Breaking News

මර්නදයට එරෙහි අරගලය

සමන්සිරි හේරත්

හිට්ලර් තමන්ගේ ඒකාධිපති වියරුව සාක්ෂාත් කරගන්නට දහස් ගණනින් මිනිසුන් මරා දමමින් හිර ගෙවල් වලට කුඩු කරමින් විවිධ වධ බන්ධනවලට ලක් කරමින් ම්ලේච්ඡ පාලනයක් ගෙන ගියා. නමුත් ඔහුගේ ඒකාධිපති වියරුවේ සිහිනය වැඩි කලක් තබා ගන්න බැරිවෙනවා. සුළු පිරිසකගේ අනුකූලතාව සහිතව බහුතරයකගේ විරෝධය ඇතිව නිර්මාණය කරගත් මේ අත්තනෝමතික පාලනය ජනතාව ප්‍රතික්ෂේප කරනවා . හිට්ලර්ගේ නාසි කඳවුරු වල වද බන්ධනයට ලක් වෙච්ච මිනිසුන්ගේ ඛේදාන්ත පිළිබඳව අපි බොහොම කතා අසා ඇත්තෙමු. සියලු මර්ධනයන් අතරින් ජීවිත පරිත්‍යාගයෙන් නිදහස උදෙසා උපක්‍රමශීලීව අවස්ථා සලසා ගනිමින් සටන් කළ මිනිසුන් පිළිබඳව සහ සටන් ජයග්‍රහණය කළ මිනිසුන් පිළිබඳව ඉතිහාසයේ ලියැවී තිබේ .

ලංකාවේ ධනපති පාලන ජුන්ටාවට එරෙහිව අවස්ථා දෙකක දී පීඩිත ජනතාව අරගල කරනු ලැබුවා. ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී එවකට සිටි පාලනයන් විසින් අරගල තිරස්ථීන ලෙස මර්දනය කරනු ලැබුවා. මර්දනය තුලත් තමන්ගේ අරමුණ විනාශ නොකරගෙන එහි ජීව ගුණය රඳා පවත්වා ගෙන අරගලයේ ජයග්‍රහණය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ මිනිසුන්, ගැහැනුන් අපේ ජනතා අරගල ඉතිහාසය තුළ ඉන්නවා. ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගයන් පිළිබඳව අපට අවතක්සේරුවක් නැත්තේ ඔවුන් පටු පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ මිනිසුන් නොවන නිසයි. ඔවුන් තමන්ගේ ජීවිතය මරණය කරා ගෙන ගියේ අසාධාරණයට ලක්වෙන පීඩාවට ලක් වෙන කොන්වීමට ලක් වෙන මිනිස් අයිතීන් අහිමි වෙන පීඩිත මිනිසුන්ගේ අයිතීන් දිනා දීම උදෙසායි.

ගෙවා දැමු අවසාන දශකය සාමකාමී දශකයක් යැයි අපට හැඟුණ ද එය එසේ නො වූවකි. නිරන්තර අරගල පැවති සමයකි. මාරුවෙන් මාරුවට රට පාලනය කළ ධනපති ආණ්ඩු විසින් මිනිස් ජීවිත සිය ගණනක් බලහත්කාරයෙන් උදුරා ගත් සමයෙකි. එහෙයින් අප මේ ජීවත් වෙන මොහොතද මර්දනකාරී මොහොතකි. බලහත්කාරයෙන් පවුල් පාලනයක් රැක ගැනීමට රටේ බහුතර පීඩිතයාට විටින් විට මරණ වරෙන්තුව නිකුත් කරන මිනිමරු ආණ්ඩු සමයකි . මිනිසුන් මහ මගට ඇවිත් තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලන, ඒ වෙනුවෙන් අරගල කරන, අරගලය තීව්‍ර වෙන අද දවස ඔබව මර්දනය කිරීමට අදාළව ඔවුන් පිඹුරුපත් සකසන නිමේෂයකි.

මේ මර්ධනකාරී මොහොත පසුකර යෑමට අපට අවශ්‍ය වන්නේ ධනපති මර්දනයට යටත් නොවුණු මිනිසුන්ගේ ආදර්ශයන්ය . ඒ ආදර්ශය අපට ඉතිහාසයෙන් ගත හැකිය. ඒ ආදර්ශය වර්තමානයෙන් ද ගත හැකිය. කිසිදු මග ඇහිරීමකින් බිම ඇද නොවැටෙන අරගලකරුවන් මේ මොහොතේද අපි ජීවත් වෙන මේ නිමේශයේද සිටීම අපට ශක්තියකි.

මුහුණු මාරු වුණාට ප්‍රතිපත්ති මාරු නොවෙන බව ප්‍රත්‍යක්ශ කරමින් ජේ.ආර් ගේ සිට සියලු ධනපති ආණ්ඩු අධ්‍යාපනය විකිණීම සඳහා විටින් විට විවිධ මුහුණු වරින් පිඹුරුපත් සකසනු ලැබුවා. එම දුෂ්ඨ උත්සාහයන් පරාජයට පත් කිරීම සඳහා ඉතිහාසයක සිට වර්තමානය දක්වා ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මුල්කොටගත් වාමාංශික ප්‍රගතිශීලී ජනතාව පෙළ ගැසුණේ අරගල කරේ ස්වකීය ජීවිත පරිත්‍යාගයෙනි.

වර්තමාන රාජපක්ෂ පවුල් ආණ්ඩුව විසින්ද , යහපාලන ආණ්ඩුව ගෙන ආ විට පරාජයට පත්කළ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත නැවත වතාවක් ගෙනඑමින් සම්මත කරගැනීමට උත්සාහ දරනවා. ශිෂ්‍ය ව්‍යාපාරය ප්‍රමුඛ අධ්‍යාපනය විකිණීමට එරෙහි කණ්ඩායම් 2021 ජුලි 08 බ්‍රස්පතින්දා සිසු ජන ව්‍යාපාරය නමින් උදෑසන පාර්ලිමේන්තු වට රවුම අසල සංවිධානය කළ විරෝධතාවය මර්දනය කරන්නේ එය ආරම්භ වීමටත් ප්‍රථමයෙන්ය . කොරෝනා වසංගතය පාලන නීති රීති ආණ්ඩුවේ අත්තනෝමතික බලහත්කාරී ක්‍රියාකාරීත්වයට එරෙහිව පැන නගින ජනතා විරෝධය මර්නදය කිරීමට යොදාගනු ලබන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයටයි . ආණ්ඩුව එහිදී උත්සාහ කරන්නේ ශිෂ්‍ය නායකයන් වෘත්තිය සමිති නායකයන් ඇතුළු ප්‍රගතිශීලී බලවේගය බලහත්කාරයෙන් සිරගත කර අධ්‍යාපනය විකුණන කොතලාවල පනතට එරෙහි ජනතා විරෝධය අඩපණ කිරීමටයි. කොරොනා වසංගතය පාලනය කිරීමට යොදා ගත් නීති මර්දන නීතියක් ලෙස යොදාගනිමින් අත්අඩංගුවට ගත් සියලු දෙනාවම නිදහස් කරන්නට අධිකරණය නියෝග කර තිබියදීත් අධිකරණයටද ඉහළින් ගොස් පොලිසිය ලව්වා මේ පිරිස සිරගත කරන්නේ ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළ ගැසුනොත් ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමට ආණ්ඩුව නොපැකිලෙන බව සමාජගත කිරීමේ අරමුණද සහිතවයි.

නමුත් ආණ්ඩුවේ පටු උවමනාව හෝ ජනතාව බිය වැද්දීමේ උත්සාහය හෝ අණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව පෙළ ගැසෙන ජනතාව වාමාංශික දේශපාලන පක්ෂ සංවිධාන ශිෂ්‍ය ව්‍යාපාරය තුට්ටුවකට මායිම් නොකර දිගින් දිගටම ආණ්ඩුවට එරෙහි විරෝධතාවය උත්සන්න කිරීම තුළින් මේ වන විට ආණ්ඩුවට පණිවිඩයක් දී තිබේ. මර්දනයට බියේ අරගල අත්නොහරින බව ඒ පණිවිඩයයි.

ජූලි 7 දා බලහත්කාරී ලෙස අත්අඩංගුවට ගත් අධිකරනයෙන් නිදහස් කල පසුව පොලිසිය පැහැරගෙන ගොස් පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව ඇතුලු චන්ද්‍රසිරි ලන්දගේ, සංජීව බණ්ඩාර, ධම්මික මුණසිංහ, බෙනල්ඩස් සිල්වා සහ රංගනී ජයවර්ණ කම්කරු ක්‍රියාකාරිකයන් මෙන්ම ජූනි 8 වනදා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව සිසු ජන ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණය තුළදී අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් , තැන්නේ ඥාණානන්ද හාමුදුරුවෝ,සේනක මාරසිංහ ඇතුළු පිරිස නිරෝධායන සිර මැදිරි තුළ සිටිමින් පවා අරගළය අත්නොහැර අඛණ්ඩ උද්ඝෝෂණයක නිරත වෙමින් සිටීයි . මේ තුළින් අරගලයට ලැබෙන ශක්තිය දැවැන්තය. එවගේම මර්දනය තමන්ගේ එකම මාර්ගය බවට පත් කරගෙන ඉන්න ආණ්ඩුවට සිරගත කර සිටින උද්ඝෝෂකයන් ගේ ක්‍රියාකාරීත්වය හිසරදේ කටත් වඩා තමන් තේරු උපක්‍රමය අවුල් වීමේ වේදනාවෙන් වියරු වැටෙන්නකි .

ආණ්ඩුවේ මර්ධනයට යටත් නොවී සිර මැදිරිවල සිටද අරගලයට අලුත් මාදිලි සොයාදීම මෙන්ම ඇද නොවැටී සිටින තැන අරගල බිම කර ගැනීම ඉදිරි අරගල වලට දැවැන්ත ශක්තියක් සපයයි.

සමන්සිරි හේරත්

leave a reply