ශ්‍රී ලාංකික කවියේ නවක සම්ප්‍රාප්තිය වේගවත් වූ යුගයක එහි ඉදිරිගමන වෙනුවෙන් සාධනීය දායකත්වයක් සපයන කවි කිවිඳියන් රැසක් අපට හමුවෙනවා. මේ නව කවිකාර පරම්පරාවේ දකින්නට හැකි පැහැදිලි බෙදීමක් පෙන්වා දියයුතු වෙන්නේ ඔවුන් ගේ ඉදිරි කවිමග වඩාත් පෝෂණීය වෙනවා දැකීමේ උවමනාවෙන්. මෙයින් බහුතරය සාම්ප්‍රදායික සුලබ කාව්‍ය නිමිති සිය අනුභූතින් ලෙස යොදා ගනිමින් සිය කවිමග නැවුම් බවකින් හැඩ කරන්නට උත්සාහ ගන්නේ නැහැ. ප්‍රේමයේ විප්පයෝගය, මව් පිය සෙනෙහස, පාසැල් සමයේ නොස්ටැල්ජියානු මතක, ජාතික අභිමානය ආදී වන සීමිත රාමුවක සාම්ප්‍රදායික කවිමග අතික්‍රමණය නොකරන රචනාවන් ඔවුන්ගේ කාව්‍යකරණයේ සුලබයි. නමුත් ඒ අතර මේ නවකවි පරම්පරාවේ ඉතා ඉදිරිගාමී සුලුතර කවි කිවිඳියන් කිහිප දෙනෙක් ද අපට මුණ ගැහෙනවා. ඔවුන්ගේ කවිමග වැටී ඇත්තේ ප්‍රේමයේ නව කියවීම්, සමාජ දේශපාලන අර්බුද, පන්ති විෂමතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවී ගැටලු වැනි මේ මහ පොළොවේ එදිනෙදා දලු දමන අර්බුදීය කාරනා හරහා. එය සාධනීය ලක්ෂණයක්. ඔවුන් සිය ජීවන පැවැත්මේ සියුම් තැන් ඉතාම අපූරු ආකාරයෙන් අල්ලාගන්නවා පමණක් නොවේ ඒවා ප්‍රතිනිර්මාණය කිරීමේදී බස හා ආකෘතිය යන යෙදවුම් දෙකෙහිද නව පැතිමානයක් සොයා යනවා.
ගගන ලක්සර වර්ණකුලසූරිය ඒ දෙවැනි ගොනුව තුල ප්‍රථම වතාවට අපට සම්මුඛ වෙන තරුණ කවියෙක්. ඔහුගේ ප්‍රථම කාව්‍ය එකතුව වන “ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?” කාව්‍ය සංග්‍රහය අඩුවැඩි වශයෙන් සිය ජීවන ධාරිතාව කවියට නගන්නට ගන්නා උත්සාහයක්. සමාජයේ ආන්තික පුරවැසියන්ගේ ගැටලු, පශ්චාත් ජනවාර්ගික ගැටුමේ ඉතුරු බිතුරු, ස්ත්‍රී පුරුෂ සමාජභාවී අර්බුද, ප්‍රේමයේ නව කියවීම් ඔහු සිය කාව්‍යානුභූතීන් ලෙස තෝරා ගන්නේ බාහිරින් නොව තමන්ගේ ජීවන වපසරිය තුලින්මයි. ඒ සඳහා ඔහු ආගමික සාහිත්‍ය, පුරාණෝක්ති හා පුරාවෘත්ත මෙන්ම නූතනම අත්දැකීම් පවා භාවිතයට ගනු ලබන්නේ ඔහුගේ කාව්‍යකරණය ගැන අපතුල බලාපොරොත්තු දල්වමින්.
“එකමෙක වතාවයි මං ගියෙත් උතුරට” නිර්මාණය ජනවාර්ගික ගැටුමෙන් පසු උතුරු නැගෙනහිර පුරවැසි ජීවිතය පිළිබඳ කවියාගේ හෘදය වේදනාව අපූර්වට දනවන්නක්.
ඔව්
එක්මෙක වතාවයි මම ගියෙත් උතුරට
ඒ යුද්දේ ඉවර වුණු විත්තිය
ටීවී එකේ ජය කෙහෙළි නංවාපු කාලෙක
තල්මහෙක් වාගේ ම උඩට විත්
කිරිබත් කටක් කා ආයෙමත් යට ගියපු
තවත් එක දවසකට ඉක්බිතිව.
අනේ මට මතක නෑ කිසි දෙයක්
තැනින් තැන ගොඩගහපු යකඩ කඳු ඇරුණාම
ඝන්ටාකාර, ඝටාකාර,
ධාන්‍යාකාර, නේකාකාර
යකඩ දාගැබ් ය ලේ පිළී ගඳ නො වියලුණ.
ඉතිං මං යුද්දේ ගැන දැනගත්තේ එහෙම.
අනතුරුව පශ්චාත් යුද සමයක ඛේදනීය බව පද කිහිපයකට ගොනු කරනවා. කවියේ මුෂ්ටි පද (Punch Lines) කිහිපය ඇත්තේ එතැන.
යුද්ධයක් කියන්නේ
යකඩ විතරක් ඉතුරු වෙන එකට
ඉතුරු වුණු හැමදේම ගැහුවා ම එක ගොඩට
උත්සවශ්‍රීය උතුරන එකට
මොනවා නැතත් බොම්බයි – මොටයිකාරයන්ට
මදි නැතුව හොඳට සරුවෙන එකට.
යුද්ධය පමණක් නොව පශ්චාත් යුධ ඉතුරු බිතුරු දේශපාලනිකව විකුණූ හැටි මෙහිදී අපේ මතකයට ගෙන එන්නේ ඒ දේශපාලනික බොම්බයි – මොටයිකාර දේශපාලක රුව පවා යළි සිතුවම් කරමින්.
පශ්චාත් යුධ සමයේ යළි ජීවිත ගොඩනගා ගන්න ණය වෙන පුරවැසියන්ගේ ජීවන ඛේදය ඉතා සංවේදී ලෙස ගොණු කල නිර්මාණයක් “මේ රට අයිති කාටද විමලේස්වරී” කවිය.
දකුණේ ලවණ සුළඟට මලකඩ පැතිරී
මලකඩ තියා යකඩත් මෙහෙ නෑ ඉතිරී
එක’මෙක ප්‍රශ්නයකි ඇස් මත්තේ ඇහැරී
මේ රට අයිති කාට ද විමලේස්වරී
සිය ණය පොලී ගෙවා ගත නො හැකි වීම හේතුවෙන් සියදිවි නසා ගන්නා යාපනේ චාවකච්චේරි ප්‍රදේශයේ සත්‍ය සිදුවීම ඔහු මේ සඳහා පාදක කරගනී. අදටත් ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව ඔඩුදුවා ඇති කාලෙක මේ නිමිත්ත අතිශය කාලීන බවක් ද හඟවනවා.
ණය එක මතට එක නැගුණ ම් අහස කෙලින්
පිපුණට බදු ගහන කොට හිස රැඳි පිච්ච මලින්
වහ කුප්පියෙත් මිල අහසට යන්න කලින්
මැරුණෙක හොඳ නැද්ද අහපන් කඳුළුවලින්
බොහෝ නිර්මාණකරුවන් මගහැරුන සමාජ ගැටලුවකට ඔහු සංවේදී වීම හා සිය පරිකල්පනීය ලෝකය තුල එයට ඉඩ සැදීම අගය කළයුත්තක්. “අවුකන නැවතුම පහු වුණා විතරයි” “මේක මං උපන් ගේ බොලව්” වැනි නිර්මාණ ද ජාතීන් ලෙස බෙදී සිටීමේ හා විරසක වීමේ සමාජ විනාශය සංකේතාර්ථීයව ප්‍රකාශ කිරීමක්.
“ඒව” නිර්මාණය ස්ත්‍රී පුරුෂ සමාජභාවී අර්බුදය, පුරුෂ මූලික සමාජයක ස්ත්‍රිය පීඩනයට පත්වීම පාදක කරගත්තක්.
ඒව,
උඹට් තිබ්බේ ඔය තහනම් ගෙඩිය
නොකා ඉන්න
ඒ වෙනුවට
වහ ටිකක් කාලා මැරෙන්න.
ඉන්පසු ඔහු පවසන්නේ නූතන “ඒව” ලා සමාජය තුල පීඩනයට පත්වෙන ආකාරය
ඉන්දියන් ලොරි චැසියට
ටකරන් ගහපු
දොර දෙකේ ලේලන්ඩ් බස් වල
පස්සෙ ම පෝලිමේ ඉඳන්
ඒදන් උයන ගැන
රස කතා කිය කිය
ඉල ඇටේ වාඩුව ඉල්ලන
ආදම් හම පොරවගත්ත
සාතන් ලා අතේ
පත්තු වෙන්න කලියෙන්
“තේ දළු” කාව්‍ය නිර්මාණය වතුකරයේ කාන්තාවන් මුහුණ පාන සමාජ ගැටලුව සියුම්ව දැකීමට ගත් උත්සාහයක්.
හීත අරණේ මල් කිණිතිවල
රොන් පිපෙන්නැතිව ලූ
අහස සූරන හීන ගිනි ගෙන
ශේෂ විතර යි අළු
ගැඹුරු ඇස්වල දිය උනන්නේ
මතක හින්ද යි රළු
ඇඟිලි තුඩු අග තියන් මිණි කැට
නෙලනු ඇයි තේ දළු
ඔවුන් ශ්‍රමික වශයෙන් පමණක් නොව ලිංගික වශයෙන් ද සූරා කෑමට ලක්වන ආකාරය ගගන පවසන්නේ මෙලෙසින්,
ඇනී කටු තුඩු සිනා වියැකී
හැඬූ කඳුලින් මල්වර
නෑසෙනා කන් සිටිය මුත්
ඒ විලාපය නැත අහවර
ලැයිම් දොර ළඟ බිඳිති මල් පෙති
සපිරි මැති දෙවි පියවර
සරණ අහිමි ව යදින්නි ය ඈ
රකිනු කඩතොළු බඹසර
ගගන ගේ කෙටි කවි කිහිපයක් ද කෘතියට ඇතුලත් නමුත් එහිදී ඔහු එතරම් සාර්ථකත්වයක් පෙන්වන්නේ නැහැ. කෙටි කවියක තිබියයුතු තෙවැනි පෙළ ධ්වනිය ඒවායේ දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගගන ඒ ගැන වඩා සැලකිලිමත් වියයුතු බවට යෝජනා කරන්න කැමතියි.
ප්‍රේමය පාදක කවියේ දී තියුණු පරිපාකයක් දකින්න නොලැබීම අඩුවක්. නමුත් එවැනි කවි අතර වඩා සිත් ගත් නිර්මාණයක් වන්නේ “නිසැකව ම හමුවෙමු ආයේ දවසක” කවිය. එය අප්‍රකාශිත ප්‍රේමයක විඳවීමක් පදනම් කරගත්තක්. ඔහු කවිය අවසන් කරන්නේ මෙලෙස,
හැබැයි තව එක දෙයක්
හැමදාම වගේ කෙළවර
(අපි දිය වෙන්න මොහොතකට කිට්ටුව)
හැකි නම් සුබ ගමන් නොකියාම යන්න
ඔයාට නොතේරෙනවා වුණාට
“සුබ” කියන්නේ
හරි අකාරුණික යෙදුමක්
ඒ වගේ කළුවර වෙලාවක.
කවිය පුරා ඉර එළිය හා අඳුර සංකේතාර්ථයෙන් ඔහු භාවිතා කරන ආකාරය කිසියම් නැවුම් බවක් කවියට එක් කරනවා.
ඔ9ඕඕඔ.
ගගන ලා වැනි නව්‍ය කවියන්ගේ සම්ප්‍රාප්තිය ශ්‍රී ලාංකික කවියට අනාගතයේ දී අරුත් බර සම්මාදමක් කරනු ඇති බව ඔහුගේ පළමු නිර්මාණ එකතුවෙන්ම පෙන්නුම් කරනවා. ඔහු ගේ මේ නිර්මාණ ගොන්නේ පරිණත කවියෙකුගේ ලක්ෂණ ද අඩුවැඩි වශයෙන් දක්නට ලැබීම ඒ සුබවාදී බලාපොරොත්තුවට හේතුවක්. තමන් ගේ අඩු ලුහුඬුකම් දැන හැඳින සත්තාභ්‍යාසයෙන් ගගන ලක්සර වර්ණකුලසූරිය තරුණයාට බොහෝ දුර යා හැකි බව පමණක් මේ මොහොතේ සටහන් කරන්නේ ඔහුගේම කවකින් කොටසක් උපුටමින්.
කාලයක් යන කොට ඉතිරි වන්නේ
සත්‍යයෙන් හරි අඩයි
ඉතිහාසයේ ඉතුරු අඩ නිර්මිතයි.
.