වීගර් ජනයා යනු වයඹ දිග චීනයේ ජිං ජියැං පළාතේ ජීවත්වන, ඉස්ලාම් භක්තිකයන් බහුතරයක් සිටින, චීනයේ සුළු ජන කොට්ඨාශයකට අයත් ජන වර්ගයකි. මානව හිමිකම් සුරැකිමේ සංවිධාන විසින් පෙන්වා දෙන ආකාරයට වීගර් ජනතාව මිලියනයට අධික පිරිසක් මේ වන විට චීන රජය විසින් ‘පුනර්අධ්‍යාපන කඳවුරු’ නමින් හැඳින්වෙන කඳවුරු විශේෂයක සිර කොට ඇති අතර එම පිරිසෙන් දහස් ගණනකට වඩා මේ වන විට සිර දඬුවම්වලට ද යටත් කොට ඇත.
බටහිර රටවල් ගණනාවක් මේ වන විට, චීන රජය විශාල වශයෙන් සිදු කරන මානව හිමිකම් කඩකිරිම් සහ වීගර්වරුන්ට එරෙහිව සිදුකරන ජන සංහාරය පිළිබඳව චෝදනා නැඟුවද, චීනය එම චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරයි. විසිවැනි ශතවර්ශයේ මුල් භාගයේ දී, වීගර්වරු ජිං ජියැං ප්‍රදේශයේ ස්වයං පාලනය ක්‍රමයක් ප්‍රකාශයට පත් කළ නමුත්, 1946 වසරේ පත් වුනු චීන කොමියුනිස්ට් රජය විසින් එම පළාත මුළුමනින්ම තම පාලනයට නතු කරගත්තේය. ඒ අතර පසු ගිය දශක කිහිපය පුරා චීන රජය විසින්, එම ප්‍රදේශයේ ජිවත්වන බහුතර ජනවර්ගය වන වීගරුවරුන්ගේ මානව හිමිකම් කඩ කරමින්, සමස්ත චීනයේ බහුතර ජනවර්ගය වන හන්වරුන් එම ප්‍රදේශයේ පදිංචි කරවීම ආරම්භ කර ඇත. විටින් විට ජ්‍යාතන්තර මානව හිමිකම් සුරැකිමේ ව්‍යාපාර පෙන්වා දෙන්නේ ජිං ජියැං පළාතේ වීගර්වරුන් අධ්‍යාපන කඳවුරුවල සිර කොට තැබීම, එම කඳවුරු තුළ වීගර්වරුන් වධ බන්ධනයට ලක් කිරීම, වීගර් කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක් කිරීම, දරුවන් පවුල්වලින් වෙන් කිරීම, තම භාෂාව ආගම රැක ගැනීමට ඇති අයිතිය අහිමි කිරීම වැනි මානව අයිතීන් උල්ලංඝණය කිරීම් වලට සම්බන්ධ සිදුවීම් රැසක් එම ප්‍රදේශයේ සිදුවන බවයි.
පසුගිය සැප්තැම්බරයේ පළමු වරට වීගර් නවකතාවක් The Backstreets නමින් ඉංග්‍රිසි බසින් ප්‍රකාශයට පත් විය. එහි මුල් කතෘ වූයේ නූතනවාදී වීගර් ලේඛකයකු ලෙස සැලකෙන, පර්හත් ටුසූන් වන අතර එය ඉංග්‍රීසියට පරිවර්තනය කොට ඇත්තේ වීගර් ජනතාව පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත මානව විද්‍යාඥයෙකු වූ ඇමරිකානු ජාතික ඩැරන් බයිලන් විසිනි.
පහතින් දැක්වෙන්නේ, ඩැරන් බයිලන් විසින් එම කෘතිය සහ එහි පරිවර්තන කාර්යය පිළිබඳ ලියන ලද සටහනක සංක්ෂිප්ත පරිවර්තනයකි. එහිදි ඔහු A. නමින් හඳුන්වන, එම පරිවර්තනය කාර්යයට සහය දුන් විගර්වරයා සමඟ ඇති වුණු මානුෂික බැඳීමත්, එම පුද්ගලයාගේ පීඩාකාරී ජීවිතයත් පිළිබඳ හැඟීම් මාත්‍රයක් එම සටහනට ඇතුළත් කරයි. A. පිළිබඳ කිසිදු තොරතුරක් වසර ගණනාවකින් ඩැරන්ට ලැබී නොමැති අතර ඔහු ජිං ජියැං පුනර්අධ්‍යාපන කඳවුරේ සිරකොට ඇති බවට ඩැරන් සැක පහළ කරයි.
මෙම සටහන මුල්වරට පසුගිය සැප්තැම්බර් මාසයේ WordsWithoutBoarders වෙබ් අඩවියේ පළ වූවකි.
අපිට මේස තුනකට ඈතින් ඒ පුද්ගලයා හිඳ සිටියේය. කලු පැහැ කබායක්, අත් කොට ඉරි කමිසයක් ඇද සිටි ඔහු මැදිවියේ, වීගර් ජනවර්ගයට අයත් මිනිසෙක් බව පෙනෙන්නට තිබුණි. ඔහු වඩාත් ඕනෑකමින් තම ස්මාර්ට් දුරකතනයෙන් කතා කරනු පෙනෙයි. කුඩා තුර්කි තේ වීදුරු සමීපයේ හිඳිමින් මා සහ A., The Backstreets නම් වීගර් නවකතාව කියවමින් එය පරිවර්තනය කරමින් සිටියෙමු. සති ගණනාවක් තිස්සේ සෑම උදෑසනකම මේ ආකාරයෙන් අපි මුණ ගැසී තිබුණෙමු. නමුත් ගැටලුව වන්නේ මේ මිනිසාම පෙර දින දී ද අපට මේස තුනකට ඈතින් හිඳ සිටීමය. එක දිගට දින දෙකක් එකම දේ සිදුවීම ඕනෑවට වඩා වැඩි දෙයකි. මම ඒ මිනිසාට පිටුපා සිටි A. ට කොඳුරා මෙසේ කීවෙමි. “ මම හිතන්නෙ අර මිනිහා අපේ පස්සෙන් එනව” මම ඔහුව හිසින් පෙන්වූයෙමි. “මිනිහා ඊයෙත් හිටියේ ඔතනමයි. මම ඕනෑවට වඩා බය වෙනවා වෙන්න ඇති, ඒත් මට හිතෙනවා මිනිහා ෆෝන් එකෙන් කතා කරනවා වගේ අඟවලා අපේ පින්තූර ගන්නවදෝ කියලා”
A. ගේ මුහුණ සුදුමැලි වූයේය. ඔහු නුහුරු ලෙස නැඟිට සිටියේය, අපි එකිනෙකාගෙන් සමුගෙන වෙනස් දිශාවන්ට ඇවිද ගියේ කවුරුන් හෝ අප පසුපස ලුහු බඳින්නේ දැයි බැලීමටය. 2014 වසර වැනි, මුර කපොලු සහ මුහුණු හඳුනාගත හැකි කැමරා සවි කර නොතිබුණු කාලෙක, මිනිසුන් යන එන තැන් සළකුණු කරගැනීමට මිනිසුන් යොදා ගත් බුද්ධි අංශ සේවාවක් අවශ්‍ය විය. අපගේ ජංගම දුරකතන වල ඇති WeChat පණිවිඩු හුවමාරු කරගැනීම් පිළිබඳ තොරතුරු අප මකා දැමුවේ, හදිසියේ අපව රඳවා ගත් මොහොතක, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට අප හුවමාරු කරගත් පණිවුඩ සහ අපේ සබඳතා පිළිබද පෙන්වීමට සිදු වේ යැයි යන බියෙනි, එහෙත් එම පණිවිඩ මකා දමනවා කියා අපට විශාල දෙයක් කිරීමට ඉතිරිව නොතිබුණි. මක්නිසාදයත් අප පිළිබඳ බරපතල ලෙස විමර්ශණය කරන්නේ නම් Tencent and China Mobile වැනි චීනයේ සන්නිවේදන තාක්ෂණයට සම්බන්ද සමාගම් අපගේ තොරතුරු, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට ලබා දෙන බව අපි හොඳාකාරවම දැන සිටි නිසාය.
පැය කිහිපයකට පසුව කිසියම් නුහුරු දෙයක් සිදුවී දැයි දැන ගැනීමට, මම A. ට කෙටි පණිවුඩයක් යැව්වෙමි. එවැනි කිසිවක් සිදු වී නැත. තව එක් දිනක් පමා කොට අපි නැවතත් වැඩ ආරම්භ කලේ, එය අහම්බෙන් සිදු වූ දෙයකැයි සිතා සැනසීමට පත්වෙමිනි. අපි ලාබ ‘හොන් හි’ චීන සිගරට්ටු උරමින්, අප අනවශ්‍ය ලෙස බිය වීම පිළිබඳව අපටම සිනාසුනෙමු. අපි තේ පැන් සැලේ මුල්ලකට ගොස්, ප්‍රථම වරට ඉංග්‍රීසියෙන් කියවීමට ලැබෙන වීගර් ප්‍රබන්ධය පරිවර්තනය කිරීමේ දිර්ඝ කාර්යය නැවතත් ආරම්භ කළෙමු.
2014 වසරේදී වීගර් දැනුම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම කිසියම් ආකාරයක පෙරළිකාරි ක්‍රියාවක් ලෙස සැළකිණි. ඇමරිකානු අධිරාජ්‍යවාදය, ටෝනි මොරිසන්ගේ Beloved නවකතාව සහ ස්පයික් ලී අධ්‍යක්ෂණය කළ මැල්කම් එක්ස් චිත්‍රපටය වැනි නිර්මාණ තුළ අන්තර්ගතවන, වර්ගවාදයට විරුද් පාඨ හේතුවෙන්, ඉංග්‍රීසිය යනු චීනය තුළ A. අඩුවෙන්ම ගනුදෙනු කළ භාෂාවකි. මීට ප්‍රථම The Backstreets කෘතිය අන්තර්ජාලය තුළ මුදා හැරුණද, එය ඉංග්‍රීසියට පෙරළිම එහි ජනප්‍රියතාව විශාල වශයෙන් වැඩි කිරීමට හේතුවන කාරණයක් විය. එසේම මුස්ලිම් වර්ගවාදයට සහ වීගර් නිජ භූමියේ පදිංචිව සිටින චින හන්වරුන් විසින් නීතියේ සහය ඇතිව සිදුකරන ජනපද පිහිටුවීමට විරුද්ධව එම ප්‍රබන්ධය විසින් මතු කරන සියුම් ව්‍යංගාර්ථයන් අර්ථාන්විත වූයේ, එම කෘතිය නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට හැකි පාඨකයන් විසින් විවරණයට ලක් කිරීමේදිය.
මෙම කාරණය අප The Backstreets කෘතිය කියවන විට දැන සිටියෙමු. එම කෘතියේ දැක්වෙන දුෂ්කර ප්‍රවාදයට අනුව, තම ගම් පියසේ ගෘහස්ථ හිංසනයෙන්, දුප්පත්කමින්, බේබදුකමින් බේරීමට ඒ ගමෙන් පිටමං වෙන වීගර් මිනිසා, නගරයේ මුස්ලිම් නොවන හාම්පුතුන්, කාර්යාල සගයන්, මුරකරුවන් ඉදිරියේ අවඥාවට ලක්වෙයි. මෙම කෘතිය පශ්චාද් යටත් විජිත සාහිත්‍යයේ කීර්තිමත් මූලාරම්භක නිර්මාණ කරුවන් වන කැමූ ගේ සිට ෆැනන් දක්වාද, ජේ. එම් කොඑට්සි ගේ Life and Times of Michael වැනි කෘතිද සිහිගන්වයි. The Backstreets කෘතියේ වීගර් ජනවර්ගයට අයත් මුල් කතෘ පර්හත් ටුසූන් මේ ලේඛකයන් සහ නිර්මාණ තුළින් අනුප්‍රාණය ලබන්නට ඇත.
The Backstreets කෘතිය පරිවර්තනය කිරීමේ කාර්යය තුළ A. වැන්නවුන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව සිතා බලන්නට අවකාශ විවර වීම වැදගත් කාරණයකි. ඔහු කුඩා කල හැදී වැඩුණු ගම ක්‍රම ක්‍රමයෙන් හන් ජනපදිකයන්ට නතු වූ සැටි, ඔහු ඇතුළු වීගර් ජනතාව වර්ගවාදි ආයතනවලට ගාල් කොට නාමික රැකියා අවස්ථා ලබා දී ඉන් අනතුරුව ඔවුන්, කමකට නැති වුන් සේ සලකමින්, ඔවුන්ව ඒවායින් නෙරපා දැමීම නිසා වීගර් ජනතාවගේ සියළුම සිහින වියැකී ගිය සැටි, චීන හන්වරු සමඟ ගැටෙමින් වැඩ කිරීමට යාමේදි නිරතුරුව ඔවුන්ගේ උසුළු විසුලු වලට සහ ගර්හාවට ලක් වීම නිසා ඒ කුරිරු චීන බැල්මෙන් මිදී, වීගර් ජනතාව පමණක් ජිවත්වෙන ප්‍රදේශවල රැඳී සිටීමට සිදු වූ සැටි ඔහුට සිහිපත් වූයේය.
වීගර් ජනතාවට ගැටෙන්නට සිදු වූ ජනපදකරණ ව්‍යාධිය පිළිබඳ රෝග විනිශ්චයක්, The Backstreets කෘතිය විසින් ලබා දෙන අතර ඒ පිළිබඳ නැවත සිතීමට ද අවකාශයක් එය විසින් විවර කොට ඇත. 2014 වසරේදී සීමාවාසික පුහුණු කඳවුරු තුළ පුනර්අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ කෙරෙමින් තිබුණි, එය මූලිකව වීගර් තරුණයන් අරමුණු කොටගත්තකි. එම ප්‍රදේශයේ ප්‍රධාන නගරය තුළ, වීගර් ජනතාවට තවමත් පහත් හඬින් කතා කළ හැකි අවකාශයක් තිබූ බව A. සිතා සිටියේය. හන්වරු කිසිදිනෙක ඔවුනට සමානයන් ලෙස නොසැලකුවා වුවත්, ඔවුන් තම අත ඇති කාඩ් පත් නිවැරදිව සෙල්ලම් කරන්නට දන්නේ නම් වීගර් ජනතාවට තවමත් යහපත් ජිවිතයක් ගත කළ හැකි බව A. විශ්වාස කළේය. වසර තුනක් ගෙවී ගිය තැන, ඔහු ඇතුළු මිලියන 1.5 තරම් වු වීගර් ජනතාවකට, රජයට විශ්වාසය තැබිය නොහැක්කන් බවට පත් වී, කඳවුරු තුළට ගාල් වීමට සිදු වේ යැයි කිසි දිනෙක සිතන්නට නැත.
කෘතිය පරිවර්තනය සඳහා තේ පැන් සැලේදී අප මුණ ගැසුණේ, මා වැනි ඇමරිකානු මානව විද්‍යාඥයෙක් A. වැනි ක්‍රමවත් රැකියාවක නිරත නොවන වීගර්වරයෙකු මාගේ නවාතැනේ දී මුණ ගැසිම, සෑම නිවෙස් දොරටුවකම QR කේතයන් සවි කරන, සිවිල් කටයුතු අමාත්‍යංශයේ නිලධාරින්ගේ සැකයට භාජනය විය හැකි නිසාය. ඔවුහු සෑම මුස්ලිම් නිවෙසකම වෙසෙන්නන් ලියාපදංචි කරගන්නා අතරම අධි තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් ලියා පදිංචි නොවූවන් සොයා හදිසි වැටලීම් ද වරින් වර සිදු කරති.
එම නිසා පරිවර්තන කාර්යය, වීගර් ජනතාව අතරේ පවතින තේ පැන් සංස්කෘතිය ප්‍රයෝජනයට ගනිමින්, පිටතදී සිදු කිරීම වාසි සහගතය. අපිට සැඟවීමට දෙයක් නැති බව හඟිමින් අපි අපව සනසා ගැනීමට උත්සාහ කළෙමු. අප කළ එකම කාර්යය නම්, වෙනස්කොට සැලකීමට ගොදුරුවන වීගර් ජනතාවගේ කතාන්දරයක් ඉංග්‍රීසියෙන් කියවීමට අවස්ථාව සැලසුවා පමණි. නමුත් වීගර් ජන ජීවිතයේ දෛනික යථාර්තය පරිවර්තනය කිරිමේ එම කාර්යය පවා චීනය තුළ සීමාව ඉක්ම වූ ක්‍රියාවක් බව අපි දැන සිටියෙමු, එසේම කෘතියේ සම-පරිවර්තකයන් ලෙස අප බෙදා ගත් දැනුමත් එකී වැඩ කිරීමේ රිද්මයත් අප අතර මිත්‍රතත්වයක් ගොඩනැඟුවේය.
සවස් කාලයේ A. ගේ මිතුරන්ගෙන් කීප දෙනෙක් අපට එක් වෙති. අපි එවිට ඔවුන් හා එක්ව ගම්බද පෙදෙස්වල ජනයා අතුරුදහන් විම්, උද්ඝෝෂණ සහ දේවේෂ සහගත මිනිමැරීම්, සෝදිසි කිරිමේ ක්‍රම, දේශපාලනික අධ්‍යාපන කඳවුරු, පොලීසිය විසින් සිදු කරන අපරික්ෂාකාරී වෙඩි තැබීම් සේම රාජ්‍ය පොලීසීය හන්වරුන්ට ඉසුරුමත් ජිවිතයක් ගත කිරීමට ඉඩ සලසන අතරවාරේ වීගර් ජනතාවට ව්‍යපාරය කිරීම, රැකියාවක් සොයා ගැනීම වළකාලීමට පමණක් නොව නගරය තුළ ආරක්ෂාකාරි ලෙස ජිවත්වීමේ අයිතිව පවා නැති කිරීමට පියවර ගෙන ඇති ආකාරය පිලිබඳ බොහෝ රෑ බෝ වෙන තුරු කතා කරන්නෙමු.
The Backstreets කෘතිය පරිවර්තනය කිරීම ඉතාමත් බරපතල කාර්යයක් විය, එනම් එහි සෑම වැකියකම ඇති සංකීර්ණ ව්‍යාකරණ ව්‍යුහයන් සහ වාක්‍ය කණ්ඩයන්ගේ නුුහුරු හැරවුම් තුළ වු චිත්ත ආවේගයන් මතු කර ගැනීම ඉතා වෙහෙසෙකර වීය. නමුත් වදන් වල සාහිත්‍යයික අර්ථයන්වලට වඩා එය මට ඉගැන්වූයේ පංති කාමරයක් තුළදී මට කිසිවිටෙක ඉගෙනුමට නොහැකි, පොහොසත් දැනුම් පද්ධතියක් සහ වීගර් ජන ජිවිතයේ හැඩය සකස් කළ අත්දැකීම් ලෝකය පිළිබඳවය. මා පසුකලෙක සාකච්ඡා කළ වීගර් තරුණයන් ගෙන් ඔවුන්ගේ අතීතය, ඔවුන් පරිකල්පනය කරන ඔවුනගේ අනාගතය පිලිබඳ නව මානයක ප්‍රශ්න ගොන්නක් ඇසීමට එය මා පෙළඹවීය. වඩාත් වැදගත් කාරණය නම් ගැඹුරු, දරදඬු විෂාදයකින් පෙළෙන කිසිවෙකුගේ වේදනාව සහ හුදකලාව තුළ ගිලෙමින් එම පුද්ගලයාගේ මිතුරෙකු වීමේ අරුත පිළිබඳ මා මනා වැටහීමක් ලැබීමයි.
අප එක්ව කෘතියේ පෙළ කියැවිම තුළින් A. ගේ වියරු කෝපය වටහා ගැනීමට මට පහසු වූයේය. එය ජනපදකරණය විසින් ජීවිතයේ සෑම පැතිකඩක් තුළම ඇති කරන කම්පනය මට පෙන්වා දුන්නේය. එය පුද්ගලයන්ගේ ජිවන අවස්ථා සහ ජිවන මාර්ග වෙනසකට ලක් කරයි. එය ඔවුන්ගේ මැදිහත් වීම හෝ ඔවුන්ගේ කතාව ලොවට කීමේ හැකියාව මකා නොදමයි, එහෙත් එය සීමා කරයි.
A. ටුසූන් ගේ නවකතාව ඔහු පිළිබඳ ලියැවී ඇති බවක් ඔහුට හැඟෙන බව මා සමඟ පැවසීය. යටත්විජිත විරෝධි නවකතාවක කතානායකයාගේ අත්දැකීම් බෙදා ගනිමින් ජිවිතයේ සිහින හඹා යන, පරිහාසයට ලක් වන, වියරු කෝපයට පත් වෙන ඔහුගේ කතාවේ වටිනාකම හඳුනා ගැනීමට එය ඔහුට මඟක් පෑදුවේය. ජේ. එම් කොඑට්සි The Backstreets කෘතිය කියවීමෙන් පසුව “ පරිපීඩනයේ ලෝකය තේරුම්ගැනීමට” අරගලයේ යෙදෙන අර්ධ- වීරයෙකු ලෙස හැඳින්වුයේ ඔහුගේ චරිතයයි. ඔහු තම ජීවිතය තේරුම් ගැනීමට උත්සාහ ගනිමින් සිටියේය, කේතය බිඳ දැමීමට ඔහු කෙතරම් සමීප වීද යන්න එතරම් වැදගත් නැත, ඒ වන විටත් ඔහුව නිතරම අවහිර කොට තබා තිබූණි.
2015 වසරේ මා එම ප්‍රදේශයෙන් වෙන්ව යද්දි, මම පර්හත් ටුසූන්ට සහ A. ට නවකතාව සඳහා ප්‍රකාශකයෙක් සොයගන්නා බවට පොරොන්දු වූයෙමි. එහෙත් මා කල් යල් බැලුවේ එම කෘතිය නිසා ඒ දෙදෙනාට කිසියම් විපතක් වේවි යන බියෙනි. 2017 වසෙර්දී A. ට මා ඇතුලු විදේශිකයන් කිසිවෙකුත් සමඟ, පෙර පරිදි සබඳතා පවත්වා ගෙන යාමට නොහැකි බව මට දන්වා සිටියේය.
ඉන් මාස කිහිපයකට පසු, A. ව නගරයෙන් බොහෝ දුර බැහැර දකුනු ජිං ජියැං පළාතේ ගම්මානයක පිහිටි කඳවුරකට රැගෙන ගිය බවක් ඔහුගේ ගමේ මිතුරෙකු මාර්ගයෙන් මට දැන ගන්නට ලැබුණි. ඒ කාලයේදිම නවකතාවේ මුල් කතෘ පර්හත් ටුසුන් ද අතුරුදහන් වී ඇතිය යන ආරංචිය මට අසන්නට සිදු විය. වසර කිහිපයක් ඔවුන් පිලිබඳ කිසිදු තොරතුරක් නොලැබුනු නමුත්, 2019 වසරේදි පමණ දැන ගන්නට ලැබුනේ පර්හත්ට වසර 16ක සිර දඬුවමක් ලැබුණු බවකි, නමුත් මේ වන තුරුත් A. ට සිදු වුයේ කුමක්ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් කිසිවෙකුත් දන්‍නේ නැත.
ඉන්පසුව නිවැරදි වෙලාව උදාවී ඇති බව මම තීරණය කළෙමි. මේ ඉර හඳ යට පර්හත්ගේ අර්ධ වීරයාට හිමි තැන ලබා දිය යුතුය. A.ට ජීවිතය ලබා දිය හැකි එකම ක්‍රමය එයයි. මේ මොහොතේදීත් කඳවුරු කුටියක හෝ අඟුලු ලෑ කම්හලක් තුළ හෝ A. ගේ වියරු කෝපය දැවෙමින් තිබෙනවා ඇත.
අනිද්දා පුවත් පතෙන් උපුටා ගත්තකි.