Breaking News

අර්බුදයෙන් පිටමංවන මාවත තැනෙන්නේ ‘අරගලය’ යටගැසීමෙන්ද?

චන්දන සිරිමල්වත්ත

මැතිවරණයක් එන බව කියන සමාජ සංවාදය මුවහත් වෙමින් ඇති අතර මැතිවරණය මගහැර යන්නට පාලක රනිල් – රාජපක්ෂ කල්ලිය විවිධ උපක්‍රම භාවිත කරමින් සිටී. ඒ අතරම මැතිවරණය වෙනුවෙන් සූදානම් වන පාර්ශ්ව විවිධ ආකාරයෙන් තමන් අලෙවි කරමින්, ජනතා කැමැත්ත වෙනුවෙන් පොර බදමින් සිටී. ඇතැම් විටක සීරියස් ආකාරයෙන්ද තවත් විටෙක කවට ආකාරයෙන්ද දේශපාලන තොරොම්බල් කිරීම් සිදුවෙමින් තිබේ.

මෙම නිශ්චිත සමාජ දේශපාලන මොහොතේ දේශපාලනයට මග හැර යා නොහැකි ලෙස ‘2022 මහජන නැගිටීම’ නැවත නැවත සංවාදයට ගැනෙමින් තිබේ. ඒ හා වෙන් කළ නොහැකි ලෙස බැඳුණු ‘අරගලය’ යන වචනය නැවත නැවත ඇසෙමින් තිබෙන නිසාම ඒ අරගලය ආශ්‍රයෙන් මේ දේශපාලන පෙලගැසීම් කියවා ගැනීමේ අවශ්‍යතාවක්ද තිබේ.

අප සමාජයක් ලෙස මුහුණ දෙන අර්බුදයේ පිපිරීම 2021 ආරම්භ වීමෙන් පසුව ජනතාව රටේ විවිධ තැන්වලදී වීදි බැස අර්බුදයේ නිර්මාපකයන් වන පාලකයන්ට විරෝධය පළ කළහ. නමුත් ඒ විරෝධයේ විධිමත් ප්‍රකාශකයෙක් බවට පත් වූයේ 2022 අප්‍රේල් මාසයේදී කැඳවන ලද ගාලුමුවදොර අරගලයයි.

ගාලුමුවදොර අරගලයේ ආරම්භය විවිධත්වයෙන් යුතු වූවා පමණක් නොව, එහිදී ජන සහභාගිත්වය, ජනතා බලවේගවල ක්‍රියාකාරිත්වය, සහභාගිත්වය හා පන්ති සංයුතියද විවිධ විය. නමුත් එක් දෙයක් පැහැදිලිය. ආසන්නයේ දක්නට ලැබුණු සමාජ ආර්ථික ගැටලුවලට අදාළ සැකැස්ම පැමිණියේ සමස්ත පාලන ක්‍රමයක්-පාලක පෙලැන්තියක් ඔස්සේ බවට වූ පොදු අවබෝධයයි.

ඒ නිසාම ‘අරගලයේ හෙට දවස – ක්‍රියාකාරී සැලැස්ම’ නමින් ගාලුමුවදොර අරගලයේ සාමුහික දේශපාලන ප්‍රකාශයක් ජූලි මසදී ඉදිරිපත් කරමින් විධිමත් දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් අවධානය, අරගලයට පක්ෂපාති යැයි ප්‍රකාශ කළ දේශපාලන පක්ෂ වෙත යොමුකරන ලදී.

අරගලයේ අභිලාෂයන් වූයේ මොනවාද? ඒ සම්බන්ධ සාමාන්‍ය දැනීම අරගලයේ ආරම්භක සටන්පාඨවලින් සුපැහැදිලි වේ. “GoHomeGota, හොරා කාපු සල්ලි දියව්, දූෂිත ආණ්ඩුව පන්නමු” පොදු ඉල්ලීම් විය. නමුත් අරගලය තුළ සාමුහිකව එකඟතා ඇති කොටගෙන දේශපාලන වශයෙන් නිශ්චිත කෙරුනු අභිලාෂයන් ජූලි මස ප්‍රකාශයට පත් වූ ‘අරගලයේ හෙට දවස – ක්‍රියාකාරී සැලැස්ම’ තුළ විය. එහිදී ප්‍රමුඛ වූ දේශපාලන අරමුණු ගාලුමුවදොර අරගලකරුවන් දක්වා තිබුණේ ගෝඨාභය ඉවත්වීම, රාජපක්ෂ-රනිල් පාලනය ඉල්ලා අස්වීම, අරගලයේ අරමුණු ඉටු කිරීම මූලික කරගත් අන්තර්කාලීන පාලනයක් පිහිටුවීම හා ඒ හරහා ජනතා බලය ස්ථාපිත කෙරෙන නව ව්‍යවස්තාවක් ජනමත විචාරණයකින් සම්මත කිරීමය. එම නව ව්‍යවස්ථාව යනු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ සැමට නීතිය සමාන කෙරෙන සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කෙරෙන්නක් බවටද එහි සටහන් විය.

නමුත් මේ වනවිට දේශපාලන පිටියේ අඩුවෙන්ම අසන්නට ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගැනය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධ සාකච්ඡා මතු කරනු වෙනුවට ජනාධිපතිවරණයට තරග කරන්නේ කවුරුන්ද යන්න ගැන සමාජ සංවාදය ශක්තිමත් වෙමින් තිබේ.

ආර්ථික අර්බුදය කැඳවන ලද්දේ ජනතාව විසින් නොව, ජනතාව පත් කළ පාලකයන් විසින් බව නිශ්චිතය. පාලකයන් සිය බල අරමුණු වෙනුවෙන් වරින්වර අණ්ඩ දැමූ 1978 ව්‍යවස්ථාවේ ජනතා විරෝධී අංග ලක්ෂණ අතර වැඩිම විරෝධය ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයට හා මනාප ක්‍රමයට බව නිශ්චිතය. එහෙත් අද දේශපාලන පොරපිටියේ සංවාදවල ඒ සම්බන්ධ කිසිදු අවධානයක් නැත. ජනමාධ්‍ය ප්‍රවාහය ඒ සම්බන්ධ සාකච්ඡාව ගන්නේ නැත. ප්‍රාධාන යැයි කියන දේශපාලන පක්ෂද එම කරුණු සැලකිල්ලට ගන්නනේ නැත. අවම වශයෙන් පවතින සමාජ ආර්ථික දේශපාලන අර්බුදයෙන් සමාජයක් ලෙස ගැලවී ගන්නේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් වන්නේද නැත. මැතිවරණ කාලෙට මැතිවරණ පොරොන්දු පත්‍රිකා ජනතාවට බෙදනු වෙනුවට ජනතාව අතර සංවාදයට ලක් වෙන එවැනි වැඩපිළිවෙළක අවශ්‍යතාව බලවත්ව දැනෙමින් තිබේ.
මේ ගැන අවධානය යොමු කළ යුතු ජනතාවය. ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන පිරිසය.

 

leave a reply