Breaking News

2023, විදුලි බිලත් 70%න් වැඩිවී කළුවරේ ඉන්න වෙන වසරක් වෙයිද?

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවත් ඊට එරෙහිව කවුරුන්ගේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ නම් නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා තිබේ.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව එකම පියවරකින් හෝ පසු පසට ගෙන නොමැති බවත් එය රජය ක්‍රියාත්මක කරන යෝජනාවක් මිස අමාත්‍යවරයා ලෙස තමන් ක්‍රියාත්මක කරන්නක් නොවන බවත් කීය.

විදුලි ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජූනි මාසවල දී පියවර දෙකකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පසුගිය දා පාර්ලිමේතුවේ ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේ දී පැවසීය.

දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 70%කින් පමණ වැඩි විය යුතු බව ජාතික සභා අනුකමිටුවේ දී පැවසූ විදුලිබල මණ්ඩල නියෝජිතයෝ, විදුලි ගාස්තු පසුගිය කාලයේ දී වැඩි කළ ද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවූ බැවින් විදුලි බිල වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයෙන් මෙලෙස අනුමැතිය ලබාගත් බව ද ප්‍රකාශ කර තිබේ.

මෙම ගැටලුවට අමතරව දැන් සෑම දෙසින්ම ඉඟි පළවෙමින් ඇත්තේ ලබන වසරේ මුල සිට පැය 10ක පමණ විදුලි කප්පාදුවක් ද සිදුවෙනු ඇති බවයි. එයට හේතුව ලෙස සඳහන් වන්නේ අවශ්‍ය තරම් ගල් අඟුරු තොග නැතිවීමයි.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අදහස

මෙවැනි තත්ත්වයක් තුළ 2023 ජනවාරි මස සිට නැවතත් විදුලිබිල ඉහළ දැමීමට රජය සැරසෙද්දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ එසේ ජනවාරි මස සිට විදුලි බිල ඉහළ දැමිය නොහැකි බව යි.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා තවදුරටත් පවසුවේ පසුගිය මාස තුන ඇතුළත විදුලිබල මණ්ඩලය මෙහෙයුම් ලාභයක් ලබා ඇති බව යි.

කළමනාකරණයේ දුර්වලතාවයන් හේතුවෙන් විදුලි බිල වැඩිකිරීම නොකළ යුතු බව ද ඔහු තවදුරටත් පවසා ඇත.

“අපිට ඉදිරි කාලයට ඩොලර් මිලියන 500ක් අවශ්‍ය යි, ඉදිරි කාලයේ දී ගල්අඟුරු නැතිකම නිසා විදුලි කප්පාදුවක් ඇති නොවන තත්ත්වයට පත්වෙන්න. දැන් මේ ප්‍රශ්නය තියෙන්නේ මේ මිලියන 500 මහජනතාවගෙන් මේ මෙතුමා කියනවා වගේ අයකරගෙන, ඊළඟ මාසේ මිලියන 39ක් ඕන, ඒක අයකරගෙන ඒකෙන් ගල් අඟුරු ගෙන්වනවා කිව්වොත් එක පදනම් විරහිත යි. මොකද මේ ආයෝජනය කෙරෙන්න ඕන රජය විසින්.”

“අපිට ඕන මිලියන 500 ගණන් හදලා ඒක මහජනතාවගෙන් අරගෙන ගල් අඟුරු ගෙන්වා ගැනීමේ හැකියාවක් නෑ නේ. අනිත් එක මේ ගල් අඟුරු කියන එක දැන් නේ මේ කරලියට ඇවිල්ල තියෙන්නේ? මම හිතන්නේ මේ දේශපාලන අධිකාරියට කිසිම අදහසක් නෑ, මේ ගල් අඟුරු කියන එක ලංකාවට ගෙන්වන්නේ 2011 ඉදලා. අද 2022. අවුරුදු 11කට කලින්. මේ අවුරුදු 11 කාලය තුළ අපිට ගල් අඟුරු ගෙන්වා ගැනීමේ ප්‍රශ්නයක් තිබුන ද? මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ මේ මූල්‍ය අර්බූදය, මේ ඩොලර් ප්‍රමාණය, ඒ වගේම මේ දේශපාලන අධිකාරියේ මැදිහත්වීම නිසා ඇතිවුණ ප්‍රශ්නයක් මිසක් වෙන එකක් නෙමෙයි. අපි කියන්නේ ගිය අවුරුද්දේ ගෙන්නගත්තා ක්‍රමයටම, ඊට කලින් අවුරුද්දේ ගෙන්න ගත්ත ක්‍රමයටම මීට අවුරුදු පහකට කලින් ගෙන්න ගත්ත ක්‍රමයටම ගෙන්වාගන්න.”

මේ තත්වය තුල ලාංකීය විදුලි පාරිබෝගිකයක්ට මුහුණ පෑමට සිදුවන අසාධාරණය නම් ලබන වසරේ බිල කීපගුණයකින් වැඩිවී විදුලියද පැය දහයක පමණ කප්පාදුවකටද හසුව වැඩිවූ බිලද ගෙවමින් කරුවලේද සිටීමටද සිදුවීමට ඉඩ තිබීමය.

එසේම අනෙක් පැත්තෙන් එළඹෙන වසර තුල ඇතිවිය හැකි මේ මහාපරිමාණ විදුලි කප්පාදුව හා විදුලිබිල ඉහල දැමීම නිසා සුළු පරිමාණ ව්‍යාපාර රෝහල්, පාසල් සුබසාධන ක්ෂේත්‍රද සහ සමස්ත ආර්ථිකයටම මෙය බලපෑමයි. අවසානයේ මෙම පාඩුව සහ ජනතාවට බරක් වීම දැරිය නොහැකි බව පවසමින් විදුලි බල මණ්ඩලය විකුණා දැමීමට ආණ්ඩුව උත්සාහ කරනු ඇත.

leave a reply