එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක්
ලංකාවේ යුද අපරාධ හා වින්දිතයන්ට අදාළ යුක්තිය ඉටු කිරීමේදී ඇති ප්‍රධාන බාධාවක් වන්නේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ස්වාධීන නඩු පවරන අධිකාරියක් සහතික කිරීම සඳහා නීතිපති කාර්යාලය තුළ ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ඉටු නොවීම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ප්‍රකාශ කරයි. සැප්තැම්බර් මාසයේ UNHRC හි 60 වන සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිත මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සඳහන් කර ඇති නිරීක්ෂණ සහිතඑක්සත්ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ එම කොමිසමේ වෙබ් අඩවියේ පළ කර ඇත. එහිදී නීතිපති කාර්යාලය යුක්තියට ඇති ප්‍රධාන බාධාවක් ලෙස විස්තර කර ඇති අතර යුද අපරාධ චෝදනා සම්බන්ධ ස්වාධීන නඩු පවරන අධිකාරියක අවශ්‍යතාවය අවධාරණය කරයි.
කෙසේ වෙතත්, වත්මන් NPP ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ස්වාධීනව “මහජන නඩු පැවරීමේ අධ්‍යක්ෂ මණ්ඩලයක්”(Directorate of Public Prosecution) හඳුන්වා දීමට පොරොන්දු දුන් බව මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ වාර්තාවේ පෙන්වා දෙයි.
“නඩු පැවරීමේ අභිමතය සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලබා දී ඇති පුළුල් බලය, තහවුරු නොකළ සාක්ෂි මත ක්‍රියා කිරීමට එම දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් දක්වන අකමැත්ත, විමර්ශන කටයුතු සම්බන්ධ පොලිසිය සතු සීමිත ධාරිතාව, සුදුසුකම් ලත් අධිකරණ වෛද්‍ය විශේෂඥයින් නොමැතිකම සහ දෙමළ භාෂාව කතා කරන නිලධාරීන්ගේ හිඟය, වින්දිතයින්ට යුක්තිය ලබා ගැනීමට ඇති හැකියාවට බාධා කරමින් වරදකරුවන්ට දඬුවම් නොලැබීමේ තත්වයක් දිගටම පවත්වාගෙන යයි” යනුවෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වාර්තාව පවසයි.
මානව හිමිකම් මහ කොමසාරිස් ටර්ක් මෙම වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී නීතිපති පාරින්ද රණසිංහ හමු විය.
මේ අතර, නීතිපති දෙපාර්තමේන්තු විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගෙ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර කෙටුම්පත් කරමින් සිටින බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන අතර, එය මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ වාර්තාවේ නිරීක්ෂණවලට සැප්තැම්බර් මාසයේ UNHRC හි 60 වන සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිත රජයේ ප්‍රතිචාරයේ කොටසක් වනු ඇත.
NPP ආණ්ඩුව විසින් ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් (Public Prosecuter Office) පිහිටුවීම අධ්‍යයනය කිරීම, මූලික යෝජනා සකස් කිරීම සහ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ප්‍රමුඛ විශේෂඥ කමිටුවක් පත්කර ඇති අතර කෙටුම්පත් සංකල්ප පත්‍රිකාව පිළිබඳව මහජනතාවගෙන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් සහ සිවිල් සමාජයෙන් ප්‍රතිචාර ලබාගන්නා බව ආණ්ඩුව පවසයි. 2024 සැප්තැම්බර් මාසයේ පැවති මානව හිමිකම් සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ නිර්දේශවලට සමගාමී ලෙස පිහිටුවන්නට නියමිත මෙම නඩු පැවරීමේ කාර්යාලය පළාත් මට්ටමේ උප කාර්යාල ජාලයක් සහිතව පවත්වාගෙන යනු ඇත. ජනවාරි මාසයේ අධිකරණ ඇමති හර්ෂන නානායක්කාර මෙම විශේෂ, කමිටුව පත් කළ බවක් ප්‍රකාශ කළ අතර මැයි මාසයේදී නඩු පැවරීමේ කාර්යාලය පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවක් ප්‍රකාශ කෙරුණු නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වාර්තාවෙන් චෝදනා නැගෙන්නේ නඩු පැවරීමේ කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රිියාමාර්ග කිසිවක් ගෙන නැති බවයි.