Breaking News

බදු වංචාකළ බවට චෝදනා එල්ල වූ වාහන තොගය මුදා හැරීමට එකඟතාවයක්

මේ වනවිට ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින BYD වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ එකගතාවය පළ කර තිබේ.

අදාල වාහන රදවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සී ජී ඔටෝ සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම එකගතාවය පළ කර ඇත.

මෙම වාහන සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ද කතා බහක් ඇතිවිය. ඒ අවස්ථාවේ නලින්ද ජයතිස්ස ඇමතිවරයා පැවසුවේ මෙම නඩු කටයුත්ත හේතුවෙන් කිසිදු පිළිතුරක් ලබාදිය නොහැකි බවයි.

එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පැවසුවේ duty plus value යන සුත්‍ර ක්‍රමය හරහා මේ වාහන නිදහස් කිරීම කලයුතු බවයි. එසේම ඉදිරියේදී මෙවැනි ආකාරයේ වාහන ගෙන්වීමේදී සිදුවන වංචාවන් අවම කිරීම සඳහා බදු ප්‍රතිපත්ති සංශෝධනය කළ යුතු බවද ඔහු පවසා තිබුණි.

කෙසේවෙතත් ඊයේ පැවති නඩු විභාගයේදී ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිපියක් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන කොන්දේසි කිහිපයක් යටතේ මෙම රඳවාගෙන සිටින වාහන 991ක් මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව පවසා ඇත.

ඒ අනුව අදාළ වාහනවල බදු අතර පවතින පරතරය ලෙස ගණනය කර තිබෙන රුපියල් 3,552,909,200/- (රුපියල් බිලියන 3.6 කට ආසන්න) මුදල රාජ්‍ය බැංකුවක ඇපකරයක් වශයෙන් පෙත්සම්කාර සමාගම විසින් ඉදිරිපත් කළ යුතු අතර එම ඇපකරය සඳහා අදාල වන පොලිය පෙත්සම්කාර සමාගම විසින් ගෙවීමට එකඟ විය යුතු බවත් එම කොන්දේසිවල සඳහන් විය.

මෙම වාහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මගින් සිදු කරන පරීක්ෂණ සඳහා පෙත්සම්කාර පාර්ශවය සහාය විය යුතු බවත් එම ලිපියේ කොන්දේසියක් ඇතුළත් විය.

ඊට අමතරව අදාළ වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝ වොට් 100 ද නැතිනම් 150 ද යන්න නිගමනය කිරීම සඳහා පේරාදෙණිය හා මොරටුව විශ්ව විද්‍යාලවල තාක්ෂණික විශේෂඥයින් දෙදෙනෙකු, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයෙකු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරියකු ඇතුලත් කමිටුවක් පත් කිරීම ද ඊට ඇතුළත් කොන්දේසියක් වේ.

ඊට අමතරව නීතිපතිවරයා සමග සාකච්ඡා කර මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව අදාළ වාහනවල මෝටරයේ ධාරිතාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මෝටර් රථ තත්ත්ව පරීක්ෂණාගාරයකින් වාර්තාවක් කැඳවීමට කටයුතු කිරීම ඇතුළු කොන්දේසි කීපයක් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකරණයට ඇතුළත් කළ ලිපියේ සඳහන් විය.

එම කොන්දේසි අතුරින් බොහොමයකට තමන් එකඟ බව පෙත්සම්කාර පාර්ශවය දැනුම් දී තිබේ.

ඉන් අනතුරුව අදාල වාහන මුදා හැරීමට අධිකරණය හමුවේ එකඟතාවය පළ විය.

මෙහිදී රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර සමාගම අද දින අදාල බැංකු ඇපකරය ඉදිරිපත් කරන්නේ නම් අදාල වාහන ලබන සෙනසුරාදා මුදා හැරීමට හැකියාව තිබෙන බවය.

ඒ අනුව අදාල බැංකු ඇපකරය අද දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් අධිකරණයට දැනුම් දී ඇත.

leave a reply