Breaking News

නුතන සිංහල කවියේ දූෂණය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක්

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

එරික් ඉලයප්ආරච්චි සිය නවතම කාව්‍ය ග්‍රන්ථය වන ” ප්‍රොමිතියස් දූපත ” පළ කරමින් එහි පසුවදනෙහි අද දවසේ සිංහල කවිය සම්බන්ධයෙන් එල්ල කරන සංක්ෂිප්ත විවේචනය වර්තමාන සිංහල කවියා,විචාරකයා මෙන් ම සහෘදයා ද බෙහෙවින් අවධානය යොමු කළ යුත්තකි.හෙතෙම සමකාලීන සිංහල කවිය දූෂණයට ලක් වී ඇති ආකාර ගණනාවක් එහි දී පෙන්වා දෙයි.

අප මෙහි දී උත්සාහ දරන්නේ එම විවේචන වෙන වෙන ම ගෙන සමකාලීන කවිය හා එරික්ගේ කවිය ඇසුරින් එම විවේචනයන්ගේ අදාළත්වය පිළිබඳ කිසියම් තුලනාත්මක අධ්‍යයනයක් සිදු කිරීමට ය.

01.කාව්‍ය භාෂාව සිල්ලර වීම.
මේ විවේචනය යටතේ එරික් පෙන්වා දෙන්නේ මීට දශක කීපයකට පෙර කොළඹ තරුණ කවියට එරෙහිව ජී.බී. සේනානායක හා සිරි ගුනසිංහ විසින් මතු කළ ප්‍රතිවිරෝධය ම බව පෙනේ.ඉන් අදහස් කෙරෙන්නේ එරික් මතු කරන ප්‍රවාදය අර්ථ විරහිත බව නො වේ.එහෙත් එහි අදාළත්වය ව්මසිය යුත්තේ සමකාලීන සන්දර්භයට යටත්ව ය.ඒ මිස එදා එම විවේචනය මතු වූ අර්ථයෙන් ම එය භාර ගැනීම සාධාරණ නො වේ.

මින් තවදුරටත් අදහස් කෙරෙන්නේ කාව්‍ය භාෂාව සිල්ලර වීම සම්බන්ධයෙන් එදා කොළඹ කවියාට එල්ල වූ විරෝධය ඒ අර්ථයෙන් ම නූතන සිංහල කවියට එල්ල කිරීම සාධාරණ නො වන බව යි.මුද්‍රණ තාක්ෂණ යුගයට පිවිසීමෙන් දූෂ්‍ය වීම ඇරඹූ කොළඹ තරුණ කාව්‍ය භාෂාව සහ තොරතුරු තාක්ෂණ යුගයට පිවිසීමෙන් දූෂ්‍ය වීම අරඹා ඇති නූතන කාව්‍ය භාෂාව එක හා සමාන නැත.නොහොත් සිදු වී ඇති දූෂණය එක හා සමාන නැත.
උදාහරණයකින් දැක්වුවහොත් අද දවසේ “සුදු පෙම්වතිය කිරි බින්දුව සුවඳ පිඩ” ගණයේ කාව්‍යමය භාෂාවක් කාව්‍ය රචනය සඳහා භාවිත වන්නේ නැත.අද කාව්‍යමය භාෂාව සිල්ලර වී ඇත්තේ, එය අන්කිසිදු යුගයක ගමන් නො කළ තරමේ ආත්මීය භාවයකට ගිලා බැසීම හේතුවෙනි; අතිශය ආත්මාර්ථකාමී තත්ත්වයකට පල්ලම් බැස ඇති හෙයිනි.

එම ආර්ත්මාර්ථකාමී භාෂාවට උඩගෙඩි සපයන “අනන්‍ය භාෂා භාවිතය”, “ස්වතන්ත්‍ර භාෂා භාවිතය” බඳු ධනේශ්වර ඊනියා විචාර නිර්ණායක නූතන සිංහල කවියා තමන්ගේ ම කටහඬකට පටු කර ඇත.එමඟින් සිදු වී ඇත්තේ නූතන සිංහල කවියා තම “අනෙකාගේ” භාෂාව අහිමි කර ගැනීම යි.එනිසා ඔවුන්ගේ භාෂාව තමන් තුළට ම නැමුණු අතිශය ජාතීවාදී එකක් බවට පත් වී ඇත.එසේ අනෙකාගේ භාෂාවෙන් කවි ලිවිය හැකි කවියන්(එනම් ද්වීභාෂික උගතුන් නො වේ.)අද අපට සිටිනුයේ ඉතා ම මද වශයෙනි.

ඒ අර්ථයෙන් එරික්ගේ කාව්‍යමය භාෂාව ගත්ත ද අතිශය ජාතීවාදී එකකි.පසුවදනෙහි පවසන පරිදි එරික්ගේ වත්මන් කවිය සමකාලීන කාව්‍ය දූෂණයන්ට එරෙහි වූවක් නොව එහි ම දිගුවකි.දැන් දැන් එරික් ඉතා ම ශීඝ්‍රයෙන් තමන්ට ම අමතා ගන්නා භාෂාවක් තනා ගනිමින් සිටින සැටියක් දැක ගත හැකිය.අනෙකාගේ කටහඬට සවන් නො දෙන එරික් ඔහුගේ කටහඬ සෑම තැන ම ඒකාකාරීව එල්ලමින් මහත් අසාධාරණ ලෙස පාඨක සහෘදයා මත සිය බලහත්කාරය මුදාහරී.එය ජාතීවාදී පමණක් නොව ෆැසිස්ට්වාදී ය.ඉංග්‍රීසි තද්භව යෙදුම් කිහිපයක්, තාක්ෂණික හා අන්තර්ජාලමය යෙදුම් කිහිපයක් පුරුද්දා එම චෝදනාවෙන් ඔහුට මිදීමට දිය නො හැකිය.
නූතන සිංහල කාව්‍ය භාෂාව සිල්ලර වීම එම ගැඹුරෙන් වටහා ගත යුතු ප්‍රපංචයක් ලෙස සලකා තමන්ගේ ම කටහඬට එරෙහිව අරගල නො කරන තාක් ඔහුට පමණක් නොව අප සියල්ලට මෙම චෝදනාවෙන් මිදීමට නො හැකි වනු ඇත.

02.කවිය පාරිභෝගිකත්වය වෙනුවෙන් සරල සුගම වියමනක් හා ක්ෂණික ආහාර වේලක් කිරීම.
මෙය කාව්‍ය භාෂාව සම්බන්ධයෙන් එරික් ඉදිරිපත් කළ පූර්ව විවේචනය ම ඉදිරියට ගෙන යාමක් වන අතර ම එම විවේචනයේ ම කිසියම් වර්ධනීය තත්ත්වයකි.මෙහි දී එරික් සමකාලීන සිංහල කාව්‍ය භාෂාව සිල්ලර වීමට බලපා ඇතැ යි ඔහු විශ්වාස කරන සාධකය පාඨකයා හමුවේ තබයි.

එහෙත් ඔහුට මඟහැරෙන සාධකය වනුයේ එම පාරිභෝගිකත්වය හා ආත්මීයත්වය අතර සහසම්බන්ධය යි.පසු ධනේශ්වර යුගයේ මේ අපට සම්මුඛ වී ඇත්තේ පාරිභෝගිකයාගේ හා කවියාගේ බෙදුම් රේඛාව අහෝසි වී ගිය හෝරාව යි.එනම් මේ දෙදෙනා ම එකවිට පෞද්ගලිකත්වය වෙතට එක සේ නැඹුරු වී අවසන් ය.

මේ සිදු වෙමින් ඇත්තේ “ඉල්ලුමට – සැපයීම” නොව “ඉල්ලීම” හා “සැපයීම” යනුවෙන් තවදුරටත් දෙපසක් නොමැති තත්ත්වයක් නිර්මාණය වීම ය.සමාජීය කවීන් ලෙස අභිෂේක ලබා ඇති ඇතැම් කවීන්ගෙන් පවා මේ වන විට දි ලියැවෙමින් තිබෙන කවි පවා පෙනුමින් මිස හරයෙන් සමාජීය නැත.ඒවායින් ද අවසාන වශයෙන් සිදු වෙමින් තිබෙන්නේ “නැති වූ මව” සොයා යෑම ය.

මෙම සරල සුගම බවට හා ක්ෂණික ආහාර වේලක් බවට කවිය පත් කිරීමට එරෙහිව විකල්පයක් ලෙස එරික් යෝජනා කරන කාව්‍ය මාර්ගය කුමක්ද ? ඔහුගේ මෑතකාලීන කාව්‍ය කෘති මඟින් සිදු වී ඇත්තේ මේ සරල සුගම බවට එරෙහිව අනෙකා බිය ගන්වන හා අසහනයට පත් කරන භාෂාවක් නිපදවීම ය.එය අපට ළං විය නො හැකි රාජකීය කේක් ගෙඩියක් සේ අප ඉදිරියෙහි වැජඹෙයි.එපමණක් නොව වසරට එක බැගින් පමණා ඒවා පළ කරමින් තම සංකේත වටිනාකම් භාවිත කරමින් ඒවා මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට බල කරයි.

වර්තමානයේ පාරිභෝගිකත්වයට යට නො වීම යනු ආත්මීයත්වයට යටත් නො වීම යි.සමාජීය අනුභූතීන් ග්‍රහණය කර ගත් පමණින් එය සිදු වන්නේ නැත.අනෙකාගේ අත්දැකීම් තමන්ගේ ම කටහඬකින් ඇසීමට සැලැස්වීමෙන් එය සිදු කළ නො හැකිය.තමන්ගේ කවිය වෙත ළඟා වීමේ අයිතිය සීමිත උගතුන් පිරිසකට පමණක් සීමා කිරීම අද දවසේ දක්නට ලැබෙන සිංහල කවියේ අපගමනයට එරෙහි සැබෑ විප්ලවවාදී භාවිතයක් වන්නේ නැත.”පෙදෙහි රස හව් විදුනා දෙනෙතා ඉතා දුලබෝ” ගණයේ කව්සිළුමිණි අධිමානයකින් නූතන සිංහල කවියේ සරල සුගම බවට එරෙහි වීම ඵලදායී මෙන් ම විප්ලවවාදී පිළිතුරක් නො වේ.

එය පොදු ජනයාට අභියෝග කරන එහෙත් අනෙකාට ඇතුළු වීමට ඉඩකඩ ද ලබා දෙන කවියක් විය යුතුය.

03.බොල් කාව්‍ය බීජ මත නාමපුවරු එල්ලීම.
නූතන සිංහල කවිය සම්බන්ධයෙන් එරික් සිදු කරන මේ විවේචනය බරපතළ ලෙස සැලකිය යුත්තකි.මෙබඳු ම විවේචනයක් ජී.බී. සහ සිරි ගුනසිංහ මුල් ම වතාවට සිංහල කාව්‍ය සහෘදයා අමතන මොහොතේ ඔවුන්ට එරෙහිව කොළඹ තරුණ කවීන්ගෙන් එල්ල විය.නිදහස් – නිසැඳැස් පද්‍ය යනු කවි බවට පත් නො වූ සංකල්පනා පමණක් බව එම විවේචනයේ හරය විය.

එහෙත් එම විවේචනය මතු වූයේ හුදෙක් ආකෘතික වශයෙන් නිදහස් – නිසැඳැස් කවියේ පැවැති සැහැල්ලුව දරා ගැනීමට කොළඹ තරුණ කවියාට නො හැකි වීම හේතුවෙන් මිස එම කවියේ සාහිත්‍යාත්මකය සම්බන්ධයෙන් බරපතළ නිරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස නො වේ.

ඒ අර්ථයෙන් එරික් සිදු කරන විවේචනය නූතන කවිය සම්බන්ධයෙන් ගැඹුරු නිරීක්ෂණයක් ලෙස දැක්විය යුතුය.කවිය වෘක්ෂයක් බවට පත් වීමට ප්‍රථම එය බීජ අවස්ථාවේ පවතින විට පවා ඒවා කවි ලෙස අර්ථ ගන්වා රසික සමාජය අතර ප්‍රචලිත කිරීමට උනන්දුවෙන් කටයුතු කරන පිරිසක් අප අතර සිටිති.විශේෂයෙන් ම කවීන් ලෙස ද විචාරකයින් ලෙස ද තමන් උපයා ගත් සංකේතීය වටිනාකම් ඒ සඳහා ඔවුන් විසින් භාවිත කරමින් සිටිනු ලබන බවක් දැක ගත හැකිය.එසේ ම ඔවුන් වටා ගොණු වී සිටින මිත්‍ර සමාගම් හා ගුරුකුළ ද මේ සඳහා සෑහෙන වැඩකොටසක් සිදු කරන බව පෙනෙන්නට තිබේ.

තමන්ගේ සහ තම මිතුරු කවියන්ගේ පොතපත විකුණා ගැනීම වෙනුවෙන් ඒවා උසස් කෘති ලෙස රසිකයන්ට නිර්දේශ කිරීම මේ වන විට සිංහල කාව්‍ය ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙන නිශේධනීය ඇබ්බැහියක් වී තිබේ.සිංහල කවියේ අන්තර්ගතමය හා ස්වරූපමය පක්ෂය අතිශය සරලකරණයට ලක් වීමේ අවදානම මේ සමඟ මූලික වශයෙන් බැඳී පවතින්නකි.ඉතා ම සංවිධානාත්මකව සිදු වන මේ ව්‍යාපාරය පිළිබඳ ඇතැම් බැරෑරුම් විචාරකයන් පවා අන්ධයින් සේ පසු වීමේ අදීනව අදටත් වඩා අනාගතයේ දී සිංහල කවිය මත පතිත වීමට නියමිත ය.

එසේම සමාජ මාධ්‍ය තුළ කවිය සංසරණය වන ආකාරය ද මීට ප්‍රධාන හේතුවකි.එම මාධ්‍ය විසින් කවියේ අන්තර්ගතමය ගැඹුර සහ ස්වරූපමය ප්‍රබලත්වය ඉල්ලා සිටිනු ලබන්නේ නැත.එය මඟින් ඉල්ලා සිටින්නේ විචාරය වෙනුවට “ලයික්” සහ “කමෙන්ට්” ය.විචාරය ” නියමයි “, ” මරු “, ” ❤ ” බඳු ප්‍රතිචාරයන්ට සීමා වී ඇති අතර එබඳු ප්‍රතිචාර ලබා ගැනීම සඳහා හදිසි සහ ඉක්මන් කවි ලිවීමේ නැඹුරුවකින් යුක්ත කවීන් පිරිසක් බිහි වෙමින් සිටින බව ද පෙනෙන්නට තිබේ.

කාව්‍ය බීජය, ඵල සහිත වෘක්ෂයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය බොහෝ නූතන කවීන් මෙසේ අතහැර දමා තමතමන්ගේ සංකේතීය ප්‍රාග්ධනය තර කර ගැනීමට යොමු වී ඇති තත්ත්වයක් යටතේ එරික් ඊට එරෙහිව කිසියම් සටනක් සිදු කරමින් සිටින බව නම් පිළිගත යුතුය.එහෙත් අර්බුදය වන්නේ ඔහු විසින් මහත් වෙර වෑයමින් එසේ ඵල සහිත වෘක්ෂයක් බවට සිය කාව්‍ය බීජය පත් කරනු ලැබුව ද එම ඵල භුක්ති විඳීමේ හැකියාව සීමිත වීම ය.
එනයින් කාව්‍ය බීජය, වෘක්ෂයක් බවට පත් කිරීම සඳහා කැප වන අතරේ එම වෘක්ෂයේ ඵල සහිත අතු යම් ප්‍රමාණයකට සහෘදයා වෙතට පහත් කරන කවියක් ලිවීම වැදගත් ය.එය සහෘදයා අසළට ම ළං කළ යුතු නැත.මඳක් උඩ පැන ඒවා කඩා ගැනීමට සහෘදයාට ආරාධනා කළ යුතුය.කල්ප වෘක්ෂයේ ඇති ඵල දිව්‍යෞෂධ වුව ද ඒවායින් මිනිසාට කිසිදු ඵලයක් නැත.

04.අනුභූති අනුසරෙන් කවිය බාල්දු කිරීම.
“බොල් කාව්‍ය බීජ මත නාමපුවරු එල්ලීම” නමැති විවේචනයෙහි මෙකී සිව් වන විවේචනයට අදාළ අදහස ද අඩංගු වී ඇති නමුත් මෙහි වෙන ම සංවාදයට ලක් කළ යුතු ප්‍රදේශයක් ද ඇති බව පෙනේ.

එරික් මේ ඉදිරිපත් කරන කාව්‍ය දූෂණය අද ඊයෙක සිදු වූ හදිසි අහඹු ක්‍රියාවක ප්‍රතිඵලයක් නො වේ.එය මෙරට අධ්‍යාපන ක්‍රියාවලියෙහි හා කාව්‍ය රසවින්දන ව්‍යාපෘතියෙහි දිගුකාලීන ප්‍රතිඵලයකි.එමඟින් නිපදවූයේ කාව්‍ය පිළිබඳ විචාරාත්මක රසිකයෙකු නොව නිර්දිෂ්ට නිර්මාණයන්ගේ අත්දැකීම පිළිබඳ කුතුහලයෙන් යුතු මධ්‍යම පාන්තික පුද්ගලයෙකි.

වර්තමානයේ ඇති ගී රසවින්දන වැඩසටහන් හා ගීතය හා කවිය මත පදනම් වූ ජනප්‍රිය සංස්කෘතියේ වැඩසටහන් මඟින් අමතමින් සිටින්නේ මෙකී මධ්‍යම පාන්තික වින්දන මට්ටමට ය.ඒවායෙහි තොරොම්බල් වන්නේ එම නිර්මාණයට අදාළ අත්දැකීමත් ඒ හා බැඳුණු රසබර යැයි සිතා සිටින තොරතුරුත් ය.සභාව සිනා ගැන්වීම හෝ හැඬවීම ඒවායෙහි අපේක්ෂිතය ය.ඒවායෙහි සිට අප අමතන්නේ සියල්ල දන්නා සියල්ලෙන් පිරිසුදු සියල්ලෙහි නො ඇලුණු අතිශය තෘප්තිමත් ආරාධිතයන් ය.ඔවුන්ගෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු විය නො හැකිය.
එරික් එබඳු කවියෙක් හෝ විචාරකයෙක් නො වේ.එහෙත් ඒ වෙනුවට එරික් සිදු කරමින් සිටින්නේ ඒකාකාරී භාෂාවක් හා ආකෘතියක් උත්කර්ෂයට නැඟීම ය.හෙතෙම කවිය බාල්දු කිරීම වෙනුවට කවිය පණ්ඩිතමානී කරයි.එය කවිය සුදුස්සන් කිහිපදෙනෙකුට පමණක් සීමා කිරීමකි.

අපට වැටහෙන අයුරට උක්ත බාල්දු කිරීම මෙන් ම මේ සීමා කිරීම ද සිංහල කවියේ උත්කර්ෂයට එක ලෙසින් හානිකර ය.

* හමාර කිරීම
මෙතෙක් අප විසින් උපුටා දැක් වූ මේ විවේචන එරික් විසින් සිදු කරන ඒවා යැයි අප විශ්වාස කරනුයේ ඒවා ඔහුගේ “ප්‍රොමිතියස් දූපත” නමැති කාව්‍ය සංග්‍රහයේ පසුවදනෙහි පළ වී ඇති බැවිනි.එම පසුවදන සම්බන්ධයෙන් අන්කිසිවෙකු වගකීම භාරගෙන නොමැති නිසාත් එම විවේචන එරික්ගේ අනුමැතියකින් තොරව ප්‍රකාශකයන්ට ඇතුළත් කළ නො හැකි නිසාත් අපට ඒවා එරික්ගේ ම විවේචන ලෙස සැළකීමට අයිතියක් ඇත.ඒවා එරික්ගේ විවේචන නො වූව ද ඒවා නූතන සිංහල කවිය සම්බන්ධයෙන් බරපතළ නිරීක්ෂණ වන බැවින් ඒවා මතු කර ගැනීම වැදගත් ය.

එහෙත් අපගේ අදහස වන්නේ එම විවේචනයන්ගෙන් එරික්ට ද පසුවදනෙහි දක්වා ඇති පරිදි පහසුවෙන් ගැල වී යා නො හැකි බව ය.සමකාලීන කාව්‍ය දූෂණයට එරෙහිව ඔහු විසින් පිළිගනු ලබන ” තමා වෙනුවෙන් කැපවුණු ස්වකීය කාව්‍යක්කාරයා සොයා ගැනීමේ ” ව්‍යාපෘතිය මේ මොහොතේ වන වඩා විප්ලවකාරී භාවිතය නො වන බව යෝජනා කරමින් ඒ සඳහා අපගේ විකල්ප අදහස ඉදිරිපත් කිරීම මේ ලිපියේ අරමුණ විය.

එහෙත් කිසිවෙකු මේවා අවසාන නිගමන ලෙස භාර ගත යුතු නැත.නූතන සිංහල කවියේ අභිවෘද්ධිය සිද්ධ වන්නේ නම් ඒ වෙනුවෙන් අපගේ අදහස් ප්‍රතික්ෂේප වුව ද කම් නැත.

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න .

leave a reply