Breaking News

චිලිය සහ නව ව්‍යවස්ථාව

සුභාෂිණී චතුරිකා

පසුගිය සැප්තැම්බර් හතරවැනි දා, චිලීය තුළ මානව හිමිකම් සුරැකෙන, සමානාත්මතාවයෙන් යුතු රටක් බිහිකිරීම සඳහා ඉදිරිපත් කරන ලද වාමාවාදී නව ව්‍යවස්ථාව, එරට පැවතුණු ජනමතවිචාරණයේදී 20%කට වඩා වැඩි ජන්ද ප්‍රතිශතයකින් චිලී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි. දේශපාලන විචාරකයන්ට අනුව එම ව්‍යවස්ථා ලියවිල්ල, මිහිපිට කිසියම් රටක වෙසෙන සියලුම ජනකොටස් පිලිබඳ වඩාත් වැඩි අවධානයක් යොමු වෙන ආකාරයට සම්පාදනය කළ ව්‍යවස්ථා අතලොස්සෙන් එකකි. එහෙත් ජනමත විචාරණයට අනුව එම ලියවිල්ල ප්‍රතික්ෂේප කරමින් 62% චිලී ජනතාව ඡන්දය පාවිච්චි කර තිබූ අතර එම ව්‍යවස්ථාවට කැමැත්ත පළ කොට තිබුනේ 38% වැනි සුළු ප්‍රතිශතයක් පමණි.

එවැනි වැඩි ප්‍රතිශතයකින්, යෝජිත නව ව්‍යවස්ථාව රට තුළ ප්‍රතික්ෂේප වූයේ, 2020 වසරේ චිලියේ පැවති, පැරණි ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් රට තුළ සම්පාදනය කළ යුතුය යන යෝජනාවට 78% ක බහුතර චිලී ජනතාවක් සිය කැමැත්ත පළ කොට තිබූ වටාපිටාවක් තුළය.

2019 වසරේ චිලී ජනතාව වීදි බැස කළ උද්ඝෝෂණවල එක් ප්‍රධාන ඉල්ලීමක් වූයේ චිලීයේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය ඔගුස්තෝ පිනෝචේ ගේ පාලනය සමයේ සම්පාදනය කළ, එතෙක් කල් චිලී සමාජය තුළ දැඩි පංති පරතයක්, අසමානතාවක් ඇති කළ සහ මානව හිමිකම් අහිමි කළ පැරණි ව්‍යවස්ථාව වෙනුවට, වඩාත් ප්‍රගතිශීලි ව්‍යවස්තාවක් නැවත සම්පාදනය කරන ලෙසය.

ඒ අනුව එවකට බලයේ සිටි දක්ෂිණාංශික සෙබස්තියන් පිනේරාගේ පාලන කාලය තුළ එනම්, 2020 ව‍සරේ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ යෝජනාව බහුතර මහජන ජන්දයෙන් සම්මත කරගැනීමට හැකි වූ අතර නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා නිර්මාණය කළ ව්‍යවස්ථාපිත සභාවට නියෝජිතයන් තෝරා පත් කරගනු ලැබුවේ ද, 2021 වසරේ පැවැත්වූ මහජන ජන්දයක් මඟිනි.

සෙබස්තියන් පිනේරාගේ පාලන කාලය නිමාවත් සමඟ 2022 වසරේ ජනවාරි මාසයේ, චිලී හි ජනාධිපති ධුරයේ වැඩ ආරම්භ කළ වාමාවාදී ගාබ්‍රියෙල් බෝරිච් යටතේ, එම නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම අවසන් කළ අතර සියළු ජනකොටස් වලට තම අයිතීන් ලබා දෙන, සමානාත්මතාව මෙන්ම මානව හිමිකම් සුරැකෙන සහ රට තුළ එතෙක් පැවති නිදහස් ගෝලීය ආර්ථික ක්‍රමයට (නවලිබරල්වාදී ආර්ථික ක්‍රමය) වැට බඳින නව ව්‍යවස්ථාවක් අවසානයේ චිලී ජනතාව ඉදිරියේ විය.

ඒ තුළ චිලීය බහුත්වවාදී, ස්වදේශිකයන්ට ස්වයං පාලනය අයිතිය ලබා දෙන, ලිංගික නැමියාව නිසා වෙනස්කොට සැළකීම අවම කරන, පරිසරය සුරකින හරිත ආර්ථිකයකට මූලිකත්වය දෙන, අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස නොමිලේ සැපයෙන රටක් බවට පත්වීමට අදාළ කාරණා රැසක් ඇතුළත් වීය.

පසුගිය සැප්තැම්බර් හතරවැනිදා චිලි ජනතාව ප්‍රතික්ෂේප කලේ එවැනි ව්‍යවස්ථාවකි. අලුතෙන් පත් වූ ජනාධිපති බෝරිච් තම මැතිවරණ ව්‍යාපාරය තුළ කළ බොහෝ පොරොන්දු වලට අදාළ කාරණා රැසක් එම නව ව්‍යවස්ථාවට ඇතුළත් වූ නමුත් ඇදහිය නොහැකි තරම් වැඩි ජන්ද ප්‍රමාණයකින් එය චිලී සමාජය විසින් ප්‍රතික්ෂේප කළේය.

(2021 වසරේ පත්වූ අභිනව ජනාධිපති ගාබ්‍රියෙල් බෝරිච් විසින් චිලීය, මානව හිමිකම් සුරකින සහ සියලු ජනකොටස්වලට සමාන ලෙස සැලකෙන බහුත්වවාදී රටක් වෙත ගෙන යාමට දරන ලද ප්‍රයත්නය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතැනින් කියවිය හැකිය.

චිලියේ ජනවිවිධත්වය

චිලිය තුළ නව ව්‍යවස්ථාව හරහා සිදුවීමට යන දේශපාලනික සහ සාමාජීය වෙනස්කම් වලට චිලි ජනසමාජයෙන් පැන නැඟි පැහැදිලි ප්‍රතිවිරෝධයේ ස්වභාවය තේරුම්ගැනීමට ප්‍රථම එම සමාජයේ ජීවත්වන ජනවර්ග සහ ඒවායේ ජන සංයුතිය පිළිබඳ යමක් දැන ගැනීම වැදගත්ය.

චිලියේ 60% පමණ වන බහුතර ජනකොට්ඨාශය නියෝජනය වන්නේ ස්පාඤ්ඤ යටත් විජිත සමයේ වරින් වර එරටට පැමිණි යුරෝපා සම්භවයක් ඇති ජනතාවගෙනි, එනම් ඉතාලියානු, ප්‍රංශ, ක්‍රෝඒෂියානු, ජර්මානු, ඉංග්‍රීසි සහ පෝලන්ත ජාතිකයන්ගෙනි.

චිලියේ දෙවැනි විශාල ජනවර්ගය මෙස්ටිසෝ ලෙස හඳුන්වනු ලබයි. මෙස්ටිසෝ(මිශ්‍ර ලේ) නම් ස්පාඤ්ඤ වචනය මෙහිදී යොදා ගනු ලබන්නේ යුරෝපියානු සහ ඇමරිඉන්දියානු සම්භවය සහිත ජනතාව අතර සිදුවූ අවාහ විවාහ මඟින් පැවත එන ජනතාව හැඳින්වීමටය. එය චිලී මුළු ජනගහනයෙන් 20% තරම් ප්‍රතිශතයක් ගනියි.

මපූෂෙ ජනතාව යනු චිලිය, දහසය වැනි සියවසේ ස්පාඤ්ඤයේ යටත් විජිතයක් බවට පත් වීමට ප්‍රථම, ක්‍රි.ව 600 තරම් ඈත අතීතයේ සිට චිලියේ ජීවත් වූ එහි ස්වදේශික ජනතාවයි. ඔවුන් චිලියේ ජීවත්වන තෙවැනි ප්‍රධාන ජනවර්ගයයි. ස්පාඤ්ඤය විසින් චිලිය යටත් කර ගන්නා වීට මපූෂෙ ජනතාව ස්පාඤ්ඤ යටත් විජිත පාලකයන් සමඟ ඉතා දරුණු ලෙස සටන් වදිමින් තම පාරම්පරික ඉඩම් සහ ජීවත්වීමේ අයිතිය රැක ගැනීමට උත්සාහ කළ අතර මේ දක්වාම චිලීයේ පැවති සෑම පාලනයක් සමඟම ඔවුහු ගැටෙමින් ඔවුන්ගේ එම සටන නොනවත්වා කරගෙන යන්නෝය. එම ජනතාව චිලියේ ජනතාවගෙන් 11% පමණ නියෝජනය කරති.

ඉතිරි 9% ක වැනි ප්‍රතිශතයක් ගන්නා අෆ්‍රිකාන්, අයිමරා සහ සෙසු ස්වදේශික ජනවර්ග කිහිපයක් ද චිලියේ දක්නට ලැබෙයි.

වැරදුනේ කොතැනද?

චිලී ජනතාව පිනෝචේ ගේ ඒකාධිපති පාලනය යටතේ 1980 දී පමණ ලියැවුණු පැරණි ව්‍යවස්ථාව මඟින් නිදහස් ‍ගෝලීය ආර්ථිකයක් ඇති වීමත්, පාලන නීති හා සීමා කිරීම ඉවත් කිරීම නිසාත් රට තුළ ඇති නැති පරතරය ඉතාමත් වැඩි වූ බවත්, මිලිටරි පාලනය නිසා මානව හිමිකම් අතිශයින් කඩ වූ බවත් ජනතාව වටහා ගෙන නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට 2020 වසරේ කැමැත්ත පළ කළ බව සත්‍යයකි. එහෙත් බෝරිච් පාලනය යටතේ ලියැවුණු නව ව්‍යවස්ථා කෙටුම්පත ඊට ප්‍රතිවිරුධ ලෙස ‘උග්‍ර ප්‍රතිසංස්කරණවාදී’ ලක්ෂණ දරන බව බටහිර දේශපාලන විචාරකයන්ගේ මතය විය. Time වෙබ් අඩවියේ සඳහන් වන පරිදි ලේඛණ 388 කින් සමන්විත එම ලියැවිල්ල තුළ ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවිය නොහැකි, සමාජ සමානාත්මතාව සහ මානව අයිතීන් පිළිබඳ කාරණා අඩංගුව ඇති අතර එය රට තුළ සිටින ආයෝජකයන් සහ පුරවැසියන් බියට පත් කළ බව ද එම දේශපාලන විචාරකයන් වැඩි දුරටත් පවසා තිබුණි.

එසේම නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා නිර්මාණය කරනු ලැබු ව්‍යවස්ථාපිත සභාව ග‍ොඩ නැඟීමේදි, ජනතා නියෝජනය පිළිබඳ සැළකිලිමත් වෙමින් සාමාජිකයන් තෝරා පත් කරගත්තද, ගතානුගතික අදහස් දරන ජන කොට්ඨාශ වල මතය වූයේ, එම සභාව තුළ වාමවාදී අදහස් දරන පිරිස් බහුතරයක් ඇති නමුත් මධ්‍යස්ථ මතදාරීන්ගේ ප්‍රමාණවත් නියෝජනයක් එම සභාව තුළ දක්නට න‍ොමැති වූ බවයි. එම නිසා රට තුළ වාමවාදී අදහස් නොදරන, මධ්‍යස්ථ මතදාරී සහ වෙනස්වීමට බිය වන ජන කොටස් එම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරමින් ජන්දය ලබා දෙන්නට ඇත.

එසේම බොහෝ දේශපාලන විචාරකයන්‍ගේ මතය අනුව චිලි 2019 සිට රට තුළ පැවතුණ මහජන කැළඹීම සහ උද්ඝෝෂණ වලින් අනතුරුව පත් වූ නව ජනාධිපතිවරයාගෙන් ජනතාව බලාපොරොත්තු වූයේ, ඔවුන් මේ මොහොතේ දැඩි සේ පීඩාවට පත් වී සිටින ගැටළුවලට ඉක්මන් විසඳුම්ය. චිලී තුළ නව ව්‍යවස්ථාව පිළිබඳ ජනමතවිචාරණයක් පැවැත් වූ මොහොත යනු, රටේ උද්ධමන වේගය ඉහළ යමින් පවතින කාලයකි. ජනතාව එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සපුරාගැනීමට අරගල කරන කාලයකි. එසේම රට පුරා පැතිරුණු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වී සිටින සමයකි. ඒ අනුව සමහර දේශපාලන විචාරකයන් පවසන්නේ මෙම ජනමතවිචාරණයට ලැබුණු ප්‍රථිපලය, එම ලියැවිල්ල ප්‍රතික්ෂේප වීමක් පමණක් නොව රට තුළ කඩිනමින් විසඳිය යුතු ගැටළුවලට හැකි ඉක්මනින් අවධානය යොමුකළ යුතු බවට බෝරිච් පාලනයට ලබා දෙන සංඥාවක් ද විය හැකි බවයි.

රට තුළ මේ මොහොතේත් අඩු වැඩි වශයෙන් පවතින මිලිටරීකරණ ලක්ෂණ සහ නිදහස් ගෝලීය ආර්ථිකය නිසා පැන නැඟි අහිතකර තත්වයන් හේතුවෙන් චිලී ජනතාව දිගු කාලයක සිට දැඩි ලෙස පීඩා විඳි බව සත්‍යයකි. එහෙත් රට තුළ පශ්චාද් කොරෝනා වසංගත තත්වයන්, මහජන කැළඹීම් මෙන්ම පරිපාලන දුර්වලතාවන් නිසා මේ මොහොත වන විට ඔවුන් උද්ධමනයේ සහ රට පුරා වැඩි වී ඇති ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගේ ගොදුරු බවට ද පත්ව ඇත.

චිලී තුළ දැනට පවතින නව ලිබරල්, නිදහස් වෙළඳ පොළ ආර්ථික දේශපාලනික මොඩලය රට තුළ අසමානතාව ඇති කිරීමට මූලික හේතුව වූ නමුත්, චීලිය ලතින් ඇමරිකානු කලාපයේ සෞභාග්‍යමත් රටක් බවට පත් වූයේ එම ආර්ථික ක්‍රමය නිසාය යන්න බහුතර ජනතාවක් එල්බ ගෙන ඇති අදහසකි. එම නිසා රට ආර්ථික අර්බූදයක ගිලී සිටින මොහොතක එම ආර්ථික ක්‍රමය සහමුලින්ම වෙනස් කරන නව ව්‍යවස්ථාවකට ජනතාව අනුමැතිය පළ කිරීමට පෙළ‍ඹෙන්නේ නැත. බීබීසි පුවත් වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට නව ව්‍යවස්ථාවට විරුද්ධ පාර්ශ්වයන් විසින්, නව ව්‍යවස්ථාව රටේ ආර්ථිකය පිළිබඳ ‘වගකීමක් නොදරන’ එසේම නවලිබරල්වාදී ආර්ථිකයට ‘බැටදෙන’ ලියවිල්ලක්ය යන අදහස සමාජ ගත කිරීමට සමත්වී ඇත. එසේම ඔවුන් තව දුරටත් තර්ක කොට ඇත්තේ නව ව්‍යවස්ථාව තුළින් චිලීයේ දේශපාලන යාන්ත්‍රණයට සිදුකරන යෝජිත ප්‍රතිසංස්කරණ නිසා චිලියේ ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටීමත් දේශපාලනික ආයතන දුර්වල වීමත් සිදු වනු ඇති බවත්ය.

එසේම නව ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටි නව ජනාධිපති බෝරිච් සිය ධුරයේ වැඩ ආරම්භ කරන කාලය යනු විශේෂයෙන් දකුණු දිග චිලියේ ස්වදේශික ජනතාව කේන්‍ද්‍රකොට ගෙන විවිධ ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වුණු කාලයකි. චිලී පාලනය විසින් ස්වදේශික ජනතාවට අයත් ඉඩම් විවිධ සමාගම් සහ ව්‍යාපාරිකයන්ට වරින් වර පවරා දීම නිසා එම ප්‍රදේශවල ස්වදේශික ජනතාව සහ කැලෑ ඉඩම් ලබා ගත් පිරිස් අතර ගැටුම් ඇති වීම දක්නට තිබිණි. වරින් වර, පැවති ආණ්ඩු විසින් එම ප්‍රදේශවලට හදිසි නීතිය දැමීම, ගැටුම් පාලනය කිරීමට හමුදාව කැඳවීම ද සිදු වූයේය. එසේ රට පුරා පැතිර යන ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ල මැඩ පැවැත්වීමටත් තම ජීවිත ආරක්ෂාව සහතික කොට ගැනීමටත් ජනතාව විශ්වාසය තැබුවේ පොලීසිය සහ හමුදාව මතය. එවැනි තත්වයක් තුළ නව ව්‍යවස්ථාව තුළින් පොලීසියේ මිලිටරී ලක්ෂණ ඉවත් කිරීම මහජන ආරක්ෂාව අනතුරේ හෙලීමක් ලෙස බහුතර ජනතාව තේරුම් ගන්නට ඇත. මන්ද බොහෝ පුරවැසියන්ට අනුව රටේ ඒ වනවිට වඩාත්ම පීඩාකාරී ප්‍රශ්නය බවට පත්ව තිබුනේ රට පුරා පැතිරෙන අපරාධ රැල්ලය. එවැනි තත්වයක් තුළ මිලටරිහරණය වුණු පාලනයකට එකවරම ජනතාව කැමැත්ත පළ කිරීමට පසුබට වන්නට ඇත.

ගතානුගතික චිලී සමාජය සහ අසත්‍ය පුවත්

චිලී සමාජය යනු ක්‍රිස්තියානි ආගම සහ ස්පාඤ්ඤ සංස්කෘතිය පදනම් කරගත් ගතානුගතික ලක්ෂණ දරන සමාජයකි. දීර්ඝ කාලයක් මිලිටරි පාලනයකට ය‍ටත්ව ජිවත්වීම නිසාත්, සමහර ජනකොටස් විසින් දරන දැඩි ආගම්වාදී චින්තනය නිසාත් බහුතරයක් චිලී ජනතාව ඉතාමත් පසුගාමී සහ පාලන බලයට ලේසියෙන් අවනතව ජීවත්වීමට පුරුදු ව සිටි පිරිසකි. දේශපාලන විචාරකයන්ට අනුව චිලී යනු අනෙක් ලතින් ඇමරිකානු රටවලට සාපේක්ෂව ඉතා නිහඬව, පවතින නීති වලට එකඟ වෙමින් සහ ඒවා පිළිපඳිමින්, පවුල කේන්ද්‍රකොට ගත් සාමකාමී ජිවිත ගත කිරීමට කැමති ජනතාවකි. ඔවුනට නීතියෙන් දික්කසාද වීමේ අයිතිය පවා ලැබුනේ 2014 වැනි මෑත කාලයේදීය.

එසේම මර්ධනකාරී මිලිටරි පාලනකට ය‍ටත්ව ජිවිත ගෙවූ නිසා නිදහස් චින්තනයට, අදහස් ප්‍රකාශ කිරීම, මහජන ගැවසීම්වලට ඔවුන්ට එතරම් නිදහස නොතිබුනි. පිනෝචේ ගේ පාලන කාලයේ, නිරන්තරයෙන් චිලී ජනතාව හැසිරිය යුතු ආකාරය, ජීවත්විය යුතු ආකාරය පිළිබඳ නීති රීති සියළුම මාධ්‍ය වලින් බෙදා හැරීම චිලීයේ සුලබ දසුනක් විය. එවැනි වටපිටාවක් තුළ චිලී ජනතාවට ගතකිරීමට සිදු වූයේ පවුල තුළ කොටු වුණු පුද්ගලවාදී ජීවිතයකි. එහෙත් ගෝලීයකරණ තත්වයන් තුළ චිලීයේ තරුණ පිරිස් එම ගතානුගතිකත්වයන් බිඳ ඉදිරියට පැමීණීම දක්නට තිබුනද, බහුතර ජනමතය ක්‍රියාත්මක වන්නේ වෙනස් වීමට දක්වන බිය වටාය. එවැනි සමාජ තත්වයක් තුළ සමරිසි විවාහවලට අවසර ලබා දීම, ගබ්සා කිරීම නීති ගත කිරිම, ලිංගික නැමියාව පදනම් කොටගෙන වෙනස් කොට සැළකීම අවම කිරීමට ගන්නා උත්සාහයන් චිලීයේ පසුගාමී සමාජය දෙදරනවන සුළු කාරණා වන්නට ඇත.

එසේම එවැනි ආකාරයේ වටපිටාවක් තුළ නව ව්‍යවස්ථාවට විරුද්ධ ගතානුගතික පිරිස් සහ බෝරිච් ප්‍රමුඛ ආණ්ඩුවට විරුද්ධ විපක්ෂය විසින් ක්‍රියාත්මක කල අසත්‍ය පුවත් ප්‍රචාරණයට, ප්‍රථිපලදායක භූමිකාවක් අත්පත් කරගැනීමට ඒ නිසා ඉඩ කඩ සැලසුනේය.

ජනමතවිචාරණයට සූදානම් වෙමින් ජන්ද ව්‍යාපාරය උණුසුම් වෙන විට, නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂේප කරන බල කඳවුර විසින් ක්‍රියාත්මක කළ අසත්‍ය පුවත්, සදාචාර විරෝධි අන්තර්ගතයන් සහිත පුවත් සහ මඩ ප්‍රහාර වලින් ‍ෆේස්බුක්, වට්ස්ඇප්, ටෙලිග්‍රෑම් වැනි සමාජ මාධ්‍යය පිරී ගියේය. තරමක සම්භාව්‍ය භාෂාවෙන් ලියැවුණු ලිපි 388 ක් සහිත දීර්ඝ ලියැවිල්ලක් වුණු යෝජිත ව්‍යවස්ථාව තේරුම් ගැනීමේදී, නූගත් සහ ගතානුගතික අදහස් දරන ජනතාව වැඩි වශයෙන් විශ්වාසය තැබුවේ සහ ආකර්ෂණය වූයේ එවැනි සමාජ මාධ්‍යය තුළ සංසරණය වෙන නොමඟ යවන සුළු අන්තරගතයන් වෙතටය.

උදාහරණයක් ලෙස නව ව්‍යවස්ථාව තුළ අඩංගු කාරණා යැයි දක්වමින් රටේ නම වෙනස් කිරීම, රටේ ජාතික කොඩිය වෙනස් කිරීම, රටේ බලය මපූෂෙ ස්වදේශික ජනතාව අතට යාම, ආගම ඇදහීමේ අයිතිය නැති කිරීම, පොලීසිය වැනි ආයතන අහෝසි කිරීම, දරුවා බිහිකිරීමට ඕනෑම මොහොතකට පෙර ගබ්සා කිරීමේ අයිතිය ලබා දීම, ඉඩම් සහ නිවාස අයිතිය සහමුලින්ම රජයට පවරා ගැනීම වැනි ජනතාව බිය වද්දන සුළු අසත්‍ය පුවත් සංසරණය වීම බහුල ලෙස සිදු වූයේය.

එසේම ව්‍යවස්තාපිත සභාවේ සුළු ජන කොට්ටාශ නියෝජනය කරමින් පත් වූ සාමාජිකයන් ඉලක්ක කොටගෙන නිර්මාණය වූ වර්ගවාදී වෛරී ප්‍රකාශ ද මඩ ප්‍රහාරද විශාල වශයෙන් සමාජ මාධ්‍යය තුළ සංසරණය වූ අතර, ඒවායේ මුලික අරමුණ වූයේ නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරන එම සභාව ජනතා අප්‍රසාදයට ‍ලක් කිරීමය.

විදෙස් මාධ්‍ය වල දැක්වෙන පරිදි චිලියේ සමාජ මාධ්‍ය මඟින් ජනමතය වෙනස් කිරීම සඳහා බෝරිච් පාලනයට විරුද්ධ බලවේග විසින් ඒ සම්බන්ධ තාක්ෂණික දැනුම ඇති තරුණ කණ්ඩායම් මුදල් ගෙවා ඔවුන්ගේ සේවය ලබා ගෙන ඇත. සැබවින්ම ගතානුගතික සමාජයක් ඇති චිලීය තුළ ඉතාමත් ඉදිරිගාමී වෙනස්කම් සිදු කිරීමට යෝජිත නව ව්‍යවස්ථාව ‘උග්‍ර ප්‍රතිසංස්කරණවාදී’ය යන මතය සමාජය තුළ තහවුරු වීමටත්, එම නිසා එය ප්‍රතික්ෂේප වීමටත් මෙම අසත්‍ය පුවත් ප්‍රචාරණය තදින්ම බලපාන්නට ඇති බව විචාරකයන්ගේ මතයයි.

බහුවාර්ගික චිලිය සහ ජනමතය

චිලී බහුවාර්ගික බහු සංස්කෘතික රටක් වුවද, චිලී ජනතාව ‍බොහෝ කාලයක සිට විශ්වාස කිරීමට කැමැත්ත පළ කලේ චිලී යනු සමජාතීය රටක් ලෙසය. චිලී තුළ 12% ප්‍රතිශතයක් ලෙස ස්වදේශීක ජන කොට්ඨාශ කිහිපයක්ම ජීවත්වන නමුත් බහුතර ජනතාව එය බහුවාර්ගික රටක් ලෙස එකහෙලා පිලි ගන්නේ නැත.

එම නිසා ම ස්පාඤ්ඤ යටත් විජිත සමයේ සිටම ස්වදේශික ජනතාව තම අයිතීන් වෙනුවෙන් දිගින් දිගටම පැවති පාලන අධිකාරිය සමඟ සටන් වැදුනු අතර බෝරිච් පාලනය විසින් ප්‍රථමවරට ඔවුන්ගේ අයිතීන් පිළිගෙන ඔවුන්ට ස්වයං පාලන බලය ලබා දීමට එකඟ වී තිබුණි. එම කාරණය නව ව්‍යවස්ථාව තුළට ද ඇතුළත් වී තිබුණි.

ස්වදේශිකයන් ජීවත් වූ පාරම්පරික ඉඩම් ඔවුන්ගෙන් බලෙන් පැහැරගෙන සමාගම් වලට පැවරීමත්, ඔවුන්ගේ අනන්‍ය ලක්ෂණ රැකගෙන ජීවත්වීමේ අයිතිය නැති කිරීමත් නිසා එම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවක් පොදු ජනතාවට තේරුම් කරනවාට වඩා, ජාතිමාමකත්වය මතු කරමින් අසත්‍ය පුවත් හරහා ස්වදේශික ජනතාවට රටේ බලය හිමි වනු ඇත, වැඩි ඉඩම් ප්‍රමාණයක් ඔවුන්ට අයිති වනු ඇත, වැනි බිල්ලන් මැවීම ඉතා පහසුය.

නව ව්‍යවස්ථාව තුළ ඇති චිලීය බහුත්වවාදී රටක් බවට පත් කිරීමට තුඩු දෙන කාරණා පිලිබඳ ජනතාවගේ උපරිම දැනුවත්භාවයක් නැතිකමත් එම කාරණාවලට බහුරතයක් පිරිස බියට පත් වීමත් මෙම ව්‍යවස්ථාව පරාජයට පත් වීමට බලපෑ තවත් හේතුවක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

නව ව්‍යවස්ථාව පරාජයට පත් වීමෙන් පසු බෝරිච් පාලනය

නව ව්‍යවස්ථා යෝජනාව වැඩි ජන්ද විශාල සංඛ්‍යාවකින් පරාජයට පත් වීම තරුණ වාමවාදී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරිච් පාලනය ලද විශාල පසුබෑමක් ලෙස සමහර බටහිර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඔහු වමාවාදී දිශාවකට රට ගෙන යාමටත්, ආර්ථිකය තුළ රජයේ මැදිහත්වීම වැඩි කිරීම තුළින් සමාජය තුළ ඇති අසමානතාව තුලනය කිරීමටත්, සියළු ජනකොටස්වල අයිතීන් සුරැකීමටත් සරිලන පරිදි නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට සක්‍රීයවම මැදිහත් වූයේය. නමුත් නව ව්‍යවස්ථාව පිළිබඳ ජනමතවිචාරණයෙන් පසු එක හඬින් එක්සත්ව නව ව්‍යවස්ථාවක් ඉල්ලා සිටි චිලී ජනතාව නැවතත් ධ්‍රැවීකරණයට ලක් වී ඇති බව පැහැදිලි කාරණයකි.

ජනමතවිචාරණය පැවැත්වූ දින රාත්‍රියේ ජන්ද ප්‍රථිපල ගැන අදහස් දක්වමින් චිලී ජනාධිපති බෝරිච් එම ප්‍රථිපලය ඉතා ‘නිහතමානීව’ බාරගන්නා බවත් සිය රජය ජනතාවගේ හඬට කන් දිය යුතු බවත් පවසා තිබුණි.

ඒ අනුව බෝරිච් පාලනය පසුබසින්නේ නැත. සියල්ල මුල සිට ඇරඹීමට ඔවුන් දැනටමත් සූදානම්ය. ජනමතවිචාරණය පැවති දිනයට පසුව එළැ‍ඹුනු සඳුදා දින චිලී ජනාධිපතිවරයා සියළු දේශාපලන පාර්ශවයන් ආමන්ත්‍රණය කරමින් චිලියේ සියලු ජනකකොටස්වලට එකඟ විය හැකි නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් එක්ව වැඩ කිරීමට ආරාධනා කළේය. එසේම බෝරිච් ජනාධිපතිවරයා විසින් නව ඇමති මණ්ඩලයේ කිසියම් වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවට ඉඟි පළ කොට පැය හතළිස් අටක් ගත වීමට මත්තෙන් එම ආණ්ඩුවේ අමාත්‍යංශ හයක ඇමති දූර දරන පුද්ගලයන් වෙනස් වූයේය. බෝරිච් විසින් එවැනි ක්‍රියාමාර්ගයක් ගත්තේ විශේෂයෙන් ආණ්ඩුව තුළ කිසියම් වෙනසක් සිදුවන තෙක් මධ්‍යස්ථමතදාරීන්, බෝරිච් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා මේසයට නොඑන්නේය යන ස්ථාවරයට දැක්වූ ප්‍රතිචාරයක් ලෙසය.

“අපගේ රට ගැන සිතා මම අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කරනවා. එය වේදනාකාරී නමුත් අවශ්‍යයෙන්ම කළ යුතු දෙයක්” බෝරිච් ජනාධිපතිවරයා ඒ පිළිබඳ අදහස් දැක්වූයේ එසේය.

මෙම නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප වීම, බෝරිච් පාලනයට තම අඩුලුහුඬුකම් හඳුනාගෙන වැඩ කිරිමට ඔවුන් ලැබූ අගනා අවස්ථාවක් ලෙස ද සමහර මාධ්‍ය පෙන්වා දී තිබුණි. එසේම බෝරිච් පාලනය සියළු දෙනා ඒකරාශි කරගෙන නව ගමනක් ආරම්භ කිරීමට සූදානම් බව පෙනෙන්ට තිබෙයි. ඒ අනුව සියළු චිලී ජනතාවට එකඟ විය හැකි ආකාරයේ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා නව ව්‍යවස්ථාපිත සභාවක් පත් කර ගැනීමේ මහජන ජන්දයට ඔවුන් ප්‍රථමයෙන් මුහුණ දීම නොබෝකලකින්ම සිදු වීමට නියමිතය.

සුභාෂිණී චතුරිකා

leave a reply