Breaking News

මන්නාරම දූපතේ ජන දිවිය හා ස්වාභාවික සම්පත් වැනසීමේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සැලැසුම

සුනිත්‍ය බලශක්ති අධිකාරිය, විදුලිබල මණ්ඩලය හා ආසියානු සංවර්ධන බැංකුව එක් ව සකස් කළ සැලැසුම්වලින් මන්නාරම දූපතේ ජනතාව හා ජෛව ප්‍රජාව දැවැන්ත අනතුරක

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ආසියානු සංවර්ධන බැංකුව එක් ව සකස් කළ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සැලැසුම් හේතුවෙන් අද වන විට මන්නාරම දූපතේ ජනතාව හා එහි ජෛව ප්‍රජාව දැවැන්ත අනතුරකට මුහුණ දී ඇති බව අප විසින් සිදු කළ අධ්‍යයන මගින් අනාවරණය වී තිබේ. මෙම ආයතන විසින් සකස් කළ සියලූ ම සුළං විදුලි බලාගාර සැලැසුම් බලශක්ති නිෂ්පාදනය ඉලක්ක ගත කර ගෙන සිදු කළ අධ්‍යයනයන් මත පමණක් කේන්ද්‍රගත වී ඇත. එහි දී මන්නාරම දූපතේ ජීවත් වන ජනතාව ගේ අනාගත පැවැත්ම හෝ ජෛව ප්‍රජාව ගේ පැවැත්ම මෙන් ම මන්නාරම දූපතේ භූමි භාවිත ස්වභාවය හෝ එහි වර්තමාන ජාතික සැලැසුම්වල ස්වභාවය පිළිබඳ ව කිසිදු අවධානයක් යොමු කර නොමැත.

ආසියානු සංවර්ධන බැංකුව විසින් මන්නාරම දූපත හරිත බලශක්තියේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට අවශ්‍ය පර්යේෂණ වාර්තා සකස් කර ඇත්තේ ණය ආධාර ලබා දීම ප්‍රමුඛ කාර්යය බවට පත් කර ගෙන ය. එපමණක් නොව සමාගම්වලට මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා ආයොජනවලට ඇති අවස්ථා විවර කර දීම ද මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. එහි දී සුනිත්‍ය බලශක්තිය සඳහා යොමු වීමේ දී සාධාරණ සංක්‍රාන්තිය (Just Transition) නම් මූලධර්මය පිළිබඳ ව ආසියානු සංවර්ධන බැංකුව කිසිදු අවධානයක් යොමු කර නොමැති වීම විශාල අඩුපාඩුවකි. මේ නිසා මන්නාරම දූපත සුළං විදුලි බලාගාර මගින් සුනිත්‍ය බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීමේ දී එහි ජීවත් වන ධීවර ජනතාවට, ධීවර සම්පත්වලට, ගොවි ජනතාවට, වගා බිම්වලට මෙන් ම එහි ස්වාභාවික පද්ධතිවලට එල්ලවන බලපෑම් පිළිබඳ ව අවධානය යොමු කර නොමැත. එපමණක් නොව මන්නාරම දූපතේ ජෛව ප්‍රජාව මත බැදුණු ජාත්‍යන්තර සම්මුතීන් කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකර ආසියානු සංවර්ධන බැංකුව විසින් මන්නාරම දූපත සුනිත්‍ය බලශක්තියේ කේන්ද්‍රය බවට පත් කිරීමේ සැලැසුම් සකස් කර තිබේ.

සුනිත්‍ය බලශක්තිය හා බැඳුණු සාධාරණ සංක්‍රාන්ති මූලධර්මය උල්ලංඝනය කිරීම

සුනිත්‍ය බලශක්තිය හා බැඳුණු සාධාරණ සංක්‍රාන්තිය යනු සුනිත්‍ය බලශක්තිය සඳහා පරිවර්තනය වීමේ දී ආර්ථික වශයෙන් බලපෑමට ලක් වන, අවතැන් වන හා අයිතිවාසිකම් අහිමි වීමට ලක් වන ප්‍රජාවන් කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් සාධාරණත්වය හා යුක්තිසහගත බව සහතික කිරීම මෙන් ම අසමානතා හා සෘණාත්මක බලපෑම් ඇති වීම වැළැක්වීමයි. එපමණක් නොව ඒ සඳහා තීරණ ගැනීමේ යාන්ත්‍රණයේ කේන්ද්‍රයේ බලපෑමට ලක් වන සියලූ ම පාර්ශවයන් නියොජනය විය යුතු ය.

මෙය පැරිස් ගිවිසුමේ සඳහන් සංකල්පයකි. 2015 දෙසැම්බර් 12 දින ප්‍රංශයේ පැරිස් නුවර පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවන් ගේ 21 වන සමුළුවේ දී සාමාජික රටවල් 196 ක් විසින් සම්මත කරන ලද දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම 2016 සැප්තැම්බර් 21 වන දින අපරානුමත කළ රටක් ලෙස ශ්‍රී ලංකාව එහි විශේෂයෙන් සඳහන් මෙම සාධාරණ සංක්‍රාන්තිය නම් සංකල්පයීය මූලධර්මය පිළිබඳ ව විශේෂ අවධානය යොමු කළ යුතු ය.

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවන් ගේ 26 වන සමුළුවේ දී පැරිස් ගිවිසුමට අනුකූල ව සාධාරණ සංක්‍රාන්තියට අදාළ පොදු මූලධර්ම මාලාවක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව දේශගුණික විපර්යාස අවම කිරීම සහ සාධාරණ සංක්‍රාන්තිය යන මූලධර්මය ආරක්ෂා කිරීමට ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු බහුපාර්ශ්වික සංවර්ධන බැංකු පොරොන්දු වී ඇත.

නමුත් ශ්‍රී ලංකාව සුනිත්‍ය බලශක්තිය සඳහා යොමු වීමේ දී සුනිත්‍ය බලශක්ති අධිකාරිය හෝ විදුලිබල මණ්ඩලය මේ පිළිබඳ ව අවධානය යොමු කරන බවක් පෙනෙන්නට නොමැත. එපමණක් නොව මන්නාරම දූපත සුනිත්‍ය බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ණය ආධාර ලබා දීමේ දී ද මේ පිළිබඳ ව අවධානය යොමු කර නොමැත. මේ නිසා වර්තමානයේ මන්නාරම් දූපත් වැසියන් ගැටළු ගණනාවකට මුහුණ දෙමින් සිටී.

මන්නාරම දූපතේ ජන දිවිය හා ස්වාභාවික සම්පත් වැනසීමේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සැලැසුම

සුනිත්‍ය බලශක්ති අධිකාරිය මන්නාරම දූපත බලශක්ති සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ව එහි ජනදිවියට බලපෑම් ඇති වන සුළං විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ආයොජකයන් ගේ අවධානය යොමු විය. 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනතේ 12(1) උප වගන්තියට අනුව ප්‍රකාශිත 2014 අප්‍රේල් මස 17 වන දින අංක 1858/2 දරන ගැසට් නිවේදනය මගින් මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම නගර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මන්නාරම දූපතේ වර්ග කිලෝමීටර 76.11 ක් බලශක්ති සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මන්නාරම දූපතේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 143.21 ක් පමණ වන අතර ඒ අනුව බලශක්ති සංවර්ධන ප්‍රදේශයක් ලෙස දූපතේ සමස්ත භූමියෙන් සියයට 53 ක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ ආකාරයෙන් මන්නාරම දූපත බලශක්ති සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ දී සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම දූපත පිළිබඳ බොහෝ කරුණු අතහැර දමා තිබේ. මන්නාරම දූපතේ ජනගහනය 66087 ක් පමණ වේ. පවුල් 17835 කට වැඩි ප්‍රමාණයක් මෙහි ජීවත් වන අතර නිවාස ඒකක 12840 ක් පමණ වේ. දූපත් වැසියන් වැඩි ප්‍රමාණයක් ධීවර කර්මාන්තයේ යෙදන අතර කෘෂිකර්මාන්තයේ හා ධීවර කර්මාන්තය යන දෙකෙහි ම නිරත වන විශාල පිරිසක් වෙයි. උතුරු පළාතේ දෙවන විශාල ම ධීවර කර්මාන්තය සිදු කරන ප්‍රදේශය ලෙස මන්නාරම දූපත සැලකේ. එහි වාර්ෂික සාමාන්‍ය මත්ස්‍ය අස්වැන්න මෙටි්‍රක් ටොන් 17500 ක් පමණ වේ.

මන්නාරම දූපතේ ජනදිවියට අමතර ව ඒ හා බැඳුණු ස්වාභාවික පරිසර පද්ධති බොහොමයක් වේ. කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම්, කටුපදුරු සහිත ලදු කැලෑ, වෙරළබඩ ශාක ප්‍රජාව හා වැලි කදු වැනි ස්වාභාවික පරිසර පද්ධති බොහොමයක් මෙම දූපතේ දැක ගත හැකි ය. එම ස්වාභාවික පරිසර පද්ධති වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ආරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එහි දී මන්නාරම දූපත හා සම්බන්ධ නොගැඹුරු මුහුදු තීරයේ මුහුදු තෘණ බිම්, මඩතැනි, කොරල්පර, වැලිපර හා ගල්පර පරිසර පද්ධති ආරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මන්නාරම දූපතේ ගිනිකොන මායිම ආශ්‍රිත ව විහිදී ඇති ලවණ වගුරු බිම් හා කඩොලාන පරිසර පද්ධති වාංකාලේ අභය භූමිය ලෙස ප්‍රකාශයට පත් කර ආරක්ෂිත තත්ත්වයට පත් කර තිබේ. වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) උප වගන්තියට අනුව 2008 සැප්තැම්බර් 8 වන දින අංක 1566/3 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 4839 ක් වන මෙම අභය භූමිය ප්‍රකාශයට පත් කර ඇත. මෙම තෙත් බිම් අභය භූමියේ ඇති පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම් හේතුවෙන් 1971 පෙබරවාරි 2 වන දින සම්මත කර ගැනුනු, 1990 ජුනි 15 වන දින ශ්‍රී ලංකාව පාර්ශවකරුවකු වූ අන්තර්ජාතික ව වැදගත් තෙත් බිම් හා ජලජ පක්ෂීන් ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා වන රැම්සාර් සම්මුතියට අනුව 2010 ජූලි මස 10 වන දින හෙක්ටයාර 4839 ක් වන වාන්කාලේ අභය භූමිය ජාත්‍යන්තර ව වැදගත් වන මෙරට 4 වන රැම්සාර් තෙත් බිම ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එම අභය භූමිය හා සම්බන්ධ මන්නාරම දූපතේ කලපු හා විශාල නොගැඹුරු සාගරික ප්‍රදේශයක් වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(1) උප වගන්තියට අනුව 2016 මාර්තු මස 1 වන දින අංක 1956/13 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 29180 ක් වන වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මීට අමතර ව මන්නාරම දූපතේ වයඹ දිග කෙළවරේ පිහිටි කඩොලාන, ලවණ වගුරු බිම්, කටු පදුරු සහිත ලදු කැලෑ, වැලි කදු හා නොගැඹුරු මුහුදු තීරයේ විශාල ප්‍රදේශයක් වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) උප වගන්තියට අනුව 2015 ජුනි මස 22 වන දින අංක 1920/03 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 18990 ක් වන ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික වනෝද්‍යානය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මෙම සමුද්‍රීය ජාතික වනෝද්‍යානය හා ස්වභාව රක්ෂිතය ප්‍රකාශයට පත් කර ඇත්තේ 2014 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන හා පරිසර වැඩසටහන්වල මූල්‍යමය ආධාර යටතේ උතුරු පළාත සඳහා සකස් කළ ඒකාබද්ධ උපායමාර්ගික පරිසර තක්සේරු වාර්තාව (Integrated Strategic Environmental Assessment the Northern Province of Sri Lanka) පදනම් කර ගෙන ය.

ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලැසුම් දෙපාර්තමේන්තුව මගින් 2019 වසරේ ප්‍රකාශිත Land Use and Land Cover of Sri Lanka වාර්තාවට අනුව මන්නාරම දූපතේ හෙක්ටයාර 914 ක් පුරා පැතිරුණු ලවණ වගුරු බිම් හා හෙක්ටයාර 25 ක් පුරා පැතිරුණු කඩොලාන වනාන්තර පිහිටා තිබේ. මීට අමතර ව කටු පදුරු සහිත ලදු කැලෑ වනාන්තර හෙක්ටයාර 1050 ක් පමණ වේ. මේ අතුරින් ලවණ වගුරු බිම් හා කඩොලාන වනාන්තර ප්‍රදේශ නොගැඹුරු මුහුදු තීරයේ ජීවත්වන මත්ස්‍යයන්, කකුළුවන් හා ඉස්සන් විශේෂවල බෝවීමේ ප්‍රදේශ වේ. මෙම පරිසර පද්ධති මත ධීවර ජනතාව ගේ ජනදිවිය හා ධීවර කර්මාන්තය රැදී පවතී.

මන්නාරම දූපත වටා වෙරළ තීරයේ මාදැල් ධීවර තොටුපොළවල් 20 ක් පමණ පිහිටා තිබේ. මේ සියල්ල ධීවර හා ජලජ සම්පත් පනත මගින් ප්‍රකාශිත තොටුපොළවල් වේ. බලශක්ති සංවර්ධන ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමේ දී මේ පිළිබඳ ව අවධානය යොමු කර නොමැත.

ධීවර කර්මාන්තයට අමතර ව කෘෂි කර්මාන්තය ද මෙම දූපත තුළ සිදු කෙරේ. එලවලු, රටකජු, ලූණු ඇතුළු ව කෙටිකාලීන බෝග වගාව මෙම දූපත තුළ බහුල ව සිදු වේ. ඊට අමතර ව තල් කර්මාන්තය ආශ්‍රිත රැකියා බොහොමයක මෙම දූපත්වාසීන් නිරත ව සිටී.

මේ ආකාරයෙන් ජනදිවිය ගොඩනගා ගෙන ඇති මන්නාරම දූපත්වාසීන්ට සැලැසුම්සහගත ආර්ථිකයක් අත් කර දීම සඳහා දීර්ඝකාලීන සැලැසුම් කිහිපයක් සකස් කර තිබේ. ඒ සඳහා 1978 අංක 41 දරන සංශෝධිත නාගරික සංවර්ධන පනතට අනුව 1993 මාර්තු මස 22 වන දින අංක 759/1 දරන ගැසට් නිවේදනය මගින් සමස්ත මන්නාරම දූපත ම නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මෙම පනතේ 8(අ) උප වගන්තියට අනුව 2021 – 2030 මන්නාරම සංවර්ධන සැලැස්ම සකස් කර ඇති අතර එම සැලැසුම 2021 ජූලි 13 වන දින අංක 2236/24 දරන ගැසට් නිවේදනය මගින් අනුමත සැලැසුමක් ලෙස ප්‍රසිද්ධ කර තිබේ. මෙම සැලැසුමට අනුව මන්නාරම දූපත කලාපීකරණයට ලක් කර දකුණු වෙරළ තීරය සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති සඳහාත්, උතුරු වෙරළ තීරය ධීවර කර්මාන්තය සංවර්ධනය සඳහාත් වෙන් කර ඇත.

මේ ආකාරයෙන් බහුවිද භාවිතයන් සහිත, ජනතාව ගේ අනාගත ආර්ථික සංවර්ධනය ගොඩනැගීම සඳහා වූ අනුමත සැලැසුම් සහිත දූපතක විශාල භූමි ප්‍රදේශයක් සුළං විදුලි බලාගාර ඉදි කිරීම සඳහා යොදා ගැනීමෙන් එහි ස්වාභාවික පද්ධතීන් සහ ඒ හා බැදී ඇති ජනදිවිය බිඳ වැටීමට ලක් වන බව පමණක් නොව ජනතාව ගේ ආර්ථික දියුණුව මත පදනම් වූ සංවර්ධන සැලැසුම් බිඳ වැටීමෙන් දරිද්‍රතාව වර්ධනය වන බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය අවබෝධ කර ගෙන නොමැති වීම කනගාටුවට කරුණකි. සුළං විදුලි බලාගාර මගින් බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම ඉතා ම නිවැරදි ක්‍රමවේදයක් බව මුළුමහත් සමාජය ම දන්නා කරුණකි. නමුත් ඒ සඳහා යොමු වීමේ දී සමස්ත පද්ධතියක් හානි කර බලපෑමට ලක් වන්නේ නම් එම සුනිත්‍ය බලශක්ති උත්පාදනයෙන් ප්‍රයොජනයක් නොමැති බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය අවබෝධ කර ගෙන නොමැත. මේ නිසා එම අධිකාරියේ මෙම හානිකර සුනිත්‍ය බලශක්ති උත්පාදන සැලැසුම් හේතුවෙන් මන්නාරම දූපත්වාසීන්ට හා එහි ජෛව ප්‍රජාවට අහිතකර ප්‍රතිඵල අත්විදින්නට සිදු වී ඇත.

ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කර මන්නාරම දූපතේ ජනදිවිය හා ජෛව දිවිය වැනසූ ආසියානු සංවර්ධන බැංකුවේ සැලැසුම්

ආසියානු සංවර්ධන බැංකුවේ හරිත බලශක්කි සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන (Green Power Development and Energy Efficiency Improvement Investment Program) යටතේ 2012 වසරේ දී සකස් කළ මන්නාරම දූපතේ යෝජිත සුළං උද්‍යානය (Proposed Wind Park in Mannar Area) සඳහා වන වාර්තාව මගින් සමස්ත මන්නාරම දූපත පුරා ම සුළං විදුලි බලාගාර ඉදි කර මෙගාවොට් 375 ක විදුලිබල ධාරිතාවක් උත්පාදනය කළ හැකි බව අනාවරණය කෙරින. මෙම වාර්තාව මත පදනම් ව මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ මෙගාවොට් 100 ක ධාරිතාවයෙන් යුත් “තම්බපවනී” සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදි කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 157 ක ණය මුදල් ලබා දීම සඳහා 2017 වසරේ දී සකස් කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවේ ද මන්නාරම දූපතේ මෙගාවොට් 375 ක සුළං විදුලි බලාගාර ඉදි කිරීමේ ශක්‍යතාවය පිළිබඳ ව අවධාරණය කර ඇත.

මෙම වාර්තා සැකසීමේ දී ආසියානු සංවර්ධන බැංකුව ජාත්‍යන්තර සම්මුතීන් ගණනාවක් උල්ලංඝනය කර තිබේ. 1971 පෙබරවාරි 2 වන දින සම්මත කළ අන්තර්ජාතික ව වැදගත් තෙත් බිම් හා ජලජ පක්ෂීන් ආරක්ෂා කිරීමේ රැම්සාර් සම්මුතිය, 1979 ජුනි 23 වන දින සම්මත කළ සංක්‍රමණික සත්ත්ව විශේෂ ආරක්ෂා කිරීමේ බොන් සම්මුතිය හා 2015 දෙසැම්බර් මස 12 වන දින සම්මත කළ දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම යන ජාත්‍යන්තර සම්මුතීන් තුන ම උල්ලංඝනය කර තිබේ. එපමණක් නොව ජාත්‍යන්තර නීති මූලධර්මයක් වන නිවාරණ මූලධර්මය නැතහොත් පූර්ව ආරක්ෂණ මූලධර්මය (Precautionary Principle) පිළිබඳ ව අවධානය යොමු කර නොමැත.

ආසියානු සංවර්ධන බැංකුවේ මූලික අධ්‍යයනයන්, ශක්‍යාතා අධ්‍යයනයන් හා ණය ආධාර මත ක්‍රියාත්මක කළ “තම්බපවනී” සුළං විදුලි බලාගාරයෙන් නිපදවන විදුලි බලය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමේ අධිබලැති විදුලි රැහැන් පද්ධතිය සකස් කර ඇත්තේ ද ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාවන්ට අනුව වාංකාලේ ජාත්‍යන්තර රැම්සාර තෙත් බිම හරහා ය.

වාංකාලේ අභය භුමිය සහ ඒ හා සම්බන්ධ මන්නාරම දූපතේ ගිනිකොණ දිග ප්‍රදේශයේ පිහිටි වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය යන ප්‍රධාන තෙත් බිම් පද්ධති දෙකෙහි හා මන්නාරම දූපතේ සමස්ත තෙත් බිම් පද්ධතිවල වෙරළාශ්‍රිත සංක්‍රමණික තෙත් බිම් පක්ෂීන් (Shorebirds) මිලියන 2 ක් පමණ වාර්තා වන බව ලංකා කුරුලු සංගමය මගින් 1983 වසරේ සිට මේ දක්වා සිදු කර ඇති අධ්‍යයන වාර්තා අනුව පෙනී යයි.

ජාත්‍යන්තර තෙත්බිම් සංවිධානය (Wetland International) මගින් 2009 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද ‘’Status of Waterbirds in Asia, Results of the Asian Waterbirds Census, 1987-2007”වාර්තාවට අනුව මෙරට වැඩි ම තෙත්බිම් පක්ෂීන් ප්‍රමාණයක් වාර්තා වන ප්‍රදේශ අතුරින් ප්‍රධාන ස්ථානයක් ලෙස මන්නාරම දූපත හඳුනා ගෙන තිබේ.
එපමණක් නොව උතුරු සයිබීරියාවේ සිට මිලියන ගණනක් ශීත සෘතු සංක්‍රමණික පක්ෂීන් මධ්‍යම ආසියානු පක්ෂි සංක්‍රමණික මාර්ගය (Central Asian Flyway) ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඒ අතුරෙන් විශාල පක්ෂි ගහනයක් මෙරටට ඇතුළු වන්නේ මන්නාරම දූපත ඔස්සේ ය. එය අඛණ්ඩ පියාසැරියක යෙදෙන මෙම සංක්‍රමණික පක්ෂීන් ගේ පළමු නවාතැන්පොල වේ. මෙවන් වූ සුවිශේෂී දූපතක සුළං විදුලි බලාගාර පද්ධතියක් ඉදි කිරීමෙන් මෙම සංක්‍රමණික පක්ෂීන් ගේ ගමන් මාර්ග සම්පූර්ණයෙන් ම අවහිර කිරීම හා එම පක්ෂීන් ගේ ගොදුරු බිම් හායනයට ලක්වීම හේතුවෙන් වසර මිලියන ගණනක් උත්තරාධ්‍ර ගෝලයේ සිට දක්ෂිණාධ්‍ර ගෝලය දක්වා ශීත සෘතු ව මඟ හැරීම සඳහා සංක්‍රමණය වූ මෙම පක්ෂීන්ට ඉතා කෙටි කාල සීමාවක් තුළ සුළං බලාගාර මගින් නිජබිම් අහිමි කර ඇත. එවන් දැවැන්ත විනාශකාරී සැලැසුමක් සකස් කර ක්‍රියාත්මක කළ වගකීමෙන් සහ අන්තර්ජාතික ව වැදගත් තෙත් බිම් හා ජලජ පක්ෂීන් ආරක්ෂා කිරීමේ රැම්සාර් සම්මුතිය උල්ලංඝනය කිරීමේ වගකීමෙන් ආසියානු සංවර්ධන බැංකුවට නිදහස් විය නොහැකි ය.

මීට අමතර ව මන්නාරම දූපත වටා වෙරළ තීරයේ ලෝකයේ ජීවත් වන මුහුදු කැස්බෑ විශේෂ අට අතුරෙන් විශේෂ තුනක් ම බිජුලන ප්‍රදේශයකි. එනම් ගල් කැස්බෑවා (Chelonia mydas), පොතු කැස්බෑවා (Eretmochelys imbricata) හා බටු කැස්බෑවා (Lepidochelys olivacea) ය. මෙම දූපතේ දකුණු වෙරළ තීරයේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ කිලෝමීටර 12.5 ක වෙරළ තීරය දිගේ ඉදි කර ඇති “තම්බපවනී” බලාගාර ව්‍යාපෘතිය නිසා මෙම වෙරළ තීරයට බිජු දැමීමට පැමිණෙන වාර්තා ගත කැස්බෑවුන් ප්‍රමාණය සීඝ්‍ර අඩු වීමකට ලක් වී ඇත. ඒ සඳහා හේතු කිහිපයක් බලපා ඇති බව අප ගේ අධ්‍යයන මගින් අනාවරණය වී තිබේ. රාත්‍රි කලය පුරා අඛණ්ඩ ව පවතින සුළං ටර්බයිනවල ශබ්දය හා මෙම ප්‍රදේශය ආලෝකකරණයට ලක් කර තිබීම, මෙන් ම වෙරළ සීමාව දිගේ සුළං ටර්බයින වෙත පිවිසීම සඳහා සකස් කර ඇති කිලෝමීටර 14 ක් පමණ දිග මාර්ගය හේතුවෙන් කැස්බෑවුන් ගේ බිජුලන ප්‍රදේශ අවහිර වීම හා ඛණ්ඩනය වීම සිදු වී ඇත. මේ තත්ත්වයන් හේතුවෙන් කැස්බෑවුන් මෙම වෙරළ තීරය බිජුලෑම සඳහා භාවිත නොකරන තත්ත්වයකට පරිවර්තනය වී තිබේ.

ශීත සෘතු ව මඟ හැරීම සඳහා සංක්‍රමණය වන පක්ෂීන්ට මෙන් ම බිජුලෑම සඳහා සංක්‍රමණය වන කැස්බෑවුන්ට වාසස්ථාන අහිමි කිරීමට හේතු වූ සුළං විදුලි බලාගාර ඉදිකිරීමේ සැලැසුම සකස් කිරීමෙන් හා ක්‍රියාත්මක කිරීම සඳහා ණය ආධාර ලබා දීමෙන්, සංක්‍රමණික සත්ත්ව විශේෂ ආරක්ෂා කිරීමේ බොන් සම්මුතිය ආසියානු සංවර්ධන බැංකුව උල්ලංඝනය කර ඇත.

’‘තම්බපවනී” සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී සුළං ටර්බයින හා ඒවා සම්බන්ධ කරන මාර්ග පද්ධතිය ඉදි කිරීම සඳහා ලවණ වගුරු බිම්, කඩොලාන වලින් සමන්විත කලපු මෙන් ම මේවා සාගරය හා සම්බන්ධ කරන ඇළ මාර්ග 26 ක් ගොඩ කිරීම හා අවහිර කිරීම සිදු කර ඇත. මේ හේතුවෙන් ඊසානදිග මෝසම් සුළං මගින් මන්නාරම දූපතට වැඩි වර්ෂාපතනයක් ලැබෙන දෙසැම්බර්, ජනවාරි හා පෙබරවාරි මාසවල වැසි ජලය ඇළ මාර්ග හා කලපු ඔස්සේ ස්වාභාවික ව ගලා යාම අවහිර කිරීම හේතුවෙන් ඒ ආශ්‍රිත ගම්මාන සම්පූර්ණයෙන් ම ජලයෙන් යට වීම සිදු වේ. පසුගිය වසර කිහිපය තුළ ම ධීවර පවුල් 400 කට වැඩි ප්‍රමාණයක් අඛණ්ඩ ජල ගැලීම්වලින් පීඩාවට පත් වී ඇත. මෙම දූපත්වාසී ජනතාව ළිං භාවිතයෙන් පානීය ජලය ඇතුළු දෛනික ජල අවශ්‍යතාවන් සපුරා ගනී. එම ළිං ගංවතුරට යට වූ පසු ව නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමය විශාල පිරිවැයක් දැරීමට සිදු වේ. මෙවන් පීඩාකාරී තත්ත්වයන්ට අමතර ව සුළං බලාගාර හේතුවෙන් මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ ධීවර කටයුතුවල නිරත වීමට ද ධීවර ජනතාවට විවිධ බාධා එල්ල වෙමින් තිබෙන බව ද අප ගේ අධ්‍යයනවල දී අනාවරණය වී තිබේ.

ඒ අනුව “තම්බපවනී” සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියයෙන් මන්නාරම දූපතේ ජනතාව ගේ නිදහස් දිවි පැවැත්මට, අභිමත ස්ථානයක වාසය කිරීමට මෙන් ම බලපෑමකින් තොර ව ජීවන වෘත්තියක නිරත වීමට ඇති අවස්ථා ව අහිමි කර ඇත. එය දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමේ සඳහන් සාධාරණ සංක්‍රාන්තිය යන මූලධර්මය උල්ලංඝනය කිරීමකි. මෙම වගකීමෙන් ද ආසියානු සංවර්ධන බැංකුවට නිදහස් විය නොහැකි ය.

“තම්බපවනී” ව්‍යාපෘතිය හේතුවෙන් සංක්‍රමණික පක්ෂීන් ගේ සංක්‍රමණික මාර්ග අවහිර වීම, වෙරළාශ්‍රිත තෙත්බිම් පක්ෂීන් ගේ ගොදුරු බිම් බලපෑමට ලක් වීම මෙන් ම දූපත්වාසී ජනතාව ගේ ජනදිවියට හානි කර බලපෑම් ඇති වීම යන කරුණු පිළිබඳ ව පූර්ව ඇඟයීමක් සිදු කිරීම ආසියානු සංවර්ධන බැංකුවෙන් සකස් කළ සුළං බලාගාර පිළිබඳ ශක්‍යතා ඇඟයීම්වල දී මඟ හැර ඇත. පරිසරයේ අඛණ්ඩ තුළිත පැවැත්මට බලපෑම් ඇති විය හැකි ඕනෑ ම සංවර්ධන ක්‍රියාවලියකින් සිදු වන අහිතකර බලපෑම් පුරෝකථනය කර ඒ සඳහා විකල්ප හෝ හානි අවම ක්‍රමවේද හෝ හානිපූරණ ක්‍රමවේද සකස් කිරීමට නිවාරණ මූලධර්මය වැදගත් වේ. මෙම මූලධර්මය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පරිසරය හා සංවර්ධනය පිළිබඳ ව 1992 වසරේ දී පැවති රියෝ සමුළුවේ, රියෝ ප්‍රකාශනයේ 15 වන මූලධර්මය ලෙස අර්ථ නිරූපණය කර ඇත.

එහි සඳහන් වන්නේ ඉතා හානි කර හෝ හානිපූරණය නොවන බලපෑම් ඇති වන අවස්ථාවක දී පරිසර හානිය වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කිරීම, ප්‍රාග්ධනය නොමැති වීම හෝ පූර්ණ විද්‍යාත්මක විනිශ්චයන් නොමැති වීම හා තොරතුරුවල අඩුපාඩු යන කරුණු මත කිසිදු හානි අවම කිරීමේ ක්‍රියාමාර්ගයක් මඟ නොහැරිය යුතු බව ය. මෙම මූලධර්මය පුළුල් පරාසයක අර්ථකතනයකට ලක් කර ඇත්තේ 1998 වසරේ දී නිවාරණ මූලධර්මය හා සම්බන්ධ වින්ග්ස්ප්‍රේඩ් සමුළුවේ දී ය. එම අර්ථකතනයට අනුව යම් ක්‍රියාකාරකමක් මිනිස් සෞඛ්‍යයට හෝ පරිසරයට හානි කිරීමේ තර්ජන මතු කරන විට, යම් හේතුවක් හා ඵලදායී සම්බන්ධතා විද්‍යාත්මක ව සම්පූර්ණයෙන් ස්ථාපිත කර නොතිබුණ ද පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතු බව ය. මෙම සංදර්භය තුළ යම් ක්‍රියාකාරකමක් ඉදිරිපත් කරන්නා මහජනයාට වඩා ඔප්පු කිරීමේ භාරය දැරිය යුතු වේ. නිවාරණ මූලධර්මය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය විවෘත, දැනුම්වත් සහ ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු අතර බලපෑමට ලක් විය හැකි පාර්ශවයන් ද ඒ සඳහා ඇතුළත් විය යුතු ය. යම් ක්‍රියාමාර්ගයක් සඳහා පූර්ණ පරාසයක විකල්ප පරීක්ෂා කිරීම ද ඊට ඇතුළත් විය යුතු වෙයි. මෙය මඟ හැරීම මගින් ස්වාභාවික පද්ධතීන් ගේ පැවැත්ම හා ජනතාව ගේ ජීවන පැවැත්ම අනතුරට ලක් කිරීමෙන් ආසියානු සංවර්ධන බැංකුව සිදු කර ඇත්තේ ඓතිහාසික වැරැද්දකි.

1966 වසරේ සිට මෙරටට ණය ලබා දෙමින් ක්‍රියාත්මක වන ආසියානු සංවර්ධන බැංකුව ආරම්භයේ සිට 2024 වසර අවසානය දක්වා ඩොලර් බිලියන 12.7 ක් පමණ වන ණය ප්‍රමාණයක් ව්‍යාපෘති 522 ක් සඳහා ලබා දී ඇති ආයතනයක් වශයෙන් හා බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති 57 ක් සඳහා ණය ලබා දී ඇති සංවර්ධන බැංකුවක් ලෙස ශ්‍රී ලංකාවේ අනාගත පැවැත්ම පිළිබඳ සුවිශේෂී වගකීමක් ආසියානු සංවර්ධන බැංකුවට ඇත. මොවුන්ට මෙවන් වැරදි රටේ ජනතාව ගේ හා ස්වාභාවික සම්පත්වල අනාගත පැවැත්ම විනාශ කිරීම සඳහා සිදු කළ නොහැක. ඊට හේතුව මෙරට ජනතාව ගේ ශ්‍රමය, බදු මුදල් හා ස්වාභාවික සම්පත්වල පැවැත්ම මත ආසියානු සංවර්ධන බැංකුවේ තිරසර පැවැත්ම රදා පවතින නිසා ය.

ආසියානු සංවර්ධන බැංකුවේ සැලැසුම් මත මන්නාරම දූපතේ ජනදිවිය සුළං බලාගාරවලට යට කිරීම

ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික මඟපෙන්වීම මත මන්නාරම දූපතේ පළමු සුළං බලාගාර ව්‍යාපෘතිය සඳහා වන පරිසර බලපෑම් තක්සේරු වාර්තාව 2017 වසරේ දී මහජන අදහස් සඳහා විවෘත කෙරින. එම සැලැසුමට අනුව මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ සුළං ටර්බයින 56 ක් ස්ථාපිත කිරීමට නියමිත විය. නමුත් ලංකා කුරුලු සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධානවල හා ප්‍රදේශවාසීන් ගේ බලපෑම් ක්‍රියාවලිය මෙන් ම තාක්ෂණික අදහස් දැක්වීම මත තෝඩ්ඩවේලි සිට පලාවි දක්වා කිලෝමීටර 12.5 ක් පමණ දිග වෙරළ තීරයේ, වෙරළ ඉමේ සිට මීටර 150 ත් 160 ත් අතර දුරින් මෙගාවොට් 3.45 ක විදුලිබල ධාරිතාවයකින් යුත් සුළං ටර්බයින 30 ක් මගින් මෙගාවොට් 103.5 ක විදුලි ධාරිතාවක් නිපදවීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරින. එය මන්නාරම දූපතේ තොඩ්ඩවේලි, තුල්ලුකුඩුයිරුප්පු හා කඩ්ඩකරන්ඩියිරුප්පු යන ග්‍රාම නිලධාරී වසම් තුළ ඉදි කර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා වන ණය ගිවිසුම 2017 නොවැම්බර් මස 22 වන දින ආසියානු සංවර්ධන බැංකුව සමඟ අත්සන් තැබින. ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය පළමු සැලැසුම්වලට වඩා වැඩි මුදලක් වන ඩොලර් මිලියන 256.7 අතරින් ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ඉතිරි ඩොලර් මිලියන 56.7 ක මුදල විදුලි බල මණ්ඩලයෙන් ලබා දෙමින් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු කෙරින. ඒ අනුව 2020 දෙසැම්බර් මස 08 වන දින “තම්බපවනි” ලෙස නම් කළ මෙම ව්‍යාපෘතිය විවෘත කෙරින. මෙම ව්‍යාපෘතිය සඳහා සුළං ටර්බයින සැපයීම ඩෙන්මාර්ක් සුළං ටර්බයින නිෂ්පාදන සමාගමක් වන වෙස්ටාස් සමාගම විසින් සිදු විය.

එක් සුළං ටර්බයිනයක් ස්ථාපිත කිරීම සඳහා අක්කර 1.5 ක් පමණ භූමියක් භාවිතයට ගනු ලබන බව පළමු ව ජනතාව දැනුම්වත් කර තිබූ නමුත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අවස්ථාවේ දී එක් ටර්බයිනයක් ස්ථාපිත කිරීමට අක්කර 6 ක භූමියක් අත්පත් කර ගෙන ඇත. මෙම ටර්බයිනවලට පිවිසීමට කිලෝමීටර 14ක් පමණ දිග ප්‍රධාන මාර්ගය ඉදි කිරීම සඳහා දූපතේ දකුණු වෙරළ තීරය දිගේ විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කර ගෙන ඇති අතර එම ඉදිකිරීම්වල දී කලපු පද්ධතිය සාගරය හා සම්බන්ධ වන ඇළ මාර්ග 26 ක් අවහිර කර ඇත. මේ නිසා වැසි ජලය බැස යාමේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ම අවහිර වීම නිසා ගංවතුර තර්ජන ඇති වීම පමණක් නොව නොගැඹුරු සාගරයේ සිට කලපු පද්ධතියට බිත්තර දැමීම සඳහා පැමිණෙන මත්ස්‍ය විශේෂ, කකුළුවන් හා ඉස්සන් විශේෂවල බෝවීමේ ක්‍රියාවලියට මේ හේතුවෙන් අහිතකර බලපෑම් එල්ල වී ඇත. දූපතේ සුළුපන්න ධීවර ජනතාව සඳහන් කරන පරිදි නොගැඹුරු මුහුදු තීරයේ මත්ස්‍යය අස්වැන්න මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇත.

සුළං ටර්බයින ඉදි කිරීම, මාර්ග පද්ධති සකස් කිරීම, විදුලි බලය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන අධිබලැති විදුලි රැහැන් පද්ධතිය ඉදි කිරීම සඳහා මන්නාරම දූපතේ දකුණු වෙරළ සීමාවේ විශාල ඉඩම් ප්‍රමාණයක් ජනතාවට අහිමි කර තිබේ. මේ නිසා ජනතාව ගේ වර්තමාන හා අනාගත ජනදිවියට බලපෑම් එල්ලවෙමින් තිබේ. මේ තත්ත්වය සැලැකිල්ලට නොගෙන ආසියානු සංවර්ධන බැංකුවේ සැලැසුම් මත තවත් ව්‍යාපෘති කිහිපයක් සඳහා පරිසර බලපෑම් තක්සේරු වාර්තා සකස් කර ඇත.

2022 ඔක්තොම්බර් මාසයේ දී “මන්නාරම සුළංබල ව්‍යාපෘතිය – අදියර 1 හි දිගුව” සඳහා වන පරිසර බලපෑම් තක්සේරු වාර්තාව මහජන අදහස් සඳහා විවෘත කෙරින. එම වාර්තාවට අනුව සුළං ටර්බයින 21 ක් ඉදි කිරීම සඳහා එක් ටර්බයිනයක් සඳහා අක්කර 6.63 ක් බැගින් අක්කර 139 ක් සහ මෙම ටර්බයින සම්බන්ධ කිරීම සඳහා කිලෝමීටර 11.5 ක මාර්ග ඉදි කිරීම සඳහා අක්කර 43 ක් වශයෙන් සම්පූර්ණ ඉඩම් අක්කර 182 ක් අත්පත් කර ගැනීමට නියමිත විය. මෙම ව්‍යාපෘතිය සඳහා මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ ගිනිකොණ තීරය මෙන් ම වෙරළ සීමාවේ සිට කිලෝමීටරයක් පමණ රට අභ්‍යන්තර කොටස භාවිත කිරීමට නියමිත ය.

ඉන් අනතුරුව 2024 වසරේ ජනවාරි මාසයේ දී “යෝජිත මෙගාවොට් 250 ක සුළං බලශක්ති ව්‍යාපෘතිය මන්නාරම අදියර 111” නමින් පරිසර බලපෑම් තක්සේරු වාර්තාව මහජන අදහස් සඳහා විවෘත කෙරින. එම වාර්තාවට අනුව සීමාසහිත අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගම විසින් ඩොලර් මිලියන 420 ක ආයෝජන ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට සූදානම් විය. මෙගාවොට් 5.2 බැගින් වූ සුළං ටර්බයින 52 ක් මගින් විදුලිය නිෂ්පාදනය කිරීමට සැලැසුම් කර තිබූ අතර මෙම ව්‍යාපෘතියේ ටර්බයින ස්ථාපිත කිරීම මන්නාරම දූපතේ මධ්‍යයේ හා උතුරු වෙරළ තීරයේ සිදු කිරීමට නියමිත විය. මෙම ව්‍යාපෘතියට අනුව එක් ටර්බයිනයක් ස්ථාපිත කිරීමට අක්කර 7 ක පමණ භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට නියමිත ය. ඒ අනුව මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා අක්කර 500 ක භූමියක් අත්පත් කර ගැනීමට යෝජිත විය. මෙම ව්‍යාපෘතියේ ආයෝජන සමාගම පසුගිය කාලය තුළ දැඩි ආන්දෝලනයකට ලක් වූ නමුත් එම ව්‍යාපෘති සැලැසුම තව ම ඉවත් කර නොමැත.

මේ අතරතුර සුළං ටර්බයින 4 ක් මගින් මෙගාවොට් 20 ක විදුලි ධාරිතාවක් නිපදවීම සඳහා වන ව්‍යාපෘතියක් මන්නාරම දූපතේ මේ වන විට ක්‍රියාත්මක වේ. ඒ සඳහා පසුගිය දිනවල ජනතාව ගේ දැඩි විරෝධයක් මතු වූයේ මෙම සුළං විදුලි බලාගාර මගින් මන්නාරම දූපතට සිදු වෙමින් බවතින දැවැන්ත බලපෑම හේතුවෙනි.

මෙම ව්‍යාපෘතිය රාජගිරිය, නාවල, ගල්පොත්ත පාරේ, අංක 66 දරන ස්ථානයේ පිහිටි ලීජ් කැපිටල් හෝල්ඩින් පුද්ගලික සමාගමේ (Liege Capital Holding Pvt Ltd) ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ. එය ක්‍රියාත්මක කරන්නේ මෙම සමාගම හා සම්බන්ධ Ceylex Renewables Pvt Ltd සමාගමේ Windscape Mannar නම් ව්‍යාපෘතිය ලෙස ය. ඒ සඳහා රුපියල් බිලියන 6.5 ක් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් හා කමර්ෂල් බැංකුවෙන් ණය වශයෙන් ලබා ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතියට අදාළ කැබිනට් අනුමැතීන්, පාරිසරික අනුමැතීන් පිළිබඳ ව කිසිදු කරුණක් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඒ පිළිබඳ වන තොරතුරු රාජ්‍ය ආයතන විසින් ලබා ගැනීමට ද නොහැකි වී තිබේ. නමුත් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් තිබේ.

කඩිනම් වන හේලීස් සමාගමේ නීති විරෝධී සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය

මේ අතරතුර මන්නාරම දූපතේ මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට හේලීස් ෆෙන්ටන්ස් සමාගම (Hayleys Fentons Limited) කඩිනමින් සූදානම් වේ. ඩොලර් මිලියන 50 ක ආයොජන ව්‍යාපෘතියක් බව සඳහන් කරමින් විදුලි ඒකකයක් ඩොලර් ශත 4.65 ක මුදලකට විදුලිබල මණ්ඩලය වෙත ලබා දීම සඳහා වන නිල ගිවිසුම 2025 මැයි 28 වන දින බලශක්ති අමාත්‍යංශයේ දී අත්සන් තැබූ බවත්, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025 ජනවාරි 06 වන දින රැස් වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවත් සඳහන් කරමින් අදාළ සමාගම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වේ. ඒ සඳහා හේලීස් ෆෙන්ටන්ස් සමාගම යටතේ පිහිට වූ නව සමාගමක් වන සීමාසහිත හේවින්ඩ් වන් සමාගම (HayWind One Limited) විසින් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට සූදානම් වේ. මෙය හේලීස් සමාගමේ (Hayleys PLC) පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධ ආයතනයකි. මෙම ව්‍යාපෘතිය සුළං ටර්බයින 10 කින් සමන්විත වන අතර ඉදිකිරීම් ආරම්භ කළ පසු මාස 18 ක් තුළ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සැලැසුම් කර ඇත. මෙම ව්‍යාපෘතියේ ටර්බයින ඉදි කිරීම සඳහා පමණක් මන්නාරම දූපතේ අක්කර 70 ක් පමණ අත්පත් කර ගැනීමට සිදු වේ. මීට අමතර ව පිවිසුම් මාර්ග සකස් කිරීම සඳහා ද තවත් අක්කර 30 කට වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට සිදු වනු ඇත.

නමුත් මෙම ව්‍යාපෘතියට අදාළ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ පාරිසරික අනුමැතියක් හෝ ප්‍රකාශයට පත් කර නොමැත. කැබිනට් තීරණවලට අදාළ වාර්තා පරීක්ෂා කිරීමේ දී ද එවන් අනුමැතියක් ලබා දී ඇති බවට සාදක නොමැත. එසේ තිබිය දී විදුලිබල මණ්ඩලය සමඟ අදාළ සමාගම විදුලි මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කර ඇත්තේ කුමන පදනමක් මත ද යන්න ගැටළුවකි. මේ අතරතුර පසුගිය අගෝස්තු මාසයේ දී ජනාධිපතිවරයා මන්නාරමේ ජනතා නියෝජිතයන් හා ආගමික නායකයන් සමඟ සුළං විදුලි බලාගාර ප්‍රශ්නය සාකච්ඡා කර බලාගාර ව්‍යාපෘතිය මසක් ප්‍රමාද කිරීම හා ගැටළු සමථයකට පත් කිරීමට උත්සාහ දැරීම මත මෙම ව්‍යාපෘතිය නීති විරෝධීව ක්‍රියාත්මක වන ස්වභාවයක් පෙනෙන්නට තිබේ. එපමණක් නොව නිවැරදි පාරිසරික ඇඟයීමක් හෝ අනුමැතියකින් තොරව ව ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන බවක් පෙනී යයි. මීට අමතර ව මෙම ව්‍යාපෘතියට අදාළ කැබිනට් අනුමැතිය ද ජනතාව ගෙන් වසං කිරීමට උත්සාහ දරන බවක් පෙනෙන්නට තිබේ. මේ සියලූ ම කරුණු මත පෙනී යන්නේ මෙම ව්‍යාපෘතිය ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ආරම්භ කිරීමට උත්සාහ දරන බව ය.

මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාර හා බැඳුණු නීති පද්ධතිය

මන්නාරම දූපත වටා විශාල වෙරළ කලාපක් පිහිටා තිබීම නිසා සුළං විදුලි බලාගාර ඉදි කිරීමේ දී 2011 අංක 49 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත ප්‍රධාන වශයෙන් වැදගත් වේ. මෙම පනතට අනුව වෙරළ කලාපය තුළ සුළං විදුලි බලාගාර ඉදි කිරීමේ දී වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය අත්‍යවශ්‍ය වේ. මෙම පනතට අනුව වෙරළ කලාපය යනු මධ්‍ය වඩදිය ඉමේ සිට ගොඩබිම දෙසට මීටර 300 ක සීමාවක් සහ මධ්‍ය බාදිය ඉමේ සිට මුහුද දෙසට කිලෝමීටර 2 කක සීමාවක් ඇතුළත ප්‍රදේශය අදහස් වන අතර ස්ථිර වශයෙන් හෝ කලින් කල මුහුදට සම්බන්ධ වූ ගංඟා, දිය පාරවල්, කලපු හෝ වෙනත් යම් ජලකඳක් සම්බන්ධයෙන් වන විට, ගොඩබිම් දෙසට වූ මායිම ඒවායේ ස්වාභාවික ඇතුළු වීමේ ලක්ෂය අතර අදින ලද සෘජු පාදක රේඛාවකට ලම්බක ව මනින ලද කිලෝමීටර 2 කක සීමාවකට ව්‍යාප්ත විය යුතු අතර එසේ මුහුදට සම්බන්ධ වූ ඒ ගංඟා, දිය පාරවල් සහ කලපු හෝ වෙනත් යම් ජලකඳක් සහ මායිම දිගේ ශුන්‍ය මධ්‍ය මුහුදු මට්ටමේ සිට ගොඩබිම දෙසට මීටර සියයකින් දීර්ඝ කළ වැඩිදුර සීමාවක් ඇතුළත් වේ.

මෙම පනතේ 14(1) උප වගන්තියට අනුව පනත යටතේ නිකුත් කරන ලද අවසර පත්‍රයක් යටතේ හැර වෙරළ කලාපය තුළ කිසිදු සංවර්ධන කාර්යයක නිරත නොවිය යුතු ය. 16(1) උප වගන්තියට අනුව 14(1) උප වගන්තියට යටතේ අවසර පත්‍ර නිකුත් කිරීම සඳහා පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට පිවිසීමට යොමු කිරීමේ බලය ඇත.
26අ වගන්තියට අනුව වෙරළ කලාපයට හෝ එහි සම්පත්වලට අලාභයක් හෝ හානියක් සිදු කරන්නා වූ හෝ හානියක් සිදු විය හැකි වූ යම් සංවර්ධන ක්‍රියාකාරකමක් නතර කිරීමේ බලය ඇති අතර එය අඛණ්ඩ ව සිදු කරන අවස්ථාවක දී මහේස්ත්‍රාත් අධිකරණයක සිදු කරන ඉල්ලීම මත අදාළ ක්‍රියාකාරකම තාවකාලිකව අත්හිටුවීමේ ආඥාවක් නිකුත් කිරීමේ බලය ඇත. එම ආඥාව පැහැර හරින අවස්ථාවක දී එක් දිනකට රුපියල් 10,000 බැගින් දඩයක් හා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ කටයුතු සිදු කළ හැකි ය.

මීට අමතර ව මන්නාරම දූපතේ වෙරළ කලාපයෙන් පරිබාහිර ගොඩබිම් ප්‍රදේශයේ සුළං විදුලි බලාගාර ඉදි කිරීමේ දී 2000 අංක 53 දරන පනතින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව පාරිසරික අනුමැතිය ලබා ගත යුතු වේ. මෙම පනතේ 23ප වගන්තිය යටතේ ප්‍රකාශිත 1993 ජුනි මස 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන ප්‍රයොජනයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ මෙගාවොට් 50 කට වැඩි බලාගාර ඉදි කිරීමට ප්‍රථම පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එපමණක් නොව මන්නාරම දූපතේ ගිනිකොනදිග සීමාවේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ප්‍රකාශිත වාන්කාලේ අභය භූමිය පිහිටා තිබීම නිසා ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව අභය භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත හෝ ඒ තුළ ඕනෑ ම ආකාරයක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය.


ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය.

මන්නාරම දූපතේ ගිනිකොණ සීමාවේ හා වයඹදිග සීමාවේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ප්‍රකාශිත ජාතික රක්ෂිත ද්විත්වයක් වන වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය හා ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික වනෝද්‍යානය පිහිටා තිබීම නිසා සුළං විදුලි බලාගාර ස්ථාපිත කිරීමේ දී මෙම පනතේ නීතිමය ප්‍රතිපාදන ද වැදගත් වේ. 2022 අංක 07 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1937 අංක 02 දරන මෙම පනතේ 9අ(1) හා (2) උප වගන්තිවලට අනුව ජාතික රක්ෂිතයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ ඕනෑ ම ආකාරයක සංවර්ධන ක්‍රියාකාරකමක් සිදු කිරීමට ප්‍රථමයෙන් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. එම අනුමැතිය ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව ලබා ගත යුතු වේ.

මෙම අණපනත්වලට අමතර ව සංශෝධිත 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්ති වලට අනුව ප්‍රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2000 අංක 01 දරන ව්‍යාපෘති වල කාර්යය පටිපාටි නියෝග වලට අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා හෙක්ටයාර එකක් ඉක්මවන භූමි ප්‍රදේශ එළිපෙහෙළි කිරීමට ප්‍රථමයෙන් පුරාවිද්‍යාත්මක හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පුරාවිද්‍යා අනුමැතිය ලබා ගත යුතු ය.

මෙම අණපනත් උල්ලංඝනය කරමින් සුළං විදුලි බලාගාර ඉදි කිරීම හේතුවෙන් පාරිසරික අර්බුද බොහොමයක් උද්ගත වන අතර නීතියේ ආධිපත්‍යය හා මන්නාරම දූපත්වැසියන් ගේ මූලික අයිතිවාසිකම් බොහොමයක් උල්ලංඝනය වීම සිදු වී ඇත.

සුළං විදුලි බලාගාර මගින් මන්නාරම වැසියන් ගේ අයිතිවාසිකම් අහිමි කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති, මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) උප ව්‍යවස්ථාවට අනුව “ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු ය.” ඒ අනුව සියලූ ම රාජ්‍ය ආයතන විසින් පරිසරය ආරක්ෂා කිරීමට, වැඩිදියුණු කිරීමට, නීති හා අණ පනත් ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතු වේ. පරිසරයේ පැවැත්මට බලපෑම් නොවන ආකාරයේ තීන්දු තීරණ ගැනීමට ද සියලූ ම රාජ්‍ය ආයතන බැඳී සිටී. එපමණක් නොව මෙම පරිච්ඡේදය යටතේ දැක්වෙන 28(ඊ) උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැක ගැනීම ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම බව සඳහන් වේ. ඒ අනුව පරිසරය ආරක්ෂා කිරීමට මැදිහත්වීම, ඒ සඳහා රාජ්‍ය ආයතන, නීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහ සංරක්ෂණය වෙනුවෙන් නීති ක්‍රියාත්මක කිරීමට යොමු කිරීම මෙන් ම හානි කර ක්‍රියාකාරකම්වලට එරෙහි ව කටයුතු කිරීමේ බලය සෑම පුරවැසියෙකුට ම ඇත.


නමුත් මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී සුනිත්‍ය බලශක්ති අධිකාරිය හෝ එම ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීමේ දී මධ්‍යම පරිසර අධිකාරිය හෝ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම කරුණු පිළිබඳ ව කිසිදු අවධානයක් යොමු කර නොමැත. එසේ වූවා නම් මන්නාරම දූපතේ තෙත් බිම් පද්ධති හා ජනදිවිය මෙතරම් ඛේදනීය ඉරණමකට මෙම සුළං විදුලි බලාගාර නිසා ගොදුරු නොවනු ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය යටතේ දැක්වෙන මූලික අයිතිවාසිකම්වලට අදාළ 12 වන ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම හා ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතු ය. 14 වන ව්‍යවස්ථාව යටතේ දැක්වෙන අදහස් පළ කිරීමේ නිදහස, තොරතුරු දැන ගැනීමේ අයිතිය, සාමකාමී ව රැස්වීමේ නිදහස, නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, නිරත වීමේ නිදහස, අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස යන මූලික අයිතිවාසිකම් මන්නාරම දූපතේ ධීවර ජනතාව ඇතුළු දූපත්වාසීන්ට සුළං බලාගාර ව්‍යාපෘතිවලින් අහිමි කර ඇත. මෙම සුළං විදුලි බලාගාරවලට අදාළ පරිසර බලපෑම් තක්සේරු වාර්තා සැකසීමේ දී ජනතාවට සාවද්‍ය තොරතුරු සැපයීම, සත්‍ය කරුණු සැඟවීම, මෙම ව්‍යාපෘතිවලට එරෙහිව අදහස් ඉදිරිපත් කිරීමට ඇති අවස්ථා අහිමි කිරීම, වෙරළට පිවිසීමේ මාර්ග අවහිර කිරීම හේතුවෙන් ධීවර වෘත්තියේ නිදහසේ නියැලීමට ඇති අවස්ථාවන් අහිමි කිරීම, අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස සුළං බලාගාරවල ශබ්දය, කම්පනය හා සුළං පෙති භ්‍රමණය වීමේ දී අඛණ්ඩ සෙවණැලි ඇති වීම මගින් අහිමි කර ඇත. එපමණක් නොව දූපතේ ඇළ මාර්ග අවහිර කිරීම හේතුවෙන් වර්ෂා කාලවල දී ගංවතුර තර්ජනවලට මුහුණ දීමට සිදු වීම නිසා ද අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස අහිමි කිරීමට හේතු වී ඇත.

1948 දෙසැම්බර් මස 10 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ප්‍රකාශයට පත් කරන ලද මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට 1955 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත් රටක් වශයෙන් අප රට බැදී සිටී. එම ප්‍රකාශනයේ 3 වන වගන්තිය යටතේ දැක්වෙන සෑම පුද්ගලයකුට ම ජීවත් වීමට හිමිකම ඇත, 7 වන වගන්තියට අනුව සියල්ලන් ම නීතිය ඉදිරියෙහි එකිනෙකාට සමාන වන අතර නීතියේ ආරක්ෂාව ලැබීමට කිසිදු විශේෂයක් නොමැති ව සියල්ලෝම හිමිකම් ලබති, 13 වන වගන්තියට අනුව සෑම පුද්ගලයකුට ම තම රාජ්‍ය සීමාව ඇතුළත පදිංචියට හිමිකම තිබේ. 17 වන වගන්තියට අනුව සෑම පුද්ගලයකුට ම තනි ව මෙන් ම හවුලේ ද දේපළ අයිතිය සඳහා අයිතිවාසිකම් ඇත, කිසිවකු සතු දේපළ බලෙන් අහිමි කිරීමට නොහැකි ය. 19 වන වගන්තියට අනුව තම මතය දැරීමට හා ප්‍රකාශ කිරීමට සෑම පුද්ගලයකුට ම අයිතියක් ඇත. අනුන්ගේ බාධාවක් නොමැති තොරතුරු ලැබීමට හා ලබා දීමටත් අයිතිය ඇත. නමුත් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති හේතුවෙන් මන්නාරම දූපත තුළ දූපත්වාසීන්ට ධීවර වෘත්තිය ඇතුළු ජීවන වෘත්තීන්ට බලපෑම් එල්ලවීම හේතුවෙන් හා ගංවතුර තර්ජන හා සුළං බලාගාරවල පීඩාවන් හේතුවෙන් ජීවත් වීමේ හිමිකම අහිමි හා පදිංචියේ හිමිකම අහිමි කර තිබේ. මේ නිසා දූපත්වාසීන් ගේ දේපළ අයිතිය ද අහිමි වෙමින් තිබේ. මෙම ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීම, ක්‍රියාත්මක කිරීම, ඉඩම් පැවරීම, ලබා දී ඇති කොන්දේසි, කැබිනට් අනුමැතීන් ලබා ගැනීම ඇතුළු කිසිදු කරුණක් පිළිබඳ ව තොරතුරු දැන ගැනීමට ඇති අවස්ථාවන් සියල්ල ම ජනතාවට අවහිර කර ඇත. කිසිදු රාජ්‍ය ආයතනයක් මෙම ව්‍යාපෘති පිළිබඳ ව නිවැරදි තොරතුරු ජනතාව වෙත ලබා නොදේ. මෙම තත්ත්වයන්ට එරෙහි වීමේ දී පොලීසියේ අත් අඩංගුවට පත් වීම හා අධිකරණ ක්‍රියාවලීන්වලට ලක් වීමට සිදු වී ඇත. මේ සියල්ල සුළං විදුලි බලාගාර හේතුවෙන් ජනතාවට මුහුණ දීමට සිදු වූ ඛේදවාචකයන් ය. මේ අනුව මන්නාරම් දූපත්වාසීන්ට මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් යන කොටස් දෙක ම සුළං විදුලි බලාගාර නිසා අහිමි වී ඇත.

ලෝකයේ සුනිත්‍ය බලශක්තිය, ලෝක බැංකුව සහ මෙරට අනාගත ඉරණම

බලශක්ති අමාත්‍යංශයේ 2024 වසරේ ප්‍රගති වාර්තාවට අනුව 2024 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත විදුලිබල උත්පාදන ධාරිතාවය මෙගාවොට් 5841 කකි. ඒ අතුරින් සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන් වන ජල විදුලිය, සුළං බලය, සූර්යාලෝකය, දැව ඉන්දන, ජෛව ඉන්දන හා නාගරික කසල මගින් ජනනය කරන විදුලි බල ධාරිතාව මෙගාවොට් 3658 කි. එය සමස්ත විදුලි බල නිෂ්පාදනයෙන් සියයට 63 ක් තරම් ඉහළ අගයකි. විදුලි බල මණ්ඩලයේ 2018-2037 දිගුකාලීන විදුලි ජනන පුළුල් කිරීමේ සැලැසුමට (Long Term Generation Expansion Plan 2018-2037) අනුව සුනිත්‍ය බලශක්ති ක්ෂේත්‍රයේ 2037 වසර වන තුරු ප්‍රමුඛ ව වර්ධනය කිරීමට සැලැසුම් කර ඇත්තේ සුළං බලය හා සුර්යාලෝකය මත පදනම් වූ විදුලි බල උත්පාදනයයි. එවිට දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමට අනුව බලශක්ති අංශයේ කාබන්ඩයොක්සයිඩ් වායු විමෝචනය සියයට 20 කින් අඩු කිරීමේ අරමුණ පහසුවෙන් අත්පත් කර ගත හැකි ය.
වර්ෂ 1990 වන විට සියයට 29 ක් වූ ජාතික විදුලි බල සැපයුම 2018 වසර වන විට සියයට 99.58 ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වී ඇත. ශ්‍රී ලංකාවේ විදුලි බල උත්පාදනය සඳහා වසරකට විමෝචනය කරන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය මෙටි්‍රක්ටොන් මිලියන 7 ක් පමණ වේ. මෙරට ඉන්දන දහනයෙන් සමස්තයක් ලෙස වසරකට වායුගෝලයට නිදහස් කරන කාබන්ඩයොක්සයිඩ් මෙටි්‍රක්ටොන් මිලියන 16.7 න් සියයට 44 ක් ම නිදහස් කරන්නේ විදුලි බල උත්පාදනය සඳහා ය. එය සමස්ත ලෝකයේ රටවල් විමෝදනය කරන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය හා සැසදීමේ දී සියයට 0.05 ක් තරම් ඉතා ම සුළු ප්‍රමාණයකි. චීනය, ඇමරිකාව හා ජපානය යන රටවල් වසරකට විමෝචනය කරන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය පිළිවෙලින් මෙටි්‍රක්ටොන් මිලියන 9135, 5176 ක් හා 1187 ක් පමණ වේ.


ලෝකයේ අද වන සුනිත්‍ය බලශක්ති ප්‍රභව හයක් වන සූර්යාලෝකය, ජෛව ඉන්දන, භූතාප, සාගර රළ තරංග, සුළං බලය හා ජල විදුලිය මගින් සුනිත්‍ය බලශක්තිය නිපදවයි. ජාත්‍යන්තර සුනිත්‍ය බලශක්ති ඒජන්සියේ 2025 වසරේ සංඛ්‍යා ලේඛණවලට අනුව ලෝකයේ සමස්ත පුනර්ජනනීය බලශක්ති ධාරිතාවය මෙගාවොට් මිලියන 4.45 කි. ඉන් මෙගාවොට් මිලියන 1.13 ක් සුළං විදුලි බලාගාර මගින් හා මෙගාවොට් මිලියන 1.87 ක් සූර්ය බලශක්ති බලාගාර මගින් ලබා ගනී. වර්ෂ 2030 වන විට සුළං විදුලි බලාගාරවලින් මෙගාවොට් මිලියන 2.2 ක් හා සූර්ය බලශක්ති බලාගාරවලින් මෙගාවොට් මිලියන 7 ක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව මෙම බලශක්ති ප්‍රභවයන් ගේ සීග්‍ර දියුණුවක් සිදු වන බව පෙනෙන්නට තිබේ. ඒ මගින් පොසිල ඉන්දන දහනයෙන් සිදු වන හරිතාගාර වායු බාහිර වායුගෝලයට නිදහස් කිරීම අවම කර ගත හැකි වන අතර ඒ මගින් දේශගුණික විපර්යාස ඇති වීම පාලනය කර ගත හැකි ය.

මෙය සත්‍යයක් වන නමුත් මෙරට පුනර්ජනනීය බලශක්ති බලාගාර ස්ථාපිත කිරීම සිදු කරන්නේ වනාන්තර, තෙත්බිම් හා නොගැඹුරු මුහුදු තීරයේ ඉතා ම සංවේදී පරිසර පද්ධති විනාශ කරමිනි. ඒ මගින් බලාපොරොත්තු වන ප්‍රතිලාභ ලබා ගත හැකි වේද යන්න ගැටළුවකි. එමගින් සිදු වන්නේ දේශගුණික විපර්යාස සඳහා පදනම සැකසීම පමණක් නොව ස්වාභාවික පද්ධතිවලට සිදු වන විනාශය හේතුවෙන් කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය, සත්ත්ව පාලනය ඇතුළු බොහෝ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍ර බලපෑමට ලක් වීම තුළින් රටේ ආහාර ස්වෛරීභාවය බිඳ වැටීම යි. එයට පිළියම් ලෙස ආහාර ආනයනය වැඩි කිරීමට හෝ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා වගා බිම් වැඩි කිරීමට වනාන්තර හා තෙත් බිම් විනාශ කිරීමට යොමු වේ. මෙය චක්‍රයක් ලෙස වර්ධනය වෙමින් පැවතීමේ ප්‍රතිඵලය දරුණු ව්‍යසනයකට රට ගොදුරු වීම ය.


ලෝක බැංකුවේ අක්වෙරළ සුළං විදුලි බල සංවර්ධන වැඩසටහන (Offshore Wind Development Program – World Bank Group) යටතේ ශ්‍රී ලංකාව සඳහා අක්වෙරළ සුළං බලාගාර මාර්ග සිතියම (Offshore Wind Roadmap for Sri Lanka) නම් වාර්තාව 2023 ජුනි මාසයේ දී ප්‍රකාශයට පත් කෙරින. මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ උතුරු, බටහිර හා දකුණු ප්‍රදේශවල නොගැඹුරු මුහුදු තීරයේ වර්ග කිලෝමීටර 14195 ක් පමණ ප්‍රදේශයේ සුළං විදුලි බලාගාර ස්ථාපිත කර ගිගාවොට් 56 ක විදුලි ධාරිතාවක් නිපදවිය හැකි බව ලෝක බැංකු වාර්තාවේ පෙන්වා දෙයි. නමුත් මෙ නොගැඹුරු මුහුදු තීරය සාගරික ජෛව විවිධත්වයෙන් ඉතා ම පොහොසත් කලාපයකි. කොරල්පර, වැලිපර, ගල්පර, මුහුදු තෘණ බිම්, මඩතැනි වැනි සාගර පරිසර පද්ධති ඉතා බහුල ප්‍රදේශ වේ. මෙම පරිසර පද්ධති මත මුහුදු මත්ස්‍ය විශේෂ, කැස්බෑවුන්, මුහුදු අපෘෂ්ඨවංශීන් වන ඉස්සන්, කකුළුවන් වැනි මුහුදු ජීවීන් ගේ බෝවීම් හා ආහාර බිම් ලෙස ක්‍රියාත්මක වේ. මෙම ජෛව පද්ධතිවල තුළිත පැවැත්ම මත ධීවර කර්මාන්තය හා ඒ මත පදනම් වූ ධීවර ජන දිවිය මෙන් ම රටේ ආහාර ස්වෛරීභාවය රැදී පවතී. එම සමස්ත පද්ධතියට මෙම සැලැසුම් සමග බිඳ වැටීමට ලක් වේ.

ආසියානු සංවර්ධන බැංකුව පමණක් නොව ලෝක බැංකුව ද අප රට වේගයෙන් සුළං විදුලි බලාගාරවල වෙළෙදපොල ග්‍රහණයට නතු කරමින් සිටී. දැනට පවතින සුනිත්‍ය බලශක්ති ප්‍රභව වන ජල විදුලි බල උත්පාදනය සුරක්ෂිත කිරීම සඳහා ඒහා සම්බන්ධ ජලාශ රොන්මඩින් පිරී යාම වැළැක්වීම හා ජල පෝෂක ප්‍රදේශ ගොඩනැංවීම වැනි ලාබදායී ක්‍රමවලට පිවිසීම මගින් විදුලි බලය පමණක් නොව කෘෂිකර්මාන්තයේ හා ජනතාව ගේ ජල සුරක්ෂිතතාව තහවුරු කිරීම, ඒ තුළින් දේශගුණික විපර්යාස අවම කර ගැනීම හා ජනතාව ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, ස්වාභාවික පරිසර පද්ධති සුරක්ෂිත කිරීම තුළින් ජෛව සුරක්ෂිතතාව තහවුරු කිරීම වැනි ක්‍රියාමිර්ගවලට පිවිසිය යුතු ය. නමුත් අප ව බලශක්ති වෙළෙදපොල තුළ සිර කිරීම තුළින් මේ සියල්ල අහිමි කිරීමට ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව ක්‍රියාත්මක වෙමින් සිටී. මෙයට නිලධාරීන් පමණක් නොව මේ සියලු පාර්ශවයන් විසින් එක් ව වර්තමාන ආණ්ඩුව ද ග්‍රහණය කර ගෙන සිටී. ඒ බව ඔවුන්ට අවබෝධ නොවන්නේ සුනිත්‍ය බලශක්ති වෙළෙදපොල ග්‍රහණය ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව එක් ව සුනිත්‍ය බලශක්ති සමාගම් විසින් ඉතා සූක්ෂම ව මෙහෙයවීම සිදු කරමින් සිටින නිසා ය. මේ මගින් රටේ බලශක්ති ස්වෛරීභාවය අහිමි කර ඒ සියල්ල වෙළෙදපොල සමාගම් මත තීන්දු කරන යාන්ත්‍රණයක් සකස් කිරීමට උත්සාහ ගනිමින් සිටී. ඉන් මිදීමට අප රටක් ලෙස උත්සාහ කළ යුතු වේ.


ඒ සඳහා මෙරට ස්ථාපිත පැරණි, යල්පැනගිය තාක්ෂණයන් මත ක්‍රියාත්මක වන ජල විදුලි බලාගාර පද්ධතිය කාර්යක්ෂම කිරීම හා යාවත්කාලීන කිරීම කළ යුතු වේ. එපමණක් නොව සුළං විදුලි බලාගාර සුදුසු, බලපෑම් අවම ස්ථානවල පමණක් ස්ථාපිත කළ යුතු අතර සූර්ය බලශක්ති බලාගාර පස් කැනීම් භූමි, කළුගල් කැනීම් භූමිවල සහ නිවාස හා ගොඩනැගිලි මත ස්ථාපිත කිරීම සිදු කළ යුතු වේ. වනාන්තර, තෙත් බිම් ඇතුළු සංවේදී පරිසර පද්ධති හා වැව් හෝ ජලාශ මත පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීම නතර කළ යුතු ය. එපමණක් නොව සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති සංව්දී පද්ධති මත ක්‍රියාත්මක කර එම ව්‍යාපෘති හා ජනතාව අතර ගැටුම් නිර්මාණය කිරීම මගින් එම ව්‍යාපෘති සුදුසු ස්ථානවල ස්ථාපිත කිරීමෙන් ලබා ගත හැකි ප්‍රතිලාභ අහිමි කිරීම ද නොකළ යුතු වේ.

leave a reply