍රිකාව, 1988 – කිංස්ලි වාර්තාව, 1993 – පාසල් සංවර්ධන පනත් කෙටුම්පත, 1997 – ජයතිලක කමිටු වාර්තාව, 1999 – පාසල් විචාරවත් කිරීමේ යෝජනාව(පාසල් 3000ක් වසා දැමීමට ආ සැලසුම), 2005 – තාරා හැරල්ඞ් වාර්තාව, 2007 – විශ්වවිද්‍යාල තත්ව ඇගයීම් කොමිසම ආදිය ඒ අතර විශාල විවාදයන් පැන නැගුණු මුලූමනින්ම ක‍්‍රියාවට නැගීමට නොහැකි වූ යෝජනා ය. කෙසේ වුවත් ඉහත සෑම අවස්ථාවකම කෙතරම් මහජන විරෝධයකට එම ප‍්‍රතිසංස්කරණ ලක් වුවත් සාකච්ඡුාවට බදුන් කළ හැකි නිශ්චිත නිල ලියවිල්ලක් තිබුණි.

වත්මන් ජාජබ පාලනය මෙම ප‍්‍රතිසංස්කරණය සිදුකිරීමට යන්නේ ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් සැකසු ‘පවර් පොයින්ට්’ ඉදිරිපත් කිරීමක් පදනම් කරගනිමින් ය. මේ සදහා අදහස් දැක්වීමට සිටින සියලූ පාර්ශ්වයන්ට එමගින් බරපතල අසාධාරණයක් වන බවත් විවිධ නොමග යැවීම් සිදු වන බවත් දැනටමත් පෙනී ගොස් ඇත. මේ සියලූ කරුණු මෙසේ තිබියදී එවැනි ලියවිල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නො කර ඒ පිළිබද පාර්ලිමේන්තු විවාදයක් පවා ජනාධිපතිවරයාගේ ද සහභාගීත්වයෙන් දැනටමත් සිදු කර ඇත. මේ පිළිබදව උනන්දු වන දේශපාලන පක්ෂයක් ලෙස ජන අරගල සන්ධානය පසුගිය සති කිහිපය පුරාම නිරීක්ෂණයක සිටියේ ඔබ අමාත්‍යංශය ඒ පිළිබද නිල ලියවිල්ලක් ඉදිරිපත් කරනු ඇතැයි යන අපේක්ෂාව මතය. එහෙත් ඒ වෙනුවට මෙම ප‍්‍රතිසංස්කරණයට නම යොදාගැනීමට තමන්ට අවශ්‍ය නො වන බවක් කියමින් අධ්‍යාපන ඇමතිවරිය මෙහි කේන්ද්‍රීය ප‍්‍රශ්නය මග හරිමින් සිටී. ජනතාවට වැදගත් වන්නේ මෙහි යොදන්නේ කාගේ නමද යන්න නොව මෙම අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයට අදාල පදනම් වන ලියවිල්ල කවරක්ද, එය සකසන ලද්දේ කවුරුන් විසින්ද යන්නයි.

ජාජබ බලයට ඒමට පෙර පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මෙවැනි පාරදෘශ්‍ය නො වන දේශපාලන ප‍්‍රවේශයන් නිර්දය ලෙස විවේචනය කරනවා මේ රටේ ජනතාව දැක ඇත. එමෙන්ම ජාජබ ලද ජන වරම තුල නව දේශපාලන සංස්කෘතියක් රටට හදුන්වා දෙන බවටත් වසර 77ක දේශපාලන ක‍්‍රමය වෙනස් කරන බවටත් වූ පොරොන්දුව නැවත සිහිපත් කළ යුත්තේ මෙවැනි හැසිරීම් අයිති වන්නේ මෙරට පැවති ජරාජීර්ණ වූ ජරාජිත දේශපාලන පක්ෂවල ආණ්ඩුකරණයට වන නිසා යි. ජනතාවට කරුණු සගවමින් සිදු කිරීමට යන මෙම අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණය කාගේ උවමනාවක්ද ? ලෝක බැංකුවේ ණය ආධාරයක් රදවා ගැනීමේ උවමනාවක්ද ? විධිමත් මහජන සංවාදයකට ඉඩ නොතබා මෙතරම් හදිසියේ 2026 වසරේ සිට මෙය ක‍්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ කුමක් නිසාද? එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නොවේද ? රටක දරුවන්ගේ අනාගතය පිළිබද ප‍්‍රශ්නයකදී එලෙස අත්තනෝමතිකව කටයුතු කළ හැකිද? ඔබට ජන වරමක් ලැබී ඇති බව සැබෑය, එහෙත් එය දේව වරමක් ලෙස වරදවා වටහා නොගන්න.

අනෙක් අතට අප කවුරුත් දන්නා පරිදි 2018 එවකට පැවති යහපාලන ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ආරම්භ කළ, පසුව ගෝඨාභය ජනාධිපති සමයේ උපාලි සේදර වාර්තාව (2021) නමින් ඉදිරිපත් වූ, 2022 න් පසුව ඉහත ක‍්‍රියාවලියේ දිගුවක් ලෙස රනිල් වික‍්‍රමසිංහා ජනාධිපතිවරයාගේ ධූර කලයේ ඉදිරිපත් කළ ‘ජාතික අධ්‍යාපනය ප‍්‍රතිපත්ති රාමුව’ ජාජබ ආණ්ඩුව ඉදිරිපත් කරන අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වල පදනම් ලියවිල්ල බවට ඉදිරිපත් කෙරෙන සැකය බැහැර කළ නොහැක. රනිල් වික‍්‍රමසිංහ පාලන සමයේ එනම් මීට වසර දෙකකට පමණ පෙර ඉදිරිපත් කළ ඉහත ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්ති රාමුව විශාල සමාජ විරෝධයකට පාත‍්‍ර විය. එමෙන්ම එම වාර්තාව සැකසු කමිටුවේ සිටියේ මෙරට කුප‍්‍රකට ව්‍යාපාරිකයන් ය. එකල ජාජබ නායකයන් මෙන් ම ඔබද එහි ප‍්‍රබල විවේචිකාවක් ලෙස කටයුතු කළ බව සිහිපත් කිරීමට සිදුව තිබීම කණගාටුවට කරුණකි.

ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමයේ බරපතල ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව අප දේශපාලන පක්ෂයක් ලෙස පැහැදිලිව පිළිගනිමු. එහෙත් එහිදී නිදහස් අධ්‍යාපනය, වයස 16 දක්වා අනිවාර්ය අධ්‍යාපනය, ප‍්‍රබල ශාස්ත‍්‍රීය අධ්‍යාපනය යන පදනම් ආරක්ෂා කරමින් සිදුවිය යුතුය. වත්මන් අධ්‍යාපන ක‍්‍රමය මුහුණ දී තිබෙන ගැටලූ ලෙස ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත්ව ලබා නොදීම හා අසමානව ලබා දීම මත පාසල් පද්ධතිය තුළ ඇතිව තිබෙන විෂමතාව, ඒ හරහා දෙමාපියන්ට විශාල වැය බරක් අධ්‍යාපනයට දරන්නට සිදුව තිබීම, පෞද්ගලික උපකාරක පංතිවල ආධිපත්‍යය, ජිවිතය සහ අධ්‍යාපන අතර තිබෙන සම්බන්ධයේ දුබලතාව, විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක‍්‍රමයක් තහවුරුව තිබීම, අධ්‍යාපනය තුළ ඇති අවිවේකී බව හා පීඩාකාරී බව යන ගැටලූ ආමන්ත‍්‍රණය කරන නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව අවිවාදිත ය.

එහෙත් ඉහත අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයට අදාල අසම්පූර්ණ ‘පවර් පොයින්ට්’ සටහන් බැලූ විට එම ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කිරීම වෙනුවට ‘ඒකක පිරිවැය’ (සිසුන් අඩු පාසල් වසා දැමීම) සාකච්ඡුාව හරහා අධ්‍යාපනයේ වියදම් කපා හැරීම, දෙමාපියන් මත වන නඩත්තුව තවත් ඉහල දැමීම, පවතින වෙළදපොළට අවශ්‍ය පුහුණු කම්කරුවන් බිහි කිරීම දක්වා අධ්‍යාපනය කප්පාදු කිරීම යන උවමනාවන් ඇති බව පැහැදිලිව පෙනේ.

අවසාන වශයෙන් අප නැවත අවධාරණය කරන්නේ මෙවැනි ‘භාග ලියවිලි’ හරහා අධ්‍යාපනය වැනි, රටක දරුවන්ගේ අනාගතයට බලපාන බරපතල ප‍්‍රතිසංස්කරණයක් සිදු නොකරන ලෙසයි. පළමුව ඔබගේ සමස්ත ප‍්‍රතිසංස්කරණ යෝජනාව රට ඉදිරියේ තබන ලෙසයි. ප‍්‍රමාණවත් කාලයක් සමාජ සංවාදයකට ඉඩ ලබා දෙන ලෙසයි. අත්තනෝමතික තීරණයකට අනුව මෙය ක‍්‍රියාත්මක නොකරන ලෙසයි. එවැනි විවෘත සංවාදයක ජනනාත්මක පාර්ශවකරුවකු ලෙස මැදිහත් වීමට අප සුදානම් බවත් අප මෙහිදී දැනුම් දෙමු. නැවතත්, ඔබට ජනවරමක් ලැබී ඇති බව සැබෑය, එහෙත් එය දේවවරමක් නොවන බව සිහි තබා ගන්න.

leave a reply