Breaking News

අධික මිල ගණන් යටතේ PCR, අන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වන්න අවසර දීලා – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

ලෝකයේ පවතින අවම මිල ගණන් අනුව කෝවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමේ පරික්ෂණ කට්ටල ගෙන්වීමට අවස්ථාව තිබියදී අධික මිල ගණන් යටතේ එම පරීක්ෂණ කට්ටල ආනයනය කිරීමට ඉඩලබාදී ඇති බව වෛද්‍ය ජයරුවන් බන්ඩාර චෝදනා කරයි.

තරගකාරි මිල ගණන් කැඳවීමකදී කොරෝනා හඳුනාගැනීමේ පරික්ෂණ සඳහා ප්‍රමිතිය සහිත පරික්ෂණ කට්ටල ලාභ තබාගෙන වුවද ඉතා අවම මිලකට මෙරට වෙළඳපොළට ගෙන්විය හැකි වුවද ව්‍යාපාරිකයන් විසින් ඉදිරිපත් කරන ඉහළ මිල ගණන් සහිත ටෙන්ඩර්වලට ඉඩදී ඇති බව ඔහු පවසයි. ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයුම් ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිටින ඉහළ නිලධාරින් මෙරට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් ජනතාවගෙන් වැටුප් ලබන නිලධාරින් වුවද ඔවුන් ඖෂධ ආනයනය කරන ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ලෙස කටයුතු කිරීම නිසා මෙරට ජනතාවට ඖෂධ මිලදී ගැනීමේදී අධික වියදමක් දරන්නට සිදුව ඇති බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු පවසන ආකාරයට රැපිඩ් ඇන්ටිජන් (RAT)කට්ටලයක් රු.600ට සහ PCR කට්ටලයක් රු. 2000ට වෙළදපොළට ගෙන්විය හැකිව තිබියදී මෙවැනි තත්වයකට මෙරට බලධාරින් ඉඩ දී ඇති බවය.

එසේම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මෙරට ඖෂධ නිෂ්පාදනය සිදුකරනවා යැයි පවසා සිදුකරන්නේ බොරුවක් බව ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසා තිබේ.

ඔහු සඳහන් කරන්නේ ඖෂධ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කර ඖෂධ නිෂ්පාදනය කරනවා වෙනුවට ඒ ඒ ඖෂධවල අවසාන මිශ්‍රණය පමණක් ආනයනය කර බෙහෙතේ හැඩයට නිෂ්පාදනය කර වෙළෙඳපොළට ලබාදෙන බවයි.

පසුගියදා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසින් මෙරටදී නිෂ්පාදනය කළා යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පිළිගැන්වූ තයිරොක්සින් සහ ට්‍රැමඩොල් යන ඖෂධද එලෙස නිෂ්පාදනය කරන ලද ඒවා බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සදහන් කර ඇත.

එම තයිරොක්සින් පෙති ලබාගත්තද තමන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග සුව නොවන බවට රෝගීන් චෝදනා කරන බවද ඔහු පවසයි.

ඔහු මේ අනාවරණය සිදුකර ඇත්තේ චමුදිත සමරවික්‍රම සමග youtube නාලිකාවෙන් කළ සංවාදයකදීය.

leave a reply