Day: June 12, 2023

  • වකුගඩු රෝහලේ දරුණු ඖෂධ හිඟයක්

    වකුගඩු රෝහලේ දරුණු ඖෂධ හිඟයක්

    පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැති බව වාර්තා වේ.

    මෙම රෝහලේන් නේවාසික ප්‍රතිකාර මෙන්ම දෛනිකව සායනික රෝගීන්හු විශාල ප්‍රමාණයක් පැමිණෙයි. නේවාසික රෝගීන්ට මෙන්ම බාහිර ප්‍රතිකාර ගැනීමට එන ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිකමින් ඔවුහු දැඩි පීඩාවකට පත්ව සිටියි.

    මෙම රෝහලේ වකුගඩු රෝගීන් 100කගේ පමණ ඒකවර රුධිර කාන්දුකරණයට යොමු කළ පරිදි පහසුකම් සලසා ඇතත් ඖෂධ හිඟය නිසා දැනට දිනකට අධියර 2 ක් යටතේ රෝගීන් 100කට පමණ රුධිර කාන්දුකරණය සිදු කරනු ලබන බව වාර්තා වේ.

    පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රුධිර කාන්දුකරණයට රෝගීන් 150 පමණ දිනකට යොමුවන අතර ඉන් වැඩි පිරිසක් යොමු වන්නේ පොලොන්නරුව වකුගඩු රෝහලටයි.

    වකුගඩු රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බාහිර රෝගීන්ට සේම නේවාසික රෝගීන්ට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිකම හේතුවෙන් රෝගීන්ට සිදුව ඇත්තේ වැඩිමිලට පෞද්ගලික ඖෂධාගාරවලින් මිලදී ගැනීමටයි.

    මසකට වකුගඩු දීමනාව ලෙස රුපියල් 5000 මුදලක් ලැබුනද ඖෂධ මිල ගණන් සහ සියලු දේවල්වල මිල ඉහළ ගොස් ඇති නිසා එම මුදල ප්‍රමාණවත් නැත.

    එසේම වකුගඩු දීමනාව ද මාස දෙකකින තමන්ට නොලැබුන බවත් රෝගීන් පවසයි.

    පසුගියදා ආණ්ඩුව සඳහන් කළේ ඖෂධ මිල සියයට 16න් අඩු කරන බවයි. නමුත් සියයට 97න් පමණ මිල ඉහළ ගොස් තිබූ හෙයින් එම සියයට 16ක් යනු ඉතා සුළු අඩුකිරිමකි. එපමණක් නොව අත්‍යවශ්‍ය ඖෂධ 1000ක් පමණ තිබෙන නමුත් මේ අඩු කිරීම සිදුවන්නේ ඖෂධ 60ක පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පවසා තිබුණි. ඊට අමතරව දැනට බෝ නොවන රෝග සඳහා ගන්නා ඖෂධ බොහොමයක හිඟයක් පවතියි. ඒ සඳහා පිළිතුරු සෙවීමට ආණ්ඩුව කිසිදු උත්සාහයක් ගෙන නැත.

  • රෝයල් පාර්ක් ඝාතකයාට සමාව දීමට රතන හිමි බලපෑම් කළ බවට අනාවරණයක්

    රෝයල් පාර්ක් ඝාතකයාට සමාව දීමට රතන හිමි බලපෑම් කළ බවට අනාවරණයක්

    රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේදී තරුණියක් කෘර ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කරන ලෙස පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් වාචිකව සහ හමුවී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත කරුණු ඉදිරිපත් කර තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (ජුනි 12 වැනිදා) අනාවරණය වී ඇත.

    විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණය බලරහිත කර ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද යළි විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මෙම කරුණ අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

    පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ ඉදිරිපත් වී තිබූ ජනාධිපති සහකාර ලේකම්වරයෙකු විසින් නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කළේය.

    එම ලිපියේ අන්තර්ගත කරුණු වලට අනුව පූජ්‍ය අතුරලියේ රතන, පූජ්‍ය බද්දේගම සමිත, පූජ්‍ය බලංගොඩ බුද්ධඝෝෂ යන හිමිවරුන් සහ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුගේ මව වන එස්. ජේ. එම්. ජයමහ, දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු රේමන් වික්‍රමසිංහ පියතුමා, සරත් කෝන්ගහගේ, මහේෂ් මඩවල, නාලනී මනතුංග යන අය අදාළ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කරන ලෙස වාචිකව හා හමුවී ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබූ බව අනාවරණය වන්නේ යැයිද ජනාධිපති නීතිඥවරයා විවෘත අධිකරණය හමුවේ පැවසීය.

    මේ ආකාරයේ ඉල්ලීමක් කිරීමට මෙම පුද්ගලයින්ට පවතින නෛතික බලය කුමක් දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා සමාව ප්‍රදානය කිරීමට අධිකරණ අමාත්‍යාංශය හරහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් හා දඬුවම ලබාදුන් විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් කර නොමැති බවත් අනාවරණය කළේය.

    එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ ද කියා සිටියේ මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබා දුන් කොළඹ මහාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් කර නොමැති බව පෙනී යන බවය.

    මෙම ක්‍රියාවලිය අදහාගත නොහැකි බවත් විනිසුරුවරයා පැවසීය.

    රාජගිරිය රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ දී 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ එම වසරේ දීම අත්අඩංගුවට ගැනිණි.

    ඉවොන් ජොන්සන්ගේ ගෙල ඇඟලා සිටි ඇඳුමකින් සිර කර තිබූ අතර, හිස සිමෙන්ති පොළොවේ ගැසීමෙන් හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් විය.

    ඉන්පසු කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වර්ෂයේ දී ඔහුට දොළොස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි.

    එයට එරෙහිව පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු අභියාචනාධිකරණය 2012 වර්ෂයේ දී ඔහුට මරණ දඬුවම ලබා දුන්නේය. පසුව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරන ලද අතර, එහිදී නැවතත් විත්තිකරුට මරණ දඬුවම ස්ථීර කරමින් තීන්දුවක් ලබා දුන්නේය.

  • Forza Italia පක්ෂයේ නායක සිල්වියෝ බෙරලුස්කෝනි මියයයි

    Forza Italia පක්ෂයේ නායක සිල්වියෝ බෙරලුස්කෝනි මියයයි

    ඉතාලි දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් නිරූපණය කළ Forza Italia දේශපාලන පක්ෂයේ නායකයා ව සිටි සිල්වියෝ බෙරලුස්කෝනි මීට පැයකට පමණ ඉහතදී මරණයට පත්වී තිබේ. ඔහු මිය යන විට වයස අවුරුදු 86 කි.. බෙරලුස්කෝනි තම ජීවිතයේ අවසන් කාලය රෝගාතුරව සිට ඇති බව වාර්තා වේ. අවසන් කාලයේ ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි බෙරලුස්කෝනි දින 45ක් රෝහල්ගතව ඉඳ ඉන් පිටව ගොස් තිබෙන්නේ මැයි මාසයේ දහනම වන දාය. පසුගිය ජූනි නම වනදා නැවත ඔහු රෝහල් ගත වී තිබේ.

  • පානීය ජලයට විස එක්කරන ධම්මික පෙරේරාගේ තවත් සමාගමක්

    පානීය ජලයට විස එක්කරන ධම්මික පෙරේරාගේ තවත් සමාගමක්

    ලංකාවේ තිරසර, (Sustainability) හරිත (green or environmental), සාමාජීය වගකීම් (CS, CSR, Social Responsibility)වගේම තත්ත්ව සහතික (Standards including ISO 14001, ISO 45001 ඇතුළු) හෝ යම් යම් දර්ශක (Rankings/Ratings) පට්ටපල් බොරු බවට South Asia Textiles කදිම උදාහරණයකි.

    එසේම මෙවැනි සමාගම් කරනුලබන පරිසර සංරක්ෂණ, තිරසාරත්ව සහ හරිත ව්‍යාපෘති අතිබහුතරයක් හරිත ශෝධක (Green washing) ව්‍යාපෘති වේ.
    මේවාට මෙකී සමාගම් පරිසර අධිකාරිය ඇතුළු නියාමන ආයතන ද, සමහර මුදල් පසුපස පමණක් දුවන පරිසර සංවිධාන ද යොදා ගැනීම ඉතා කණගාටුදායකය. පරිසර සංවිධානයක් ලෙස අප healeys වැනි (විදේශ සායනික කසල ආනයනය, ලංකාවේ කටු පොල් ව්‍යාප්ත කිරීමෙ සිට රතුපස්වල ගැටළුවේ දී ජනතාව බලය යොදා ගනිමින් මරණයට පත් කිරීමේ වගකීම දක්වා) රටේ ජනතාවට හා ඔවුන්ගේ පරිසර අයිතීන් වලට විශාල හානියක් සිදුකර ඇති, සමාගම් සමග ව්‍යයාපෘති වලට සම්බන්ධ නොවන අතර ඒ වෙනුවට ඔවුන් සමහර පරිසර සංවිධාන සමඟ ඔවුන්ගේ හරිත ශෝධන ක්‍රියාවලිය දිගටම ගෙනියනු දැකීම කනගාටුදායකය.

    ඕනෑම කර්මාන්තයක්, ව්‍යාපාරයක් තුළින් යම් පරිසර හානියක් හෝ සම්පත් උකහා ගැනීම සිදුවන නමුත් නැවත පරිසරයට, පරිසර සංරක්ෂණයට හා තමන්ගෙන් සිදුවන දූෂණය අවම කිරීමට හෝ එකී පද්ධති ප්‍රතිස්ථාපනය ට සැබෑ ලෙස ‍ප්‍රරතිපත්ති උපාය මාර්ග සහ ක්‍රියාකාරී සැලැස්මක් ඇති ආයතන සමග කටයුතු කිරීම ගැටලුවක් නොවන නමුත් hayleys වැනි හරිත ශෝධක සමාගම් සමග කටයුතු කිරීම නියාමන ආයතන වලට හෝ පරිසර සංවිධාන වලට සුදුසු නොවේ.

    පහතින් දැක්වෙන්නේ කැලණි ගඟ දූෂණය කරන බවට සාක්ෂි සාධක සහිතව චෝදනා එල්ල වී ඇති හේලීස් සමූහයට අයත් south asia textiles ආයතනය තමන් පරිසර සංරක්ෂණයට සහ සමාජ වගකීම් අනුව කටයුතු කරනවා යැයි ලබාගත් සම්මාන සහ පරිසර අධිකාරිය වැනි ආයතන සමඟ ගැසූ ගිවිසුම් සහ ඇඟලුම් කර්මාන්තයේ ප්‍රධානම දූෂක කාරකය වන අපජලය මෙරට ජනතාවගෙන් මිලියන 2ක් පානීය ජලය ඇතුළු අවශ්‍යතා සඳහා යැපෙන කැලණි ගඟට අනාරක්ෂිතව මුදා හරින ආකාරයයි.

    ඇඟලුම් වැනි කර්මාන්තයක ප්‍රධානම දූෂක කාරකය වන අප ජලය පවා නිසි ලෙස කළමනාකරණය නොකරන සමාගමක්, අනෙක් පරිසර සම්පත් සහ සාමාජීය වගකීම් කොතෙක් දුරට ඉටු කරන්නේ දැයි ඔබට ඉන්ම සිතා ගත හැකියි.

    ජයන්ත විජේසිංහ