සුවිශේෂී පරිසර පද්ධතියක් වන දහයියාගල අලිමංකඩ ඩෝසර් කිරීම ඇතුලු රාජ්‍ය අනුග්‍රහයෙන් මේ වන විට රටපුරා සිදුකරමින් පවතින දැවැන්ත වන සංහාරයට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීම පරිසර සංවිධාන ගණනාවකගේ මැදිහත් වීමෙන් කොළඹ දී 2021 පෙබරවාරි 02 දින ආරම්භ කෙරිණ.
පිරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ මහතා එහි දී ප්‍රකාශ කර සිටියේ වත්මන් රජය බලයට පත් වූ දින සිට මේ දක්වා කර ඇති පරිසර සංහාර ප්‍රමාණය මෙතෙකැයි කියා ගණන් කළ නොහැකි අතර, මේසා විශාල පරිසර සංහාරයක් මෙතෙක් පැවති වෙනත් කිසිදු රජයකින් සිදු කර නොමැති බවයි. “ජනධිපතිවරයා ගේ සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වෙන්නේ රටේ වනාන්තර ප්‍රමාණය 30% දක්වා වැඩි කරනවා කියලා. ඒ වුණාට මේ යන විදියට අවුරුදු 5 යනකොට තියෙන වනාන්තර ටිකත් නැති වෙන තත්වයක් තියෙන්නේ”යැයි හේමන්ත මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ය.
“අද වන විට ගොවීන්ට සිද්ද වෙලා තියෙනවා අලි කළමණාකරන රක්ෂිත ගැසට් කරන්න කියලා උපවාස කරන්න. මේ විනාශ කරන දහයියාගල අලිමංකඩත් 2002 දී සකස් කරන ලද හම්බන්තොට අලි කාළමණාකරණ රක්ෂිතයට ම අයිතිවන ප්‍රධානතම අලිමංකඩවල් තුනෙන් එකක්. මේ අලිමංකඩවල් විනාශ කිරීමෙන් සිද්ධවෙන්නේ මේ වන විට මේ ප්‍රදේශවල තියෙන ලොකුම ප්‍රශ්නය වන අලි-මිනිස් ගැටුමු තවත් වර්ධනය වෙලා අලියි මිනිස්සුයි අනිත් සත්තුයි ඔක්කොම විනාශ වීම” යි, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මහතා පවසා සිටියේ ය. ශ්‍රී ලංකාවේ ගොවිතැන නගා සිටුවීමට ඉඩම් අවශ්‍ය බවත්, ඒ සඳහා ගොවීන්ට වගා කිරීමට ඉඩම් ලබා දෙන බවට ගොවීන් මුලා කරමින් ඔවුන්ව ඉත්තන් ලෙස භාවිත කරමින්, ඔවුන්ගේ ද සහාය ලබා ගනිමින් මේ කරන විනාශයේ ප්‍රධාන අරමුණ වන්නේ දේශීය හා විදේශීය මහා පරිමාණ කෘෂි සමාගම් සඳහා ඉඩම් ලබා දීම බව ද චාමිකර මහතා පවසා සිටියේ ය. ඊට හොඳම උදාහරණය ඊයේ, පෙබරවාරි 1 වැනි දින, අමාත්‍ය මණ්ඩලය විසින් රඹකැන්ඔය ප්‍රදේශයෙන් අක්කර 2750 ක ඉඩම් ප්‍රමාණයක් බඩඉරිඟු වගාව සඳහා වෙන් කර දීමට අනුමැතිය හිමි වීම බව ද ඒ මහතා වැඩි දරටත් සඳහන් කර සිටියේ ය.
මෙම මාද්‍ය හමුවට සහභාගී වූ පූජ්‍ය ආනන්ද සාගර හිමියන් වදාලේ ඔවුන් කිසිම ලෙසකින් හමුදා නිළධාරියෙක් වූ වත්මන් ජනධාපතිවරයාගෙන් මෙවැනි නීතී විරෝධී අවනීතික වැඩ පිළිවෙලක් බලාපොරොත්තු නොවූ බවයි. චක්ක්‍ර ලේඛ කිසිවක් නොතකමින් තමාගේ ප්‍රකාශයන් චක්ක්‍රලේක ලෙස භාවිත කරන්නට රාජ්‍ය නිළධාරීන්ට බලපෑම් කරමින් කරන මෙම දැවැන්ත වන විනාශය ඇතුලු වැඩ පිළිවෙලට තමන් වහන්සේ සම්පූර්ණයෙන් ම විරුද්ධ බව ද උන්වහන්සේ වදාළ සේක.
පරිසරි සංවිධාන සම්මේලනය, වනසත්ව සහ පරිසරිය සුරැකීමේ සංගමය, වනසතුන් රැකගැනීමේ සංසදය, ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර සුරකින්නෝ, ශ්‍රී ලංකාවේ දේශගුණ සහ වනාන්තර ක්‍රියාකාරී ජාලය, සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය, ජෛව විවිධත්ව සහ අලි සංරක්ෂණ භාරය, විල්පත්තු මිතුරෝ, තරුණ සත්වවේදීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා සොබා සංසදය ඇතුලු පරිසර සංවිධාන ගණනාවක් නියෝජනය කරමින් පිමිණි පිරිස් මෙහි දී දීර්ඝ ලෙස අදහස් දැක් වූ අතර, ඉදිරි දිනයන් හි දී දිවයින පුරා මෙම පෙත්සම අත්සන් කරීමට කටයුතු කරන බව ද ඔවුන් ප්‍රකාශ කර සිටිය හ.