Breaking News

ස්ථිර විසඳුමක් ලැබෙනතුරු මන්නාරම ජනතාව අඛණ්ඩ විරෝධයෙ

මන්නාරම දූපත තුළ ඉල්මනයිට් ඇතුළු ඛනිජ සම්පත් බහුල අතර ඒවා කැණීම සඳහා වෙරළ තීරය මීටර් 100කට ආසන්නව ගොඩබිමටත් අභ්‍යන්තරයට අඩි 20ක් ගැඹුරටත් හෑරීමට ආන්ඩුව ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු සමාගම් වලට බලය ලබා දී ඇත. එම මීටර් 100 මුහුදු වතුරෙන් පිරුණු පසු නැවත ගොඩබිමට මීටර් ගණනක් ගැඹුරට තවත් කැණීම් කිරීමට නියමිතව ඇත. මෙය විශාල පාරිසරික ගැටලු මතු කිරීමට නියමිතය. මෙලෙස වෙරළ හෑරීම තුළින් මත්ස්‍යය අස්වැන්නද අඩු වීමට නියමිත අතර ධීවර කර්මාන්තය බරපතල ලෙස කඩා වැටීමට නියමිතව ඇත.

සුළං බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් ජන ජීවිතයට බාධා එල්ල වී ඇති අතර, සුළං බලාගාර ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමග වැසි සමයේ අපජලය ගලාගෙන යාමට පැවති ඇළ මාර්ග සියල්ල වසා දමා ඇති බැවින් වර්ෂා කාලයේදී ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හටගන්නා අතර නිවාස ජලයෙන් යට වීමත් සිදු වේ. තත්වය මෙසේ තිබියදීම අදානි සමූහය හරහා තවත් සුළං විදුලි බලාගාරයක් ඉදි කිරීමට යෝජිතව තිබූ අතර අදානි සමූහය ඉවත් වීම හේතුවෙන් එම අවස්ථාවම ධම්මික පෙරේරා මූලීකත්වය දරණ හේලීස් සමූහයට ලබා දී ඇති අතර මන්නාරම දූපත ආශ්‍රිතව සුළං බලාගාර ව්‍යාපෘතියේ මීළඟ අදියර ආරම්භ කිරීමට ඔවුන් පිඹුරුපත් සකස් කරමින් සිටින බැවින්, අදාළ සුළං බලාගාර ව්‍යාපෘතිය සඳහා ජනතා ඉඩම් කොල්ලකෑමත් එහිදී සිදු වන පාරිසරික ගැටලු වල එරෙහි වීමත් විරෝධතාවයේ ඉල්ලීමක් විය.

තවද මෙම දූපතේ සිදු වන පාරිසරික විනාශයත්, තල් ගස් දහස් ගණනක් කපා දැමීම නිසා සිදු වන ගැටලුත්, විශේෂයෙන්ම දැනටමත් පානීය ජලයට ලුණු මිශ්‍ර වීම නිසා ඇති වී ඇති ගැටලුත් සම්බන්දව ප්‍රදේශයේ ජනතාව සංවිධානය කළ අඛණ්ඩ විරෝධතාවයට දින 18ක් වන අතර එයට සහය පළ කරමින් ජන අරගල ව්‍යාපාරය ද සත්‍යග්‍රහය සඳහා එක් වූ අතර මන්නාරම් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සියලු දෙනා පෙනී සිටිය යුතුව ඇත.

ජනාධිපතිවරයා විරෝධය සලකා ව්‍යාපෘති මසකින් කල් දැමුවද ස්ථීර විසදුමක් නොවූ හෙයින් ස්ථීරවම ව්‍යාපෘති නතර කරන ලෙස බල කරමින් විරෝධතාවය අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

leave a reply