කෝපි රස…

වැහි බිංදු කොඳුරමින්
දුර ගමන් යන හවසක
අපි අපට අහිමිදැයි
ඇසූ බව
ඇත රිදුනු මතකෙක..
මාරුවට තොල තැබූ
උණු කෝපි බඳුනක
දියවෙලා තිබුනු බව
මතකයි
දෙකම්මුල් තෙමූ
ලුණු රස..

විදුලි එලි නැහැවෙන
පහන් කණු පසුකර
නුඹ පසු පසම එන සිත
බැඳලමින් රැහැනක
නොපතාම සැඳෑවට
දොරකඩ හිඳ
හිනැහෙනා බිරිඳක
දියකර හරිමි
උණුසුම් හාදුවක රස
සීතල රත්පැහැ
මධුවිතක..

තබාගෙන උර මත
දිවි බරින් අඩක්
යනවිට වංකගිරියක
අදත් වැහි බිඳු
කොඳුරනව ඇති
නුඹ පයෙහි හැපෙමින්
අඳුරුබර සැඳෑ වල..
ඉසිඹුවකට ගොඩ වැදී
අඩ අඳුරු
අවන්හල් පිලකට
දෙතොල් මත ඉඩ
තියේවිද තවමත්
උණුසුම්
කෝපි රස බිඳකට..

 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *