ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙට්මුපත දෙවැනි වර කියවීමෙන් පසුව පැවැති ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේදී මීට සුළු වේලාවකට පෙර වැඩි ඡන්ද 96 කින් සම්මත කෙරී තිබේ.
පනතට පක්ෂව ඡන්ද 121 ක්ද, විපක්ෂව ඡන්ද 25 ක්ද ප්‍රකාශ විය.
නව සංශෝධන පනන්තින් විදුලි බල මණ්ඩලය කොටස් හතරකට වෙන්කර සියයට සියයක් රජය සතුව තබා ගැනීමේ වගන්ති ඒ අනුව ඉදිරිපත් කර ඇතැයි එම අමාත්‍යාංශය පවසයි. නමුත් ඇත්ත තත්ත්වය එයට වඩා වෙනස් බව පනත ගෙන බැලීමේදී පෙනී යනවා.
ඇත්තටම මේ පනත 2024 ජුනි මාසයේදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ විදුලි බල ඇමති කාංචන විජේසේකර විසින් සම්මත කළ 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතත් යම් වෙනස්කම් සිදු කර එය නීතිගත කිරීමක්. ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකා වල කිව්වේ මේ කාංචනගේ පනත තමන් බලය ගැනීමෙන් අනතුරුව වහාම සම්පූර්ණයෙන් අහෝසි කරන බවයි. ජවිපෙ වෘත්තීය සමිතිය මේ පනත සම්මත කරන වෙලාවේ විදුලි බල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටට ගිහින් පනතේ පිටපත් ගිනි තැබීම පවා සිදු කළා. ඒ අතර මේ පනතට එරෙහිව පාර්ශව ගණනාවක් අධිකරණයට ගියා. පනත අධිකරණයේදී අභියෝගයට ලක්කළ පාර්ශව අතර ජාතික ජන බලවේගයත් සිටියා. එදා පනතට එරෙහිව අධිකරණයට ගියේ අද විදුලි බල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි. නමුත් දැන් පනත අහෝසි කිරීමට පොරොන්දු වූ අයම, පනත නීතිමය ලෙස වැරදියි කියූ අයම ඒ පනත කුඩා වෙනස්කම් කර නීතිගත කර තිබෙනවා.
මණ්ඩලය මස් කර විකුණන රනිල් ආණ්ඩුවේ පනත
- විදුලි බල මණ්ඩලයේ ඒකීය භාවය විනාශ වන ආකාරයට මණ්ඩලය කැබලි ගණනාවකට, කැබලි 14කට කඩා දැමීම – මෙලෙස කඩා දැමීමේ අරමුණ පැහැදිලි නෑ. විදුලි බල මණ්ඩලය එක ආයතනයක් ලෙස මධ්‍යගතව තිබෙන විට සිදුවන අවාසි මොනවාද? කාර්යක්ෂමතාවය අඩු වෙනවාද? ඵලදායීතාවය අඩු වෙනවාද? විනිවිදභාවය සහ පාරදෘශ්‍යභාවය අසීරුද? වගවීම සම්බන්ධයෙන් වඩා වාසිදායක කැබලි වීමද, එකට මධ්‍යගතව තිබීමද? මූල්‍ය ස්වාධීනත්වය රැකෙන්නේ කුමන ආකෘතීන්ද? පරිපාලනය අපහසුද? එකට තිබෙන විට පිරිවැය වැඩියිද? අලුත් තාක්ෂණය යොදා ගන්න එක ආයතනයක් ලෙස තිබීම බාධාවක්ද? මේ ප්‍රශ්න වලට එදා රනිල් – කාංචන විජේසේකර උත්තර දුන්නෙත් නෑ, අද අනුර – කුමාර ජයකොඩි උත්තර දෙන්නෙත් නෑ.
- විදුලි බල මණ්ඩලය කැබලි කරන විට එක එක කැබැල්ල වෙන වෙනම සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද සමාගම් බවට පත් කිරීම – මෙමගින් විදුලි බල ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමට ඉඩ සැලසෙනවා. මණ්ඩලය මස් කර නිර්මාණය කරන සමාගම් වලින් තුනක් හැර ඉතිරි සියල්ල කොටස් වෙළඳපලට නිකුත් කරන්න හෝ රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයකට යන්න මෙමගින් ඉඩ හැදුවා. එම කොටස් හිමි කර ගන්නා ධනපති සමාගම් වල සූරාකෑමට ජනතාව ගොදුරු කෙරෙනවා විතරක් නෙවෙයි, විදේශීය සමාගම් මේ ක්ෂේත්‍රයට මැදිහත් වීම නිසා ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය අහිමි වෙනවා. රටක බලශක්ති ස්වෛරීත්වය එම රටේ දේශපාලන ස්වාධිපත්‍යයට සෘජුවම බලපානවා.
- වැඩි පිරිවැය සහිත විදුලි බල ජනනය සඳහා පවතින නීතියේ පවතින බාධා ඉවත් කර විදුලි පාරිභෝගිකයා මත බර පටවා සමාගම් පොහොසත් කරන නෛතික ප්‍රතිපාදන මෙහි සකස් කර තිබුණා.
- ලංකාවේ නීතියට අනුව ලංකාවේ ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය, එහෙමත් නැතිනම් ග්‍රිඩ් එක වෙනත් රටකට සම්බන්ධ කරන්න බෑ. එලෙස සම්බන්ධ කිරීම ජාතික ආරක්ෂාවට සහ දේශපාලන ස්වාධිපත්‍යයට තර්ජනයක් ලෙසයි සැලකුණේ. මේ නව පනතෙන් එම නීතිය ව්නේඅස් කර ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට අවශ්‍ය නීතිමය අවකාශය විවෘත කළා.
- විදුලි පාරිභෝගිකයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට නිර්මාණය කළ මහජන උපයෝගිතා කොමිසමේ නියාමන බලතල සැලකිය යුතු මට්ටමකින් කප්පාදු කර, එහි තටු කපා විදුලි ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමෙන් අනතුරුව එය හිමි කර ගන්නා සමාගම් වලට නියාමනයකින් පවා තොරව සූරාකෑමේ ක්‍රියාවලියට දොර හරින්න ඉඩ හැදුවා.
- පනතේ ආරම්භයේ විදුලි ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය නිර්මාණය කිරීම පනතේ අරමුණක් ලෙස සඳහන් කර, ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට සහ පෞද්ගලික සමාගම් වලට විදුලි බල ක්ෂේත්‍රයේ ඒකාධිකාරයක් නිර්මාණය කර ගැනීමට පවා නීතිමය පහසුකම් සකස් කළා.
පරණ අරක්කු අලුත් බෝතලයකට දාන සංශෝධනය
පනත අහෝසි කරනවා කියූ අය ගෙනා සංශෝධන පනතේ ප්‍රශ්න
- පරණ පනතේ ප්‍රධාන මූලධර්ම එකක්වත් සංශෝධන පනත් කෙටුම්පතේ වෙනස් කරලා නැහැ. නිදසුනක් ලෙස විදුලි බල මණ්ඩලය මස් කිරීම වෙනස් වෙලා නෑ. කඩන සමාගම් ගණන 14 සිට 5 දක්වා වෙනස් කරලා. කඩන කොටස් සමාගම් පනත යටතේ වෙනම සමාගම් කිරීමත් වෙනස් වෙලා නෑ. පනතට අප ඉදිරිපත් කළ ප්‍රධාන විවේචන හයෙන් 3, 4, 5, 6 අංක යටතේ තිබෙන කරුණු එකක්වත් වෙනස් කරලා නැහැ.
- පරණ පනතටත් වඩා ප්‍රශ්නකාරී තැන් මේ අලුත් සංශෝධන පනත් කෙටුම්පතේ තියෙනවා. ඒ කියන්නේ අනුර ඇතුලු ජාතික ජන බලවේගය අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩසටහන ක්‍රියාවට නංවද්දී රනිල් වික්‍රමසිංහටත් වඩා ඉදිරියට ගිහින්. අපි මේ ආණ්ඩුව ගෙනා සංශෝධන පනතේ අලුතෙන් අඩංගු ප්‍රශ්න එකින් එක විමසා බලමු.
(අ) පනතේ විදුලි බල මණ්ඩලය කඩන්නේ කැබලි කීයකටද යන්න පැහැදිලියි. මේ නව සංශෝධන පනතට අනුව මණ්ඩලය කැඩෙන්නේ කැබලි කීයකටද කියා දැන ගන්න ලැබෙන්නෙත් වසර දෙකකට පසුව අවසාන පැවරීමේ සැලසුම (Final Transfer Plan) හැදුවාට පස්සේ.
(ආ) පනතේ පෞද්ගලීකරණය කරන කොටස් වගේම පෞද්ගලීකරණය නොකර රජය සතුව තබා ගන්නේ කුමන කොටස්ද යන්න නිශ්චිතව දක්වා තිබුණා. නිදසුනක් ලෙස ජල විදුලි බලාගාර සහ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය මුළුමනින්ම රජය සතු බව පනතේ තිබුණා. සංශෝධන පනත් කෙටුම්පතේ එය බොඳකර ව්‍යාකූල කර තිබෙන නිසා ජල විදුලි බලාගාර සහ ඒ ආශ්‍රිත ජලාශ පවා පෞද්ගලීකරණය වීමේ අනතුරක් තිබෙනවා.
(ඇ) පනතේ කම්කරු අයිතිවාසිකම්, දැනට ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන සේවකයන්ගේ වැටුප් තල – දීමනා – සේවා කොන්දේසි ආදිය සහ විශ්‍රාම වැටුප් අරමුදල් ආදිය සඳහා පූර්ණ වගකීමක් තහවුරු කර තිබුණා. අලුත් සංශෝධන පනත් කෙටුම්පතේ විශ්‍රාම අරමුදල් සම්බන්ධ වගකීම නිශ්චිත නෑ. සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීම සම්බන්ධ තීරණ ගන්නේ කවුද යන්න නිශ්චිත නෑ. මණ්ඩලය පෞද්ගලීකරණය කළ පසුව සේවකයන්ගේ වැටුප්තල – දීමනා – සේවා කොන්දේසි වෙනස් වේද, නොවේද යන්න මේ සංශෝධන පනත් කෙටුම්පතට අනුව දැන ගැනීමට ලැබෙන්නේත් වසර දෙකකට පසුව.
(ඈ) පනත කොහොමත් මහජන උපයෝගිතා කොමිසමේ තටු කපා ඇති තත්වය තුළ සංශෝධනය කර ඇත්තේ එය නෙවෙයි, විදුලි ගාස්තු සංශෝධනයකදී කොමිසම මුදල් අමාත්‍යවරයාගේ උපදේශනය ලබා ගත යුතු බවට වගන්තියක් එයට අලුතෙන් ඇතුළු කරලා.
මේ සියල්ල දෙස බලන විට අපට පෙනී යන්නේ ජාතික ජන බලවේගය තමන්ට ලැබුණු ජන වරම සහ ඡන්ද දායකයාගේ අභිලාෂයන් මුළුමනින්ම පාවා දෙමින් සිටින බව.
අධිකරණයේ තීන්දුව
මේ ආණ්ඩුව ඉදිරිපත් කළ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතට එරෙහිවත් පාර්ශව ගණනාවක් අධිකරණයට ගියා. ඒ මේ සංශෝධන පනත් කෙටුම්පතේ අලුතෙන් අඩංගු කර තිබෙන ජනතා විරෝධී ප්‍රතිපාදන වලට එරෙහිව. මෙම සංශෝධන පනත් කෙටුම්පත සඳහා අධිකරණයෙන් ලැබුණු තීන්දුව ඓතිහාසිකයි. එය රනිල්ටත් වඩා රනිල්ගේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට උත්සාහ කළ වත්මන් ආණ්ඩුවට ගැසූ කණේ පාරක් වැනියි. අධිකරණය පවසා තිබුණේ මේ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිසා ඒවා එලෙසම සම්මත කරන්නටනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයකුත් අවශ්‍ය බව. ඒ නිසා රනිල් – කාංචන පනතට ප්‍රගතිශීලී සංශෝධන ගෙන ආ බවට ආණ්ඩුව කියූ සියල්ල අසත්‍ය බව අධිකරණය තහවුරු කර තිබෙනවා. මේ තිබෙන්නේ අධිකරණ තීන්දුවේ මූලික කරුණු.
- ජල විදුලි බලාගාර ඇතුළු කර වෙනම සමාගමක් නිර්මාණය කිරීමේදී එම සමාගමේ කොටස් වලින් 100%ක්ම රාජ්‍ය භාණ්ඩාගාරය සතුවිය ‘හැකියි’ (may) යනුවෙන් කෙටුම්පතේ ඇති අතර එය එලෙසම තිබීමටනම් ජනමත විචාරණයක් අවශ්‍ය වේ. ‘හැකියි’ වෙනුවට ‘යුතුයි’ (shall) යනුවෙන් යොදන්නේනම් පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත කළ හැකියි. එනම් නව සංශෝධනයදවිදුලි බල ක්ෂේත්‍රය පෞද්ගලීකරනය කිරීමේ අවදානමක් නිර්මාණය කරන බව අධිකරණයද පිළිගෙන ඇත.
- ඇමතිවරයා විසින් විදුලිබල උපදේශක සභාව පත් කිරීමේදී එම පත් කිරීම් දූෂණ විරෝධී පනතට අදාළව සිදුවිය යුතුයි යනුවෙන් වාක්‍යයක් ඇතුළු කරන ලෙස අධිකරණ තීන්දුවේ දක්වා ඇත. ආණ්ඩුව හොරු ඇල්ලීම ගැන නිතර දොඩවනමුත් නීති සම්පාදනයේදී ඒ පිලිබඳ කිසිදු තැකීමක් නැති බවට මෙය සාක්ෂියකි.
- සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම වැටුප් අරමුදල සඳහා වෙනම සමාගමක් නිර්මාණය කළ යුතු අතර එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට සේවකයන් නියෝජනය කරමින් සිව් දෙනෙකු සම්බන්ධ කරන ලෙස අධිකරණය නියෝග කර ඇත. නව කෙටුම්පත මගින් කම්කරු අයිතිවාසිකම් බරපතල ලෙස අවදානමට ලක්වන බවට අප කළ විවේචනය නිවැරදි බව මෙම තීන්දුවෙන් පැහැදිලි වේ.
- Final transfer plan මගින් අලුතෙන් සමාගම් නිර්මාණය කරන විට එම අලුත් සමාගම් වලට බඳවා ගන්නා සේවකයන්ට දැන් ලංවිම යටතේ ලැබෙන වැටුප්, දීමනා, වරප්‍රසාද එලෙසම ලැබිය යුතු බවටත්, අලුත් සමාගමට බැඳීමට අකමැති සේවකයන්ට ප්‍රමාණවත් වන්දියක් ලබා දෙන බවටත් වාක්‍යයක් එකතු කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ. එනම් ඉහත දැක්වූ කම්කරු අයිතීන් කප්පාදුවේ විවේචනයට තවදුරටත් පිළිගැනීමක් අධිකරණයෙන් ලැබී ඇත.
අධිකරණය මගින් තීරණය කරන්නේ පවතින නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇති අනුකූල – අනනුකූල බව මිස දේශපාලන අවදානම නෙවෙයි. දේශපාලන ප්‍රතිපත්තියේදී රනිල්ගේ කාංචනාගේ පනත වත්මන් ආණ්ඩුවම ගෙනයන බව පැහැදිලි අතර ජාතික ජන බලවේග ආණ්ඩුව එම ක්‍රියාවලියේදී රනිල්ටත් වඩා දුර යාමේ අදිටනක සිටින බවද පෙනෙනවා.