Breaking News

දැන් විකල්පය රනිල්ද?

මෙච්චර කාලයක් කිසිවකු ගණන් නොගෙන සිටි රනිල් වික්‍රමසිංහ දැන් නිකම් ජාතික වීරයෙක් වෙලා වගේ. රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමත් සමග දැන් අලුත් කතාබහක් ඇතිවෙලා. දිවුරුම් දීල ඔහු කළ කතාවත් එක්ක ඇතැම් ප්‍රගතිශීලීන්, ලිබරල්වාදීන් විතරක් නෙවෙයි වාමාංශිකයන් පවා පණ ගහල ඇවිල්ල වගෙයි. විශේෂයෙන්ම කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කළ මිලිටරිමය ක්‍රියාදාමය ගැන රනිල් කරපු කතාව තමයි මේකට හේතුවෙලා තියෙන්නෙ.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඔහු කතා කළ දේවල් බොහොම සාමාන්‍ය දේවල්. ඒ බොහෝ කරුණු Sunday Times පුවත්පතේ පළවී තිබුණා පහුගිය කාලෙ. මේ ආණ්ඩුවෙ ආර්ථික උපායමාර්ග දවසින් දවස එකින් එක අවුලෙන් අවුලට යන බව ඇස් පනාපිට පේන්න තියෙනවා. බන්දුල ගුණවර්ධන, අජිත් නිවාඩ් කබ්රාල් වගේ අය කරන කතා විනෝද සමයක් බවට පත්වෙලා. ආණ්ඩුවෙ වම් අත කරන දේ දකුණු අත දන්නෙ නැහැ. එහෙම නැත්නම් වම් අතින් කරන දේ දකුණු අතින් වෙනස් කරනව. ඒක නිසා රනිල්ට බැට් කරන්න හොඳ පිට්ටනියක් ආණ්ඩුව විසින් හදල දීල තිබුණෙ. ඒ නිසා ඒ පිට්ටනියෙ බැට් කරන්න ලේසියි. ඉතින් රනිල් යන්තම් හාෆ් සෙන්චරියක් ගැහුව වගේ තමයි පෙනුනෙ.

අර ඉහත කිව්ව කොටස් ෆෝම් වෙලා තියෙන්නෙ කොවිඩ් මර්දනය සහ හමුදාකරණය ගැන කිව්ව දේටයි. සාමාන්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානියකුට සමාන වන යුධ හමුදාපතිවරයාට මේ කාර්යය කරන්න බැරි බවත් එහිලා ඔහු අසාර්ථක වී ඇති බවත් රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්න. මෙය වැදගත් සඳහනක්. කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම යුධ මෙහෙයුමක් ලෙස කරන්නයි පහුගිය වසරේ මාර්තු මාසයේදී ජනාධිපතිවරයා තීරණය කළේ. ඒ වෙන කිසි දේකට නෙවෙයි තම සුවච කීකරු අන්තේවාසිකය ලවා වැඩේ කරගෙන එහි පූර්ණ ගෞරවය තමාගේ නමට ලබාගැනීමේ අරමුණින්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ වෙනවිට සිටි බොහෝ නිලධාරීන් කලින් පැවති ආණ්ඩුව යටතේ එම තනතුරුවලට පත්වූ අය. එවකට ක්‍රියාත්මකව පැවති 19 සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ඔවුන් කිසිවකු ඉවත් කිරීමට බලයක් තිබුණේ නැහැ. අවශ්‍යයෙන්ම සෞඛ්‍ය ප්‍රශ්නයක් වූ මේ වසංගතය යුධමය විදියට පාලනය කරන්න පුළුවන් වේයයි ජනාධිපතිවරයාට කවුරු උපදෙස් දුන්නත් අන්තිමට බලද්දි ඉහළ සිට පහළටම සෞඛ්‍ය ක්ෂේත්‍රය තමයි එහි බර ඇද්දෙ.

ජනාධිපතිවරයාගේ මේ මිලිටරි පන්නයේ ප්‍රවේශය වැරදි බවත්, සෞඛ්‍ය උවදුර හමුදාමය විදියට මැඩපවත්වන්න බැරි බවත් එක්සත් සමාජවාදී පක්ෂයේ අප දිගින් දිගටම පෙන්වා දුන්නා. රතුතරුව පුවත්පතේ මේ ගැන අවස්ථා කීපයකදීම ලිපි, වාර්තා පළවුනා. එහෙත් ඒ හඬ රටට නිසි පරිදි ඇහුනෙ නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ බොහොම මටසිළුටු (mild) විදියට පාර්ලිමේන්තුවෙදි කිව්වෙත් ඒ බව තමයි. ඒත් ඔහු ඒ බව කිව්වෙ බොහොම පරිස්සමින්. ධනපති දේශපාලකයකු හමුදා යාන්ත්‍රණය එක්ක ගනුදෙනු කරන පරිස්සම්කාරී ස්වභාවය තමයි රනිල්ගේ කතාවෙන් පෙන්නුම් කළේ.

එහෙනම් රනිල් ආවොත් ඔක්කොම හරියයිද? ඔහුගේ කළමනාකාරීත්වයෙන් රට ගෙනගිය හැටි අප හොඳින් දැක්ක මීට වසර දෙක තුනකට පෙර. ආර්ථික වශයෙන් ගත්තම රට ඉතාම අස්ථාවර විතරක් නෙවෙයි කිසිම දිශානතියක් නැති එකතැන පල්වෙන තත්වයකයි තිබුණෙ. ඔහු කරන්න උත්සාහ කළේ මාගරට් තැචර, රොනල්ඩ් රේගන්, ජෝර්ජ් බුෂ් වැනි අන්ත දක්ෂිණාංශික නායකයන් කළා වගේ ආර්ථිකය මුළුමනින්ම රජයේ බලපෑමෙන් මුදවලා දේශීය විදේශීය ධන කුවේරයන්ට රට ඕනෑ හැටියට සූරාගෙන කන්න දෙන්න. ඒ වෙනුවෙන් විනිමය පාලන නීති ලිහිල් කොට ඊළඟට මුළුමනින්ම ඉවත් කරන්න තමයි ඔහු සැලසුම් කරල තිබුණෙ. ඒ වෙනුවෙන්ම ජාතික ප්‍රතිපත්ති නමින් අමාත්‍යාංශයක් ඇති කරල එය තමා යටතට පත්කර ගත්ත. ඉතිහාසය පුරාම මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ මහ බැංකුව පවා තමා යටතට ගත්ත. කවුරුත් හිතුවෙ රටේ ආර්ථිකයේ දැවැන්ත පෙරළියක් විප්ලවයක් කරන්න තමයි යන්නෙ කියල. ඒත් කන්දක් විළිලාල වැදුව මීපැටියෙක්වත් ඉතුරු වුනේ නැහැ අන්තිමට.

රනිල්ගේ ආර්ථික දැක්ම ධනවාදී වුනාට ඔහු ඉතා හොඳ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියලත් මතයක් රටේ ගොඩනැගිල තිබුණ. විශේෂයෙන්ම එවකට රට වෙලාගෙන තිබූ දෙමළ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් යුධමය නොවන ප්‍රජාතාන්ත්‍රික ප්‍රවේශයක් සඳහා රනිල් කැපවූ අයකු ලෙසයි සමාජගත වෙලා තිබුණේ. ඒකට මූලික වශයෙන් හේතු වෙන්න ඇත්තේ ඔහු 2002 වසරේදී වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග ඇතිකර ගත් සටන් විරාම ගිවිසුමයි. එම ප්‍රවේශය ඇත්තෙන්ම අගය කළයුතුයි.

මෙහිලා කළයුත්තේ කුමක්ද යන්න ගැන ඔහුට අවබෝධයක් තිබුණත් ඔහු කිසිවිටෙක ඒ සඳහා ඉදිරිපත් වුනේ නැහැ. එයට හේතුව තමයි රනිල් වික්‍රමසිංහ කියන්නෙ අඩුදියුණු රටක සිටින බෙලහීන ධනපති නායකයෙක් වීම. ඒ සම්බන්ධයෙන් පවා ඔහු කොයිතරම් දුර්වල නායකයෙක්ව කිව්වොත් ඔහු පෙනීසිටින බලය බෙදීම කියන මතවාදය වෙනුවෙන් තමාගෙ පක්ෂය පූර්ණ ලෙස හැඩගැස්වීමටවත් ඔහු ක්‍රියා කළේ නැහැ.

දියුණු ධනේශ්වර ලෝකය හොඳින් ඇසුරු කරල තිබුණු නිසා උතුරේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් කළයුත්තේ කුමක්ද යන්න ගැන රනිල්ට හොඳ අවබෝධයක් තිබුණ. ඒ නිසාම ඔහු වරක් ප්‍රකාශ කළා උතුරට එහෙම නැත්නම් උතුරු නැගෙනහිරට අසමමිතික බලය බෙදීමක් කළයුතුයි කියල. ඒක ඉතාම වැදගත් අදහසක්. ඒ කියන්නෙ රටේ පළාත් නවයටම පළාත් සභා පිහිටුවල එකම විදියේ බලය බෙදීමක් සිදුකිරීමෙන් පලක් නැහැ, ඒ නිසා උතුරු නැගෙනහිර පළාත් සභාවකට අනෙක් පළාත්වලට නැති විශේෂ ආකාරයේ බලතල ලබාදීමක් සිදු කළයුතුය කියන එක. ඉන්දියාව කාශ්මීර ප්‍රාන්තය සම්බන්ධයෙන් එවැනි අසමමිතික බලය බෙදීමක් සිදුකර තියෙනවා.

ලංකාවෙ දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුම එය නොවුනත් ධනේශ්වර සීමාව තුළ ගන්නට පුළුවන් ඉදිරි පියවරක් ඒක. එහෙත් යහපාලනය නමින් ආණ්ඩු කළ වසර පහකට ආසන්න කාලය තුළ ඒ සම්බන්ධයෙන් වචනයක්වත් නොකීමට ඔහු පරිස්සම් වුනා. නැති දෙයක් ගැන කතා කරල ගැටළු/ගැටුම් ඇති කරගන්න්නනෙ මොකටද කියල උන්දැ හිතුවද දන්නෙ නැහැ. ඒ සඳහා අලුතින් ව්‍යවස්ථා සංශෝධනයකට යන්නත් ඕන. 2/3ක බලයක් නැතුව ඒක කරන්න බැහැ. ඒත් දැනටත් පවතින 13වැනි සංශෝධනය අනුව පළාත් සභාවලට ලැබිය යුතු ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමට මේ “ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියා” ගත්ත පියවර මොකක්ද? බොහොම පහසුවෙන් පරිපාලනමය වශයෙන් කළහැකිව තිබූ ඒ දේවත් නොකළා විතරක් නෙවෙයි ඒ සම්බන්ධයෙන් තමාගේ පක්ෂය සූදානම් කිරීමටවත් රනිල් ඉදිරිපත් වුනේ නැති බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.

ඒ විතරක්ද? අද වනවිට සියළු ජනතාවගේ විරෝධයට ලක්වී තියෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ගිහින් කියල ඊට පස්සෙ මොකක්ද කරන්න හැදුවෙ? ප්‍රති ත්‍රස්ත පනත නමින් ඊටත් වඩා භයංකර නීතියක් ගෙනැල්ල අඅයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කරන කම්කරුවන්, සිසුන්, සුළු ගොවීන්, තම අයිතිවාසිකම් ඉල්ලා හඬ නගන දෙමළ සහ මුස්ලිම් ජනයා තව තවත් මර්දනය කරන්නයි මේ “ලිබරලා” උත්සාහ කළේ. ඒක පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍ය නිර්දේශ දෙන්න පමා වෙනකොට ඒ සම්බන්ධ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවට රනිල් කිව්ව වචන ඔබට මතකද? මේ ගැන තවත් “පොල් ගාන්නෙ” නැතුව ඒ නිර්දේශ දෙන්න කියල තමයි රනිල් ඉතා දැඩි ස්වරයෙන් එදා කිව්වෙ.

මෙයින් පෙන්නුම් කෙරෙන කාරණය තමයි රනිල් වික්‍රමසිංහ කියන්නෙ පොදු ජනයාගේ හතුරෙක් බව. ඔහුට පොදු ජනයා කියන්නෙ දූවිලි වගේ. ඔහු හැමවිටම හිටියෙ ඔහුගේ රෝයල් කොලෙජ් කල්ලිය එක්ක. පාස්කරලිංගම්, චරිත රත්වත්තෙ, මලික් සමරවික්‍රම ඇතුළු රෝයල් කොලෙජ් කල්ලිය තමයි රට කරවන ආකාරය ගැන ඇත්ත තීන්දු ගත්තෙ. චරිත රත්වත්තෙගෙ සහෝදරයා සුරේන් රත්වත්තෙ බිලියන ගණනින් පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළකළමනාකාර අධ්‍යක්ෂක වශයෙන් පත්කරල ඔහුට රුපියල් මිලියන තුනක වැටුපක් ගෙවන්න රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළ බවත් මතක තියාගන්න. අර්ජුන් මහේන්ද්‍රන් කියන්නෙත් ඔහුගේ ගජ මිතුරෙක්. මෙරට පුරවැසිකමවත් නැති ඔහුව ආනයනය කරල මහ බැංකුවෙ අධිපති කළෙත් රනිල්. ඔහුගෙ පක්ෂයෙ ගම්බද පෙදෙස්වලින් ආපු මන්ත්‍රීවරුන්වවත් ඔහු ගණන් ගත්තෙ නැහැ. ඒ තරමට ඔහු වෙනම ලෝකෙක හිටියෙ.

රනිල්ගෙ දේශපාලනයෙ අප්‍රකට පැතිකඩක් තමයි ඔහු ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සංගමයෙ උප සභාපතිවරයෙක් බව. මේ සංගමයෙ ඉන්න අනෙක් චරිත ගැන බැලුවම මේ සංගමය මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන්. මේක ගොඩනගන්න පුරෝගාමී වුනේ ඇමරිකාවෙ රොනල්ඩ් රේගන් සහ බ්‍රිතාන්‍යයේ මාගරට් තැචර්. මෑතකාලීන චරිත වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රසීල ජනාධිපති ජායි බොල්සොනාරෝ, ඔස්ට්‍රේලියාවේ අගමැති ස්ටීව් මොරිසන් වගේ අය. මේ චරිතවලින් හඟවන්නේ කුමක්ද? ඔවුන් උග්‍ර දක්ෂිණාංශිකයො. මෙරටදී විවෘත ආර්ථිකය කියල හඳුන්වන කොල්ලකාරී ගෝලීය ධනවාදයේ ගෝඩ්ෆාදර්ල තමයි මේ පුද්ගලයො. පොදු ජනයාට පටි තදකර ගන්න කියල සියළු රාජ්‍ය දේපළ සහ සම්පත් පෞද්ගලීකරණය කරමින් බහුජාතික ධනවැද්දන්ට අපේ වගේ රටවල් සූරාකෑමට ඉඩදීම තමයි උන්ගෙ පිලිවෙත.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ කියන්නෙ මේ රටේ දේශපාලනයෙන් දූරීභූත කළයුතු චරිතයක්. රාජිත සේනාරත්න මෑතකදී පැවසුවා වගේ නටබුන් වූ චරිතයක්. ඔහුට දේශපාලනය තුළ අද කළහැකි කිසිවක් ඉතිරි වෙලා නැහැ. එහෙව් පුද්ගලයකු කරතියාගෙන යන්න තරම් නම් මෙරට ජනතාව මෝඩ නැති බව නම් කියන්න පුළුවන්.

 

ශ්‍රීනාත් පෙරේරා

leave a reply