Breaking News

නව බදු සංශෝධන පනතෙන් මොකද වෙන්නේ? – පුබුදු ජයගොඩ පැහැදිලි කරයි

නව බදු සංශෝධනයකින් සිදුවිය යුත්තේ දැනට ලංකාවේ බදු ප්‍රතිපත්තියේ තිබෙන ගැටළුවලට විසඳුම් සෙවීම වුවත් නව දේශීය ආදායම් පනත් කෙටුම්පත හරහා සිදුව ඇත්තේ එම ප්‍රශ්න උග්‍ර කිරීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

“ලංකාවේ බදු ප්‍රතිපත්තියේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඍජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය. සියයට 15ක් පමණ ඍජු බදු පවතින විට සියයට 85ක් පමණ පවතින්නේ භාණ්ඩ සහ සේවා මත අයකරන බදු. භාණ්ඩ හා සේවා මත බදු ගැසීම හරහා උද්ධමනයත් වැඩිකරනවා. ජනතාවත් පීඩාවට පත්කරනවා. නව බදු කෙටුම්පත හරහා ඍජු බදු වැඩිකරනවා කියලා තමයි පෙන්නන්නේ. නමුත් වක්‍ර බදු වැඩිකරලා තමයි ඍජු බදු වැඩිකරන්නේ. උදාහරණයකට වැට් බද්ද සියයට 8 තිබුණු එක සියයට 12 කරා. පසුව අතුරු අයවැයේදී සියයට 15ක් කරා. ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට 2.5ක් වැදිලා තියෙනවා. අතුරු අයවැයෙන් සමාජ ආරක්ෂණ බද්ද නමින් සියයට 2.5 ක අලුත් බද්දක් හඳුන්වා දුන්නා. සමහර භාණ්ඩවලට එම බද්ද අමුද්‍රව්‍ය ආනයනයේදී, නිෂ්පාදනයේදී, තොග අලෙවියේදී, සහ සිල්ලර අලෙවියේදී වශයෙන් කිහිපවරක් වදිනවා. ඊට අමතරව ආනයනික භාණ්ඩ ගත්තොත් වරාය බදු, සෙස් බදු, රෙගු බදු තියෙනවා. මේ ඔක්කොම එකතු වුනාට පස්සේ සාමාන්‍ය භාණ්ඩයක මිලෙන් තුනෙන් එකකට වඩා තියෙන්නේ බදු. මේවා අඩුකරන්න කිසිදු දෙයක් නොකර තමයි නව බදු පනත ඇවිත් තියෙන්නේ. ”

leave a reply