රට වහන්නෙ නැහැ, හැමෝම එකතුවෙලා වසංගතයට මුහුණ දෙමු – මහින්ද වීඩියෝ තාක්ෂණයෙන් උත්සවයක් අමතමින් කියයි

කොරෝනා වසංගත තත්වය යළිත් රටපුරා වර්ධනය වී ඇති නමුත් ඊට විසඳුම රට වසා තැබීම නොවන බවත් රටේ සාමාන්‍ය කටයුතු ඒ අයුරින්ම සිදු කරමින් වසංගත තත්වයට මුහුණ දිය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද අරලියගහමන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය හරහා රුවන්පුර අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පවසා තිබේ.

රටේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාම අභියෝගයක් වන නමුත් සියලු දෙනා ඉතා වගකීමෙන් කටයුතු කරන්නේ නම්, අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ නම් එම අභියෝගය ජය ගැනීමට හැකි බවද අගමැතිවරයා පවසා ඇත.

පවත්නා වසංගත තත්වය හේතුවෙන් ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාව ඉතා සුළු පිරිසක් සහභාගි වූ බවද අගමැති මාධ්‍ය අංශය පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ,

‘2006 වර්ෂයේ දී ලංකාවේ පළමු වැනි අධිවේගී මාර්ගය විධියට දක්ෂිණ අධිවේගී මාර්ගයට අපි මුල පුරන්නෙ රටේ යුද්ධයක් තියා ගෙන. අද අපි රුවන්පුර අධිවේගී මාර්ගයට මුල පුරන්නෙ රට පමණක් නෙමෙයි මුළු ලෝකයම කොව්ඩ් වසංගතයෙන් වෙලා ගත් අභියෝගාත්මක අවස්ථාවක. ඔබ දන්නවා කොවිඩ්-19 වසංගතයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට රජයක් විධියට අපි ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා.’

‘ඒ වගේම දුෂ්කරතා හමුවේ වුවත් රට සංවර්ධනය කිරීමේ මාවතෙන් අපි බැහැර වෙලා නැහැ, බැහැර වෙන්නෙත් නැහැ. යහපත් මාර්ග පද්ධතියක් කියන්නෙ රටක දියුණුව මනින සාධකයක් කියලයි මම විශ්වාස කරන්නේ. මහින්ද චින්තනනයේ වගේම සෞභාග්‍යයේ දැක්මෙන් අපි ඒ ගැන පැහැදිලිව පෙන්වලා තියෙනවා.’

ගැටලුව වන්නේ අගමැතිවරයා කොවිඩ් එන්නත පවා ලබාගෙන සාමාන්‍ය පරිදි රාජ්‍ය උත්සව සඳහා සහභාගී නොවී තම සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් වීඩියෝ තාක්ෂණය හරහා උත්සව සඳහා සම්බන්ධ වෙමින් ජනතාවට සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු කරන ලෙස පැවසීමයි. රටේ ජනතාවට ජීවිතය ගැටගසා ගැනීම වෙනුවෙන් තම ජීවිතය අභියෝගයට තැබීමට සිදුව තිබේ. කම්කරු ඇමතිවරයා පසුගියදා පැවසුවේ කොවිඩ් හේතුවෙන් රැකියාවලට පැමිණීමට නොහැකි සේවකයන්ට තම වැටුපෙන් භාගයක් පමණක් ලැබෙන බවයි. මේ නිසා බහුතර ජනතාව තම සෞඛ්‍යාරක්ෂාව නොතකා බස්රථවල , කෝච්චිවල තෙරපෙමින් රැකියා සඳහා යමින් සිටියි. එලෙස ගොස් ආසාදිත තත්ත්වයට පත්වන ජනතාවට අද රෝහල් ඇඳක් පවා ලබාගැනීම ගැටළුවක් වී තිබේ. නමුත් ආණ්ඩුවේ අරමුණ ජනතාව බිල්ලට දී හෝ ආර්ථිකය පවත්වා ගැනීම බව පෙනෙන්නට තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...