Breaking News

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ අවිනිශ්චිතභාවය අවසන් කළ යුතුයි

ජෙහාන් පෙරේරා

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ අවිනිශ්චිතතාව තවදුරටත් වර්ධනය වෙමින් පවතී. ආණ්ඩුවේ නායකයන්ගේ මෑත කාලීන ප්‍රකාශ සහ පාර්ලිමේන්තුවේ වාද විවාදවලින් පෙනී යන්නේ, මේ අවස්ථාවේ මැතිවරණය පැවැත්වීම ආර්ථික වර්ධනයට හිතකර හෝ තමන්ට වාසිදායක නොවන බවත්, එබැවින් මැතිවරණය නොපැවැත්විය යුතුයැයි ඔවුන් විවෘතව ප්‍රකාශ කරන බවත්ය. ඔවුන් මෙම ප්‍රකාශ සිදුකරමින් සිටින්නේ, මැතිවරණයට අවශ්‍ය මුදල් රජයේ භාණ්ඩාගාරයෙන් නිකුත් නොකිරීම හේතුවෙන් මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල්දැමීමෙන් අනතුරුවය. මැතිවරණ කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති පරිදි මැතිවරණ ප්‍රකාශයට පත් කර ඇති විට, රජයේ දෙපාර්තමේන්තු මැතිවරණ කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් වේ.

මැතිවරණය ප්‍රමාදයකින් තොරව පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ සුවිශේෂී තීන්දු දෙකක් මුළුමනින් රටට පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇත. පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කරන බව පවසමින්, අධිකරණ නියෝග නොතකා හරින ලෙසට පාර්ලිමේන්තුවේ ඇතැම් සාමාජිකයන් විසින් රජයේ දෙපාර්තමේන්තු වෙත විවෘතව කෙරෙන ඉල්ලීම් සම්බන්ධයෙන් ජාතික සාම මණ්ඩලය විශේෂයෙන් කනස්සල්ලට පත්ව සිටී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැනි පළපුරුදු පාර්ලිමේන්තු නියෝජිතයකුගේ නායකත්වය යටතේ, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින්, සෑම තරාතිරමකම සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් විවෘතව ප්‍රශ්න කිරීම හා උපහාසයට ලක් කිරීම අපේක්ෂා කරන ලද තත්වයක් නොවේ.

මහජනතාවගේ පරමාධිපත්‍යය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් මගින් ආණ්ඩුවේ සෑම තරාතිරමකම තම නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට ඔවුන්ට ඇති අයිතිය මෙන්ම අධිකරණයට ගරු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වේ. නීතියේ ආධිපත්‍යය සහ සංවරණ හා තුලන ක්‍රමය ආරක්ෂා කිරීමට අපොහොසත් වීම ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය, රටේ අන්තර්ජාතික විශ්වසනීයත්වය සහ අනෙකුත් ජාතික අවශ්‍යතා දැඩි ලෙස අඩපණ කරනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවලට අවනත වෙමින් මැතිවරණ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසත්, මැතිවරණ කොමිෂන් සභාව විසින් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා නියම කර ඇති අප්‍රේල් 25 වැනි දිනය පිළිගන්නා ලෙසත් ජාතික සාම මණ්ඩලය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

කාලෝචිත, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ මූලධර්මය ආරක්ෂා කිරීමට සහ මැතිවරණයක අවශ්‍යතාවය රජයට ඒත්තු ගැන්වීම සඳහා විරුද්ධ දේශපාලන පක්ෂ එකම වේදිකාවකට ගෙන ඒමේ සිවිල් සමාජ සංවිධානවල ඒකාබද්ධ මුලපිරීම සම්බන්ධයෙන් ජාතික සාම මණ්ඩලය සිය සතුට පළකරයි. ඡන්ද බලය සුරැකීමේ සිවිල් සමාජ සාමූහිකය විසින් කැඳවා තිබූ රැස්වීමකදී “ඡන්ද අයිතිය සුරකින බවට මහජන නියෝජිතයන්ගේ ප්‍රතිඥාව” අත්සන් කිරීමට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේම ප්‍රමුඛ නියෝජිතයෝ එක්ව සිටියහ. එහිදී දේශපාලන පක්ෂ පුළුල් ලෙස විවිධ මතවාද සහ වාර්ගිකත්වයන් නියෝජනය කළද, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද බලය තහවුරු කිරීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිදු භේදයකින් තොරව පෙනී සිටියහ.

මෙම ඡන්ද බලය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂවල සහ සිවිල් සමාජ සංවිධානවල හඬට ආණ්ඩුව අවනත විය යුතු අතර, එය තමන් අපේක්ෂා කරන දේශපාලන ස්ථාවරත්වයට සහ ආර්ථික ප්‍රකෘතියට හිතකර නොවන බැවින් ඊට එරෙහිවීම පිළිගත නොහැකිය. රජයේ සංවර්ධන උපාය මාර්ග සාර්ථක කරගැනීම සඳහා සෙසු දේශපාලන සමාජයේ කැමැත්ත සහයෝගීතාව අවශ්‍ය වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති පරිදි නියමිත වේලාවට මැතිවරණ පැවැත්වීමකින් තොරව, එවැනි සහයෝගීතාවක් අපේක්ෂා කළ නොහැක. ජාතික හා අන්තර්ජාතික වශයෙන් ආයෝජකන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා අධිකරණ තීන්දුවලට සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධ ව්‍යවස්ථාමය විධිවිධානවලට රජය ගරු කළ යුතු අතර, එසේ නොමැතිව ආර්ථිකය ප්‍රකෘතිමත්වීමේ අපේක්ෂාවන් සාර්ථක කරගත හැකිවනු ඇතැයි අපේක්ෂා කළ නොහැක.

 

leave a reply